මා හද තුළ ඔබ 1

නුගේගොඩ හන්දියේ බෝ ගසෙහි පත් සොලවා ගෙන උඩු සුළඟක් හමා ගියේ ය. මිතුරියන් තිදෙනා සිටියේ හයිලෙවල් පාරේ අනිත් පැත්තෙහි, ඉන්ධන පිරවුම්හල දෙසට වන්නට යි. නටු වලින් ගිලිහුණු බෝ පත්, සුළඟත් එක්ක ඉහළ අහසෙහි වටයක් ගසා යන අතක ගසා යන්නට හැර නිසල වෙන හැටි, තඹරු පියුම්රා දිවාකර බලා සිටියේ දෑස් සිහින් කොට දෑත් පපුව මත බැඳගෙන ය. ඒ හැඟීම ඇති කළේ සංවේගයක් හෝ සන්තාපයක් ද නැත්නම් සැහැල්ලුවක් ද කියා ඇයට නිශ්චිත නැත. තුරකට වාගේ පත් සිඳ දමා එක යුගයක් නිමා කොට දමන්නට මිනිස් ජීවිතයකට හැකි ද?

“ඒ…යි..අර…බිග් මැච් ට්‍රක් එකක්”

සනාරා එසේ කෑ ගසමින් ම දෝතින් මුව තද කොට ගත්තා ය. තඹරු ගේ සිත අතීතයට විසි වූයේ නිමේශයකිනි. පාසල් සමයේ එක බිග් මැච් සමයක බාලිකාවට පිරිමි පාසල් සිසුන් රෑනක් ම කඩා වැදුණු ඒ අනපේක්ෂිත මොහොතේ හදවතෙහි ඇති වූ ගැස්ම ඇයට මේ දැන් මෙන් සිහි කර ගත හැක. පාසලේ ධජ සුළඟේ ලෙල දෙවමින් ද ට්‍රම්පට්, සැක්සර්ෆෝන් සංගීතයට ප්‍රීති ඝෝෂා නංවමින් ද ඔවුන් ඉදිරියට ඇදී එමින් තිබෙන පිරිමි පාසලේ ට්‍රක් රථය දකිත්දී එදා හදවතට දැනුණ ගැස්ම ඇති වන්නේ නැත. එදා දැනුණ නලියෑමෙන් තොරව, උපේක්ෂා සහගත සන්සුන් බවකින් ඔවුන් දෙස බලා සිටින්නට අද ඇයට හැකි වී තිබේ. දශක ගණනක් නොවේ අතීතයට යට වී ඇත්තේ තවම වසර ගණනාවකි. නමුත් මෙතැන ඉන්නේ එදා එතැන උන් බාලිකාව නොවේ. ඇය නොවේ කියා ද කිව හැකි නොවේ. ඇය ද ඇය නොවන තවත් ඇයක ද මෙතැන සිටී.

“ට්‍රක් එක නවත්තන්න හදන්නෙ…”

අනපේක්ෂිත ප්‍රීතියකින් යුතාරා සසැලී ගොස් එසේ කියත්දීත් කොලු රෑන ට්‍රක් රියෙන් බිමට පැන ගනිමින් සිටියහ. ඒ වෙලාවේ නොයෙකුත් ගමනාන්ත කරා යන බස් රථ පැමිණ නතර කරන තුරු එතැන පෙරමග බලමින් උන්, පාසල් නිල ඇඳුම් වලින් යුතුව උපකාරක පන්ති නිමවී පැමිණ සිටි විවිධ පාසල් වලට අයත් බාලිකාවෝ යම්කිසි ගැස්මකට ලක්ව සිටියහ. එකා දෙන්නා බැගින් මහ මග දී මෙවන් නිදහස් කොලු නඩයකට හසු වෙන එක කෙබඳු අත්දැකීමක් විය හැකිදැයි ඔවුහු අනුමානයෙන් හෝ දනිති. මේ අත්දැකීමට තඹුරු, යුතාරා සේ ම සනාරා ද සිය පාසල් වියෙහි දී මුහුණ දී සිටිති. නමුත් අතීතය නැවත ද සිදු වෙමින් තිබේ. ඔවුන් වෙනස් වූවාට, කාලය ගත වූවාට, වයස ගත වෙමින් තිබුණාට, අතීතය නැවත නැවත ද සිදු වේ.

“සැලලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ.. මුව රැල අතරේ වග වලසුන්ගේ රඟ මඬලකි මේ උයනේ..නීල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොනරා කට ඇද කිරලා සහ වලිකුකුළා හොට දිග පිලිහුඩුවා..අප දැකලා බිය වැදිලා තරඟෙට හඬ නැගුවා…”

අතීතයේ දී දස දහස් වතාවක් පාසල් මිතුරියන් සමග අත්පොඩි තලමින් කෑ ගසා ගයා ඇති ඒ ගීතයේ වචන අතීත සිදුවීම් ද සමගින් ම හද තුළින් නැගී සිටින්නට විය. තඹරු පියුම්රා දිවාකර මේ ලෝකයට අයත් මේ කාලේ කෙල්ලක සේ නොව වෙනත් ග්‍රහ ලෝකයකට අයත් පිටසක්වල ජීවියෙකු සේ ඈ තුළ ම යම් තැනෙක නතර වී සිටියා ය.

එම ට්‍රක් රියෙහි සිටියේ පාසල් සිසුන් නොව ආදි සිසුන් යයි බැලූ බැල්මට සිතා ගත හැකි විය. වයසින් කෙතරම් පරිනත වූව ද පාසල කෙරේ යමෙකු තුළ වන ආලය කිසි දා මියෙන්නේ නැත. පාසලෙහි ජයග්‍රහණයක් තමන්ගේ ජයග්‍රහණයක් සේ තවමත් දැනෙන්නේත්, එවැනි මොහොතක හදවත ආඩම්බරයෙන් පිම්බෙන්නේත් එනිසාවෙන් යයි තඹරු ට ඒ මොහොතේත් සිහි වී යළි අමතක ව ගියේ ය.

ට්‍රම්පට් කරුවන් ද සමග පාසල් කොඩි අතින් ගත් ආදි සිසුහු එතැන වායුගෝලය මඳක් උණුහුම් කරන්නට සමත් වූහ. පාසල් දැරියන් ට වඩා, වැඩිහිටි පිරිමි ඇස් වලට හසු වන්නේ වයසින් මෝරා වැඩෙන්නා වූ තරුණියන් ය. බස් නැවතුම දිගට ම උන් රැකියා නිම වී නිවෙස් වලට යමින් සිටි තරුණියන් ට මොහොතකට ඔවුන්ගේ වදයට නතු වන්නට සිදු විය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වේවා මුදල් පසුම්බිය හැර නෝට්ටුවක් දෙකක් ඔවුන් ගේ පන් තොප්පියකට දමන්නට ද සිදු විය. විඩාපත් දවසක් අවසානයේ එසේ පිරිමි අවධානයකට ලක් වන්නට අකමැති තරුණියක් එහි සිටිතැයි විශ්වාස කළ නො හැකි ය.

නමුත් තඹරු සිටියේ ඒ ට්‍රම්පට් වාදනයෙන් හෝ සහෝදර පිරිමි පාසලක ආදි සිසු පිරිසක ගේ අවධානයට ලක් වීම ගැන විශේෂ හැඟීමක් දරා ගෙන නොවේ. නව යොවුන් විය ගෙවා අහවර විශ්ව විද්‍යාල ජීවිතයේ අවසන් අදියරට ද එළඹ තිබුණාට හදවත් වලින් ඔවුන් තාමත් තුරුණු ය. යුතාරා සේ ම සනාරා ද ඒ පිරිමි ඉඟි බිඟි වල අවධානය ලැබ, ළහිරු කැන් දුටු සියපතක් සේ පිබිදෙමින් සිටියහ.  එනමුදු තඹුරු ඉවත බලා ගෙන ම සිටියා ය. ඒ බැල්මෙහි මඳ ආඩම්බරයක් තැවරී තිබිණ. ඇය කවදටත් ආඩම්බර දැරියකි. බාලිකාවෙහි උගනිත්දී මීටත් වඩා ආඩම්බර ය. විශ්ව විද්‍යාලයේ සහෝදර පිරිමි සිසුන් අතරේ දී ඒ ආඩම්බරය මඳක් පාලනය කර ගෙන ද පිරිමින් කෙරේ හුරු වෙමින් ද සිටියා වුණත්, දැන් මේ වෙලාවේ ඇයට පුරුදු ආඩම්බරය යළිත් කරළියට පැමිණ තිබේ.

“ලස්සනයි මගේ නගේ ඔයා..ගස්සලා බලන්නෙ ඇයි ඔයා..ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා…ඉතින් මට හිතෙන්නෙ ආදරෙයි ඔයා…බඹර පහස ලබන මලක්දෝ…බඹර සුවය සොයන මලක්දෝ…”

ට්‍රම්පට් වාදනය හා කොල්ලන් ගේ ගී හඬ වහා වෙනස් විය. ඔවුන් සිටියේ තඹුරු, සනාරා හා යුතාරා වට කොට ගෙන යි. තඹරු හැරෙන්නට අනිත් දෙදෙනා ම සිනහවන් උහුලා දරා ගෙන සිටියහ. එනිසා ම තඹුරු කෙරේ වැඩි අවධානයක් යොමු වන්නට ඇත.  

එකසිය තිස් අට මාර්ගයේ දිවෙන බස් රථ ඕනෑ තරම් මීට පෙර මෙතැන නැවතී නික්ම ගිය ද සනාරා හා යුතාරා ඒවායේ නො නැංගේ තඹරු ට මත්තේගොඩක් එන තුරු ය. රෝහල්ගත විශ්ව විද්‍යාල මිතුරියක බලන්නට කළුබෝවිල රෝහලට ගොස් ඔවුන් යළි නිවෙස් බලා යමින් සිටියහ.

තඹරු, සිය දෑස් ඈතට පා කළා ය. ඈත අහස් පාලම ඔස්සේ මත්තෙගොඩ බසයක් ඒ දැයි දුරට ම දැක ගන්නට ඇයට ඕනා විය.

“ඕගොල්ලො මොනාද කරන්නෙ…වර්ක් කරනවද..”

ඒ අතරේ බිග් මැච් කොල්ලෙකු විමසුවේ ය. තඹුරු ඔවුන්ගෙන් කිසිවෙකුගේ මූණ හෝ බැලුවේ නැත.

“එයා හිතං ඉන්නෙ එයා ක්ලියෝපැට්‍රා කියල”

ඉස්සර උසස් පෙළට උපකාරක පන්ති යත්දී කොල්ලන් ඇගේ මූණට ම එහෙම කියා තිබේ. ඒ කාලේදීත් ඇය හැසිරුණේ පිරිමි ළමයින් කෙරේ කිසිදු අවධානයක් නො දක්වමිනි. නමුත් සැබවින් ම හදවතින් ඔවුන් කෙරේ ඇගේ අවධානය යොමු නොවූවායි කිව නො හැක. ඇතැම් විට ඇගේ හද බැඳගත් පිරිමි ළමයෙකු නො සිටියා නොවේ. යම් දිනෙක ඔහු ඇගෙන් ප්‍රේමය විමසනා තුරු ඇගේ යටි හිතෙහි කොනක හෝ පැතුමක් තියෙන්නට ද ඇත. නමුත් ඒ පිරිමි ළමයා කෙරේ උනන්දුවක් ඇතැයි ඇය ඉඟියකිනිදු නො හැඟවූ නිසා කිසිදු පිරිමි ළමයෙකු ඇගෙන් ප්‍රේමය විමසා නැත. විශ්ව විද්‍යාලයේ දී එසේ විමසූ කිහිප දෙනෙකුට ම ඇය ස්ථිර පිළිතුරක් නොදුන් නිසා ඔවුහු වෙනතක් බලා ගත්හ.

“අපි යුනිවර්සිටි ෆයිනල් ඉයර්”

ඒ හඬ යුතාරා ගේ ය. තඹරු සිතින් ඇයට රැව්වා ය. ඇගේ සිතට නිවනක් දැනුණේ මත්තේගොඩ බසයක හුරුපුරුදු සේයාව දුටු විටයි.

“මං යනව”

මිතුරියන්ට පමණක් ඇසෙන්නට කොඳුරා දිව ගොස් ඇය එහි නැග ගත්තා ය. ගොඩ වූ ගමන් ම වාගේ ඇයට යුගල අසුනක කවුළුව අයිනේ අසුන් ගැනීමේ අවස්ථාවක් ලැබුණේ ගම්සභා හන්දියේ දී එතැන හිඳ උන් කෙනා බැස ගත් නිසාවෙනි. තඹරු සිත යටින් සතුටු වූවා ය. මේ වගේ කාර්ය බහුල වෙලාවක නුගේගොඩින් බසයට ගොඩ වී අසුන්ගත වෙන්නට ලැබෙනවා කියන්නේ විශ්මයකි. ඇය කවුළුවෙන් ඇතුළට එන දුහුවිලි සුළඟට මුහුණ ඇල්ලුවා ය.

බිග් මැච් ට්‍රක් රථය වරින් වර බසය  ඉස්සර කළේ ය. යළිත් පසු විය. ඉස්සර කරන වෙලාවට එහි සිටිනා කොල්ලෝ “තඹරූ” කියා කෑ ගැසූහ. අසුනත් සමග ම ඇය බසය තුළ ගිලී යන බවක් තඹරු පියුම්රා දිවාකර ට දැනිණ. මුහුණෙන් මොන විදිහේ කතාවක් කියවෙන්නේ දැයි ඇය නො දැන සිටියා ය. නමුත් තඹරු කියා නමක් හෝ කෙනෙකු ගැන කිසි දාක අසා නැතිවා සේ, ඇය හැඟීම් නැති ප්‍රතිමාවක් බවට පත් වී සිටියා ය. බස් රිය තුළ තඹරු කියා දැරියක ඇති බව එහි සිටි කවුරුත් නිසැක ලෙස සිතන්නට ඇත. නමුත් ඒ තඹරු පාසල් දැරියක මිස ඇය යයි කිසිවෙකු නො සිතන බව ඉඳුරා විශ්වාස නිසා ඇය හිස කෙළින් තබා ගෙන සිටියා ය.

“අල්ලගන්නංකො අර දෙන්නව මං. ඒ ටිකට මගෙ නමත් කියල”

ඒ අතරේ ඇය සිතුවා ය. හයිලෙවල් පාරෙන් බසය කොට්ටාවට හැරුණ ඉක්බිති මේ කොල්ලන් ගේ වදය නිමා වන බව තඹරු දැන සිටියා ය. නමුත් එය එසේ නොවූයේ බසයට ඉස්සර කරමින් ඔවුන් මත්තෙගොඩ පාරට ට්‍රක් රථය හැරවූ නිසාවෙනි.

“ඒ පැත්තට යන එකක්මයි. මළ වදේ”

ඇය සිතින් සිතුවා ය. සල්ගස් හන්දියේ දී ඇය බසයෙන් බසිත්දී ට්‍රක් රථය පිටුපසින් නැවතී තිබිණ. තඹරු බිය වූයේ කොල්ලන් මෙතැනදී ඇගේ නම කියා කෑගසනු ඇත කියා ය. එහෙයින් ම ඇය බිම බලාගෙන අඩියට දෙකට පය ඉක්මන් කළා ය. කොල්ලන් රියෙන් බැස, ඉඩ කඩ ඇති තැනක ට්‍රම්පට් තාලයට නටන්නට වූහ. තඹරු ගෙදරට ගොඩ වූවා ය.

ගෙදර ය කීවාට ගෙදර පහත මහල හා මිදුලේ ඉදිරිපස කුඩා කොටස ‘කේක් ඇන්ඩ් කොෆී’ වෙනුවෙන් වෙන් වී තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ ය. තාත්තා ගේ හදිසි අනතුරින් පසු, ඉතිරි කොට ගෙන උන් අවසාන සතය දක්වා ම වැය වූයේ ඔහු යළි දෙපයින් සිටුවා ගැනීම වෙනුවෙනි. නමුත් තාත්තා ගේ ව්‍යාපාර අඩියට ම කඩා වැටී, අතේ සතයකුදු ඉතිරි නොවී, අබ්බගාත සැමියෙකු හා පැටි වියෙහි දරුවන් දෙදෙනෙකු සමග ජීවිතය මැද්දේ අසරණ වූ ගැහැනියක සිය නිවස ඉදිරියේ ‘කේක් ඇන්ඩ් කොෆී’ ඇරඹුවා ය. ඒ ගමන් මග පහසු නැති බව තඹරු ඉතා හොඳින් දනී. අම්මා රන්මුතු තරමට ම දනී. මල්ලී සඳැස් ට වැඩියෙන් දනී. නමුත් තාත්තා ගැන කියන්නට ඇය දන්නේ නැත. ඇතැම් විට ඇයට ඈ ගැන දැනෙනා ප්‍රතිමාවක සිර වූ හැඟීම, තාත්තා සම්බන්ධයෙන් ද එසේ විය හැකි යයි ඈ සිතයි. තාත්තා වූ කලී කිසි දා සිය හැඟීම් පිටතට ප්‍රකාශ නොකළා වූ ප්‍රතිමාවකි!

“අම්මා” කියාගෙන තඹරු කේක් ඇන්ඩ් කොෆී වෙත ගොඩවෙනකොට ම බිග් මැච් කොල්ලෝ එහි කඩාපාත් වූහ. ඇය ට දැනුණේ කැළඹීමකි. ඒ මෙතෙක් ඔවුන් අරබයා නො දැනුණ තිගැස්මකි. ඔවුන් මෙහෙම ඇයි? නුගේගොඩ සිට මත්තේගොඩ තෙක් ම ඔවුන් ඈ හඹා ආවායි සිතිය යුතු ද? නැත්නම් නො සිතිය යුතු ද? මෙය අතිශය අහඹුවක් විය යුතු ද නැත්නම් මනා සැලසුමක ප්‍රතිඵලයක් විය යුතු ද?

 ජීවිතයත් එක්ක කෙතරම් ඔට්ටු වී ද තරුණ පෙනුම වියැකී නො ගිය අම්මා – රන්මුතු, සිහින් සිනහවකින් තරුණයන් වෙත ආවා ය.

🧡අද සිට ‘මා හද තුළ ඔබ’ සමගින් එක්වන ලෙස ඔබට පුරුදු ආදරයෙන් ඇරයුම් කරමි. කතාව ගැන ඔබේ අදහස් දැන ගන්නට වෙනදා මෙන් ම මා මග බලා ගෙන ය. කියැවූ බවට සලකුණක් හෝ ඉතිරි කොට යනු ඇත කියා උදක් ම බලාපොරොත්තු වෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles