“ලොකු සර් මම මේ නිකමට අහන්නේ.. නර්මදා මිස්ගේ ඔය වාත මහත්තයව අපිට ටක් ටික් කරන්න බැරිද..”
ඇස් දෙක වහගෙන මේ වෙනකන් නිදි වගේ හිටපු කේසර ඇස් දෙක ඇරියේ හරියට නිකං රොබෝ කෙනෙක් වගේ.
“උබට පිස්සුද. යකෝ පිස්සො පිහාට්ටො වගේ හිතන හිතන වෙලාවට මිනිස්සුන්ව මරන්න බෑ..
මම පිස්තෝල කඩු කස්තාන ඇමති නෙමෙයි බං..”
“කලබල වෙන්න එපා ලොකු සර්..මම එහෙම කිව්වේ අද හෙට විසඳන්න කියන එක නෙමෙයි.ළඟදිම වෙලාවක් එයි.ඒක ගානට නූලට සෙට් කරගන්න එක ලොකු සර්ගේ වැඩක්..”
ගානට නූලට සෙට් කරගන්න හදිසි නොවී බලාගෙන හිටපු මාස කීපයක්ම ඒ විදියට ගෙවිලා ගියේ දේශපාලන කතාවලත් මහා ලොකු වෙනසක් සිද්ධ කරගෙන.පවත්වන්නට නියමිත වෙලා තිබිච්ච ජනාධිපතිවරණය ප්‍රධාන පක්ෂ කීපයේම ඉදිරිපත් වෙලා හිටපු ජනාධිපති අපේක්ෂකවරුන්ව පිස්සු වට්ටන්න පුළුවන් වෙලා තිබුණා.තම තමන්ගේ පක්ෂ වලට ආවේණික වෙලා තිබිච්ච එක එක තීන්දු තීරණ මැද්දෙ මේ පාර තමන්ගේ මනාප කන්ද වැඩි කර ගන්නේ කොහොමද කියන එක මහා ලොකුවට සාකච්ඡා වෙවී තිබුණා. කේසර රණබාහුට තමන්ගේ පක්ෂය වෙනුවෙන් කරන්න තිබිච්ච වැඩකටයුතු මහා ගොඩක් තිබුනා.එදා රෑ කාටත් නොකියා වැඩිය කවුරුත් නොදන්නා ඉන්දියානු ජාතික සංකර් හම්බවෙන්න යන්න කේසර රණබාහුට වගේම බන්දුල පලාපත්වලටත් තිබුණා.සංකර් කියලා කියන්නේ ඉන්දියාවෙන් ගෙන්නපු මහ මොලකාරයෙක් කියන එක බන්දුල පලාපත්වල දැනගත්තෙත් කේසර රණබාහුගෙන් තමයි.සංකර්ගේ රස්සාව වගේම හැකියාව වුනෙත් හිතාගන්න බැරි …අගමුල ගලපගන්න අවුරුදු ගානක් යන බුලට් ගේම් නිර්මාණය කිරීම බව කේසර දැනගෙන හිටියා.
“අපේ ලොක්කට ඕන වෙලා තියෙන්නේ මෙදා පාර මොකක් හරි අලුත්ම ගේමක් දෙන්න වගේ වගේ.”
කියලා එදා සංකර් මුණගැහෙන්න යන ගමන් කේසර ජාදු ට කිව්වා.
“හැමදාම ස්ටේජ් වල අනිත් පක්ෂයට බැන බැන කරන ප්‍රමෝෂන් වැඩ අපේ ලොක්කට එපා වෙලා”
කියලා කේසර කිව්වේ ජාදුගේ කළු පබළු වීදුරු ඇස් දිහා බලන ගමන්.
“ඔයාලගේ… මං කියන්නේ සාමාන්‍ය බහුතර පොඩි මිනිස්සු…. බොහොම කලබල වෙන..
අත තිබ්බොත් පට්‍රෝල් දාලා ගිනි තිබ්බා වගේ ගිනිගන්න….
ලොකුම දුර්වලකම මොකක්ද”
කියලා සංකර් ඇහුවේ මොනවදෝ දේශීය ඖෂධ පානයක් දාගෙන හිටිය වීදුරුව දෙවැනි පාරටත් හෙමිහිට කටට ගන්න ගමන්.
“අම්මට සිරි…. එහෙම දෙයක් අපි කවදාවත් හිතලත් නෑ… අපිට කවදාවත් හිතිලත් නෑනේ”
කියලා ඉංග්‍රීසියෙන් බන්දුල පලාපත්වල කියන ගමන් වෙන්න හිතාගෙන ඉන්න අගමැතිතුමා දිහා ඇස් ලොකු කරලා බැලුවා.
“පොඩි මිනිස්සුන්ගේ ලොකුම දුර්වලකම ඉතින් තමන්ගේ දරු පවුල නෙමෙයිද..”
කේසර එහෙම උත්තරයක් දුන්නේ තමන්ගේ ලොකුම දුර්වලතැන බව මතක් වෙලා.
වර්ණාසිට මේ වෙනකොට අවුරුදු විසිපහකට ළංවෙලා තිබුණා . තාමත් කේසරගේ මුදල් පසුම්බියේ පැත්තක හැංගිලා ඉන්නෙ පුංචි අවුරුදු හතරේ වර්ණාසිගේ රූපයක්..හිත අවුල් වෙන හැම වෙලාවකටම ඒ රූපය බලලා හිත සනසගන්න පුළුවන් බව කේසර දන්නවා.නාලිකාගේ අකල් වෙන්වීමට තමා වගකියන්න ඕනේ බව කේසර හොඳටම දැනගෙන හිටියා.ඒ මූසල හැඟීම හින්දම නාලිකාගෙන් පස්සේ නීත්‍යානුකූලව වර්ණ විලාවට මැතිණියක් ගේන්න තරම් කේසරට හිත හයිය කරගන්නත් බැරි වුණ.වර්ණාසි නවසීලන්තයට වෙලා අවුරුදු ගාණක් වෙනකොට කේසර හැමදාම තනියම උනේ හිතට වැදුනු නර්මදාව කාටවත් නොපෙන්වාමයි.
“රෝන්ග්… යූ ආර…රෝන්ග්….
තමන්ගේ පවුලට වඩා පොඩි මිනිස්සු හිත රිදව ගන්න දෙයක් තියෙනවා. ඔයාලා ඒ ගැන තාම දන්නේ නැද්ද?… නැත්නම් ඔයාලා ඒ ගැන හිතුවේ නැද්ද?…”
සංකර් කිව්වේ, පතුල නොපෙනෙන තරම් භයානක ඇස්වලින්… සර්ප හිනාවක් දාලා.බන්දුල මන්ත්‍රීතුමා කන්නාඩි දෙක පිහදාලා ආපහු පැළඳ ගත්තේ තමන්ට නොපෙනෙන දෙයක් හොඳට බලා ගන්න වගේ..මේක පේන වෙලාවක් නෙමෙයි ඇහුම්කන් දෙන්න ඕනේ වෙලාවක් කියන එකවත් තේරුම් ගන්න බැරි තරම් බන්දුල මන්ත්‍රිතුමා ඒ වෙලාවේ පැටලිලා හිටියේ.
“ආගම සහ ජාතිය”
ශංකර් එහෙම කිව්වහම බන්දුල ඇමතිතුමාට තප්පර තුනකට විතර බකස් ගාලා පොඩි හිනාවක් ගියා වුණත් කේසරට නං ඒ වෙලාවේ හිතුනේ මේකා මහ පිස්සෙක් කියන හැඟීමක්.
“ආගමයි ජාතියයි”.. කියලා කේසර බොහොම හෙමින් ගැඹුරෙන් කිව්වේ ශංකර් දිහා පුදුමයෙන් බලන ගමන්.
“යර්ස්.. යු ආර් රයිට්…
බඩට ඇල් වතුර වත් නැති උනත්… එකා අපිට එකා මැරිලා වැටුණත්… ඇඳගන්න රෙදි කෑල්ලක් වත් නැති උනත්… පොඩි මිනිහා ආගම සහ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.
ඔයාලගේ ආර්ථික තත්ත්වයෙන් පොඩි මිනිහව කොයි වෙලාවකවත් දකින්න උත්සාහ කරන්න එපා. සම්ප්‍රදායික මිනිස්සු බඩගින්න ගැනයි.. පැළලි බිත්ති ගැනයි.. තෙමෙන වහලා ගැනයි.. යන්ඩ වැසිකිළියක් නැති එක ගැන තමයි කතා කරන්නේ.දැන් ඔය කතා බහ බොහොම සාම්ප්‍රදායික දේවල් වෙලා ඉවරයි. මිනිස්සුන්ට මොනවා හරි අලුත් දෙයක් දෙන්න ඕනේ.මිනිස්සුන්ට මොනවා හරි අලුතෙන් ටොපියක් ගිල්ලවන්න ඕනේ.”
එහෙම කියපු සංකර් මේසය උඩ දිග ඇරගෙන හිටපු එයාගේ ලැප්ටොප් පරිගණකය කේසරටයි බන්දුලටයි පේන විදිහට ඒ පැත්තට හැරෙව්වා.
” මේ බලන්න..
ඔයාලගේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධ මිනිස්සු. ඒ වගේම සිංහල කතෝලික මිනිස්සු..ඔයාලා සාම්ප්‍රදායික විදිහට මේ සැරේත් දේශපාලනික මත අනුව මිනිස්සුන්ව බෙදල ඡන්ද ඉල්ලන්න හැදුවොත් එතන තමයි ඔයාලට වරදින ප්‍රධාන තැන… ඔයාලගේ ලොකු බොස් කියපු විදිහට මේ සිද්ධියට එයා ඉන්වෝල් වෙන් නැහැ..ඔයාලා දෙන්නා එතුමගෙ ඇස් දෙක වගේ කියලා කිව්වේ..ඒ හින්දා ඔයාලා දෙන්නත් එක්ක මේක විශ්වාසයෙන් කරන්න පුළුවන් කියලා කිව්වා.මුළු රටේම තියෙන සිංහල චන්ද ටික එකතු කරගත්තොත් ඔයාලගේ ලොකු බොස් දිනුම්… කලින් පාරවල්වල වගේ හැම ජාතියකගේම ඡන්ද එකතු කරගන්න ගියොත් මේ පාර ගේම් එක ඔයාලා පරාද වෙනවා.ඒ හින්දා ඒරියා එක පුළුවන් තරම් අපි ක්ලියර් කරගන්න ඕනේ.ඉලක්කය පුළුවන් තරම් ක්ලියර් කරගන්න ඕනේ.අපි ඉලක්ක කරගන්න කොටස හරියටම පැහැදිලි වුනාම හරියටම ඡන්ද ටික ඔක්කොම කඩාගන්න පුළුවන්.”…
එහෙම කියපු ශංකර් අමුතුම සුවඳක් විහිදුවන දිග කළු සුරුට්ටුවක් හෙමිහිට පත්තු කරගෙන රස විඳින්න පටන් ගන්නකොට කේසර පුටු ඇන්දට ඔලුව තියා ගත්තා.
ශංකර් මුණගැහෙන ආපු වෙලාවෙ කේසරට දුන්නු විස්කි වීදුරුවේ දාලා තිබුණු අයිස් කැට කමිස බොත්තන් තරමට පුංචි වෙලා දිය වෙලා තිබුණා.වීදුරුව පුරාම කේසරට වගේම දහඩිය දාලා තිබුණා .බන්දුලගේ හිනාව කොයි වෙලාවේ මැකුනද කියල කිසි කෙනෙක් දැක්කෙ නෑ. ඇස් ගෙඩි විතරක් ලොකු වෙලා තිබුණා.
ශංකර්ගේ මාස්ට ප්ලෑන් එක ඇහුවට පස්සේ කේසරට හිතුණා තමන් ජිවත් වෙන්නේ තාමත් රජ කාලේ කියලා.ඔරලෝසු කටුවට වඩා ඉක්මනට හිතන්න පුළුවන් ඔළුවක් තියෙන මනුස්සයෙකුට කොයිතරම් දෙයක් කරන්න පුලුවන්ද කියල කේසරට හිතුනා.හොඳට හෝ නරකට…පුදුමයි.. බලය ලබාගන්න ඒ වගේ දෙයකුත් කරන්න පුළුවන්ද කියල හිතුනා. ලොක්ක මේ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් වෙලා තමයි මටයි බන්දුලටයි වැඩේ බාර දීලා තියෙන්නේ.අපි දෙන්නම ලොක්කගේ දකුණු අත වගේ තමයි.ලොක්ක වෙනුවෙන් පන උනත් අපි දෙන්නා දෙනවා කියන්න ඌ දන්නවා.ලොක්ක කරලා තියෙන වැඩවල හැටියට ඡන්ද ගන්න අමාරුයි කියලා ලොක්කම දන්නව.මේ පාරත් ලොක්කව කොහොම හරි ජනාධිපති කළොත් තමන්ට අගමැතිකම වගේම ලබන පාර ඉන් තේරුවෙන්ම තමන්ගේ නම ජනාධිපති අපේක්ෂක ධූරයට දාන බව කේසර හොඳටම දැනගෙන හිටියා. එක අතකට ඕනවට වඩා එක එකා ගැන හිතන්න යනවාට වඩා තමන්ගේ වැඩක් බලාගෙන තමන්ගේ යහපතට දෙයක් කරගෙන ඉන්න එක තමයි හොඳ කියල කේසරට හිතුනා.මගේ ජීවිතයෙන් හතරෙන් තුනක් ගෙවුනේ ජනාධිපති කෙනෙක් වීමේ සිහිනෙන්මයි.ඒ හීනෙදි මට නැති නොවුනේ මොනවද..මගේ ගෑනිත් මට නැතිවුණා.ලිඳට වැටුණු මිනිහා ගොඩ එන්න ඕනේ ලින් කටෙන්ම තමයි..