මා හද තුළ ඔබ 02

කේක් ඇන්ඩ් කොෆී හි කුඩා මිදුල ට්‍රම්පට් වාදනයෙන් පිරී පැවතිණ. තරුණයෝ කිහිප දෙනෙක් කැෆේ එක ඇතුළට වන්හ. තඹරු පියුම්රා දිවාකර වීදුරු ශෝකේස් එකක් අල්වාගෙන පසුපසට වූවා ය.  එක සිනහ වෙන යුග නෙතක් ඇගේ දෑස් වෙත පාව ආයේ ය. ඒ ඇස් බැල්ම ඇගේ දෑස් හි වැදුණ ගමන් සිරුර දිග යම් කිරණයක් විහිද යනු තඹරු අත්වින්දා ය. පතුල් වල සිට ඇය අයිස් මෙන් මිදී ගෙන යන්නට විය.

“මොනාද පුතාල බැලුවෙ…”

රන්මුතු සිය ගණුදෙනුකරුවන් සදහට ම ඇය වෙත රඳවා ගන්නා දයාර්ද්‍ර වූ හඬින් විමසුවා ය.

“අපිට කේක් කෑලි දාසයයි…ම්.. පැටිස් දාසයයි…පේස්ට්‍රියි…ඒයි උඹල මොනාද බොන්නෙ…කොෆීද කූල් ඩ්‍රිංක්ස්ද…”

අර උදුල තරු ඇස් වල හිමිකාරයා ඒ දෑස් වලින් තඹරු ගේ හදවත පාරමින් ම තරුණයන් වෙත හැරුණේ ය. මේ වෙන්නට යන්නේ කුමක් දැයි නො දැන ඇය තැති ගෙන බලා සිටියා ය.

ඇතැමෙකුට කෝපි ද ඇතැමෙකුට සිසිල් බීම වර්ග ද ඕන විණි. මේ මොහොත අම්මා ගේ ව්‍යාපාරයට සුභ බැව් සැබවි. නමුත් තඹරු ගේ හද ගැස්ම තවමත් යථා තත්වයට පත් වී නැත. ඔවුන් ඇවිත් තිබෙන්නේ ඇය හඹා ගෙන යයි නො සිතා ඉන්නට බැරි තරමට තරු ඇස් ඇයට කතා කරයි. ඔහු කවුරුන්ද? ඔවුන් ඈ හඹා ආවේ ඇයි? තඹරු ගෙතුලට- මතු මහලට යන්නට පියවරක් තැබුවා ය.

“අනේ බබූ මට චුට්ටක් හෙල්ප් කරල යන්නකො”

රන්මුතු ගේ ආදරබර ආයාචනීය සර, තඹරු විසින් එක්කාසු කර ගන්නා ලද ශක්ති බින්දුව දිය කොට හරිනා ලදී.

“බබූද මෙයා…”

කොල්ලෙකු ඒ වචනයත් අල්වා ගෙන තිබිණ. තරු ඇස් ඇත්තා දිළිසෙනා බැල්මක් හෙළුවේ ය.

“තඹරු බබූ”

රන්මුතු වහා දියණිය ගේ මූණ බැලුවා ය. තඹරු ගේ ඇස් මත වූයේ ඇගේ වරදක් නැති බවට කතාවකි. නමුත් මේ නන්නාඳුනන කොල්ලන්ට ඇගේ නම හසු වූයේ කොහෙන්දැයි තව ටික වෙලාවකින් අම්මා ට වග උත්තර බැඳිය යුතු වන බව ඇය දනී.

කොල්ලෝ ශීතකරණය හැර සිසිල් බීම බෝතල් කැඩූහ. තඹරු ද රන්මුතු ද කේක්, පැටිස් හා පේස්ට්‍රි බන්දේසි මත තබා මිදුලේ ද ඇතුළත ද මේස මත තැබූහ. තරු ඇස් වල හිමිකාරයා ඇතුළත මේසයක් අස හිඳගත්තේ ය. පිරිමි ඇස් දෙකක් ඒ තරම් සිනහ වෙන්නේ කෙසේදැයි තඹරු ට සිතා ගත හැකි නොවිණි.

නුගේගොඩ දී තඹරු විසින් නගිනා ලද මත්තේගොඩ බසය හඹා යාම තනිකර ම ඔහු ගේ තීරණයක් විය. ඒ වූ කලී ක්ෂණික තීරණයකි. නුගේගොඩ හන්දියේ දී අහම්බෙන් නෙත ගැටුණ ආඩම්බර කෙල්ල එක බැල්මකින් හදවත පසාරු කරන්නට සමත් වූයේ කෙසේද කියා නම් ඔහු නො දැන සිටියේ ය.

සමනල් දිවයුරු රණසිංහ මත්තේගොඩ බසය හඹා යන බව වටහා ගන්නට කොල්ලන්ට වැඩි වෙලාවක් ගත වූයේ නැත. මේ ඔවුන් සිය විනෝදය වෙනුවෙන් වෙන් කළා වූ දිනයක් නිසාවෙන් ඒ ගැන විරෝධය පෑමට කිසිවෙකුට හේතුවක් වූයේ ද නැත. කොල්ලෙකු කොලුකමට කෙල්ලක හඹා යාම ඔවුන්ට නුහුරු නුපුරුදු වූවක් ද නොවේ. නමුත් සමනල් ට තඹරු ගැන දැනුණා වූ ප්‍රථම හැඟීම හුදු කොලුකමට හෝ විනෝදයට අදාල වූවක් නොවන බව දැන සිටියේ ඔහු පමණකි.

මුලින් ඇණවුම් කළාට ද වැඩියෙන් තරුණයින් ගේ කුස් වල ඉඩ තිබූ නිසාවෙන්  කේක් ඇන්ඩ් කොෆී හි ශෝකේස් ඉක්මනින් හිස් විය. එය රන්මුතු ට හොඳ දවසකි. ක්ෂණික ව දවසේ කෑම ටික නිමා කර ගන්නට ලැබෙන එක, එක විදිහක වාසනාවකි.

තඹරු මතු මහළට නොයා අම්මා ගේ තනියට ළඟින් රැඳී සිටියා ය. මග දිගට තඹරූ කියමින් කෑගැසුවාට කේක් ඇන්ඩ් කොෆී හිදී කොල්ලන් ලොකු වදයක් දුන්නේ නැත.

“චොර කරන්නෙපා”

කියා කල් ඇතිව ම සමනල් ඔවුන්ට අවධාරණය කළ බැවිනි. ඔවුන් කළේ නම් ඒ අහිංසක විහිළුවක් පමණකි. නමුත් සමනල් දිවයුරු රණසිංහ ගේ ඇස් නම් රහසිගත දොඩමළුවක සිටියේ ය. විටින් විට ඒ දෑසට හසු වෙන තරමට ඒ වෙලාවේ තඹරු අන්ද මන්ද ව සිටිය ද එක සිනහ පොදක් හෝ නො දෙන්නට පිරිමින් කෙරේ ඇයට තිබූ පුහුණුව නිසා හැකි විය. නමුත් සමනල් එය පරාජයක් සේ පිළිගත්තා ද නොවේ.

කෑම කමින් ද ඊට පස්සේ ද තරුණයෝ තව දුරටත් ගීත ගයමින් හා නටමින්  කේක් ඇන්ඩ් කොෆී මිදුලේ විනෝද වූහ. රන්මුතු ඔවුන් දෙස බලා සිටියේ මඳ සිනහවක් රැඳි සතුටෙනි. ඒ වාගේ ප්‍රීතිමත් නිමේශ ප්‍රශ්න කිරීමකින් තොරව වැළඳ ගැනීම ඇගේ පුරුද්දකි. සතුට කියන්නේ මෙදිවියෙහි ඇය වඩාත් ම ගිජු බවකින් තෝරා ගන්නා දෙයයි. මේ මොහොත සතුටෙන් ගත කිරීම ඇගේ ජීවන විලාසයයි. තඹරු නම් තරුණයන්ට බුරුලක් පෙන්වන්නට නො ගියා ය. නමුත් ඇය ඔවුන් ගැන අවධානයෙන් නො සිටියා යි කිව නො හැක. සමූහයේ ම බිල්පත ගෙව්වේ තරු ඇස් ඇත්තා ය. ඒ හැට් කලෙක්ශන් වලින් එක්කාසු වූ සිල්ලර මුදල් නොවෙන බැව් තඹරු ට විශ්වාස ය.

“කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න”

තැන් තැන් වල වූ හිස් බීම බෝතල එකතු කරනා තඹරු වෙත නැඹුරු වී ඔහු ඉතා පැහැදිලි ලෙස කීවේ ය. හදවත භූමි කම්පාවකට හසු වුණා වී ද තඹරු ඇස් බැල්මක් හෙළුවා විතර ය. කේක් ඇන්ඩ් කොෆී පුවරුවේ වූ දුරකතන අංකය ඔහු සිය ජංගම දුරකතනයෙහි ගබඩා කර ගත්තේ ය.

“ආයෙ හම්බවෙමු”

සගයින් ට්‍රක් රියට නැගෙත්දී සමනල් තඹරු ට රහසින් වාගේ කීවේ ය. ඔහු ගේ ඇස් වල සිනහ රේඛාවක් සරැලි නැගුවා ට ඇය කළේ නළල රැලි ගන්වා ඉවත බලනා එකයි. සමනල් ගේ මනබන්ධනීය පිරිමි සිනහව පිටතට පැන්නේ ය. එය රන්මුතු දුටුවාට තඹරු දුටුවා නොවේ.

“කවුද බබූ ඒ බෝයිස්ල ටික…”

ට්‍රක් රථයට නැගීත් ඔවුන් එතැනට ම වී ටික වෙලාවක් සින්දු කියමින් සිටියදී රන්මුතු ඇස් කුඩා කොට දියණිය විමසුවා ය.

“මං දන්නෑ”

තඹරු මූණ නෝක්කාඩු කොට ගෙන නො රිස්සුම් ස්වරයකින් ම පිළිතුරු දුන්නා ය. රියදුරු අසුනෙහි හිඳ උන් සමනල් නලාව හඬවා කේක් ඇන්ඩ් කොෆී දෙස බලා සිනහ වූයේ ය. රන්මුතු සිනහවෙන් අත වැනුවා ය.

“අම්මගෙන් ලකුණු වැටුණ කොල්ලෝ”

කොල්ලෙකු සමනල් ගේ සවනට මිමිණුවේ ය. ඔහු ජයග්‍රාහී සිනහවකින් රිය හරවා ගත්තේ ය. මේ ඔවුන් යන මග නොවන බව ඒ අනුව තඹරු ට සිතා ගත හැකි විය. ඔවුන් නික්ම ගිය පසු හාත්පස පැතිර ගියේ අමුතු පාළුවකි. සවන් තුළ ට්‍රම්පට් හඬ රැව් දෙමින් තිබිණ.

“නුගේගොඩ ඉඳලම මං ආපු බස් එක ෆලෝ කළා. අර හොල්මන් දෙක තමයි මගෙ නම කියන්න ඇත්තෙ”

මූණ පුම්බාගෙන තඹරු අම්මා වෙතින් මිදී කාමරයට ගියා ය.

දිය නාගෙන විත් යහනට වැටුණ සමනල් දිවයුරු රණසිංහ, ජංගම දුරකතනයේ ගැලරියට ගොස් ඒ රුව මත නෙතු නතර කළේ ය. නුගේගොඩ හන්දියේ දී තඹරු ආඩම්බරකමින් ඉවත බලා සිටියදී ඔහු ඒ සේයාරුව ගත්තේ ඇයට නො දැනී ය. ඔහු ට සිනහ නැඟිණ. එක සිනහ පොදකුදු නැත ද සමහර කෙල්ලන් ළඟ නෙතත් හිතත් නතර වෙන අරුමය!

අළුයම් යාමයේ ම සමනල් අවදි වූයේ ය. මුළු රැය පුරා ම නින්දෙන් ද නො නින්දෙන් ද ඇය හිතට දුන්නේ පුදුම වදයකි. තඹරු! අහම්බෙන් මහ මගදී එක් වරක් පමණක් දුටු කෙල්ලක එහෙම කරන්නේ කොහොමද? ඒ නො සන්සුන් හදවත දරා ගෙන කරබා සිටිය නො හැකි බැව් සමනල් දැන සිටියේ ය. උදයෙන් ම සූදානම් වූ ඔහු සිය ඇක්වා රියෙන් මත්තේගොඩ බලා ගියේ ය. තඹරු ගේ මිතුරියන් කීවේ ඔවුන් සරසවියේ අවසන් වසරේ සිසුවියන් බවයි. ඒ අනුව උදේට ඇය සරසවියට යන්නට නික්මිය යුතු ය. ඒ කොයි මොහොතක ද කියා නො දන්නා මුත් කෙතරම් වෙලාවක් හෝ ඇය වෙනුවෙන් මග පමා වීමේ හැකියාවක් ඔහු ට තිබිණ.

සමනල් සැරසුණේ  ග්ලැසියර අයිස් නිල් පැහැති ඩෙනිම් කලිසමකින් හා මොණර නිල් පැහැති සරල ටී කමිසයකිනි. විලවුන් පොදක් ඉසිනා ගමන් ඔහු කැඩපතින් තමන් සමග සිනහ වූයේ ය. ඒ සිනහවේ බලාපොරොත්තු සහගත සතුටක් තැවරී තිබේ. මේ විදිහට කෙල්ලන් පස්සේ යන ගැටවර විය හමාර වී ටික කාලයක් ගෙවී ඇති බැව් ඔහු දනී. ඒ කාලේ කෙල්ලන් ගණනාවක් සමග බැඳුණු කෙටි මතක කතා කිහිපයක් ම සිතේ ඇඳී මැකී ගියේ ය. කිසිසේත් නොවූ විරූ ලෙස නුගේගොඩ හන්දියේ දී ඇස ගැටුණ මේ කෙල්ල හදවතට විශේෂ වූයේ කොහොමද කියා ඔහු දන්නේ නැත. එය මුරණ්ඩු සිතිවිල්ලක් බව ඇත්ත ය. නමුත් එය වංචනික සිතිවිල්ලක් නොවන බව සහතික ය. අවුරුදු දහ අටක කුළුඳුල් පෙම්වතෙකු ගේ හදවතට දැනෙන්නා වූ ගැස්ම මේ මොහොතේ සමනල් අත්විඳිමින් සිටියේ ය.

ඔහු මත්තේගොඩට යන විට දවස ඇරඹෙමින් තිබිණ. කේක් ඇන්ඩ් කොෆී අසල දී රියෙහි වේගය බාල කොට ඔහු එදෙස බැලුවේ ය. රන්මුතු අවන්හල අතුගාමින් ද මේස පිසදමමින් ද සිටියා ය. සමනල් මඳක් ඉදිරියට ගොස් සෙවනැති ඉඩකඩ සහිත මග අයිනෙහි රිය නතර කොට ගත්තේ ය. ඔහු ගේ දෑස් නිරන්තර මග විමසමින් තිබිණ. තඹරු උදයෙන් ම නික්ම යන්නට ඇත්ද? සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයට යන කෙනෙකු මේ වෙලාවට නික්මීම ප්‍රමාණවත් ය. නමුත් ඇගේ දින චර්යාව කෙබඳු දැයි ඔහු දන්නේ නැත. මේ විදිහට ඇය එනතුරු මග රැඳී සිටිනා එක ගැන ඇය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? දැනටමත්, විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක වන ඇයට පෙම්වතෙකු නැතැයි සිතිය හැකි ද? සමනල් දිවයුරු රණසිංහ ට ඒ සුළු මොහොත තුළ නො සිතුණ දෙයක් නැති තරමි. මේ විදිහට, මේ තරමට ඇය ඔහු ට විශේෂ ව දැනෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නයට හෝ නිවැරදි පිළිතුරක් ඔහු වෙත වූයේ නැත. උදේ අවදි වූ මොහොතේ ම හදවතට ඕනෑ වූයේ නැවත වතාවක් ඇය දකින්නටයි. ඒ පාලනය කළ නො හැකි හැඟීමට ඔහු කීකරු වූයේ ය. එපමණකි.

තඹරු පැමිණෙනු ඔහු දුටුවේ රියෙහි පැති කණ්ණාඩියෙනි. කෙතරම් කලබල වූයේ ද යත් ඊළඟට කුමක් කළ යුතු ද කියාත් ඔහු ට සිතා ගත නො හැකි විණි. තඹරු එමින් සිටියේ ඉක්මන් ගමනකි. ඩෙනිම් කලිසමකින් හා ලා නිල්- සුදු ඉරි වැටුණ දුහුල් බ්ලවුසයකින් සැරසුණ ඕ පිටේ එල්ලනා ලෙදර් බෑගයක් එක් උරයක එල්ලාගෙන සිටියා ය. එහි පැති වලින් විච්චූර්ණ අරුමෝසම් කැබලි ගණනාවක් එල්ලෙමින් ද පැද්දෙමින් ද තිබිණ. ඇය රිය අසලින් යත්දී ම ඔහු වීදුරු කවුළුව පහත් කරමින් කතා කළේ ය.

“තඹරු…ගුඩ් මෝනිං…”

තඹරු ගමන නවතමින් රිය දෙස බැලුවේ අදහා ගත නො හැකිව ය. තරු ඇස් ඇත්තා මේ උදයේ මෙතැන මේ ලෙස දකින්නට ඇය කොහෙත් ම අපේක්ෂා කළේ නැත. ඔහු ගේ සුබ පැතුමට පෙරලා සුබ පැතුමක් එක් කරන්නට තබා සිනහවක් තිළිණ කරන්නට හෝ ඇය සමත් වූවා නොවේ.

“මේ…අකමැත්තක් නැත්තං…ඔයාට මාත් එක්ක කැම්පස් එක ළඟට යන්න පුළුවං”

ඇය වඩාත් හොඳින් නෙතු විදා බැලුවා ය. ඊළඟට ඉදිරියට එමින් තිබි පිටකොටුව මත්තේගොඩ බසයට අතින් සංඥා කොට නතර කරගෙන වහ වහා එහි නැග ගත්තා ය. බැලුමක හුළං බැස යනවා බඳු අපේක්ෂා භංගත්වයක් සැනෙකින් සමනල් ගේ හිතට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles