(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය වුවත් දෙන්නට නොපැකිළුණු ගැහැණියක ලෙස මේ කාරණාව ඔබ සමඟ කතා කරන්නට මට ඇති අයිතිය ගැන දිගින් දිගටම මා විවේචනයේ යෙදුණු ඔබ සමහරක් ප්‍රශ්න කරන්නට ඉඩ ඇති බව මම දන්නවා. නමුත් මේ මගේ ජීවිත කතාව.එය ආදර්ශ සපයන්නේ ජීවිතය තුළ මා කළ සමහර වැරදි වලින්ම බව නොකියාම බැහැ.මා කළ සමහර වැරදි  ද මේ කතාවේ එන සෙසු ගැහැනු අය කළ වැරදි ද ඔබ නොකරන්නේ නම් මේ වසර පුරාම මගේ කතාව අසා සිටි ඔබ ඉන් යමක් උකහා ගන්නා බව මම විශ්වාස කරනවා.එනිසා මේ කාරණය ගැන ඔබ සමග බෙදාගන්නට මම හිතුවා.

මගේ මතයට අනුව විවාහ සහතිකය මිනිස් සම්බන්ධතා නිර්ණය කරන්නක් නෙවෙයි.මිනිස්සුන්ට විවාහ සහතිකය වැදගත් වන්නේසමාජයේ ඇති නෛතික ප්‍රශ්න වෙනුවෙන් බව මම විශ්වාස කරනවා.දේපළ සහ උපයා ගන්නා මුදල් සම්බන්ධ දේවල් වෙනුවෙන් මේ නෛතික බැඳීම වැදගත් වෙනවා.මේ සංකීර්ණ කාරණාවලදී අයිතිවාසිකම් කියන්නට විවාහ සහතිකය හැම මනුස්සයෙක්ට ම වැදගත්.අතීතයේ කිසිවෙකුට විවාහ සහතික තිබුණේ නැති බව ඔබ හොඳින්ම දන්නා කාරණාවක් නේද?නමුත් ඔවුන් ඉතා හොඳ ආදරණීය විවාහ ජීවිතයක් ගත කළ බව ඔබේ ආච්චිලා සීයලා ඔබට කියා ඇති.

විවාහයක් තුළ පමණක් සතුට සැනසුම ඇති බව සඳහන් වෙන්නේ කොහෙද?ප්‍රථම ප්‍රේමය ජය ගැනීම නිසා ඉතාමත් උද්දාමයෙන් ජීවිතය අරඹන සමහර අයටත් තමන්ගේ බැඳීම් නොගැලපෙන බව වැටහිණි වසර 10ක් 12ක් ගෙවී ගිය පසුවයි.අදහස් අතින් පමණක් නොවේ ලිංගික ජීවිතය පවා නොගැලපෙන බව ඔවුන් වටහා ගන්නෙ කාලයක් ගත වී යන විටයි.සාමාන්‍යයෙන් ආදරේ කරන කාලේ ආදරේ කරන පෙම්වතා හෝ පෙම්වතිය සමග පැයක් දෙකක් හමුවී බෙදාගන්න ජීවිතේ විවාහයෙන් පසුව ඇත්තේ නැහැ.තමන්ගේ නිවසක් තුළ ජීවිතය ගත වන්නේ සැබෑ මුහුණකින්. තමන් තමන් වීමකින්.තමන්ගේ සහකරු හෝ සහකාරිය ඕනෑවට වඩා වෙනස් කරන්නට යාමෙන් තමන්ගෙ කුටුම්භය බිඳ වැටීමට ලක් වීම දරා ගන්නට ඕනෑම කෙනෙකුට සිදු වෙනවා. නමුත් විවාහයක් සිදුකර ගත සිදු කර ගතහොත් එහි එල්ලී ජීවත් විය යුතු බවත් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නා කෙනා සමඟ අනිවාර්යෙන් ජීවත් යුතු බවත් අපේ මතයක් පවතිනවා.එහෙත් තමන්ගේ සැනසීම ප්‍රබලවම පැවතිය යුතු නිවසේ සැනසීමක් නැත්නම් මොන දේවල් ලැබුණාත් පලක් තිබෙනවාද?

අපේ රටේ බහුලවම පවතින්නේ බැඳ ගත් බෙරය ඔහේ ගහනා විවාහ! මා එය හොඳින්ම දන්නා දෙයක්.

“බැඳලා ළමයි තුන්දෙනෙකුත් හැදුවට පස්සෙද සුධාරකට දිල්හානි නරක් වුණේ?” මේ ඔබ මා සමඟ නිරන්තරයෙන්ම විවාද ඇති කරගන්නා කාරණාවයි.එහෙත් දරුවන් ඇතිදැඩි කළ පමණින් යුවළකට සතුටින් ජීවත් වෙන්නට පුලුවන්ද? මා සහ තාත්ත විවාහ ජීවිතය ගත කරන්නේ සතුටින් නෙවෙයි නම් ඇත්තටම දරුවෝ ඉන්නේ සතුටින්ද? ඒ දරුවන්ට අවශ්‍ය කරන මානසික නිදහස එවිට අපට ලබා දෙන්නට පුලුවන්ද?

මා මේ පවසන්නේ මගේ පෞද්ගලික මතය.ගහ මරා ගනිමින් ජීවත් වනවාට වඩා දික්කසාද වීම ඉතාම යහපත්.අපේ රටේ දික්කසාද වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක පවතින බව කියවෙනවා. සංස්කෘතිය සහ සභ්‍යත්වය ගැන ඕනෑවටත් වඩා කතා කරන අපේ රටෙත් ඒ ප්‍රතිශතය එච්චර ඉහළනම් කොතැනක හෝ ගැටලුවක් ඇති බව ඔබට සිතී නැද්ද?

මේ සියල්ල අනුව බලන විට මම සිතන්නේ Living Together සංකල්පය ඉතා ඉහළ තැනක පවතින බවයි.නිවසේ කටයුතු සහ ලිංගික ජීවිතය පමණක් නෙවෙයි මුදල් පරිපාලනය වැනි දේවල් ගැන පවා හොඳ අවබෝධයක් ලබාගන්නට යුවලකට එවිට පුළුවන්.අනිකාගේ ජීවන රටාව අවබෝධ කරගන්නටත් මේ සංකල්පය ඉතාම හොඳ සංකල්පය.මේ මගේ අතිශය පෞද්ගලික මතය බව කියන්නටත් පැකිලෙන්නේ නැහැ.මේ සංකල්පය අත්හදා බලන අයට තමන් නොගැළපෙනවා නම් උසාවි වල රස්තියාදු නොවී අනිකා කෙරෙහි ගෞරවයෙන් වෙන් වී යා හැකියි.

සුදාරක සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඔහු මා වෙත පැමිණියේ පනස් හැවිරිදි වියේ පසුවෙද්දී.ජීවිතේ සම්බන්ධයෙන් ඇති තරම් බිඳවා තමන් තවදුරටත් විඳවිය යුතු නැතැයි තීරණය කරන්නට ඔහුටත් එපමණ කාලයක් ගත වුණා.වෙනත් කිසිම සම්බන්ධතාවයක් නොපවත්වමින් කෙසේ හෝ දිල්හානි සමඟ ජීවිතය පවත්වාගන්නට උත්සාහ දරා අවසානයේ ඔහු මා වෙත පැමිණියේ.ඕනෑවට වඩා විඳවන විවාහ ජීවිතවල අවසානයේ එබඳු බවට මා සිතන්නේ ඒ නිසා.තමන්ගේ ජීවිතය තවදුරටත් නොබිඳී පවත්වා ගැනීම වෙනුවෙන් ඔහු මා වෙතට පැමිණි බව මම සිතනවා.

මේ කතාව කියවා මට කතා කරන අප්‍රමාණ කාන්තාවන් සිටිනවා.”අපිට ඔයාට වගේ ජීවිතේ ගැන තීරණ ගන්න හයියක් නෑ.” ඔවුන් බහුතරය පවසන්නේ එවැනි කතාවක්.එයට හේතුව වන්නේ තමන්ගේ අවට සමාජයට සහ සමීපතමයින්ට ඔවුන්ගේ ඇති බිය බව මා හොඳින් වටහාගෙන තිබෙනවා.එසේ නැතිනම් ආර්ථික වශයෙන් ඇති අස්ථාවරත්වය ද එයට හේතු වනවා.මම මගේ ජීවිතය සම්බන්ධ බොහෝ තීරණ බියක් නොමැතිව ගත්තේ මම ආර්ථික අතින් ඉතාමත් ස්ථාවර ගැහැනියක් නිසා.අනිත් කාරණාව මගේ දෙමව්පියන් මා අත් නොහරින බවට මට දැඩි විශ්වාසයක් තිබුණා.ඒ වගේම මෙවැනි කාරණා වලදී තමයි සතුව විශාල පෞරුෂයක් ද තිබිය යුතු බව මම හිතනවා.

ජීවිතේ පහසු වන්නේ නැහැ.නමුත් ඔබ සැම විටම ඔබ වෙනුවෙන් පෙනී ඉන්නට ඕනෑ.

අද මම ඔබ සමග සමඟ බෙදා ගත්තේ කාන්තාවක් ජීවිතේ ගැන දැරිය යුතු සමහර අදහස් කිහිපයක්.මගේ කතාව කියවන ඔබ සැම කෙනෙක්ම අද අදහසට යම්කිසි පිළිතුරක් දක්වා යනවා නම් මම කැමතියි.මට ඔබ සමග සංවාදයක් ගොඩ නගා ගන්නට උවමනා වුණා.මේ සම්බන්ධයෙන් ඔබ දරන අදහස් මගේ අදහසට සම්පූර්ණ විරුද්ධ වුවත් කමක් නැහැ.ඔබේ අදහස මතක ඇතිව කමෙන්ට් තීරුවේ තබා යන්න. අපි මේ ගැන කතා කරමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles