ආතුරයන් මැද ආදරෙන් 5

තමන් නවසීලන්තයට ගියායින් පස්සේ ආපහු ලංකාවට ආවෙම නැති වුණත්  තාත්තා  හැම අවුරුද්දකම තමන්ගේ උපන්දිනයට… හරියටම උපන්දිනය දාම තමාව බලන්න නවසීලන්තයට ආපු හැටි වර්ණාසිට මතක් උනා. තමන්ගේ හැම වැඩකටම ඕන කරන හැම රුපියලක්ම පුංචි අම්මට කිසිම අඩුපාඩුවක් නැතුව තාත්තා මේ වෙනකම්ම එවපු බවත් වර්ණාසි  හොඳින්ම දැනගෙන හිටියා.

වතුර මල යට අම්මා ඇස් දෙකත් ඇරගෙන තමන් දිහා බලාගෙනම ගල්වෙලා හිටපු හැටි… වේලිලා ගිය පාන්පිටි තලපයක ඉරි වගේ පුපුරපු අතීත චිත්‍රයක් විදුලි එළියක් වගේ වර්ණාසිගේ හිතේ ඇඳිලා මැකුනා.

“තාත්ති ….තාත්ති ..අම්මි දඩොං වෙලා ….”

වර්ණාසිගේ තරුණ රූපයට ඈතින් අවුරුදු හතරක විතර  පොඩි කෙල්ලෙක්  කෑගහගෙන ආපු රූපයක්….. තාත්තෙක් බොහොම වේගයෙන්  ලී පඩි පෙළක් දිගේ දුවගෙන එන සද්දෙකුත්… නාලි…නාලි ….කියමින් පිරිමි කෙනෙක්  යටිගිරියෙන් කෑගහන සද්දයකුත් වර්ණසිට අතීතයෙන් ආපහු ඇහුනා.
අම්මා නිතරම මොනවදෝ ලියපු ලස්සන පුංචි පොත කවදත් කරන විදියට වර්ණාසි තමන්ගේ නිදන ඇඳුම් සාක්කුවේ දාගෙන හිටියේ ඒක ඉස්සරහ පිට කවරේ හිටිය හා පැටියට තමන් බොහොම ආසවුනු නිසා..නාලිකා නිතරම වර්ණසිට ඒ පොත අල්ලන්න ළඟ තියාගන්න දුන්නා. නාලිකාට ඕන උනාම ඒ පොත වර්ණාසිගෙන් ඉල්ලගෙන ලියල ආපහු වර්ණසිටම දුන්නා. බිම වැටිලා හිටපු අම්මව ඉක්මනින්ම ඉස්පිරිතාලෙට ගෙනියන්න කටයුතු කරපු තාත්තා ඊට ටික වෙලාවකට පස්සේ ආපහු ඇවිත්   අම්මගේ  අල්මාරියෙන්  මොනවදෝ දෙයක් හොය හොයා වෙහෙසුණු හැටි  වර්ණසිට අකුණක් ගහනවා වගේ මේ දැන් මතක් උනා. ඊටත් ටික වෙලාවකට පස්සේ ආපු පොලිස් නිලධාරිනුත් අම්මගේ මොනවාදෝ දෙයක් හොය හොයා අල්මාරි කබඩ් ඇද ඇදා වෙහෙස වුණු හැටිත් වර්ණාසිට මතක් උනා.

අම්මගේ මරණයත් එක්කම ලංකාවට ආපු අම්මගේ නංගි නන්දිතා පුංචි …අම්මගේ මරණයෙන් හරියටම දවස් හතකට පස්සේ තමන්වත් අරගෙන නවසීලන්තයට යද්දි හා පැටියා හිටපු පොතත් අරගෙන ගියේ හා පැටියට තිබුණු ආසාව හින්දමයි.නවසීලන්තයට ගිය දා ඉඳන් සියලුම දේ ඉංග්‍රීසියෙන් සිද්ධ වෙච්ච හින්දා ගැට ගගහා සිංහල කතා කරන්න විතරක් පුළුවන් වුනාට සිංහලෙන් සම්පූර්ණයෙන්ම තිබුණු ඒ පොත කවදාවත් වර්ණාසිට කියවගන්න බැරි වුණා.නන්දිතා පුන්චිටවත් ඒ පොත පෙන්නන්න වර්ණාසිට ඕන වුණේ නැත්තේ හා පැටියා හිටපු ඒ ලස්සන පොත පුංචි ගනී කියලා බය වෙච්ච හින්දා.ඒක දිනපොතක් බව වර්ණාසි දැනගත්තේ ඊට ගොඩක් කල් පහු වෙලා… හැමදාමත් ඒ දින පොත අම්මාගේ කඳුළු අතීතය පිටු අතර හංගගෙන වර්ණාසිගේ පොත් අතර හැංගිලාම  හිටියා. හැමතිස්සේම හා පැටියා ඉන්න පොත අතට ගත්තහම වර්ණා සිට දැනුනේ තමන් ළඟ අම්මා ඉන්නවා වගේ හැඟීමක්.ඒ හින්දා හැම තිස්සේම හා පැටියා පොත පුංචි ඉටි බෑග් එකක දාලා තමන් යන යන තැන අරගෙන යන්නත් වර්ණාසි පුරුදු වෙලා උන්නා.

නාලිකා නෝනව ලෑල්ලක් වගේ ඇඳක තියලා සුදු රෙද්දකින් වහලා උඩ තට්ටුවෙන් පල්ලෙහාට ගේනවා මේ දැන් වගේ ජාදුටත් මතකයි. කොණ්ඩ කරල් දෙකක් ගොතා ගත්තු සුදු කෙට්ටු පොඩි වර්ණාසි බේබි ලොකු සර් වඩාගෙන අඬ අඬා පහළට ආවත් ජාදු ට මේ දැන් වගේ මතකයි. එදා කේසර සර් තමන්වත් ළඟට ඇදලා අරගෙන තුරුල් කරගෙන ඇඬුව නම් හොඳටෝම මතකයි. නන්දිතා මැඩම් වර්ණාසි බේබිත් අරන් රට යද්දි තමන් මේ ගෙදර සර් එක තනි වෙද්දි තිබුනේ කොයිතරම් ලොකු හිස්තැනක්ද කියලා
සක්‍රයටවත් තේරුම් ගන්න බැරුව ඇති කියලයි ජාදු ට හිතන්නේ.සාමාන්‍ය පෙළට එනකන් බොහොම අමාරුවෙන් අකුරු පටලවපු වසන්ත උපුල් කුමාර නැත්තං ජාදු කේසර ඇමතිතුමාගේ සුවච කීකරු බලු පැටියා වෙලා හිටියා. අතරින් පතර වර්ණාසි බේබිගෙ විස්තර කේසර විස්කි වැඩියෙන් කටේ ගාපු දාට අහන්න හම්බ වුනාට ඉන් එහාට විස්තරයක් අහලා දැනගන්න වසන්තට හිතුනෙ නෑ..
ඡන්දෙ ලංවෙද්දී යන පුංචි පුංචි මැරකං… ඒ දවස්වල කේසර ඇමතිතුමාගේ පස්සෙන් වැටිලා හිටිය පොට්ට කුසුම්ගෙන්
අගල් චමින්ද ගෙන් ගානට නූලට ඉගෙන ගන්න වසන්ත ට පුළුවන් උනා. ඒ දවස්වල පොට්ට කුසුම්ගේ පස්සෙන් ” ජය හින්ද්  “
නයිට් ක්ලබ් එකේ රෑ ගතකරන එක වසන්තට අලුත් අත්දැකීමක් උනා. සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි වසන්ත දැන ගත්තේ ඒ නයිට් ක්ලබ් එකේ හැබෑ අයිතිකාරයා කේසර සර්ම තමයි කියලා.  නයිට් ක්ලබ් එකේ ප්‍රධාන නාටිකාංගනාව මදුරි කොච්චි මිරිස් කරලක් වගේ කියලා වසන්තට හිතුණා. ඒ වෙනකොටත් ආරෝහ පරිණාහ දේහයක් තිබිච්ච  කෝපි කලු පාට මුහුණ ක  ප්‍රතාපවත් හිනාවක් තිබිච්ච යකඩ වගේ අත පය අයිතිකාර  වසන්ත හරියට මායාවක් වගේ  කියලා  මුලින්ම කිව්වේ මදුරි තමයි .   එදා තමයි වසන්ත මුලින්ම ජාදු (මායාව) උනේ..

එදා ඉදලම කේසර ඇමතිතුමාගේ දේශපාලන ජීවිතයේ වැහිච්ච පැතිකඩ සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න පුළුවන් වුණේ ජාදුගෙ තිබිච්ච ඒ අමුතු හැකියාව හින්දමයි.අවුරුදු දහ අටේ දී  බුරන බල්ලට වඩා නිහඬව ඉඳලා එක පාරටම කුට්ටියක් කඩල ගන්න බල්ලට මිනිස්සු හුඟක් බය බව ජාදු ඉගෙන ගෙන තිබුණා. කේසර ඇමතිගෙන් මිනිස්සු  ආශ්‍රය කරන ක්‍රම ගණනාවක් ජාදු  දැනගත්තා.

” වර්ණාසි බේබි ලස්සන වෙලා”

එදා පළවෙනියෙන්ම වර්ණාසිවිලාවට වර්ණාසි පය තිබ්බ වෙලේ ජාදු ට හිතුණා. ඒ උනාට ඒක ඇත්තටම කියන්න හම්බවුණේ ඊට දවස් දෙක තුනකට පස්සේ මිදුලෙ රෝස ගස් දෙකක් මැද්දෙ හොරාට පිපිලා තිබිච්ච දාස්පෙතියා මලක සුවඳ බල බල හිටපු වර්ණාසිව තනියම හම්බවෙච්ච වෙලාවකයි.

වර්ණාසී හිනාවෙලා

” ඇයි ජාදු  රෝසමල් වලට වඩා දාස්පෙතියා ලස්සන “…

කියලා  කැඩිච්ච සිංහලෙන් අහනකොට  ජාදු ගේ කළුමුතු වගේ දිලිසෙන ඇස් ලස්සනට පාට උනා.

“..ඔය දාස්පෙතියා ඇට මට හම්බ වුණේ පාර අයිනේ ගහකින්. මම නිකන් විසි කළේ ඔතනට. රෝස ගස්වලට දාන පෝරෙන් වතුරෙන් ඔන්න බලන්නකො බේබි දාස්පෙතියත් නැගිටලා තියෙන ලස්සන…”

හරියට මම වගේ..කියන කෑල්ල ජාදු  කියන්නේ නැතුව හිර කරගත්තා .

” ජාදු  හිනාවෙනකොට හරි ලස්සනයි. ජාදු ගෙ ඇස් බ්ලැක් පර්ල් වගේ කියලා  දවසක් තාත්තිත් මාත් එක්ක කිව්වා. මගේ බර්ත්ඩේ එකකට සැරයක් තාත්ති බ්ලැක් පර්ල් පෙන්ඩන්ට් එකක් දුන්නා . එදා තමයි තාත්ති එහෙම කිව්වේ..”

ජාදු හිතලම බිම බලා ගත්තද නැත්නම්  ඉබේම බිම බැලුනද කියන්න තේරුනේ නෑ. වර්ණාසි බේබිගේ බෙල්ල  කළු මුතු වලින් සරසන වෙලාවේ තමන්ගේ අතට පිස්තෝලයක් ලැබිලා ඒ වෙනකොටත් අවුරුදු  ගානක් බව වර්ණාසි බේබි  එක්ක කියන්න ඕන නෑ කියලා ජාදු  ට හිතුනා. තමාට අවුරුදු දාසයේදී පිස්තෝලයක් උපන්දින තෑග්ගකට දුන්නේ ඇයි කියලන එක ජාදු  අදටත් හිතන දෙයක්…

” උඹට මේකෙන් අහස උනත් දෙබෑ කරන්න පුළුවන් බං”

කියලා තමන්ගේ පිටට ගහලා කේසර සර් හිනා වුනු විදිහ ජාදු ට දැන් වගේ මතකයි .

“බේබි ආයෙත් යනවද”

” ඔව්  ජාදු… මෙහෙ  ආවාම මට හරියට අම්මිව  මතක් වෙනවා. ඒක ෆුල් අප්සෙට්…”

කැඩිච්ච සිංහලෙන් කියපු වර්ණාසි අමාරුවෙන් හිනා වුණා.

” ඒ දේවල් නම් මටත් ඒ වගේම මතකයි බේබී … ඒ දවස් වල අපි කොච්චර පොඩිද … ඒ වුනාට මතකය ඒ විදියටම තියෙනවා.”

වර්ණාසි  කඳුළුත් එක්කම හිනාවුණා. වහින්න ළං වුන වෙලාවක හමන හුළඟක් ජාදු ට ඒ ඇස් දැක්කම  මතක් වුනා….
තමන්ට සමාන තමන්ගේ පඩියක ඉන්න කෙල්ලෙක් නං ඒ වෙලාවේ ජාදු  ඒ කම්මුල් තමන්ගේ අත් දෙකට අරගෙන කඳුළු පිහදාවි කියලා ජාදු ට හිතුනා . 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles