මා හද තුළ ඔබ 09

ටෙරසයෙහි වන පැද්දෙන පුටුවේ හිඳගෙන සමනල් තඹ පාට සඳ කිරණෙහි නැහැවී සිටියේ ය. පෝය සඳක් පායා විත්, හෙට නිවාඩුවක් වන බව මුමුණා කියයි. අඳුරු සළුවක් වන් ඝණ අහස් තලාවෙහි තරුවක කැල්මක් දිස්වන්නේ ඉඳහිට ය. ආකාස වියනෙහි කෙළවරකට වන්නට ය. අහස් මධ්‍යයෙහි මේ මොහොතේත් අනන්ත පරිමාවක් තරු එළි දිළෙනු ඇත. නමුත් සඳ එළිය ඊට වඩා තීව්‍ර නිසාවෙන් තරු කැල්මට ඉඩක් නැත.

සමනල් දිවයුරු රණසිංහ ගේ පිරිමි පපුව මැද්දෙහි ද සඳ කිනිත්තක් පායා එල්ලී ගෙන තිබේ. අනවරත තුනී සිනහවක් ඔහු ගේ දෙතොල් මත ඇඳී ගොසිනි. හැන්දෑ වරුවේ වූ සිදුවීම් සියල්ල ජයග්‍රාහී ඒවා ය. ඔහු කොට්ටාවේදී මත්තෙගොඩ බසයෙන් බැස ගත්තේ මෝටර් රථය කොට්ටාවේ මිතුරෙකු ගේ ගෙදර දමා බිග්මැච් ට්‍රක් රියෙහි නැගුණ බැවිනි. තඹරු පියුම්රා දිවාකර රැගත් බසය මත්තෙගොඩට අවතීර්ණ වීමට ද ප්‍රථම ඔහු සල්ගස් හන්දියේ බලා සිටියේ ය. බස් එකෙන් බැසගෙන පාර මාරුවන තඹරුට ඔහු ගේ රිය ගැන අවධානයක් වූයේ නැත. කුරියර් සේවය ඔස්සේ යැවූ තෑගි පෙට්ටිය විවර කළාට පස්සේ ඇගෙන් දුරකතන ඇමතුමක් එන බව ඉඳුරා දැන ඔහු එය බලාපොරොත්තුවෙන් ද සිටියේ ය.

ප්‍රේමය විමසූ, නමුත් සුබ පණිවිඩයක් නො දුන් කෙල්ලක ගේ ගෙදොරකඩ ප්‍රේමයේ හිඟමන් යදිමින් බලා සිටීම ද තුරුණු වියෙහි දී හීනමානයක් දනවන්නේ නැත. අරමුණ කෙරෙහි කෙසේ හෝ ප්‍රවේශ වීම පමණක් සමනල් ගේ ඒකායන අරමුණ වේ.

ඔහු ගෑනු ළමයින් ඇසුරු කොට නැති කොල්ලෙකු නොවේ. උසස් පෙළ කරන කාලේ පටන් දැරියන් කිහිප දෙනෙකු සමග ම පෙම් සබඳතා ඇති කරගෙන තිබේ. නමුත් ඒ සියල්ල ඉතා ස්වල්ප කාලයක් තුළ බිඳ වැටිණ. සමහර ගෑනු ළමයින් සමග දීර්ඝ කාලීන සබඳතාවයක් ගෙන යාමට ඕනෑ නැත කියා සිතුණේ ඔහුට ය. ඇතැම් ගෑනු ළමයින්ට ඔහු එපා විය. සිය පිරිමි හදවත ඊට වඩා ගැඹුරු වූ සම්බන්ධතාවයක් බලාපොරොත්තු වූ බව සමනල් ට දැනෙන්නේ දැන් ය. වයසින් වැඩෙත්දී ය. තමන් කවුද සහ තමන්ට උවමනා මොනවා දැයි ගැඹුරෙන් විශ්ලේෂණය කළ හැකි වයස එළඹි පසු ය.

ඔහු ගේ ජීවිතයේ විශාල පදාසයක් ස්ත්‍රියක ගේ ඇල්ම බැල්ම නැති පාළු හුදෙකලාවකින් වැසීගෙන තිබේ. ඒ හුදෙකලාව විස්ථාපනය කළ හැකි ගෑනු ආත්මයක් සොයමින් ඔහු සිය යොවුන් විය ගෙවා ඇති බව දැන් සමනල් ට වැටහේ. ඔහු ට ඕනෑ කර තිබෙන්නට ඇත්තේ මාතෘ ප්‍රේමියකි. අම්මා ගෙන් හිස් වූ ආත්මීය කණස්සල්ල පලවා හළ හැකි ගෑනු පුළුටකි. සහෝදරියක සේ, මිතුරියක සේ ඔහු පිළිගත හැකි පරිපූර්ණ ස්ත්‍රී භූමිකාවකි. ඒ සියල්ල අතරේ ආඩම්බරයෙන් පිරිමි පපුවක් සසල කළ හැකි පරිසමාප්ත අර්ථයෙන් ම ගැහැනියකි. අහම්බෙන් එක වරක් පමණක් දුටු කෙල්ලක පස්සේ මේ විදිහට හඹා යන්නට වන එක ම හේතුව කොලුකම නොවන බව දැන් ඔහු වටහා ගෙන හිඳී.

සඳැල්ලට දිව ආ තඹරු, ඔහු දැකීමෙන් වික්ශිප්ත වූ අයුරු සමනල් හොඳින් ම දුටුවේ ය. ඇය අතින් මුව වසා ගත්තේ ඒ මොහොත දරා ගත නො හැකිවයි. ඔහු ඇගේ ගැහැනු හදවත මත පටවමින් සිටි ප්‍රේමයේ බර පිළිබඳ දෙගිඩියාවෙන් යුතුවයි. ඇගේ ඇස් වලින් විසි වූ ඇගේ පාලනයෙන් තොර යමක්, ආදරය ගැන අත්විඳ නැති ගැඹුරක් ගැන ප්‍රහර්ෂයක්, ඇහිඳ ගන්නට සමනල් සමත් විය. ඔහු කේක් ඇන්ඩ් කොෆී වෙත පිය නගන්නට තරම් නිර්භීත වූයේ ඉනික්බිති ය.

“මොනාද පුතා බැලුවෙ…”

කේක් ද කෙටි ආහාර වර්ග ද සහිත ශෝකේස් පසු කරමින් දිවූ සමනල් ගේ නෙතු ශීතකරණය ළඟ නතර වෙත්දී රන්මුතු මාතෘ ස්වරයකින් පිළිවිසියා ය. ඒ පුතා යන ඇමතුම ඔහු ගේ හදවතේ ගැඹුරකට කිඳා බසිනු සමනල් ට දැනිණ.

“මොනාහරි කන්න ඕන වගේ ආන්ටි…ඒත් මොනාද කන්නෙ කියල හිතා ගන්න බෑ”

“එහෙනං ඉතිං ඇත්තටම බඩගින්නක් නැතුව ඇති. ඒක බඩට නෙවෙයි හිතට දැනෙන බඩගින්නක් වෙන්න ඇති”

ඇය මඳහසකින් ඔහු ගේ මූණ බලාගෙන මිමිණුවා ය. ඒ තරම් නිවැරදිව ඔහු ගේ මූණ බලාගෙන ඇය එසේ කීවේ කෙසේ ද? සැබවින් ඔහු  මිතුරන් සමගින් කුස පිරෙන්නට කෑම කා වැඩි වෙලාවක් ගෙවී තිබුණේ නැත.

“මේ ක්ලයිමේට් එකත් එක්ක එහෙම තමයි. බඩ සීතල වෙන දෙයක් ගන්න”

ඔහු ගේ ඇස් ශීතකරණයෙහි වීදුරු බෝල් එකක දමා තිබූ පළතුරු සලාදයක් වෙත යොමු වූයේ ය. එය ඇස් පිනවන රස පාටක් මැව්වේ ය.

“ෆෘට් සැලඩ් එකනං මං හදපු එකක් පුතා. හොඳ පළතුරු දාල ගෙදර කන්න වගේ මං හදන්නෙ. ඔයා කැමතීනං බය නැතුව කන්න. ඒක අලුත් ෆෘට් සැලඩ් එකක්”

සමනල් එකඟතාවයෙන් හිස සැළුවේ ය. රන්මුතු පළතුරු සලාදය වීදුරු බඳුනකට දමා අයිස්ක්‍රීම් එක් කළේ තමන්ගේ ම පුතුට පිරිනමනවා වන් ආදරයකිනි.

“මට පුතාව දැකල පුරුදුයි වගේ…ඒත් හරියට මතක් වෙන්නෑ. මත්තෙගොඩද ගෙවල්…”

“නෑ ආන්ටි.  බිග් මැච් පැරේඩ් ඉවර වෙලා යන ගමන් අපි මේ කැෆේ එකට ඇවිත් තියනව”

“ආ …ඒක තමයි. මට දැං මතක් වුණා”

“කොහොමත් මං මේ ළඟට එනව නිතරම…ජිම් එකට…”

ඔහු කීවේ අර්ධ සත්‍යයකි. මිතුරෙකු ගේ ජිම් එකක් වන බව ඇත්තකි. නමුත් ඔහු ඊට ඇවිත් තිබුණේ නැත. දැන් එහි එන්නට හේතුවක් ඇති වී තිබේ.

රන්මුතු කීවේ ඇත්තකි. වැනිලා අයිස්ක්‍රීම් මුසු කළ පළතුරු සලාදය නිසා කුස සිසිල් වන්නට වූයේ ය. ඇයත් එක්ක ඒ තරම් සුහද ලෙස කතා බහ කරන්නට හැකි වීම ඊටත් වඩා සෞම්‍ය හැඟීමක් දනවන ලදී. මහා මාතෘ ගුණයක් රන්මුතු ගේ ඇවතුම් පැවතුම් වල වේ. එය වූ කලී කූට ව්‍යාපාරික උපක්‍රමයක් නොවන බව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ද ලබා සිටින සමනල් ට මැනවින් වැටහේ. ඇගේ සුදු පිරුණු මුහුණ ද, දුඹුරු පාටින් වර්ණ ගැන්වූ උරහිස ළඟට තරම් වන කොණ්ඩය ද, නිරන්තර දෙතොලෙහි පොපියන මන්දස්මිතය ද තඹරුට ප්‍රතිවිරුද්ධ පෙනුමෙන් යුතු ලක්ෂණ වේ. නමුත් තඹරු ගේ උරස් කුහරයෙහි පණ ගැහෙනා හදවත, රන්මුතු ගේ ම හදවතෙහි කොටසක් බව නිසැක ය.

ඒ මෘදු කතා බහ අතරේදී ය තඹරු පියගැට පෙළ බැස ආවේ. ඔහු දුටු ඇගේ ඇස් තරමක් විශ්මයෙන් විසල් විය. නමුත් මේ දඩබ්බර කොල්ලා මෙහෙම දෙයක් කිරීම ගැන විශ්මිත විය යුතු නැතැයි එකෙනෙහි ඇයට සිහි විණි. ආපසු හැරී ගියොත් අම්මා සැක කරන බව සහතික නිසාවෙන් තඹරු එසේ නොකොට කැෂියර් අසුනෙහි හිඳ ගත්තා ය. සමනල් හැසිරුණේ මීට පෙර ඇය දැක හෝ නැතිවා මෙනි. මඳ වෙලාවකට පස්සේ තඹරු මුළුතැන්ගෙට ගියා ය. අවන් එකෙහි කේක් එකක් බේක් වන සුවඳ ආවේ ය. අම්මා ගේ කේක් සුවඳ මෙන් ම රසවත් බව ඇය දනී. විකුණන්නට හැදුවත් රන්මුතු සිය ප්‍රමිතිය ගිලිහී යන සේ කේක් නොතනයි. මත්තෙගොඩ ද අවට ගම් වල ද ඇගේ කේක් ගැන පැතිර ඇති කීර්ති නාමයට පළුද්දක් ඇති වන යමක්, සුළු ලාභයක් වෙනුවෙන් නොකරයි. තඹරු යළි කේක් ඇන්ඩ් කොෆී වෙතට එන විට සමනල් නික්ම ගොස් තිබිණ.

බැල්කනියේ බිම හිඳ ගෙන, හිස බිත්තියට හේත්තු කොට ගෙන තඹරු පියුම්රා දිවාකර සඳ දෙස බලා සිටියා ය. මත්තෙගොඩට මත්තෙන් තඹ පාට සඳපාන වැතිරීගෙන තිබේ. මේ තරම් සෞම්‍ය ලෙස සඳ පායා ඇති රැයකත් හිත මේ තරමට නො සන්සුන් මන්දැයි ඇයට සිතා ගත නො හැකි ය.

“බබූ මෙතනද…මං බැලුව කෝ කියල”

කියමින් රන්මුතු එහි විත් දියණිය ළඟින් බිම හිඳ ගත්තා ය. ගේ ඇතුළේ දාහය දැනුණා ට එළිමහන සිහිලැල් ය. ඇය සඳ එළිය තැවරී ඇති තඹරු ගේ වත දෙස බැලුවා ය.

“පිරිමි ළමයෙක් හිතට කරදර කරන්න පටං අරංද…”

අම්මා ගේ ඒ ප්‍රශ්නයෙන් තිගැස්සී හිස හරවා තඹරු ඇස් ලොකු කරගත්තා ය.

“නැහ්”

“මං එහෙම ඇහුවෙ…අර ගිෆ්ට් පැක් එක නිසා”

“හිතට කරදර කරන්න  කොල්ලෙක්ට ඉඩ දෙන අදහසක් මට නෑ අම්මි. මට ඕනෙ සැනසීමෙං ජීවත් වෙන්න. ඕගොල්ලොවත් බලාගෙන…”

“එහෙම කියන්න එපා”

රන්මුතු ඒ වචන තුන පටන් ගත්තේ ද නිමා කළේ ද සුසුමක තවරමිනි.

“ඔයා ඉන්නෙ ආදරේ විඳින්න ඕන තරුණ වයසෙ. ආදරේ කියන්නෙ මගඇරගන්න ඕන දෙයක් නෙවේ. විඳගන්න ඕන දෙයක්”

“ආදරේ කියන්නෙ මොකද්ද අම්ම. මං ඒ වචනෙටත් වෛර කළේ මීට අවුරුදු ගාණකට කලින්. ආදරේ ගැන මට කිසිම පැහැදීමක් නෑ. විශ්වාසෙකුත් නෑ. ආදරේ කියන්නෙ ඇත්තක් වුණානං මගෙ අම්ම මෙහෙම දුක් විඳින්නෙ නෑනෙ”

තඹරු ගේ ඇස් වලට පිරීගෙන ආවේ ඇය බලාපොරොත්තු නොවූ කඳුළකි. ඇගේ ස්වරය වෙව්ලා ගියේ දුකකට වඩා තරහවකිනි.

“බ…බූ….මොනාද ඔයා මේ කියන්නෙ…කොහොමද ඔයා මේ හිතන් ඉන්නෙ…බබූ…ආදරේ කියල දෙයක් තියනව. ඒක ඔයාගෙ අම්මට හම්බුණෙ නෑ කියල එහෙම දෙයක් නෑ කියන්න බෑ”

“කොහොමද කියන්නෙ අම්මට හම්බුන්නෑ කියල…මට මතකයි අපි සතුටෙන් ආදරෙන් හිටිය අපේ චූටිකාලෙ. අම්ම රැජිනක් වගෙයි හිටියෙ. ඒත් එක ගෑනියෙක් අම්මිගෙ ඔටුන්න උදුරගත්ත. ඒකයි ඇත්ත”

“බබූ…ඒ කියන්නෙ ඒක මට අයිති ඔටුන්නක් නෙවෙයි කියන එක. අපේ ජීවිතේට ලං වෙච්ච මනුස්සයව සතුටෙන් තියන්න බැරි වෙනව කියන එක අපේ ප්‍රශ්නයක් බබූ…අපි එතනදි දුර්වල නිසයි අපිට වඩා ප්‍රබල කෙනෙක් ඒ හිස් තැනට එන්නෙ…මං හිතුවෙ එහෙම. මට හිත හදා ගන්න පහසු වුණෙත් එහෙම හිතපු නිසා”

“ඔයා පව් අම්මි”

රන්මුතු ගේ ගෙල බදා ගත් තඹරු ක්ෂණික ව හඬන්නට පටන් ගත්තා ය. ඒ වූ කලී මේ මොහොතට අයිති කඳුළක් නොවේ. අතීතයට අයිති කඳුළකි. අම්මා වෙනුවෙන් ඒ අතීතයේ දී හෙලන්නට තරම් අවබෝධයක් නොමැතිකම මත ඇස් කෙවෙනි අගිස්සේ හිර වී තිබූ කඳුළකි. හිතේ බර අඩු වන තුරු ම තඹරු හැඬුවා ය. රන්මුතු දියණිය ගේ හිස කේ අතරේ අතැඟිලි යවා සෙනෙහස තවරමින් ඇයට සිය හැඟීම් පිට කරන්නට හැරියා ය.

“මේ අහන්න බබූ. ඔයා තරුණ ගෑනු ළමයෙක්. අම්මට වෙච්ච දේවල් වලින් ඉගෙන ගත්ත පාඩං නිසා අද ඔයාට මෙහෙම කියල දෙන්න පුළුවන්. ආදරේ කරද්දි උතුරල යන්නම ආදරේ කරන්න බබූ. වෙන කාටවත් එන්න ඉඩ නැති වෙන්නම ආදරේ කරන්න. කවුරුහරි ඔයාට ආදරේ කරනව කියල දැනෙනවනං…ඒක ඔයාගෙ ජීවිතේ පුරාම ළඟ තියාගන්න ගැලපෙන විදිහෙ ආදරයක් කියල හිතෙනවනං…මදි නොකියන්න ආදරේ කරන්න. එහෙම වුණොත් එයාට වෙන කෙනෙකුගෙ ආදරේ දැනෙන්න විදිහක් නෑ. එහෙම නැතුව…ආදරේ සැක කරන එක…අවිශ්වාස කරන එක හරි වැරදියි පුතා. මට වෙච්ච වැරදි ඔයාට වෙන්න එපා. එහෙම කරගන්නත් එපා. තේරුණා නේද…ම්…”

“මට තාම ඒ ගැන හිතන්න ඕන්නෑ අම්ම”

“හරි. ඔයා අකමැත්තෙන් හිතන්න ඕන නෑ. ඒත් ඔයාට අයිති ආදරේනං ඔයාගෙ හිතට එයි අවසර නැතුවම. බලෙං හිතට තහංචි දාන්නැතුව ඔයා බලං ඉන්න. මං ආසයි ඔයා ඇත්තටම පිරිමියෙක්ගෙ ආදරේ විඳිනවනං”

එවර හැඬෙන්නට ආවේ රන්මුතු ට යි. උගුරෙහි හිරවීමක් දැනුණත් ඇය අසීරුවෙන් කඳුළු පාලනය කරගත්තා ය. මේ තරම් කාලයක් සියල් දුක් උහුලාගෙන ඇය මේ සියල්ල කළේ පැටවුන් දෙදෙනාට ඔවුන්ගේ ලෝක තනා දෙන්නට ය. ඇයට අහිමි වූ කිරුළ ඔවුන් සිය හිස් පළඳනවා දකින්නට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles