වීදුරු තලාවක් ඇතිරූ විසල් මේසය ඉදිරියෙහි, විධායක අසුන යන්තම් කරකවමින් ද එහි ඇන්ද මත වැළමිට තබා අතැඟිල් වලින් නිකට පිරිමදිමින් ද සමනල් දිවයුරු රණසිංහ බලා සිටියේ ය. ඇය වීදුරු දොරට අත තැබුවේ තැතිගත් සාවියක මෙනි. තඹරු පියුම්රා දිවාකර…ඇය ලා කහ පැහැති සාරියකින් සැරසී නුහුරට වාගේ ඉදිරියට එමින් සිටියා ය. ඔහු ගේ දෙතොල් මත්තෙහි ඇඳුණේ සිනහවකි. නමුත් අතැඟිලි වලින් මුව ආවරණය වී ඇති නිසා ඒ සිනහව පිටතට පෙනෙන්නේ නැත. සාරිය ඇයට නුහුරු මුත් සාරියට ඇය වඩාත් හැඩැති ය.
“ගුඩ් මෝනිං සර්…”
තඹරු ගේ වචන අතරේ ද මඳ ගැස්මක් තිබිණි. මේ ඇය සහභාගී යන අතිශයින් ප්‍රථම වෘත්තීය සම්මුඛ පරීක්ෂණයයි. නමුත් ඇය නො සන්සුන් බව පාලනය කර ගන්නට උත්සාහ කළා ය. ජීවිතයෙහි ඕනෑ ම අත්දැකීමක් මුලින් ම ලබා ගන්නට වන අවස්ථාවක් උදා වේ. ලොව සෑම මිනිසෙකුට ම එසේ ය.
“ගුඩ් මෝනිං…හෑව් අ සීට්”
“තෑන්ක් යූ”
තඹරු අසුන්ගත වූවා ය. අත් බෑගය අසුනෙහි පසෙකින් තබා ගෙන සහතික සහිත ලිපිගොනුව සීරුවට මේසය මතින් තැබුවා ය. ඊළඟට හුරුබුහුටි ලෙස සාරි පොට උකුල මතට ගත්තා ය. ඇය හිස කෙළින් කර ඔහු දෙස බැලූයේ ඉන්පසුයි. සිදු වූයේ අනපේක්ෂිත විදාරණයකි. අසුන වඩාත් මේසයට සමීප කරමින් හරි බරි ගැහෙනා සමනල් දිවයුරු රණසිංහ දුටු ඕ බෙහෙවින් ම කැළඹී ගියා ය. රන්මුතු තඹරු ට කීවේ ඔහු දන්නා තැන් වලට සීමාවාසික පුහුණුව සඳහා ඇය යොමු කළ හැකි බවක් සමනල් විසින් පවසන ලද බවයි. වඩාත් තහවුරු කරගනු වස් ඇය මේසය මත වූ රත්තරන් පැහැති අකුරෙන් ලියැවුණු පුවරුව දෙස බැලුවා ය. ‘සමනල් දිවයුරු රණසිංහ – සීඊඕ’ යනුවෙන්, ඉංග්‍රීසි අකුරෙන් එහි ලියැවී තිබිණ. අසුනත් සමග ම අගාධයක ගිලී යන්නා බඳු පාලනයෙන් තොර සංවේදනයක තඹරු ගිලෙමින් සිටියා ය. මෙය සැබෑවක් ද නැත්නම් මායාවක් ද? මෙහෙම සිදුවීම් සැබෑ ජීවිතය තුළ සිදු වන්නට පිළිවන් ද?
“අපේ කම්පනි එක එක්ස්පෑන්ඩ් කරල අලුතෙන් ටීවී චැනල් එකකුයි රේඩියෝ චැනල් එකකුයි ලෝන්ච් කරන්න යන්නෙ. මේ දවස්වල ටෙස්ටිංස්. ඉතිං අපිට වේකන්සීස් තියන නිසා…මං හිතුව ඔයාව අපේ කම්පනි එකට ජොයින් කරගන්න”
සමනල් ගේ වචන තඹරු ට ඇසුනේ සිහිනයකින් සේ ය. ඒ වගේ දැවැන්ත ආයතනයක ඔහු ප්‍රධාන විධායක නිලධාරියෙකු යයි ඇය හීනයෙන් හෝ සිතා තිබුණේ නැත. ආදි ශිෂ්‍යයන් සමග නුගේගොඩ හන්දියේදී බිග් මැච් ට්‍රක් රථයෙහි විනෝද වූ, පන් තොප්පියක් ඔවුන් වෙත පාමින් මාරු කාසි වලින් ආධාර එකතු කළ සැහැල්ලු තරුණයා, මත්තේගොඩ බසය හඹා විත් කේක් ඇන්ඩ් කොෆී හි පිස්සු නැටූ තරු ඇස් ඇත්තා, ප්‍රතික්ෂේප කරත්දීත් ඇය හඹා ආ හිතුවක්කාරයා, රීඩ් මාවතේ සිට ම බස් එකේ තෙරපීගෙන ඇයත් එක්ක කොට්ටාවට ම ආ මුරණ්ඩු කොල්ලා ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු කියා සිතන්නේ කොහොමද?
“ඔයා කරල තියන සබ්ජෙක්ට්ස් එක්ක… අපේ කම්පනි එකේ ඇසිස්ටන්ට් කෝඩිනේශන් මැනේජර් කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් ගන්න ඔයා කැමතිනං… මට පුළුවන් ඒ වේකන්සි එකට ඔයාව රිකෘඊට් කරන්න. මීඩියා වලට සම්බන්ධ කම්පනි එකක් නිසා…මේක අපිට තියන ඉම්පෝටන්ට් පොසිශන් එකක්. හැම එම්ප්ලෝයී කෙනෙක් එක්කම ඩිරෙක්ට් කමියුනිකේට් කරල ජොබ් ප්ලෑන්ස් සක්සස් කරගන්න සියුම් වෙන්න ඕනෙ. අපේ කෝඩිනේටින් මැනේජර් කෙනෙක් ඉන්නව. එයත් එක්ක වැඩ කරනකොට ඔයාට පැහැදිලි වෙයි. හව්එවර්…කම්පනි එකේ ඉවෙන්ට්ස් ගැන මට රෙස්පොන්සිබල් වෙන්න ඕනෙ කෝඩිනේශන් මැනේජර්ස්ල. අන්ඩර්ස්ටූඩ්…”
“යස්..සර්…”
“බය වෙලාද ඉන්නෙ…”
සමනල් මේසය වෙතට නැඹුරු වී තඹරු ගේ මුහුණට එබෙමින් සිනහවක් නැගුවේ ය. නමුත් සිනහ වෙන්නේ කොහොමද කියා සිහිපත් කරගන්නට හෝ හැකි තත්වයක නොවේ ඇය සිටියේ.
“ටෙන්ශන් වෙන්න ඕන නෑ. මේක හරිම රිලැක්ස් එකේ කරන්න ඕන ජොබ් එකක්. ඉගෙන ගත්ත දේවල් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්නනෙ තියෙන්නෙ”
තඹරු ගේ ඇස් නෙළුම් පෙති සේ පහළට හැරී තිබිණ. ඇය කම්පනයට පත් ව සිටියේ රැකියාව හෝ තනතුර ගැන නොව ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඔහු වීම ගැන යයි සමනල් ට කොහොම කියන්න ද?
“ඉන්ටර්න්ශිප් එක වුණත් තඹරු ට රීසනබල් සැලරි එකක් ලැබෙයි. ඉන්ටර්න්ශිප් එකෙන් පස්සෙ…සැලරි ඉන්ක්‍රිමන්ට්ස් වලට යන්න පුළුවන්…ඒ ගැන සැකයක් තියාගන්න එපා”
ඇය යන්තම් හිස සැළුවේ මේ රැකියාවට එනවාද නැත්ද කියන එක ගැන හෝ හරි අදහසක් නැතිව ය.
“එහෙමනං හෙට උදේට ඔයාව දකින්න මං බලාපොරොත්තු වෙනව”
අත් බෑගය ගනිමින් ඇය හෙමිහිට අසුනින් නැගී සිටියා ය.
“තඹරු”
ඒ ඇමතුම ලැබෙනා විට ඇය පියවර දෙක තුනක් දොර වෙතට තබා අවසන් ය. නමුත් ඕ එහෙම ම නතර වී හැරී බැලුවා ය. කියන්නට ඇති දෙයක් එහෙම එතැන සිට ම කිව හැකි වී ද සමනල් අසුනෙන් නැගිට ඇය වෙතට ආවේ ය.
“දැන් ඔයා යන්නෙ කොහොමද…”
ඒ ඇස් වල ආධිපත්‍යයට යටත්ව ඇය මඳ තත්පර වීමක සිටියා ය. ඒ ඔහු ම ය. මත්තෙගොඩ බසයේ දී අම්මා ගැන දුක කියමින් ඇගේ මූණට එබුණ ඇස් දෙක ම ය.
“මල්ලි එක්ක ආවෙ. මල්ලි ඉන්නව එළියෙ”
සමනල් ගේ තොල් කොනක සිනහවක් ඇදිණ.
‘අක්කගෙම මල්ලි’
ඔහු ගේ හිත කීවේ ය. තඹරු ආයේ ම යන්නට හැරුණා ය. වායු ගෝලය පවා ඇය නො දන්නා සංඛ්‍යාතයකින් කම්පනය වන බවක් ඇයට දැනේ.
“තඹරු”
නැවතත් ඇය ඒ හඬින් හැරුණා ය. සමනල් තවත් අඩියක් පෙර ට තැබුවේ ය.
“සාරියට ඔයා ගොඩක් ලස්සනයි”
ලා සිනහ රැල්ලක් ඇගේ මූණ මතින් හමා ගියේ ය. ඔහු ඇයට මත්තෙන් අත දමා වීදුරු දොර හැර දුන්නේ ය.
“තෑන්ක් යූ”
ඇසෙන නො ඇසෙන ගානට මිමිණු ඕ කොරිඩෝරය දිග කඩිසර ලෙස පිය තැබුවා ය. හිස ඇතුළේ පැටලිලි ජාලයකි. සෙල්ලක්කාර කොල්ලෙකු ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු මත සමපාත කර ගන්නා එක පහසු නැත. ඔහු කොයි තරම් පහසුවෙන් ඒ භූමිකා දෙක ම රඟදක්වන්නේ ද? ඩෙනිම් කලිසමකට මත්තෙන් ටී ශර්ට් එකක් දමා ගෙන ඇගේ පස්සෙන් ආ කොල්ලාට වඩා, අළු පාට දිග කලිසමට සුදු අත් දිග කමිසය යට කොට, කොණ්ඩය පිළිවෙලට සකසා විධායක පෙනුමකින් සිටි ඔහු කෙතරම් නම් කඩවසම් ද? ඒ වෙලාවේ ඔහු ගේ දඩබ්බරකම් වල සලකුණක් හෝ පේන්නට තිබුණේ නැත. ඒ වෙනුවට එතැන සිටියේ පරිසමාප්ත අර්ථයෙන් ම තරුණ විධායක නිලධාරියෙකි.
“මොකද වුණේ…”
ත්‍රිරෝද රියට ගොඩ වෙත්දී ම සඳැස් විමසී ය.
“හෙට ඉඳල එන්න කිව්ව”
එපමණකි. වෙනදාට නම් මෙවැනි වෙලාවක තඹරු ගේ මුව මැෂිමක් සේ වැඩ කරයි. නමුත් අද ඇයට වචන අමතක ය. උගුර කට වියළී තිබුණෙන් ඇය වතුර බෝතලය මුව තබාගෙන ඉන් උගුරු කීපයක් බීවා ය.
“සාරියට ඔයා ගොඩක් ලස්සනයි”
සමනල් ගේ වචන ඇගේ සිතෙහි කැරකෙයි. සාරිය ඇන්දේ රන්මුතු ගේ උවමනාවට ය. තඹරු හැදුවේ ම කෝට් කිට් එකක් අඳින්නටයි.
“ඉන්ටර්වීව් එක නිසා සාරියක් අඳිමු. ඔයාට සාරිය ලස්සනයි”
සාරිය ඇන්දවූයේ රන්මුතු ය. තඹරු බීබී ක්‍රීම් ටිකක් ගල්වා තැඹිලි හා මෙරුන් පාට මිශ්‍ර කරමින් තොල් ආලේපන ස්වල්පයක් ගැල්වූවා ය. දැනෙන නො දැනෙන ගානට අයි ශැඩෝ බිඳක් ද බ්ලශර් ස්වල්පයක් ද ගැල්වූවා ය. කැඩපතින් දුටු තමන් ගැන මහත් විශ්වාසයක් ඇයට දැනිණ. පවුලක වගකීම ඇගේ හිස මත පැටවී තිබේ. මේ සම්මුඛ පරීක්ෂණය, සීමාවාසික පුහුණුව වෙනුවෙන් යන එක ම සම්මුඛ පරීක්ෂණය විය යුතු යයි ඇය සිතින් සිතුවා ය.
තඹරු සිය කුටියෙන් නික්ම ගිය පසු සමනල් යළි අසුනට වැටුණේ මඳහසිනි. ඇය සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙනුයේ තමන් වෙතට යයි ඔහු රන්මුුතු ට හෝ නොකීවේ හිතා මතා ය. ඔහු කාගේ කවුද ඔහු ගේ පියාට අයත් ආයතන මොනවාද කියා බාහිර සමාජයෙහි මැත දොඩනා පුරුද්දක් කොහොමටත් සමනල් ට නැත. පියා ගේ ආයතන සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බව දැන සිටියා නම් තඹරු කිසි සේත් එහි නො පැමිණෙන්නට පවා ඉඩ තිබිණ. ඒ ගැන සමනල් තුල පොඩි බියක් විය. දැන් වුව ඇය සිතන්නේ ඔහු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසට මිස මේ ආයතන ඔහු ගේ පියාගේ බූදලයක් ලෙසට නොවේ.
“එයා දන්න තැනක් නෙවෙයි…එතන සීඊඕ එයා. එක පාරටම දැක්කහම මගෙ කකුල් දෙකත් වෙව්ලුව”
තඹරු කේක් ඇන්ඩ් කොෆී වෙත ගොඩ වූයේ එසේ කියමිනි. රන්මුතු මුව විවර කොට ගෙන බලා සිටියා ය.
“අර මෙතන ඉඳං නෙස්කැෆේ බිබී හිටිය පොලොස්කොට්ටෝරුව නේද ඔය කියන්නෙ…”
ඒ කඩඉම් ප්‍රශ්නය සඳැස් ගෙනි. ඔහු ට එකඟ වෙමින් රන්මුතු යන්තම් හිස සැළුවා ය.
“පොලොස්කොට්ටෝරුව…එතකොට මූ මොකාද අම්මෙ..”
“සීඊඕලත් එනව නේ එතකොට… චෙෆ් රන්මුතුගෙ කේක් කන්න…”
“අනේ මේ පොඩි එකෝ…තරමට ඉන්නවද…තරමට…එයා මේ බෑන්ඩ් චූන් ගහනව නැව ගිලෙද්දි…”
“ඉතිං ඉතිං මොකද වුණේ බබූ…”
“හෙට ඉඳං එන්න කිව්ව. මං හිටියෙ හොල්මන් වෙලා වගේ අනේ…ඒගොල්ලො අලුත් ටීවී චැනල් එකකුයි රේඩියෝ චැනල් එකකුයි ලෝන්ච් කරනවලු ළඟදිම. ඇසිස්ටන්ට් කෝඩිනේටින් මැනේජර් විදිහට තමයි මට වැඩ කරන්න වෙනව කිව්වෙ. මං හිතන්නෙ එතන තියෙන්නෙ හෙඩ් ඔෆිස් එක. මේ යකා කිව්වෙ නෑනෙ නිකංවත්…සීඊඕ එයා කියල”
“කොච්චර නිහතමානී ළමයෙක්ද ඉතිං…”
අම්මා දෙස ඇස් රවුම් කොට බැලූ තඹරු සාරියේ ඉස්සරහා රැලි ටික අතින් ඔසවා ගෙන පිය ගැට පෙළ නැග ගියා ය. පසු ගිය දින කිහිපය පුරා සමනල් වද දීගෙන පස්සෙන් ආවේ නැති වීමත් මෙයත් අතරේ සම්බන්ධයක් ඇත්දැයි සිතන්නට ඇය උත්සාහ කළා ය. නමුත් කිසිවක් නිවැරදි ව පෙරපර ගලපා ගන්නට හැකි වූයේ නැත. ඒ තරමට ඇගේ සිතිවිලි පටලැවී තිබිණ.
විධායක අසුනේ මැනවින් හරි බරි ගැසී සමනල් ජංගම දුරකතනයේ අකුරු පුවරුව මත වේගයෙන් අතැඟිලි දිවෙව්වේ ය.
“ගෙදර ගියාද…”
පණිවිඩය හඬක් නගා ඉඟි කරන විට තඹරු සිටියේ සාරිය අඩ වශයෙන් ගලවා ගෙන ය. ඇය එහෙම ම පණිවිඩය විවර කළා ය. නමුත් පිළිතුර කෙසේ ගලපා ගන්නදැයි සිතා ගත හැකි වූයේ නැත. නිල් පාටින් හරි සලකුණු දිස් වෙත්දී ඔහු ඇමතුමක් ගත්තේ ය. ‘මන්කි’ යනුවෙන් තිරය ආලෝකමත් විය. තඹරු අසීරුවෙන් කෙළ බිඳක් ගිල ගත්තා ය.