ඒ ඇමතුමට පිළිතුරු දෙන්නට තරම් හිතේ හයියක් තඹරු ට නැත. ඇය දුරකතනය අතේ තබා ගෙන එය හැඬවෙන දෙස ඔහේ බලා සිටියා ය. ඔහු එවූ පණිවුඩය ඈ දුටු බව ඔහු ට දර්ශනය වන්නේයි සිහි වූයේ මඳ පමාවකිනි. කලබල වූ ඕ වහා ම දුරකතනය සවනට ගත්තා ය. සාරි පොට බිම අතෑරිණි.
“හෙ…ලොහ්..”
“මොකද කරන්නෙ…හෙට ඉඳල ජොබ් එකට යනවද නැද්ද කියල හිතනවද…”
තඹරු ගේ මුහුණ මත සිනහවක් ඇඳිණි. හරියට දුරකතනය ඔස්සේ ඒ සිනහව සමනල් ට පෙනෙනවා මෙනි. ඔහු ට අනුන්ගේ හිත් වල තියන දේ කියනා පරචිත්ත විජානන ඥාණය ඇත්ද කියාත් ඇයට සිතිණ.
“ආ තඹරු…එනවද නැද්ද කියල තාම හිතුවෙ නැද්ද…”
ඇගේ පමා වීම මත ඔහු ම යළි ප්‍රශ්න කළේ ය.
“හිතල බලන්න ඕනෙ”
ඒ පිළිතුර සිනහවක් තැවරුණ එකකි.
“ආවෙ නැත්තං ඔහෙට ඇවිත් මං බලෙං අරං එන්නෙ”
ඔහු එහෙම දෙයක් වුව කරන්නට බැරි නැති කෙනෙකු බව දැනට ම ඔප්පු කොට කිබේ.
“හරි හරි. මං ඔයාව මීට කලිං දැනං හිටියෙ නෑ වගේ ඉන්නංකො. ඔයා මේ ඔෆර් එක මිස් කරගන්න එපා”
තඹරු දුරකතනය වඩාත් සවනට තද කොට ගත්තා ය. කම්මුල් පුපුරු ගසන්නට එනවා මෙනි.
“එහෙනං…හෙට හම්බවෙමු”
ඒත් ඇය කිසිත් කීවේ නැත. දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ සමනල් ය.
තඹරු ගේ හා සඳැස් ගේ ළමා විය සැපතින් සපිරුණු එකකි. ඒ සියල්ල වෙනස් වන්නේ දිවාකර ගේ රිය අනතුරත් සමග ය. ඔහු විශාල කාලයක් ජීවිතයත් මරණයත් අතර තරඟයක් කරමින් රෝහල් යහනක් මත වැටී සිටියි. ඔහු ගේ පුවත්පත් ව්‍යාපාරය බලා සිටියදී කඩා වැටෙන්නට ගනී. වෙළෙඳ පොළට නිකුත් කරනා පුවත්පත් මිටි පිටින් නැවත ආයතනය වෙත පැමිණෙන්නට ගනී. ව්‍යාපාරය හා දිවාකර යන දෙපැත්ත ම වෙනුවෙන් කැප වෙන්නට හැකියාවක් රන්මුතු ට වන්නේ නැත. ඇය ඒ ව්‍යාපාරය ගැන ලොකු අවබෝධයක් ඇතිව ද නො සිටියා ය. කෙසේ වෙතත් සිය කාලය උපරිමයෙන් දිවාකර වෙනුවෙන් කැප කොට ඔහු ගේ ජීවිතය බේරා ගැනීම ඇය සිය ඒකායන අරමුණ බවට පත් කර ගනී. ආයතනයේ කාර්ය මණ්ඩලය වල්වැදුණු ස්වභාවයක් ගන්නේ මේ අතරේ ය. ආයතනය කඩා වැටෙන්නට යන බව දැනෙත්දී, ගිලෙන නැව් වලින් මීයන් ද පැන ගන්නා සේ සේවකයෝ වෙන වෙන අත් බලාගනිති. ඒ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය නිසා රන්මුතු ට ඔවුන් රඳවා ගැනීමේ හැකියාවක් වන්නේ නැත. පුවත්පත් අලෙවිය පත්ලටම කඩා වැටෙනා නිසා සේවක වැටුප් ගෙවා ගැනීම දුෂ්කර වේ. ටික කලක් ඒ ආකාරයෙන් පැවතී ද බැංකු ණය මාස ගණනක් තිස්සේ ගෙවා ගත නො හැකි වීම මත ගොඩනැගිල්ල හා මුද්‍රණ යන්ත්‍ර බැංකුවට සින්න වීමේ අවාසනාව විඳ දරා ගන්නට ඔවුන්ට සිදු විණි. මුද්‍රණ හා ප්‍රකාශන ක්ෂේත්‍රයේ සූර්යයෙකු සේ නැගී ආ දිවාකර ගේ ව්‍යාපාරය පොළොවට ම සමතලා වී අතීතයට අයිති වී යන්නේ එසේ ය. පෞද්ගලික ගිනුම් වල ඉතිරි වූ යම් මුදලක් වේ ද ඒවා දිවාකර ගේ ප්‍රතිකාර වෙනුවෙන් ම දිය වී යයි. ජීවිතය මොන තරම් දුෂ්කර ද යන්න සැබෑ ලෙස අත්විඳින්නට රන්මුතු ට සිදු වන්නේ ඉනික්බිති ය. දරුවන් දෙදෙනාගේ කුස් පුරවන්නට හෝ මගක් සිතා ගත නො හැකිව කඳුළු සලමින් ටික කලක් උමතුවෙන් මෙන් සිටි ඕ ගේ ඉදිරියේ කුඩාවට කැෆේ එකක් දමා ගන්නේ ඉන් පසු ය. සැබවින් එය තේ කඩයකි. ඇගේ අතින් සැකසුණු කේක් හා කැවිලි වර්ග ද තේ, කෝපි හා පළතුරු යුෂ ද අලෙවි කරමින් එදා වේල සොයා ගැනීම ඇගේ මූලික ම බලාපොරොත්තුව විය. ගැහැනියක ගේ ආත්ම විශ්වාසය පරාජය කළ හැකි බලවේගයක් මෙලොව නොවන්නේ ය. වඩයක්, පෑන් කේක් එකක්, ලැවරියා එකක් හෝ ස්පන්චියක් කා තේ එකක් බී යන්නට එතැනට එන වැඩ කරන ප්‍රජාවක් මත්තෙගොඩ නගරයෙහි වේ. විශේෂයෙන් ම බස් රථ වල සේවය කරනා රියදුරුවරු හා කොන්දොස්තරවරු, මඳක් දුර ඇවිද හෝ රන්මුතු ගේ කඩයට ආවේ ඇගේ කෑමක වූ කටට රස ගතිය නිසා ය. එසේ ම සාධාරණ මිල නිසා ය. ඉන්පසු එක්තරා බේකරියක් ඔවුන් ගේ බේකරි නිශ්පාදන අලෙවියෙන් පසු මුදල් ගෙවන පදනම මත රන්මුතු ගේ තේ කඩයට දමන්නට පටන් ගති. එයින් ඇයට සැලකිය යුතු ලාභයක් ලැබිණි. කේක් ඇන්ඩ් කොෆී ලෙස කැෆේ එක නවීකරණය වී පුළුල් වූයේ තඹරු හා සඳැස් ටික ටික වයසින් වැඩෙත්දී ය. කේක් ඇන්ඩ් කොෆී අදහස සේ ම නම ද තඹරු ගේ ය. ඔවුන් තිදෙනා හැකි උපරිමයෙන් සිය ශ්‍රම දායකත්වය සපයා එය මේ තත්වයට ගෙනැවිත් තිබේ.
නමුත් අම්මා ඒ ගමනේ දී විඳ ගත්තා වූ සිත් වේදනා හා පිරිපත සුළුවෙන් තැකිය නො හැකි බව තඹරු දනී. රන්මුතු ට දැන් වෙහෙස බව ද ඇය දනී. ඒ වෙහෙස නො දැනුණා සේ ඇය තවමත් එක සීරුවට වැඩ කිරීමේ රහස ගැහැනු හිතක හයියයි. අම්මාට විවේක සුවයෙන් යුතුව ව්‍යාපාරය බලා ගන්නට සලස්වා එහි සේවයට කෙනෙකු දෙදෙනෙකු ගන්නට ඇත්නම් කියා තඹරු සිතන්නේ ටික කාලයක සිටයි.
“කොහෙද මේකෙං පඩි ගෙවන්නෙ…මං තනියෙන් කරලත් අපේ ගෙදර දේවල් ටික කරල බිල් ටික ගෙවාගන්නෙ කොච්චර අමාරුවෙන්ද බබූ…”
ඇය ඒ ගැන පැවසූ විටෙක රන්මුතු මඳහසින් කීවා ය.
දැන් ඉතින් වගකීම් සිය හිස මතට ගැනීමට කාලය උදා වී තිබේ. සමනල් ට ආඩම්බර පෙන්වනු වස් ඒ රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නට තරම් උද්දච්ච විය නො හැකි බව තඹරු දනී. රැකියාවක් සොයා ගන්නවා කියන්නේ පහසු වූවක් නොවේ. පුහුණු වීමේ සේවා කාලය වෙනුවෙන් තැනක් හොයා ගන්නට මහ පෝලිමක් විශ්ව විද්‍යාලයෙන් පිට වෙමින් සිටී. ඉතින් මේ බන්දේසියක තබා ඇය වෙත ඉදිරිපත් කළ දිව්‍යමය අවස්ථාවකි.
සමනල් දිවයුරු රණසිංහ පසු දා උදයෙන් ම ආයතනය වෙත ගියේ ය. පසු ගිය කාලය තුළ ඔහුගේ සේවය විධිමත් නොවිණි. ඔහු එහි ගියේ අක්‍රමවත්ව ය. බිග් මැච් නිසාවෙන් දිගින් දිගට ම නිවාඩු ගන්නට සිදු විය. ඊළඟට තඹරු හඹා යාම නිසා වෙලාවට කාර්යාලයට පැමිණිය නො හැකි විය. ඔහු ජිම් එකට යන්නට යොදා ගත්තේත් මත්තෙගොඩ පැත්තේ කැරකෙන්නට හේතුවක් තිබිය යුතු වූ නිසාවෙනි. නමුත් දැන් ආයතනයට ප්‍රමුඛතාව දෙන්නට හේතුවක් නිර්මාණය වී තිබේ.
“යාළුවෙක් දන්න ගෑනු ළමයෙක් එවනව කිව්ව. ඒ ළමයගෙ ඉන්ටර්න්ශිප් එකේ වැඩ කරන්න චාන්ස් එකක් දෙන්න පුළුවන්ද ඇහුව…”
තඹරු ගේ රැකියා අවශ්‍යතාව ගැන රන්මුතු ගෙන් දැනගත් පසු සමනල් සිය පියා ඩිලන් ඉදිරියේ එසේ කීවේ ය.
“ප්‍රශ්නයක් නෑ ඔයා බලල ගන්න..කොහොමටත් අපිට ඉස්සරහට තව වේකන්සීස් තියෙයි”
“ඔව් තාත්තෙ. ෆීල්ඩ් එකේ තෙම්පරාදු වෙච්ච කට්ට කෛරාටික මිනිස්සු දාගන්නවට වඩා හොඳයි උගත් අලුත් ළමයි ටිකක් ගන්න එක”
සමනල් පියා ඉදිරියේ පෞද්ගලික මට්ටමෙන් එහෙම කතා කළේ තඹරු හින්දාම ය. පුත්‍රයා ව්‍යාපාරයේ වගකීම් ගැන ඒ විදිහට සිතන බව දැනගැනීමත් ඩිලන් ට සතුටකි.
“ඒක හරි පුතා. හැබැයි පරණ මිනිස්සුන්ගෙ එක්ස්පීරියන්ස් අපිට අවතක්සේරු කරල හිතන්න බෑ. ඔයා කල්පනා කරල හොඳ විදිහක් කරන්නකො”
මොන තරම් ධනය ගොඩ ගැහුවත් ජීවිතය තුළ ආත්මීය අඩුවක් වන බව ඩිලන් ට දැනේ. සුරූපී බිරිඳක සිටියා කියා හෝ දිවයින පුරා අතු ඉති විහිදා පුළුල් වන ව්‍යාපාර ජාලයක හිමිකරු වූවා කියා සන්තෘප්ත කළ නො හැකි කුමක් හෝ කොනක් හදවතෙහි වන බව ඔහු දනී. නමුත් අතීතය කියනා වසා දැමූ පරණ ගොඩනැගිල්ලට එබී බලන්නට ඔහු ට ඕනෑ නැත. පුතා සමනල් ඔහුත් එක්ක සිනහ වී කතා කරනවා නම් ඩිලන් ට ඒ ප්‍රමාණවත් ය. පිය පුතු පරතරය කවදා කොතැනදී ඇති වූයේද කියා හෝ ඔහු දන්නේ නැත. සමනල් ගේ මව- උදාරි ගේ නික්ම යාමෙන් පසු ඔහු වඩ වඩාත් ඩිලන් ගෙන් දුරස් වෙමින් සිටියේ ය. ඔහු ට අවශ්‍ය දෙයක් හෝ කතා කොට තාත්තා ගෙන් ඉල්ලීමට තරම් සමනල් තුළ කැමැත්තක් නොවිණ. අම්මා සිටින කාලේදී සියලු සම්බන්ධතා පැවතියේ ඇය හරහා බව ඔවුන් දෙදෙනා ම අවබෝධ කර ගනිමින් සිටියේ ඇගේ නික්ම යාමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ඩිලන් ඇසුරේදී හෝ ගෙදරදී සමනල් වඩ වඩාත් නිහඬ ළමයෙකු වෙමින් සිටියේ ය. පිය පුතු සබඳතා වචනයකට දෙකකට සීමා විය. ප්‍රශ්නයකට පිළිතුරක් නම් ඔව් නෑ බෑ හා හ්ම් වකට එහා නො ගියේ ය. දෙවන බිරිඳ ගයාත්‍රි දරුවන් බිහි නොකළේ වී ද සමනල් ට සමීප වන්නට හෝ ඇය උත්සාහ නොකළා ය. එසේ සමීප වීමට අනුබලයක් ඔහුගෙන් පුංචි අම්මා ට ලැබුණේ ද නැත.
‘ගැලැක්සි සමූහ ව්‍යාපාරය’ ට අයත් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට ඇතුළු වෙත්දී තඹරු හිතින් වසර විසි ගණනක් අතීතයට විසි වූවා ය. ඇගේ ළමා වියෙහි දී දඟ කරමින් ද දුවගෙන ද පියා ගේ ‘දිවාකර පබ්ලිශර්ස්’ ගොඩනැගිල්ලට ඇතුළු වෙන පිය ගැට කිහිපය නැගෙනා රූපරාමුවක් අතීතයේ මතක ගබඩාවෙන් නැගී සිටියේ ය. දවසක් ඒ පියගැට පෙළෙහි දී ලිස්සා වැටී ඇගේ දණහිස තුවාල විය. මේ මොහොතේත් දණහිසින් නැඟුණු අතීත වේදනාව මත තඹරු ගේ සුරත දකුණු දණ මඬල වෙත ගොස් යන්තම් පිරිමැදිණි. නාඳුනන සංතාපයක් සන්තානය පාරනු නො දැක්කා සේ ඇය හෙමිහිට පෙර දා පිය නැගූ කොරිඩෝරය දිග ඇවිද ගියා ය.
වීදුරු කාමරයේ තිර ආවරණ විවර කොට සමනල් බලා සිටියේ ඒ දසුන නෙතු ගැටෙනා තුරාවට ය. අළු පැහැති කෙටි හිර සායකට සුදු සිල්ක් බ්ලවුසයක් යට කොට, අඟලක අඩියක් සහිත කෝට් ශූස් පළඳා, පිට මැදට දිග ලේයර් කැපූ වරල මුදාගෙන, අත් බෑගය වැළමිට සන්ධියෙහි එල්ලා ගෙන එන ඇගේ මුහුණ විශ්වාසයෙන් පිරී පැවතිණ. ආකර්ෂණීය මඳහසක් මුහුණේ ඇඳී තිබිණි.
“අර මිස්ට ඇතුළට එන්න කියන්න”
සිය මේසය මතින් වතුර බෝතලයක් තැබූ කාර්යාල සේවකයාට සමනල් විධානයක් දුන්නේ ය. ඔහු වීදුරු දොර විවර කොට ගෙන පිටත් විය. ඇය ඒ දොරෙන් ඇතුළට ආවා ය.
“ගුඩ් මෝනිං මිස්ට සමනල්”
කිසිදු සබකෝලයකින් තොර ලස්සන සිනහවකින් ඇය සුබ පැතුවා ය. ඒ ඇස් බැල්ම ඍජු ය. තියුණු ය. නිකැළැල් ය. සමනල් එක බැල්මකට ඇය ගොනු කරමින් සිටියේ ය.
“ගුඩ් මෝනිං තඹරු”
ඔහු අසුනින් නැගී සිටියේ ය. විධායක අසුන කැරකී ගියේ ය. ඇය ඉදිරියට ගොස් මේසයට පිට දී සිට ගත් සමනල් දෑත් පපුව මත බැඳ ගනිමින් නැවත ද ඇය විනිවිද බැලුවේ ය.
“මං තාම නිකංම සමනල් තඹරු”
පපුව ඇතුළෙහි සුළි සුළඟක් හට ගත් බවක් තඹරු ට දැනිණ. ඔහු දෙස බලා ඉන්න ද ඔහුගෙන් ඉවත බලන්න ද කියා තීරණය කර ගත නො හැකි ව ඇගේ ඇස් කැළඹෙමින් තිබිණ. එකෙනෙහි මේසය ළඟින් මෑත් වූ සමනල් යළිත් අසුන වෙත ගොස් හිඳ ගෙන මේසයට නැඹුරු වූයේ ය.
“ඉඳගන්න තඹරු. අපේ කෝඩිනේටින් මැනේජර් තාම ඇවිත් නෑ. එයා ආවහම මං ඔයාව එයාට බාරදෙන්නං”
“තෑන්ක් යූ”
ඇය හෙමිහිට අසුන්ගත වන ගමන් මිමිණුවා ය. මේ සිටින්නේ ඇය හඹා මත්තෙගොඩ කරක් ගැසූ සමනල් හා ඔහු නොසලකා හරිමින් උන් ඇය ද, නැත්නම් වෙනත් සමනල් කෙනෙකු හා වෙනත් තඹරු කෙනෙකු ද කියා සිතා ගන්නට ඇයට උවමනා වෙමින් තිබිණ.