මා හද තුළ ඔබ 19

සමනල් ට එදා කාර්යාලයට එන්නට තරම් ශරීර සුවයක් තිබුණේ නැත. නමුත් ගෙදර රැඳීම මානසික සුවය ද අහිමි කරනා බව ඔහු දැන සිටියේ ය. බැරි අමාරුවෙන් ටික වෙලාවකට හෝ එහි යන්නට සිතුවේ එබැවිනි. තඹරු ගේ මූණ එක වතාවක් දුටුවා නම් ඇති ය. ඉරිදා ද සමග දෙදිනක් ම ඇය නොදැක හිඳිනවා කියන්නේ ඔහු ට දැන් පහසු වූවක් නොවේ.

සෙනසුරාදා සිට ඔහු පෙරුම් පුරාගෙන සිටයේ තඹරු සිය ප්‍රථම වැටුපෙන් ඔහු වෙනුවෙන් මිල දී ගෙන තිබූ පෙනෙන නොපෙනෙන ගාණට අළු පාටින් කුඩා කොටු වැටුණු සුදු කමිසය හැඳ, ඇය තිළිණ කළ අගනා රිදී පැහැති පෑන කමිස සාක්කුවේ රුවා ගෙන කාර්යාලයට යන්නටයි. සමනල් වූ කලී සිය පෑන පරිස්සම් කරගන්නට දන්නේ ම නැති කෙනෙකි. අත වන පෑන නිතර ම අතුරුදන් ය. ඔහු එය ඉන්නා තැනෙක දමා යයි. ළඟ ඉන්නා කෙනෙකු වෙතින් අත්සන් යොදන්නට පෑනක් ඉල්ලා සිටී. තඹරු මේ ගැන අවධානයෙන් සිටියා ය. පෑන තිළිණ කරත්දී ඇගේ හිත නො සන්සුන් කළ කරුණ නම් දින දෙකක්වත් මෙය නැති නොකර තබා ගනීවි ද යන්නයි. සමනල් ද ඒ පෑන නැති නො කරගන්නට තදින් සිතා ගෙන සිටියේ ය. නමුත් ඒ සඳුදාව ඔහු ට හිතූ දේ කර ගත නො හැකි තත්වයක් මත උදා විය.

“සර් යන්න තියෙන්නෙ ගෙදර. ඔහොම ඉන්න අමාරුයිනෙ”

තඹරු හා සම්බන්ධීකරණ කලමණාකාරවරයා සමග පැවති සාකච්ඡාවක් අවසානයේ, ඔහු සමනල් ට කීවේ ය.

“ඔව් යන්නෝනෙ. වැඩ ටික බලල යන්න ආවෙ”

සමනල් අඩ සිනහවකින් කීවේ ය. ආ කාරණාව දැන් සපිරී තිබේ. කන පිරෙන්නට අසා ගත් බැනුම් වලින් හදවත වාං දමයි. බණින්නට ගත් විට ඇයට ඒ කාගේ කවුද ඉන්නේ කොතැන ද කියා අදාල ම නැත. ඒ අවංකකමට සමනල් ගේ පිරිමි හිත වශී බන්ධනයකට සේ නතු වී තිබේ.

“මිස්ටර් සමනල් ඔය දැන් තමයි කම්පනි එක ගැන උනන්දුවෙන් වැඩ ටික බලන්නෙ”

සමනල් නික්ම ගිය පසු, තඹරු ගේ මේසය ඉදිරියේ ෆයිල් ගොඩ ද තබා ගෙන කළමනාකාරවරයා කතාවකට අරඇන්දේ ය.

“ඒ ඇයි මිස්ට පෙරේරා…”

“සීඊඕ පට්ටම දීල තිබුණට මොකෝ ඔෆිස් ආවෙත් යලට මහට. ආවත් ඔය වැඩ ටික බැලුව මිනිහ මාරු. දන්නැද්ද ඉතිං තරුණ කොල්ලොනෙ”

“ඉතිං මැනේජ්මන්ට් එකෙන් අවුලක් නැද්ද…”

“අවුල් වුණත් ඉතිං මොනා කරන්නද තාත්තල පුතාලනෙ”

පෙරේරා තරමක් හඬ නගා සිනහ වූයේ ය.

“ඒ කිව්වෙ…”

“ඇයි තඹරු දන්නැද්ද…අපේ එම්ඩීගෙ පුතා තමයි මිස්ට සමනල්”

යටිපතුල් සීතල වීගෙන එනවා තඹරු ට දැනිණ.

“කාලෙ ආවහම කොහොම හරි වැඩේට බහිනව. බිස්නස් කාරයිංගෙ පැටව් බිස්නස්කාරයොම තමයි ඉතිං..”

පෙරේරා තව මොන මොනවාදෝ කියවාගෙන ගියේ ය. නමුත් ඒවා තඹරු ගේ කන් පෙති වල වැදී පසෙකට විසිර ගියේ ය. මෙතුවක් තඹරු සිතා ගෙන සිටියේ සමනල් දිවයුරු රණසිංහ යනු ආයතනයේ ඉහළ නිලධාරියෙකු ලෙස පමණකි. ඔහු අධ්‍යක්ෂවරයාගේ පුතනුවන් ය යන්න ඇයට අලුත් ම ආරංචියකි. එතකොට බයිසිකලය පෙරලා ගත්තා යි ටික වෙලාවකට පෙර ඇය බැණගෙන බැණගෙන ගියේ ගැලැක්සි සමූහ ව්‍යාපාරයේ අනාගත අධ්‍යක්ෂවරයාට ද?

හැන්දෑවේ ගෙදර ගොස් අම්මා හා මල්ලී එක්ක ඒ අලුත් ආරංචිය කියත්දීත් කන් වලින් දුම් දමන්නා බඳු සංවේදනයක් ඇයට දැනෙමින් තිබිණ.

“මොන තරං නිහතමානී ළමයෙක්ද…ගෙඩි වලින් බර වෙන්න බර වෙන්න ගස් වල අතු බිමට පහත් වෙනව කියන්නෙ ඒකනෙ”

රන්මුතු ඇගේ අවංක අදහස කීවා ය.

“ඇත්තටම බුවාට පිස්සුද ඕයි…එච්චර පොරක් වෙලා මේ මෙහේ…මත්තෙගොඩ ජිම් එකකට එන්නෙ…එතකොට මේ…කන්න සුපිරි තැන් නෑ වගේ අපේ අම්මගෙ කෝපි බොන්න කේක් ඇන්ඩ් කොෆී එකට එන්නෙ…මටනං හිතෙන්නෙ මෙතන ඊට වඩා දෙයක් තියනව…හිතෙන්නැද්ද මේක ඩ්‍රාමා එකක් කියල…”

සඳැස් ට තිබුණේ වෙනත් අදහසකි. තඹරු තරමක් ගැස්සී සිටියා ය. ඒ සමනල් මත්තේගොඩ කරක් ගසන්නට පටන් ගත් ඇත්ත හේතුව ඇය දන්නා නිසාවෙනි.

“අනේ මේ කොරහෙත් කිඹුල්ලු දකින්නැතුව ඉන්නව පණ්ඩිතය”

“අනේ මේ අම්මෙ. හැන්ඩි කොල්ලෙක් ඇවිත් ආන්ටී කියල චාචුවක් දැම්මම අම්ම ඉතිං අහුවෙයි ඕන එහෙකට”

“මට චාටු දාල ඒ ළමය මාව කසාද බඳින්නද…”

රන්මුතු පුතුට ඔච්චමට සිනහ වන්නට වූවා ය. තඹරුට නම් බොරුවට හෝ සිනහ වෙන්නට මතක් වූයේ නැත.

“මූ සීඅයිඩී කාරයෙක්ද දන්නෙත් නෑ”

තඹරු ගේ සේ ම රන්මුතු ගේ ද ඇස් සඳැස් වෙතට දැල්විණ.

“අපේ ලොක්ක ගැන මොනා හරි හොයන්න මෙහෙට මංගච්චනවද කියන්න බෑ”

“කට කට. කාටද ඔහොම කතා කරන්නෙ ආ…”

රන්මුතු ක්ෂණිකව කෝපත් වූවා ය. නමුත් එසැනෙන් ඕ තොමෝ යළිදු නිවුණා ය.

“පිස්සු අනේ මෙයාටනං. වල්ගෙ පාගගෙන”

“අනින්නකො අම්මෙ මූගෙ ඔළුවට එකක්”

තාත්තා ගැන අහේතුක දුකක් තඹරු ගේ පපුව බර කළ බැව් සැබවි. නමුත් මේ විදිහට ඇගේ හිත බර වී මූණ එල්ලී තියෙන්නට එක ම හේතුව එය නොවේ. සමූහ ව්‍යාපාර අධ්‍යක්ෂවරයෙකු ගේ පුත්‍රයෙකු ඇගේ ප්‍රේමය පතා ගෙන ඈ හඹා එන්නේ ඇයි? ඈ වෙනුවෙන් බලා ඉන්නේ ඇයි? එය සල්ලිකාර සෙල්ලක්කාර පුතෙකුගේ සෙල්ලමක් නො විය හැකි ද?

“නෑ නැත්තං ඔය යකා මෙච්චර මේ අස්සෙ තියන මත්තෙගොඩ කැරකෙන්න හේතුවක් තියෙන්න ඕනනෙ. තමුසෙ පොඩ්ඩක් හිතනවකො අක්කෙ…කාර් එකක් තියන මිනිහ බයික් එකකින් වැටෙන්නෙ කොහොමද…මන්නං කියන්නෙ මෑන් එක්ක කතා කරද්දි පරිස්සමෙන් හරිද..”

“මිනිස්සු සැක කරන්නනං ශෝක් අක්කයි මල්ලියි අනේ ඔය දෙන්න”

තඹරු ට මල්ලී ගේ කතා සිහි වෙත්දීත් තනිව සිනහ නැගෙන්නේ ය. සමනල් මත්තේගොඩ ආ ගිය කතා මුල සිට ම ඇය තරම් දන්නා කෙනෙකු නොවන බැවිනි.

දින තුන හතරක් ම සමනල් ගේ තුවාල වල වේදනාව තදින් පැවතිණ. නමුත් ඔහු කොර ගසමින් වුව කාර්යාලයට ගියේ ය. හැම උදයක ම තඹරු තිළිණ කළ පෑන සහිත ඇසිරුම විවර කොට එය අතට ගෙන බලා හිඳ නැවත ඔහු එහි අසුරා තබයි. ඒ සතියේ ම ඔහු කාර්යාලයට ගියේ සාමාන්‍ය සරල ඇඳුම් වලිනි. ගෙදරට වී විවේක ගන්නා ලෙස ඩිලන් කිහිප විට මතක් කළ ද සමනල් එය ගණනකට ගත්තේ නැත. පුත්‍රයා සිය ළමා මනස වර්ධනය කොට ගෙන ව්‍යාපාර මානසිකත්වය ඇති කර ගෙන යයි පියා ආඩම්බර වූයේ ය.

“ඉක්මනට ඇදල බිස්නස් එකට දාල සීඊඕ පට්ටමත් දීපු නිසා ට්‍රැක් එකට වැටුණා. දැං ඉතිං එයාගෙ ගමන නවත්තනව බොරු”

ඔහු සිය බිරිඳ ගයාත්‍රිට උජාරුවෙන් කීවේ ය.

ඒ සති අන්තයේ සමනල් ජිම් නො ගියේ ය. දකින්නට ඕනේමයි කියා දැනෙනා යමක් අසීරුවෙන් හිත පාලනය කරගෙන, දකින්නට නොයා ඉන්නා එකෙහි ද මිහිරක් තිබේ. සති අන්තය නිමා වන විට ඔහු හොඳ සුවයක සිටියේ ය. සැලෝන් එකට ගොස් කොණ්ඩා රැවල් කපා, දිය නා අලුත් බලාපොරොත්තුවකින් ඔහු සඳුදාව පිළිගත්තේ ය. අළු පාට කුඩා කොටු වැටුණ අලුත් කමිසය අළු පාට කලිසමකට හැඳ, කළු බඳ පටිය බැඳ, කළු සපත්තු දමා, ජෙල් ගා හිස පීරා, සුවඳ විලවුන් ගල්වා කැඩපත ඉදිරියට ගොස් ඔහු ඒ පෑන කමිස සාක්කුවෙහි රුවා ගත්තේ ය. මිල අඩු කාබන් පෑන් භාවිතා කරනු මිස සමනල් ට කිසි දා අගනා අත්සන් පෑනක් කමිස සාක්කුවෙහි රුවා ගැනීමේ පෞරුෂය විඳින්නට හිතී නැත. සුදු කමිසයට රිදී පැහැති පෑන කදිමට ගැලපිණ. ඔහු පපුවෙහි ස්පර්ශ වන සේ පෑන පිරිමැද්දේ ය. යෞවනයා ගේ දෙතොල් මත්තෙහි ලස්සන සිනහ රැල්ලක් කැරලි ගැසුවේ ය.

කිසිදු කොරගැසීමක් නැති පෞරුෂවත් ගමනකින් සමනල් සිය කුටිය වෙත ආවේ ය. කාන්දමක් වාගේ ඒ පෞරුෂය හිතේ ඇලෙන්නට හැදුවත් තඹරු ඉක්මනින් ඇස් හිතුවක්කාර කරගෙන පරිගණක තිරය දෙස බලාගත්තා ය. ආයේ ඇය ඇස් හැරවූයේ පාලිත ඇවිත් කතා කරත්දී ය.

“ටීවී චැනල් එකේ ප්‍රඩක්‍ශන් ෆයිල් එකත් අරං සර් එන්න කිව්ව තඹරු මිස්”

තඹරු ඇතුළට ගිය ගමන් ගිනුම් අංශයේ තරුණියක සීඊඕ කුටිය ඉදිරියේ පෙනී සිටියා ය. තඹරු එහි සිටියදී ම සමනල් හිසින් ඇය ඇතුළට කැඳවූයේ ය. තරුණියට චෙක් පත් කිහිපයක් අත්සන් කර ගන්නට අවැසි විය. සමනල් ඒවා නිරීක්ෂණය කරමින් ම පුරුද්දට වාගේ පෑනක් වෙනුවෙන් තරුණිය වෙත අත පෑවේ ය.

“සර් පෑන ඔය තියෙන්නෙ…සාක්කුවෙ”

සමනල් වහා පෑන සිය පපුවට හිර වන සේ අල්වා ගත්තේ ය.

“අම්මෝ…ඒක නැති වුණොත් ඉවරයි”

තඹරු ඉවත බලා ගත්තා ය. නමුත් පපුවෙහි ටර්නාඩෝ සුළියක් ඇති වූවා වන් කැළඹීමක් විය.  ගිනුම් අංශයේ තරුණිය අතින් මුව වසාගෙන සිනහ වන්නට වූවා ය.

“එහෙනං ඒක විශේෂ කෙනෙක් දීපු පෑනක්ද කොහෙද…මොනා වුණත් සර් ගර්ල් ෆ්‍රෙන්ඩ්ටනං බයයි වගේ”

“බය නෙවේ පියුමි..ඒකට කියන්නෙ රෙස්පෙක්ට් එක. අනිත් එක පියුමි…ඉඳහිට කෙල්ලගෙන් බැණුමක් අහන්න ගුටියක් කන්න බැරි කොල්ලෙක් පිරිමියෙක්ද නේ..”

තරුණිය කැකිරි පලන්නී ය. ඔය තරං හිනා වෙන්නට දෙයක් එහි තියෙනවාදැයි තඹරු නොරිස්සුමෙන් සිතුවා ය. එහෙනං ඒ කතාවට ඇයටත් සිනහ යා යුතු ය. සිනහ වෙමින් ම තරුණිය තඹරු දෙස ද බැලුවා ය. ඇය කළේ මූණිච්චාවට ඉක්මන් සිනහවක් දෙන එකයි. චෙක්පත් අත්සන් කරගෙන ඇය නික්ම ගිය පසු සමනල් වඩාත් අසුනෙහි හරිබරි ගැහී තඹරු දෙස බලාගත්තේ ය. ඇය ඉක්මන් සිනහවකට අරඇන්දා ය.

“දැන් මට හොඳයිද කියලවත් අහන්නැද්ද…”

“හොඳයිනෙ ඉතිං”

ඒ හඬ තානයත් සිනහවත් අහිංසක වූයේ ය. සමනල් ඒ සිනහවේ අතරමගක අතරමං විය.

“මිස්ටර් සමනල් ජීඑම් සර්ගෙ පුතා කියල මං දැනගත්තෙ මේ ඊයෙ පෙරේද”

“ආ…ඒක ඉතිං දැනගන්න තරං විශේෂ දෙයක් නෙවේනෙ තඹරු. කොහොමත් අපි කවුරුහරි අම්මල තාත්තලගෙ දරුවොනෙ”

ඔහු මේසයට නැඹුරු වූයේ ය.

“මේ පෑන මට ලස්සනයි නේද…”

ඇය හිචිස් ගා සිනහ වූවා ය. ඔහු ඒ පෑන නිතර ම පපුවෙහි ස්පර්ශ කරමින් කතා කරන්නේ ඔහු ගේ හදවතට වැඩියෙන් දැනෙනා නිසා ය.

“මේ පෑනට මං ලස්සනයි නේද කියල නේ හරිනං අහන්න ඕනෙ…”

“අඩෝ…මෙ…යා…”

තඹරු සිනහව තද කර ගෙන සිටියා ය. පිට වෙන්නට තැනක් හොයමින් එය ඇස් වලින් දෝරෙ ගැළුවේ ය. වළ ගැහී ඇති කම්මුල නො කියා කීවේ ඇය සතුටින් බවට කතාවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles