කිසියම් පුද්ගලයෙක් විශ්වාස කිරීමට, තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ඔවුන් සමඟ බෙදාගැනීමට සහ වගකීම් පැවරීමට පෙර එක්වරක් නොව සියදහස් වරක් ඒ ගැන සිතා බැලිය යුතු බව මිතුරෙකු ලෙස පැමිණි හිත් පිත් නැති ඝාතකයෙක්ගේ අතින් කෲර ලෙස ඝාතනය වූ ස්ටීවන් බැක්ස්ටර් සහ කැරොල් බැක්ස්ටර් යුවළගේ ඛේදජනක ඉරණම අපිට යළි යළිත් මතක් කරනවා.
නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා හෙළිවූ ස්වභාවික මරණයක් හෝ සියදිවි නසාගැනීමක් ලෙස සැඟවෙන්නට තිබූ සාහසික අපරාධයක සුළමුළ මෙලෙස ඔබ හමුවේ ගෙන එන්නයි අපේ අද මේ සූදානම.
ස්ටීවන් සහ කැරොල්
ස්ටීවන් සහ කැරොල් බැක්ස්ටර් කියන්නෙ ඉතාම නිස්කලංක විශ්‍රාම ජීවිතයක් ආදරණීයව ගත කරමින් සිය දරු මුණුපුරන්ගේ සුරතල් විඳිමින් කාලය ගත කරපු යුවළක්.
ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා සුන්දර නිවහන පිහිටා තිබුණේ එංගලන්තයේ ඇසැක් හි සංචාරය කිරීමට සහ ජීවත් වීමට ඉතාම ගැළපෙන ප්‍රදේශයක් ලෙස ජනප්‍රිය මර්සි දිවයිනේයි.
නාන කාමර සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරන සහ අලෙවිකරණ Cazsplash හි හිමිකරු වූ ස්ටීවන් බැක්ස්ටර් කිසිදු ගැටළුවකින් තොරව ජීවත් වීම සඳහා ඕනෑතරම් ප්‍රමාණවත් මුදල් උපයා තිබුණු අතර 2023 වර්ෂය වන විටත් ඔවුන්ගේ ව්‍යාපාර ඉතාම සාර්ථක ආදායම් උපයමින් ක්‍රියාත්මක වෙමින් පැවතුණා.
නමුත්, වයසත් සමඟ ඕනෑම කෙනෙක්ට ඇතිවෙන ලෙඩ රෝග වලින් හැන්ගෙන්නවත් පැනල යන්නවත් අපිට බැහැ කියන සදාතනික සත්‍යයට මුහුණ දෙන්න කැරොල් බැක්ස්ටර්ට සිදුවුනේ ඇගේ තයිරොයිඩ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවෙමින් පැවතුණ රෝගී තත්වයක් හඳුනාගන්න ලැබීමත් සමඟයි.
ඉඳහිට ඇතිවෙන සුළු සුළු අමතක වීම්, නිස්කාරනේ කලබලයට පත්වීම් සහ යම් දෙයක් පිළිබඳව එක්වරම අවධානය යොමුකළ නොහැකිවීම වගේ තත්වයන් හැරුණු විට එය ස්ටීවන්ගෙවත් කැරොල්ගෙවත් ජීවිත වලට දැඩි බලපෑමක් කලේ නැහැ.
නිතරම හමුවෙන්න නොහැකි වුනත් හැකි සෑම විටම තමන්ගෙ දෙමව්පියන් මුණගැසී හෝ දුරකථනය ඔස්සේ ඔවුන් සමඟ සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ තොරතුරු විමසන්න බැක්ස්ටර් යුවළගේ එකම දියණිය එලී අමතක කරෙත් නෑ.
නැවත නොපැණිනෙන පාස්කු ඉරිදාව
2023 වර්ෂයේ අප්‍රේල් මාසෙ 09 වෙනි පාස්කු ඉරිදා දින සවස තමන්ගෙ දෙමව්පියො ඉන්න නිවසට ආව එලී අම්මටයි තාත්තටයි තරමක් හඬනගා කතා කරත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඉන්පසු ඇය දිගින් දිගටම ඔවුන්ගේ නිවසේ දොරට තට්ටු කරත් එයිනුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
නිවසේ ඉදිරිපස ජනෙල් වලින් නිවසේ ඇතුල බලන්න එලී ගත්ත උත්සහය ව්‍යාර්ත වුනේ රාත්රියේදී වසා දැමුණු තිර රෙදි ඒ වනතුරුත් විවෘත කරල තිබ්බෙ නැති නිසයි.
මේ විදිහට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම ගැන එලී වඩ වඩාත් කලබල වුනේ තමන්ගෙ දෙමව්පියන් දින දෙකකින් ඇයගේ දුරකතන ඇමතුම් වලට පවා ප්‍රතිචාර නොදක්වා තිබුණු නිසයි.
ඇත්තටම දෙමව්පියන් බලන්න එන්න ඇය තීරණය කරෙත් ඒ හේතුව නිසාමයි.
දෙමව්පියන්ට කතා කරමින්ම නිවසේ පිටුපසට ගිය එලී පිටුපස ජනෙල් වලින් නිවසට එබී බලද්දී දුටුවෙ දරුවෙක් තමන්ගෙ ජීවිතේ දකින්න අපේක්ෂා කරන දසුනක් නම් නෙමෙයි.
තමන්ගෙ දෙමාපියන් බොහොම නිස්කලංකව පුටු දෙකක වාඩිවෙලා ඇස් පියාගෙන සුව නින්දක් ලබන ආකාරයට පෙනුනත් ඔවුන්ගේ කිසිදු චලනයක් හෝ හුස්ම ඉහළ පහළ යාමක් දකින්න ලැබුනෙ නෑ.
ඇය කොතරම් හඬනඟා කෑගැසුවත් ඔවුන්ට ඇයව ඇසුනු බවක් පෙනෙන්න තිබ්බෙත් නෑ.
තමන් මේ දකින දසුනේ කුමක් හෝ ගැටළුවක් ඇතිබව ක්ෂණිකයෙන්ම වටහා ගත්තු ඇය තමන්ගෙ දුරකථනයෙන් දුරකථන ඇමතුම් දෙකක් ලබාගත්ත.
ඒ පළවෙනි දුරකථන ඇමතුම බැක්ස්ටර් යුවළගේ නිවසට නිවෙස් කීපයකට එහා ජීවත් වුණ පවුලේ හිතවතෙක් වුණ ලූක් ඩ්වෙට්ට සහ දෙවන ඇමතුම 999 පොලිස් හදිසි ඇමතුම් අංශයටයි.
සිදුවී ඇති දෙය පොලිසියට විස්තර කරන විටත් එලී දැඩි ලෙස කලබලයට පත්වී සිටිය නිසා අතරමැදදී ඇමතුමට සම්බන්ධව සිදුවී ඇති දෙය විස්තර කිරීමට හැකි ඉක්මණින් එතනට පැමිණි ලූක්ට සිදුවුණා.
බැක්ස්ටර් යුවළගේ ඉරණම
පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් එම ස්ථානයට පැමිණි පිරිස නිවසේ දොරවල් කඩා නිවසට ඇතුළු වී සිටියා.
බැක්ස්ටර් යුවළගේ නිසසල සිරුරු සීතල වී තිබුණු අතර ඔවුන් මියගොස් සිටි බව වෛද්‍යවරුන්ට දැකගන්න ලැබුණා.
නිවසට ඇතුළු වූ සැණින් දැඩි ගෑස් ගන්ධයක් හැමූ බවත් පොලිසීයට නිරීක්ෂණය වී තිබුණා.
කැරොල්ට ඇතිවී තිබූ අමතක වීමේ ගැටළුත් සමඟ ගෑස් උඳුන නිසිලෙස ක්‍රියා විරහිත කිරීමට අමතක වීම නිසා සිදුවූ ගෑස් කාන්දුව නිසා සිදුවූ මරණයක් ලෙස සැකකරත් බැක්ස්ටර් යුවළගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකරන්න පොලීසිය පියවර ගත්තා.
ස්වභාවික මරණයක් ද? වැරදීමක් ද? ඝාතනයක් ද?
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල වෛදව්යරුන්ට ඔවුන් අපේක්ෂා කල පරිදි ගෑස් කාන්දුවී කාබන් මොනොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් ආශ්වාස වීම නිසා සිදුවූ මරණයක සාක්ෂි හමුවුනේ නැහැ.
ඒ වෙනුවට ඔවුන්ට හමුවුනේ ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වීම නිසා සිදුවූ මරණවල සාක්ෂි පමණයි.
(ඔබේ ආරක්ෂාව ගැන සිතා ඒ ඖෂධ මොනවාද යන්න අපි මෙහිදී සඳහන් නොකිරීමට තීරණය කරන ලදී)
කෙසේ නමුත්, මේ ඖෂධ යම් මාත්‍රාවක් කැරොල් සිය රෝගී තත්වය වෙනුවෙන් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත් ලොස් ඇන්ජලීස් හි වෛද්‍ය ඇන්ඩ්‍රියා බෝගන් ගේ ස්වභාවික ඖෂධ වට්ටෝරු වල අඩංගු වූ බවත් පසුව සොයා ගැනුනා.
නමුත් අධි මාත්‍රාවෙන් ඒවා ඔවුන්ගේ සිරුරු තුළට ඇතුළු වූයේ කෙසේද යන ගැටළුවට පිළිතුරු සොයමින් මේ ද්විත්ව ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන්න පොලීසිය තීරණය කරා.
මරණ පරීක්ෂණය?
කැරොල් තයිරොයිඩ ග්‍රන්ථිය ආශ්රිත රෝගී තත්වයකින් පෙළුනු බව අපි මුලින්ම සඳහන් කරා ඔබට මතක ඇතිනේ. එලී කියන විදිහට ඇගේ මව මෙම රෝගී තත්වය සුවකර ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වෙලයි හිටියෙ.
ඒ සඳහා ප්‍රදේශයේ සිටින පළපුරුදු වෛද්‍යවරයෙක් මුණගැසී ප්‍රතිකාර ඇයට අවශ්‍ය ප්‍රථිකාර ලබාගැනීමට එලී සහ ස්ටීවන් විසින් කටයුතු කර තිබුණා.
මේ අතරතුරදී තමයි ඇයට ස්වභාවික ඖෂධ වට්ටෝරු නිර්දේශ කල වෛද්‍ය ඇන්ඩ්‍රියා බෝගන් පිළිබඳව තොරතුරු දැනගැනීමට ලැබී තිබුණේ.
ඔවුන් රෝගියෙක් සහ වෛද්‍යවරයෙක් අතර ගොඩනැගෙන සම්බන්ධතාවයට වඩා අතිශය සමීප සම්බන්ධතාවයක් වසර දෙකක කාලයක් තුළදී ගොඩනඟා ගෙන තිබුණා.
වරක් වෛද්‍ය ඇන්ඩ්‍රියා මුණ ගැසීමට ඔවුන් පැය තුනක දුරකින් ඇති හෝටලයකට ගියා වුනත් අවසාන මොහොතේ වෛද්‍ය ඇන්ඩ්‍රියා විසින් මෙම හමුව අවලංගු කර තිබුණා.
මෙසේ හමුවීමේ වාර ගණනාවක් සංවිධානය වී තිබුණත් කුමක් හෝ හේතුවක් නිසා වෛද්‍ය ඇන්ඩ්‍රියා විසින් ඒවා අවලංගු කර දමා තිබුණා.
කෙසේ වෙතත් ඇය ලබාදුන් ප්‍රතිකාර ගැන දැඩිව විශ්වාස කළ කැරොල් තමන්ගෙ පළපුරුදු වෛද්‍යවරයා ලබාදුන් ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කරා වගේම වෛද්‍ය කැරොල්ගේ උපදෙස් අනුව වයස්ගත වෙමින් සිටි ස්ටීවන් සඳහාද බෙහෙත් වට්ටෝරු ලබාගෙන තිබුණා.
මේවා සෑදීමට අවශ්‍ය ස්වභාවික කොළ සහ අනෙකුත් අමුද්‍රව්‍ය සොයාගෙන මෙම බෙහෙත් වට්ටෝරු අනුව සැකසුනු පාන වර්ග පිළියෙල කිරීමේ වගකීම භාර අරන් තිබ්බේ ඔවුන්ට සමීපව ජීවත් වූ ලූක් ඩ්වේට් විසිනුයි.
කෙසේ වෙතත් මේ පාන වර්ග සමඟ ටිකෙන් ටික ඖෂධ අධිමාත්‍රාවක් ඔවුන්ගේ ශරීර වලට ඇතුල් වූ බව මරණ පරීක්ෂකයන්ට සොයාගන්න ලැබී තිබුණා.
අපරාධකරු අත් අඩංගුවට
මේ ඛේදජනක සිදුවීමෙන් මාස තුනකට පස්සේ පරිඝනක විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වුන 33 වියැති ලූක් ඩ්වෙට්ව ස්ටීවන් බැක්ස්ටර් සහ කැරොල් බැක්ස්ටර් ගෙ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්න මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවපු පොලීස් නිළධාරීන් සමත් වුනේ ඉතාම පැහැදිලි සහ ශක්තිමත් සාක්ෂිත් සමඟයි.
අත් අඩංගුවට ගැනීමට ආසන්නතම හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කෙලේ ඔවුන් ඝාතනයට ලක්වූ ඉරිදා දින පෙරවරුවේ ලූක්, බැක්ස්ටර් නිවසින් පිටත්ව ගිය අන්දම දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශන වගේම බැක්ස්ටර් නිවසේදී හමුවූ ස්ටීවන් මහතාගේ අවසාන කැමති පත්‍රය ලෙස සඳහන්ව තිබූ ලියවිල්ලක සිය මරණයෙන් පසුව තමන්ගේ ව්‍යාපාරයේ සම්පූර්ණ අයිතිය ලූක් ඩ්වෙට්ට හිමිවන බව සඳහන්ව තිබීමයි.
ඒ වගේම ලූක් නිවෙසින් පිටත්ව ගොස් ඉතාම කෙටි වේලාවකින් පසු ස්ටීවන් බැක්ස්ටර් ගේ බැංකු ගිණුමෙන් විශාල මුදල් ප්‍රමාණයක් අන්තර්ජාලය ඔස්සේ ලූක් ඩ්වේට්ගේ බැංකු ගිණුමට සංසරණය වී ඇති බවත් පොලිසීය සොයාගනු ලැබූවා.
මේ හේතු නිසා අත් අඩංගුවට පත් ලූක් ඩක්ස්ටර් ගේ නිවස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලීසියට ඉතා නිමුණු සහ අහිංසක ස්වභාවයෙන් ජීවත් වුණ අතිශය භයානක අපරාධකරුවෙක්ගේ සුළමුල සොයා ගැනීමට අවස්ථාව ලැබුණා.
සිදුවූයේ කුමක්ද?
ලූක් ඩ්වේට් සහ ස්ටීවන් ඩක්සටර් මුලින්ම මුණ ගැසී තිබුනේ ව්‍යාපාරික කටයුත්තක් සම්බන්ධවයි. ස්ටීවන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය වෙබ් අඩවිය සාදා තිබුනේ ලූක් ඩ්වේට් විසිනුයි.
නමුත්, ඒ අතර කැරොල්ගේ රෝගී තත්වය හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ට වඩා සමීපවූ ලූක් ඩ්වේට් කැරොල්ට වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම වල නිරත වීම සඳහා ඉතා කැපවීමෙන් උදව්කර තිබුණා.
මේ විදිහට ටිකෙන් ටික බැක්ස්ටර් යුවළට සමීපව කටයුතු කල ඩ්වේට් ඔවුන් නිසා පිළිකා රෝගයකින් මියගිය සිය පියා සිහිපත් වන බවත් බැක්ස්ටර් යුවළට උදව් උපකාර කිරීම සිය පියාට සත්කාර කරනවා සේ තමන්ට දැනෙන බවත් සඳහන් කරා.
පියාගේ මරණය නිසා අතිශය දුක්ඛිත මතකයන් සමඟ ජීවත් වෙන ලූක් ඩ්වෙට් ගැන දැඩි ලෙස කම්පා වූ බැක්ස්ටර් යුවළත් ඔහුට ඔවුන්ගේම දරුවෙක් ලෙස සලකන්නත් පටන් අරන් තිබුණා.
මේ අතර වෛද්‍ය ඇන්ඩ්‍රියාව කැරොල්ට හඳුන්වා දී තිබුණෙත් ලූක් විසින්මයි.
නමුත් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ලූක්ගේ නිවස සහ ඔහුගේ පරිඝනකය පරීක්ෂා කළ පොලීසිය සොයාගත්තේ පරිඝනක මෘ දුකාංගයක් මඟින් සිය කටහඬ වෙනස් කරමින් වෛද්‍ය ඇන්ඩ්‍රියා ලෙස ඔවුන් සමඟ දුරකථනයෙන් කතාබහ කර ඇත්තේද ලූක් ඩ්වේට්ම බවයි.
වෛද්‍ය ඇන්ඩ්‍රියාට අමතරව ඇයගෙන් ප්‍රතිකාර ලබාගෙන සාර්ථක ප්‍රතිඵල ලබාගත් තවත් රෝගියෙක් ලෙසත්, ලූක්ගේ ඥාතී සොයුරියක් ලෙසත් විටින් විට බැක්ස්ටර් යුවළ සමඟ වගේම එලී සමඟ පවා දුරකථන සංවාද වල නිරත වෙන්න ලූක් කටයුතු කරල තිබුණා.
ඒ වගේම ඔහුගේ නිවසේ තිබී බැක්ස්ටර් යුවළගේ ශරීරගතව තිබූ ඖෂධ වර්ගත් හමුවී තිබුණා.
ඔහු විසින් බැක්ස්ටර් යුවලට ඖෂධීය පාන වර්ග පිළියෙල කරද්දී මේ ඖෂධ වලින් ටිකෙන් ටික දීර්ඝකාලීනව එක්කර තිබුණා.
අවසානයේ ඔවුන්ට වැඩි මාත්‍රාවකින් ඖෂධ ලබාදී පුරුදු පරිදිම ඒ සඳහා යොදාගත් භාජන පවා පිරිසිදු කර ලූක් ඔවුන් වාඩිවී සිටියදීම ගෑස් උඳුන සියුම් ලෙස විවෘත කර නිවසින් පිටත්ව ගොස් තිබුණා.
ඒ අතරම ඔහු විසින් රහසේ සවිකර කැමරාවක් මඟින් තමන්ගේ දුරකථනය ඔස්සේ බැක්ස්ටර් යුවළ මියයන අන්දමත් සජීවීව නරඹන්න තරම් මේ ඝාතකයා කෲර වී තිබුණා.
මේ සියල්ලම අවසානයේ ඔහුට අවශ්‍යව තිබුනේ බැක්ස්ටර්ගේ සාර්ථක ව්‍යාපාරයේ අවසන් හිමිකරු වීමයි. ඒ සඳහා ව්‍යාජ අවසන් කැමති පත්‍රයක් පවා ඔහු සාදා තිබුණා. ඔහු ඔවුන්ට සැළකූ ප්‍රශංශනීය ආකාරය නිසා බැක්ස්ටර් මහතා විසින්ම එය පිළියෙල කරන්නට ඇතිබව අනෙක් අයට දැනෙන්නට සැළස්වීම ඔහුගේ අරමුණ වී තිබුණා.
කෙසේ නමුත් අපරාධයක් කිසිදා සැඟවිය නොහැක යන සදාතනික සත්‍යය තහවුරු කරමින් චෝදනා සියල්ලමට වරදකරු ලෙස ඔප්පු වූ ලූක් ඩ්වෙට්ට වසර 37 ක සිර දඬුවමක් හිමිවුණා.
ඉතිං පරිස්සමෙන්, බැටළු සම් පොරවාගත් වෘකයන් ඔබ අතරෙත් ඉන්න පුළුවන්.
සටහන – දුලානි නවෝද්‍යා