මා හද තුළ ඔබ 23

තනිව ජීවිතයේ සියලු දුෂ්කරතා වලට මුහුණ දෙන්නට පුරුදු වී සිටිය ද, එහෙම කරගන්නට පුළුවන් යයි විශ්වාසයක් වී ද, තාත්තා ගැන සොයා බලමින් සමනල් මේ විදිහට ළඟින් රැඳෙත්දී තඹරු ට මොකක්දෝ හයියක් දැනිණ. ඇයට පමණකුදු නොව ඒ හයිය රන්මුතු ට පවා නො දැනුණා නොවේ. මෙතුවක් කල් තඹරු විසින් තරකොට වසා ගෙන සිටිනා ලද හදවතෙහි කවුළු වැටකඩොළු බිඳ දමමින් මහා ජල ප්‍රවාහයක් සේ සමනල් එය ආක්‍රමණය කරමින් සිටියේ ය. නමුත් ඒ ඇයට දැනෙන නො දැනෙන ගාණට ය. එපා කියා කියන්නට ඇයට නො සිතෙන පමණයට ය.

“මිස්ටර් සමනල් ඇවිත් තාත්තව බලන්න”

බිත්තිය පැත්තට හැරී වැතිර ඇස් පියා සිටි පියා වෙත නැඹුරු වී යුවතිය ආදරයේ භාෂාවෙන් කීවා ය. ඇස් පියා සිටියාට තාත්තා නිදි නැති බව ඇය දනී. දිවාකර උදාසීන ලෙස නැගී සිටියේ ය. තඹරු ඔහු ට යහනේ හිඳ ගන්නට උදව් කළා ය. සමනල් දිවාකර පසෙකින් යහනෙහි අසුන් ගත්තේ ය.

“කොහොමද අංකල් හොඳින් ඉන්නව නේද…”

ඒ වචන අතරේ වූ කරුණාව සිය හදවත් කුටීර පිරිමදිනා සෙයක් තඹරු අත්වින්දා ය. දිවාකර කටකොන් සිනහවක් නගා ගත්තේ ය.

“හොඳක් මොකද්ද…යන්න වෙලාව එනකල් බලං ඉන්නව”

“අපි කවුරුත් එහෙම අයනෙ අංකල්. ඒත් එහෙම ඒ වෙනුවෙන් බලන් ඉන්න ගියහම ඒකත් වදයක් වෙනවනෙ…නේද…අංකල්ටනං ලස්සන පවුලක් තියනව. අපිට යන්නැතුව ඉන්න තියන ලොකුම හේතුව පවුල කියන දේනෙ අංකල්. අපිටත් වඩා අපිව ඕනෙ ආදරේ කරගෙන අපිට ළඟින් ඉන්න අපේ අයට. අංකල් දන්නවද මං පොඩි කාලෙම මගෙ අම්මටත් එපා වුණ දරුවෙක්. එයා මාව දාල ගියාට පස්සෙ…පවුලක් කියන බැඳීමකුත් නැතුව…මටත් ඔය අංකල්ට වගේ හිතුණ වෙලාවල් තියනව”

සමනල් තඹරු දෙස බැලුවේ ය. ඇගේ ඇස් මත වූයේ නො සන්සුන් බැල්මකි.

“ඒත් අංකල්ට එහෙමද…කී දෙනෙක් අංකල් වෙනුවෙන් බලන් ඉන්නවද….ඒක නිසා අපි තව ටිකක් හිතට හයිය ගමු. චුට්ටක් ඇවිදින්න ඕන කියල හිතුවනං…පහළට ගිහිං ආන්ටිට චුට්ටක් උදව් කරන්න ඕන කියල හිතුවනං…හිතට එන නෙගටිව් තෝට්ස් ගොඩක් නැති වෙලාම යයි මන්නං හිතන්නෙ”

එකඟතාවයක් නොවී ද දිවාකර ඔහු ට එරෙහි නොවී අසාගෙන සිටියේ ය. දෙදෙනා එක්ව රටේ දේශපාලන හා ආර්ථික තත්වය ගැන ටිකක් කතාබහ කළෝ ය. තඹරු ට නම් ඒ හොඳට ම ප්‍රමාණවත් සේ දැනිණ.

පහළට පැමිණි පසු ඇය ඔහු ට පෙන්වූයේ කැෆේ එකෙහි වැඩට එන්නට කැමති වූ කිහිප දෙනාගේ තොරතුරුයි. ඔහු ඉන් ගෑනු ළමයෙකු වඩා සුදුසු වනු ඇතැයි තෝරා ගත්තේ ය.

“කැශියර් එකේ තියන්න වුණත් පිරිමි කෙනෙකුට වඩා ගෑනු ළමයෙක් විශ්වාසවන්තයි. අනික බැඳපු කෙනෙක් නෙවෙයි නිසා නිදහස්නෙ. වැඩිය නිවාඩු ගන්න එකකුත් නෑ. ගෑනු ළමයෙක් ඉන්නකොට පිරිමි කට්ටිය වැඩිපුර එන එකකුත් තියනවනෙ. බිස්නස් එකක් කරනකොට ඔය කොයි දේත් හිතන්න ඕනෙ”

“අපේ අම්මත් වැඩිපුර කැමති වෙලා හිටියෙ ඒ ළමයට. එහෙනං හෙට ඉඳං එයාට වැඩට එන්න කියමු නේද අම්මෙ…”

ඒ ප්‍රශ්නයත් විසඳීම නිසා තඹරු ගේ හිතට සැනසිල්ලක් දැනිණ. නමුත් සිය තනිකම ගැන සමනල් කී කතා නිසා හිත කොනිති ගසනා රිදුමක් දැනෙමින් නො තිබුණා නොවේ.

 පසු දා කාර්යාලයට යාම ගැන ඇය කෙතරම් කලබලයට පත්ව සිටියේ ද යත් රන්මුතු විසින් සකසා දෙන ලද කෑම එක ද අමතක වී ගෙදර දමා විත් තිබිණ. ඇය ඒ බව දැනගත්තේ මිස්ට පෙරේරා විත් භෝජනාගාරයට යන්නට ඇරයුම් කරත්දී ය.

“මිස්ට පෙරේරා යන්න. මං පාලිතට කියල ලන්ච් පැකට් එකක් ගෙන්නෝගෙනම එන්නං”

ඔහු නික්ම ගිය ගමන් සමනල් තඹරු ගේ කියුබිකල් එක ඉදිරියට පැමිණියේ ය.

“යං ලන්ච් වලට”

ඔහු ගේ දෙතොල් අතරේ මඳ සිනහාවක් විය. නමුත් තඹරු මූණ බෙරි කරගත්තා ය.

“මං කෑම එක දාල ඇවිත්”

“ඒ තරං හොඳ සිහියෙං ඔෆිස් එන්නෙ නේ…මෙහෙ කොල්ලෙක්වත් ඉන්නවද බලන්න…”

“මන්නං බලනව කීප දෙනෙක් දිහාම. ඒත් ඒ එකෙක්වත් මං දිහා බලන්නෑ”

එසේ කියා තඹරු හයියෙන් සිනහ වූවා ය. සිනහ වෙත්දී ඇය වඩාත් සුන්දර ය. ඒ තරම් ආඩම්බර කෙල්ලක තුළ ඒ තරම් ලස්සන සිනහවක් හැංගී තිබෙනවායි සිතා ගත නො හැකි තරම් වෙයි. යෞවනයා ඇදෙස බලා සිටියේ දීප්තිමත් ඇස් දෙකකිනි. ඇගේ සිනහව වියැකී යත්දී ඔහු පිටුපසට කරගෙන උන් අත ඉදිරියට දිගු කොට තඹරු ගේ කෑම එක ඇය වෙත පෑවේ ය. ඇගේ ඇස් රවුම් වී ලොකු විණි.

“කොහෙන්ද මේක…”

“උදේ මං ජිම් ගිහින් එනගමං කැෆේ එකට ගොඩ වුණා. අම්ම මාව දැකල දෙයියො දැක්ක වගේ සතුටෙන් ඕක ගෙනත් දුන්නෙ. හැබැයි මේක ගෙනාවට මටත් බත්කටවල් දෙක තුනකින් ගෙවන්න වෙනව”

ඔවුන් දෙදෙනා භෝජනාගාරය වෙත ඇවිද ගියේ එකට ය. වෙනදාට සමනල් එහි විත් දිවා ආහාර ගනු තඹරු දැක නැත. ඒ ගැන විමසන්නට ඇයට අවස්ථාවක් ලැබී ද නැත. ගෙදර සිට කෑම එක උස්සාගෙන ඒම තරයේ ප්‍රතික්ශේප කිරීම මුල සිට ම ඔහු ගේ පුරුද්දකි. කලින් නම් ඔහු දවල් වන විට ගෙදර ගියේ ය. එහි දී දිවා ආහාරය ගත්තේ ය. නමුත් තඹරු රැකියාවට පැමිණීමෙන් පසු වේලාසන ගෙදර යාම මුළුමනින් නැවතිණ. තඹරුලා කෑමට ගිය වෙලාවට ඔහු හිතුණොත් පිටතට ගොස් කෑම කෑවේ ය. කම්මැළි හිතුණොත් ගෙදර යන තුරු ම නොකා සිටියේ ය.

“අනේ…ඉතිං අපිත් එක්ක ලන්ච් ගන්න එන්න තිබුණනෙ”

“කැමති වෙයිද දන්නෑනෙ”

ඇගේ ඇස් මත තරවටුවක් ඇඳිණ. සමනල්, ආදරයේ පිටවානක් වන් සිය දෑස් ඇගෙන් සඟවා ගැනීමේ උත්සාහයක් නො ගත්තේ ය. ඔවුන් භෝජනාගාරයට යන විට මිස්ට පෙරේරා කෑම ගෙන අවසාන කරමින් සිටි නිසාවෙන් තඹරු ගේ බත් මුල ලිහාගෙන දෙපැත්තෙන් එය කන්නට සිටියේ ඔවුන් දෙදෙනා පමණකි.

“එහෙම දවල්ට කෑම නොකා ඉන්න හොඳද…ඔච්චර කම්මැළිද කනව කියන එකටත්…”

තඹරු බත් පතෙහි වූ ව්‍යාංජන සමනල් වෙතට ම ලං කළා ය. ඔහු ආශාවෙන් ඒ බත් පතෙන් කනවා දකිත්දී ඇගේ මුළු කුස ම පිරෙනවා සේ විය. ඔහු ට වැඩියෙන් කන්නට තබා ඇය ඉතා හෙමිහිට කුඩා බත් කටවල් කෑවා ය. නමුත් වෙනදාට වඩා කුස පිරී තිබිණ.

“ඔයා කන්නෑනෙ ඉතිං..”

“කනව. වෙනදටත් මං පොඩ්ඩයි කන්නෙ. ගොඩක් ඉතුරුකරල විසිකරනව. අම්මට කිව්වට වැඩියි කියල පොඩ්ඩක් බෙදන්නෑ…එහෙම බෙදන්න අමාරුයි කියල”

“අර ගෑනු ළමය ලස්සනයි ආ”

“ආ..”

එක්වර ම මාතෘකාව වෙනස් කොට ඔහු කීවේ කවුරුන් ගැන දැයි සැබවින් ඇයට සිහි වූයේ නැත.

“කැෆේ එකේ වැඩට ඇවිත් ඉන්න ගෑනු ළමය..දැං ඉතිං ඒ පැත්තට නිතර නිතර එන්න හේතුවක් තියනව”

තඹරු අඩ බැල්මක් හෙළුවා ය. ඒ බැල්මෙහි තරවටුවක් විණි ද? නමුත් ඇගේ දෙතොල් අතරේ තද වූ සිනහවක් විය.

“එයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවලු”

“ඒවනං මොනාද…ඕන්නං කඩන්න බැරියෑ”

ඔහු වතුර බෝතලයට අත තැබුවේ ය. තඹරු එය ඉවතට ගත්තා ය.

“ඔය මදි…මේ ටිකත් කන්න. මේ එළවළු අනාගන්න…නිකං බත් කනකොට රසක් තියනවද…”

“ඇති තඹරු”

“මදි මදි. කොල්ලො ඔහොම කාල පුළුවන්ද…මේ බිත්තර කෑල්ල නිකං හරි කන්න”

ඇස් වලට කඳුළක තෙත දැනෙන්නට හදන්නේ ඇයිදැයි සමනල් නො දත්තේ ය. අම්මා ගේ මතක අමතක ඡායාවක් ඔහු ගේ සිතේ ඇඳී මැකී ගියේ ය. ඒ කාලේ දැනුණු සුවඳක් ද රසයක් ද දැනී නො දැනී ගියේ ය. බල කොට අම්මා කැවූ බත් කටක් ගැන නොස්ටැල්ජියානු මතකයක් හිතේ කොනක ඉකි බින්දේ ය. සමනල් මුහුණ වඩාත් පහළට හරවා ගෙන අසීරුවෙන් බත් කටක් ගිල ගත්තේ ය.

“මට එයා ඕනෙ බං…එයා ළඟ ඉන්නකොට අම්මව මතක් වෙන්නෙ ඇයි කියලත් මට හිතාගන්න බෑ. ඒ වෙලාවට දැනෙන ෆීලින් එක මොකද්ද කියල උඹට තේරුං කරල කියන්න මං දන්නෑ. ඒත් දැං එයාට බල කරන්න හිතෙන්නෑ බං…එහෙම වුණොත් මේ තරමටවත් ළඟින් ඉන්නැතුව එයා මගෙන් ඈතට දුවන්න බලයි”

දිවා ආහාරයෙන් පස්සේ සමනල් සිය හිතමිතුරු නිදුක් ට දුරකතනය ඔස්සේ කීවේ ය.

“ඉතිං මොකද්ද එතකොට ඔය ආශ්‍රයෙ තේරුම…”

“දවසක එයා මට කැමති වෙනකල් මෙහෙම ඉන්නව”

“එයා කවදාවත් එහෙම දේකට කැමති නැති වුණොත්…”

ඒ ප්‍රශ්නයට පිළිතුරක් සමනල් ළඟ ඇත්තේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles