මා හද තුළ ඔබ 33

ගල්කිස්සේ සමුද්‍රාසන්න අවන්හලක වෙරළත පැනවූ හාන්සි පුටු වල දිගා වී සමනල් හා ඔහු ගේ සමීපතම මිත්‍ර නිදුක්, බීර විතක් තොල ගෑහ. ඔවුන් ඉදිරියේ දර්ශනය වූයේ පුළුල් වෙරළ තීරයක් හා නිම් නැති අහස් ගඟකි. අහසත් සයුරත් දෙක ම එක යායකට පෙනෙමින් තිබුණේ වෙරළ කොනෙහි පෙණ කැටි බිඳෙනා ලා සුදු පැහැයෙනි. තරුවක් කොකම් පෑවා නම් ඒ ඉඳහිට කලාතුරකිනි. ඈත සිතිජ රේඛාවෙහි නෞකා දෙක තුනක විදුලි එළි දර්ශනය වේ. ගොඩබිම සිට සයුර දෙසට හමා ගිය මුහුදු සුළඟ බෝට්ටු කිහිපයක් මුහුදට තල්ලු කරමින් තිබිණ. ඒ මුළු දර්ශනය ම දෑසින් විඳ ගනිමින් සිටි සමනල් ලොකු සුසුමක් පිට කොට හැරියේ ය. මුහුදේ රළ නගනා ඝෝෂාව අතරේ ද ඒ සුසුම් හඬ ඇසිණ. නිදුක් මිත්‍රයා දෙස විපරම් ඇසින් බැලුවේ ය.

“එතකොට දැං උඹ මොකද්ද කරන්න හදන්නෙ…”

“මුලින්ම මට ඒ අපායෙන් එළියට යන්න ඕනෙ මචං”

දීර්ඝ වූ හුදෙකලා කල්පනාවක කෙළවර ඔහු එහෙම නිගමනයකට ඇවිත් සිටියේ ය.

“ගෙදරක් කියල සැනසීමක් මට එතනදි අම්ම නැති වුණාට පස්සෙ දැනිලම නෑ. ඒක හරියට අපායක ඉන්නව වගේ මහ අවුල් ගතියක් ඇති කළේ. උඹ දන්නවනෙ. මං ගෙදර හිටියට වඩා හිටියෙ එළියෙනෙ. ඔය ගෙදරට ගියානං ගියේ දෙයියනේ කියල නිදාගන්න විතරයි. ඒකත් එළිවුණ ගමන් යන්න තැනක් තිබුණත් නැතත් එළියට බැහැල යන එකයි මං මෙච්චර කල් කළේ. ඒකත් මෙච්චරකල් මං එහෙම හිටියෙ හේතුවක් ඇතුව”

නිදුක් මිතුරා දෙස බැලුවේ හේතුව කුමක්දැයි අසනා බැල්මකිනි. සමනල් ගේ කට කොනක අඩ සිනහවක් ඇඳිණි. නමුත් ඒ සිනහ රැල්ල යටින් වූයේ ඉකි ගගහා අඬන කඳුළැල්ලකි.

“අම්මටත් එපා වුණ මාව මොනා වුණත් හදා ගත්තෙ තාත්තනෙ කියන හැඟීම නිසා”

එහෙම කියත්දී සමනල් ගේ හඬ බිඳී ගියේ ය. කුණාටු සුළං ප්‍රවාහයක් කොහේදෝ සිට විත් පපුව හිර කළේ ය. ලෝකයට පේන්නට හිස කෙළින් තියා ගෙන ඉන්නා මහ කඳු පවා නාය යන වෙලාවල් තිබේ. මේ මොහොතේ සමනල් ද සිටියේ හදවතින් නාය යමිනි.

“මං තඹරු ට මූණ දෙන්නෙ කොහොමද බං…උඹ දන්නව මේක ජෝක් එකක් නෙවේ කියල. මං ඒකිට කැමති වෙලා ඉන්නෙ සීරියස්ලි. මං පොඩි කාලෙ කැඩිල බිඳිල මට නැති වෙලා ගිය පවුල කියන දේ…එයත් එක්ක එකතු වෙලා හදාගන්න මගෙ හිතේ තියෙන්නෙ ඇත්තටම ආසාවක් නිදුක්. උඹ දන්නව මං කෙල්ලො දැකල නැති එකෙක් නෙවේ. කෝටි ගාණක් කෙල්ලො අතරෙ වුණත් මට තඹරු විශේෂයි. ඒකි මාව සතේකට ගණං ගන්නැතුව ඉද්දි වුණත්…මං පස්සෙන් ගියෙ ඒකයි. ඉරණමේ කොතනක හරි මං ගැන අනුකම්පාවක් ලියවිලා ඇති කියල හිතුණෙ තඹරු ඔෆිස් ආවට පස්සෙ. ටික ටික කෙල්ල මං ළඟදි රිලැක්ස් වුණා කියල මං උඹට කියල තියනවනෙ. සැනසිල්ලෙ හිටපු මගෙ ඔළුව උඩට හෙණයක් වගේ පාත් වුණේ සංසාරෙ කවදක කරපු කරුමයක්ද බං…තාත්ත කරපු වැරදි වලට පුතාට වුණත් දඬුවම් ලැබෙන්න පුළුවන් කියන එකද මේ පේන්න තියෙන්නෙ…මට ලැජ්ජයි බං…දැං මං කොහොමද රන්මුතු ආන්ටිගෙ මූණ බලන්නෙ…එයා ඇත්තටම මාර ශෝක් අම්ම කෙනෙක්. තඹරු මට පෙන්නන්නැති එයාගෙ පැත්ත රන්මුතු ආන්ටි වගේ ඇති කියල හිතල මං සතුටු වෙලා තියනව. ආන්ටි කට පුරා මට පුතා කියල කතා කරනව. ඒ මිනිස්සුන්ට දැන් කොහොමද බං මූණ දෙන්නෙ….”

“මචං…”

නිදුක් බෝ වෙලාවකට පස්සේ අලුත් බීර පොදකින් මුව තෙමා ගෙන හරිබරි ගැහුණේ ය. මිතුරා මේ තරම් දොඩමළු වී හිඳිනුයේ සැබවින් හිත රිදුවාගෙන බව ඔහු ට වැටහේ.

“උඹ කියන විදිහට ඒ මිනිස්සු ඒ තරං අන්ඩස්ටෑන්ඩින්නං…අංකල් කරපු දෙයක් නිසා උඹ ගැන වැරදියට හිතන එකක් නෑ. එහෙම හිතනවනං ඉතිං ඒගොල්ලොංගෙන් ඇති වැඩකුත් නෑ කියල හිත හදාගනිං. මං හිතන්නෑ තඹරු  එච්චර නැරෝ මයින්ඩඩ් කියල. උඹ හිත හැදෙනකල් කොහෙවත් යන්නැතුව අපේ ගෙදර හිටපං. ඔළුව ක්ලියර් වුණහම කල්පනා කරල බලමු මොකද කරන්නෙ කියල…ම්…”

සමනල් ගේ දුරකතනය හැඬවුණේ එතකොට ම ය. තඹරු ගේ ජංගම දුරකතනයේ නොව රන්මුතු ගේ දුරකතනයේ අංකය තිරය මත සනිටුහන් ව තිබි නිසා සමනල් ගේ හදවතෙහි ක්ෂණික අකුණු පිපිරීමක් සිදු විය.

“ආන්සර් කරල බලහංකො මොකද කියන්නෙ කියල”

ඒ තරම් දෙගිඩියාවකින් මීට පෙර ඔහු දුරකතන ඇමතුමකට පිළිතුරු දී නැතිවා විය යුතු ය. අතුණුබහන් කැළතීගෙන ගියේ ය. සමනල් අසීරුවෙන් ‘හෙලෝ’ කීවේ ය.

“පුතා මං රන්මුතු ආන්ටි”

ඇගේ ස්වරයේ සැක උපදනා සංකා අංශුවකුදු වූයේ නැත.

“අ…කියන්න ආන්ටි”

“පුතා අපේ බබූ මේ දවස් දෙකේ හරි අමුතුයි. හෙඩ් ඒක් එකක් කියාගෙන ඔෆිස් එකේ ඉඳල ගෙදර ආවට බෙහෙතක් ගන්න යන්න එන්නෙත් නෑ. එයාගෙ හැසිරීම හරි අමුතුයි. හැබැයි උණක්වත් මට දැනෙන්නනං නෑ. මේ ළමයට මොකක් වෙලාද කියල හිතාගන්න බැරි නිසයි පුතාට කතා කළේ ඔෆිස් එකේ මුකුත් ප්‍රශ්නයකවත්ද කියල අහන්න. වෙනදට ගිරවි වගේ හැම දෙයක්ම කියෝන කෙල්ල මුකුත්ම කියන්නැති එකයි මට තියන ගැටළුව”

ගිනි මැලයකට වතුර පහරක් එල්ල කළා සේ සමනල් ගේ හදවත මත ඇවිළුණ ගින්න නිවිණ. ඔහු හුස්මක් ගැඹුරින් ගෙන පෙනහලු පිරෙන්නට හැරියේ ය. තඹරු අම්මා ට ඒ කතාව කියා නැති බව ඒ අනුව ප්‍රත්‍යක්ෂ ය. ඇය ඒ ඔවුන්ට නො කියා සිටියේ යම්කිසි හේතුවක් නිසාවෙන් නම්, ඒ හේතුව නොදැන සමනල් ට ඇත්ත ඇති සැටියෙන් පැවසිය නො හැකි ය.

 “ආන්ටි…තඹරු මටත් කිව්වෙ හෙඩ් ඒක් එකක් කියල තමයි. හවස මං ජිම් එකට යනකොට එයාව මට පාරෙදි හම්බවුණා. පස්වෙනි පටුමගේ ඇවිදින්න යනව කිව්ව. මං එයාව ආපහු කැෆේ එක ළඟ ඩ්‍රොප් කරලයි ගියෙත්”

“මං හිතුව පුතාවත් මොනාහරි දන්නව ඇති කියල. සොරි පුතා මේ වෙලාවෙ ඩිස්ටර්බ් කළානං”

“අම්මෙ අක්කට සනීප නෑ”

කාමරයේ දොරට එසේ කියමින් තඩිබෑවේ සඳැස් ය. ඒ වෙද්දී රන්මුතු සමනල් ගෙන් සමුගෙන හෝ තිබුණේ නැත.

“තඹරුට සනීප නෑලු. මං තියන්නං පුතා”

ඇය කලබලේ ම කතාබහ අවසාන කොට තඹරු වෙත දිව ගියා ය. ඇය සිටියේ හයියෙන් හුස්ම ගනිමිනි.

“බබූ…අනේ ඇයි දරුවො මේ…”

“ඇඟට අමුතුයි අම්ම”

“අපි ඩොක්ටර් ළඟට යමු”

රන්මුතු විගස දියණිය සූදානම් කොට ගෙන පුරුදු ත්‍රීරෝද රියක් ගෙන්වා ගත්තා ය. කාලයක් තිස්සේ අහස කඩා වැටුණත් නිසොල්මනේ හිඳිනා දිවාකර පවා නො සන්සුන් කලබලයකට පත්ව සිටියේ ය. තඹරු කුඩා කල පපුවේ සෙම ගතියෙන් පීඩා විඳි හැටි ඔහු ට මතක ය. වෛද්‍යවරයා වෙත ගොස් නෙබියුලයිස් කොට ගෙට ගොඩ වූ ගමන් නැවත ද ඇයට හතිය ඇති වූ දවස් තිබේ. එතකොට ඔවුන් දෙදෙනා සඳැස් ද වඩාගෙන නැවත තඹරුව වෛද්‍යවරයා වෙත ගෙන යන්නෝ ය. එතකොට නම් ඔවුන් සතුව මෝටර් රථයක් තිබිණ. දැන් ඒ කාලේටත් වඩා ඔවුන් අසරණ ය. පසු කාලයක දන්නා තරමින් සෙම්ප්‍රතිශ්‍යාවකටවත් තඹරු බෙහෙත් නො බීවා ය. නිරෝගී දැරියක වූ ඇය ගැන දිවාකර තුළ අදිසි බියක් ඇති නොවුණා නොවේ.

වෛද්‍යවරයා කීවේ තඹරු ගේ රුධිර පීඩනය ඉහළ ගොස් ඇති නිසා වහා ම රෝහල්ගත කරනා ලෙසයි. ඒ වෙලාවේ තීරණ ගත යුතුව තිබුණේ රන්මුතු ය. කලබල නොවී සිහි කල්පනාවෙන් වැඩ කරන්නට ඇය මුලින් ම සිතා ගත්තා ය. මුදල් පසුම්බියෙහි ඩෙබිට් කාඩ් පත තිබේ. ඇය දිවාකර ට කතා කොට දියණිය සාත්තු නිවාසයට ගෙන යන බව කීවා ය. මේ වෙලාවේ රජයේ රෝහලකට ගෙන ගොස් තඹරු තනිකොට දමා එන්නට හිත හදාගත නො හැකි ය.

තඹරුට අසනීප ය යන පුවතින් සමනල් කැළඹී ගියේ ය. හදිසියේ ම කුමක් සිදු වූයේ ද? නැවත කතා කොට බාධා නොකොට මඳ වෙලාවක් ඉවසා ගත් හෙතෙම මත්තෙගොඩ බලා යන්නට රියට නැගී මඳ දුරක් විත් රන්මුතු ගේ දුරකතනයට ඇමතුමක් ගත්තේ ය. ඒ වෙලාවේ තඹරු සිටියේ රන්මුතු ගේ උකුලේ හිස හොවාගෙනයි. රන්මුතු ගේ දුරකතනය ට පිළිතුරු දුන්නේ සඳැස් ය.

“බ්ලඩ් ප්‍රෙශර් වැඩි වෙලා නිසා ඩොක්ටර් කිව්ව හොස්පිට්ල් අරං යන්න කියල. අපි මේ නර්සින් හෝම් එකට අරං යන ගමං”

“සඳැස්…මල්ලි මේ අහපං. අතන මෙතන නතර නොවී තලවතුගොඩට අරං වරෙං. මං මේ එන ගමන්. එතනට අරං වරෙං අක්කව හරිද”

ඒ වෙලාවේ සඳැස් ට උවමනා වූයේ අක්කා ඉක්මනින් සුව කරගනු වස් හොඳ ම දේ කරන්නට ය. ඒ හැර තීරණ ගන්නට බැරි තරමට ඔහු හිතින් දුර්වල වී සිටියේ ය. අක්කා මේ වගේ තත්වයකින් ඔහු කිසි දා දැක නැත. තලවතුගොඩ ගෙන යන එක වඩාත් හොඳ බව ත්‍රීරෝද රථයෙහි රියදුරු තරුණයා ද අනුමත කළෙන් ඒකමතිකව එය සිදු විය. ඔවුන් රෝහල ළගට යන විට හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිරියේ සමනල් නො සන්සුන් ලෙස සක්මන් කරමින් සිටියේ ය.

තඹරු ව ට්‍රොලියක් මතට ගැනිණ. ඇගේ ඇස් මොහොතකට සමනල් ගේ ඇස් මත නතර විය. ඔහු සිටියේ භීතියෙනි. ඇගේ ඇස් මළානික ව තිබිණ. වහ වහා වෛද්‍ය කාර්ය මණ්ඩලය තඹරු වට කොට ගත්හ. රුධිර පීඩනය මැනීම්, ඔක්සිජන් ලබා දීම්, ඊසීජී පරීක්ෂණ සිදු විය. තඹරු ගේ අතට සවි කරනා ලද කැනියුලාවක ආධාරයෙන් සේලයින් දෙන්නට පටන් ගත්තේ ය. ඊට ඖෂධ වර්ග එන්නත් කෙරිණ.  ඒ යන්ත්‍ර සූත්‍ර ඉදිරියේ දී එතෙක් නො දැනුණ බියක් හැම හදවතකට ම දැනෙන්නට ගති. රන්මුතු ගේ දත් ඇඳි තද වී තිබිණ. ඇය එක වචනයක් හෝ කතා කළේ නැත. සඳැස් ගේ ඇස් රතු වී තිබුණේ ය. මේ වෙලාවේ ඔවුන් සියලු දෙනා බලා ගත යුත්තේ ඔහු ය යන හැඟීම සමනල් තුළ මෝරා වැඩෙන්නට විය.

“දැන් ඉතින් බයවෙන්න හේතුවක් නෑ. තඹරුට ඕනකරන ට්‍රීට්මන්ට්ස් කෙරෙනවනෙ”

රන්මුතු ගේත් සඳැස් ගේත් හිත් හදන්නට ඔහු එහෙම කීව නමුත් රන්මුතු ගේ හදවත යකාගේ කම්මල බඳු විය. දිවාකර තනිවම ගෙදර ය. ඒ හදිසි රිය අනතුරෙන් පස්සේ ඇය ඔහුව ගෙදර තනි වෙන්නට කිසිදා කිසිදු ඉඩක් තබා නැත. තඹරු ට ඔහු අතිශය ආදරේ වග ඇය දනී. දියණිය හදිසියේ අසනීප වීම ගැන දිවාකර සිටියේ ම මඳ කැළඹීමක ය. ඒ නිසා ඔහු ගෙදර තනි කොට එන්නට සිදු වීම රන්මුතු ගේ හිතට වදයකි. ඇය මදක් ඉවතට ගොස් ඉක්මනින් ගෙදර එන බව කියා ඔහු සන්සුන් කරවූවා ය.

තඹරු ව රෝහල්ගත කෙරිණ. සඳැස් ව ගෙදර යන්නට කැබ් රියකට ගොඩ කරනා ලෙස රන්මුතු සමනල් ගෙන් ඉල්ලා සිටියා ය. මේ වෙලාවේ කළ යුතු හොඳ ම දෙය ඇය තඹරු අසල හිඳ පුතු දිවාකර වෙත යවනා එකයි.

“අනේ පුතේ තාත්තව බලන්න හොඳේ”

රන්මුතු ගේ සර වෙව්ලා ගියේ ය. සඳැස් පිළිබඳ දෙගිඩියාවක් ද ඇයට නො වූවා නොවේ.

“මං මල්ලිව ගෙදර එක්කං යන්නං ආන්ටි. වොරි වෙන්න එපා  මං අද එහෙ නවතින්නංකො තනියට”

රන්මුතු ට සැනසෙන්නට ඒ හොඳට ම ප්‍රමාණවත් ය. සමනල් ඉන්නවා නම් ඇයට එතැන තමන් ඉන්නවා වන් ආරක්ෂිත හා විශ්වාසවන්ත බවක් තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles