විහඟ පියාපත් 43

එක්වරම කිසිවෙකු  තම අත්ලේ පැටලෙනු දැනුනාට පසු අකලංක  යන්තමට ආපසු හැරුණේය. අඩි කිහිපයක් පිටුපසින් සිටින්නේ කවුරුන්දැයි දැක ගත් ඔහු විදුලියක් වැදුණාක් මෙන්   වෙවුලා ගොස් ගල් ගැසුණේය. 

එතෙක් වෙලා නිසොල්මනේ වූ පරිසරයම දෙදරා ගිය වගක් අකලංක ට දැනුණි

“මල්ලී., මගේ යාලුවෙක්.. මට විනාඩි කිහිපයක් දෙන්න…”

සිහි එළවා ගත් වහාම , අකලංක පිරිසේ උන් අයෙකුට එලෙස කීවේය. ඒ සැනින් ඔහු අතේ වෙලී තිබූ අත තවත් තද වනු දැනුනි.

 ඉතින් ඒ ඇය , ශයිනි ඔහුව අත් නොහැරම ඉදිරියට ගමන් කලාය. අකලංක ඇය දෙස වන දෑස ගලවා ගත නොහැකිව ඇය හා සමඟම ගමන් කරම්න් උන්නේය.

ශයිනි නැවතුනේ කිලෝමීටරයක් පමණ දුර ඇවිද යෑමෙන් පසුවය. එතෙක් වේලා ඇය හෝ ඔහු  කිසිවක් කීවේ නැත.  

ශයිනි කෝපි හලට ඇතුළු වූවාය. ඒ ශයිනි ගේ අවන්හල වග අකලංක  දනී. චායාරූප සහ වීඩීයෝ පට වල වූ පෙනුමෙන්ම ඇත. ඇතැම්  වර්ණ පමනක් වෙනස් පෙනුමෙන් පෙනේ. අකලංක ගේ අත තවම ශයිනිගේ අතකය. 

 ඉදිරියට පැමිණි ඉන්දීය යුවතියක් ඇය පිළිගෙන පසෙකට කැටුව ගියාය.

“කොෆී දෙකක්….”

ඇය සිංහල භාෂාවෙන් පවසද්දී ඇය හිස සැලුවාය. 

“මේ ඒරියා එක චුට්ටක් ෆ්‍රී කරන්න නෙයිනා…”

ඇය ආපසු හැරී යද්දී ශයිනි පැවසුවාය. ඇය ආපසු හැරී ඇයට ඇසක් වසා එකඟ  බව පවසන ඉඟියක් දුන්නාය.

අකලංක සියල්ල දෙස බලා උන්නා පමණි. 

ශයිනි ඔහුගේ අතින් අතැරියේ ඉන් පසුවය. 

ඕ ඉතා ඍජු ලෙසින් බලා උන්නාය.

“කොහොමද අමයුරු …?”

ඇය විමසුවේද ඒ ඍජු බැල්මටම අමතර ඍජු බවක් දවටාගෙනය. අකලංක සිනාසී ඉවතක් බැලුවේය. ඇය තමා ඉදිරියේ සිටීම එතරම් උද්දාමයට පත් වන්නට යුතු කාරණාවක් නොවන වග දැනෙයි.

“අවෝර්ඩ් විනින් ඩිරෙක්ටර් කෙනෙක්ව මෙහෙම තැනකට එක්කන් ආවට කමක් නැද්ද මන්දා ?”

ශයිනි ඉදිකටු තුඩු වලින් පාරවන්න පටන් ගෙන තිබුණි. අකලංක එයද ඉවසා උන්නේය. 

කිඹුලා කන එක ඉවසීම පහසු බවද, කොහිල කටුඇනෙන එක ඉවසීම අපහසු බවද ප්‍රායෝගිකව වින්දේය.

“ඉතින්.. ඔයාට පුළුවන් පේපර් ආර්ටිකල් එක්ක ලියන්න.. ම්ම්ම්.. මොනවා ගැනද අපි ලියන්නේ ? මෙහෙ වේස්ට් මැනේජ්මන්ට් නම් ඉතින් සුපර් ක්ලාස්.. හයිජීන් ගැන බලනවද ? ම්ම්ම්ම් ….”

ඇය දෑස් නටවමින්, අකලංක වෙත ඍජු කැල්මන් පා කරමින් කියවමින් උන්නාය. අමයුරු ගෙන් හෝ අකලංක ගෙන් ඇය නුදුටු යක්ශාවේශය මතු වෙමින් තිබුණි. එහෙත් පෙර සලකුණු ගැන හෝ ඉඟි ඇය නොදැන උන් නිසා ඕ කලේ කියැවීමම පමණි. එක්වරම අකලංක නැගිට ගත්තේය. මේසය මතට දෑත් තමා ඇය වෙතට එබුණේය. ඇය ගොලු කලාය.

මැජික්මය ඇස් දෙකත්,  ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනත් , ඉතා ඝණ ඇහි බැම යුග්මයත්  ශයිනිගේ පපු මැද්දෑවේ ඇලවී තිබූ  තැන පටන් අකලංක ගේ මුහුණ මතට පැන්නේය.  ඕ දෙතොල් එකිනෙක විකා ගත්තාය. දෙතොල් තෙත් කරගන්නට උත්සාහ කලාය

“එක පාර මරපං ..”

අකලංක ගිගිරුවේ පහත් හඬිණි. ශයිනි තවත් කෙළ පිඬක් ගිල්ලාය.

” මං උඹ තරම් හය්ය මිනිහෙක් නෙවෙයි. මට දැන් ඕනි සනීපෙට වැටිලා ඉන්න පපුවක්…මට සීරියස් මිනිහෙක් වගේ පෙන්නලා ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ දැන්…..මට ඕනි ආදරෙන් දියවෙලා යන්න ….  උඹ ඔහොම පාරවන්නේ එහෙම මිනිහෙක්ව… මං කල දෙයින් උඹට කොච්චරක් රිදුනද කියලා උඹ දන්නවනේ ශයිනි ? අන්න ඒ වගේ සිය දහස් ගුණයක් මට රිදුණා.. උඹ කල දේ නිසා.. මේ කරන දේ නිසා…”

අකලංක එහෙමම අසුනට වැටුණේය. ශයිනි හුස්ම පහලට හෙලුවාය. අකලංක ගේ දෑත් මේසය මත විය. ඕ දකුණු අතේ සුලැඟිල්ල අස්සෙන් පැටලුණාය.

“සමාවෙන්න…”

කඳුළු පිරුණු ඇස් වලට පසු අකලංක ගේ කෝපය තිබුණේ නැත. ඔහු ඇයට සුලැඟිල්ල පටලවාගන්නට සුලැඟිල්ල නවා සකසා දුන්නේය. හිනාවක් ඉතිරුණි. කෝපි රැගෙන ආ තරුණිය පසුපස තවත් කිහිප දෙනෙක් වූහ. එහෙන් මෙහෙන් කඩා ගත් නැවුම් මල් පොකුරු මේසය මත තැබූහ.

“මිස්ගේ ඇස්වලට කවදාවත් කඳුළු දෙන්නෙපා….”

පැමිණි එක් යුවතියක් පිටව ගියේ එලෙස පවසමිනි. 

“ශයිනි හොඳ කෙනෙක්… තේරුම් ගන්න විතරක් උත්සාහ කරපං මචං….”

අනෙක් කෙනා අකලංක ට අතට අත දෙන්නද අමතක කලේ නැත. අනෙක් කිහිප දෙනාද විවිධ දේ කීහ. අකලංක සියල්ලට සිනාසෙමින් අසා පිළිගත්තේය.

ශයිනි උන්නේ ඒ සිදුවීම පහදා ගන්නට නොහැකිවය. නයිනාට කීවේ විශේෂ මිතුරෙකු සමඟ පැමිණෙන නිසා මේසයක් සූදානම් කරන්නට පමණි. මේ අකලංක බවවත් කීවේ නැත.  එසේනම් ඔවුන් දන්නේ කෙලෙසද ?

ඕ අකලංක දෙස බැලුවාය.

“මං ඒ අයව ටික ටික දන්නවා… “

ශයිනි දෑස් විසල් කරගත්තාය.

“මගේ මිනිස්සු ඒ…”

ශයිනි අසුනෙන් නැගිට්ටුණාය. සුලැඟිල්ල ලිහුණි. අකලංක සිනාසුනේය.

“මගේ මිනිස්සු නෙවෙයි ඉතින් .. ඒත්, මං අඳුනන අය ලවා මෙතනට ඉන්ටර්වීව් එව්ව අය… ඔයාව බලාගන්න එව්ව අය.. තිළිණි වගේ අය…”

අකලංක කීවේ සැහැල්ලුවෙනි. පෙර ශයිනි පෙන්වන්නට උත්සාහ කල සැහැල්ලුව දැන් අකලංක සතුය. ශයිනි සිටින්නේ ඒ වචනයක් ගානේ වන බර දරාගන්නට නොහැකිවය.

“ඉඳගන්න…”

අකලංක සිහි කරම තුරුම ඕ උන්නේ සිටගෙනය.

“කොහොමද ඔයාට ?”

අකලංක ඇසුවේ ඉන් පසුවය.

“කවුද ඔයා ?”

ශයිනි ඒ සැනින් ඇසුවාය.

අකලංක යළි ඇයට සුලැඟිල්ල පෑවේය.අකලංක ගේ මුහුණ දෙසත්, ඔහුගේ සුලැඟිල්ල දෙසත් බලා උන් ඕ සුලැඟිල්ල පටලවාගන්නට ඉදිරියට නැවුණාය.

පැටලුණු සුලැඟිල්ල දිගේ අකලංක ඇයගේ අත්ලම අත් පත් කර ගත්තේය.

“ඔයා මාව දන්නවා නේද ශයිනි ? “

ඔහු ඇසුවේ අතැඟිලි වලින් අත්ල පිරිමදිමිනි.  ඇවිලෙන්නට තරමේ වන කලබලය සඟවාගන්නට උත්සාහ කරද්දී, අකලංක ම ඉදිරිපත් වී ඕ නිව්වේය.

“කොහොමද කෙල්ල ?”

අකලංක ඉන් පසුව විමසුවේ අතිශය  රෝමාන්තික හඬකිනි. කොච්චරක් කල්  දුරට වී උන්නද, මේ පපුව මැද දළු ලා පීදුණ ප්‍රේමයකි.

“ඔයා අපේ ගෙදර යමු.. නැන්දාට මම කියන්නම්…”

ශයිනි එපමණක් පවසා ඉවත බැලුවාය. ඉන් පසුව කිසිවෙක්, කිසිවක් කීවේ නැත. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles