මා හද තුළ ඔබ 38

උදේට මාර්ග තදබදය වැඩි ය. ඒ තදබදය අතරේ රිය පදවත්දී ක්ලමථය, විශාධය තවත් වැඩි වේ. තමන් හිඳිනා තත්වය තුළ දී එවන් තදබදයකට හසු වීම කිසි සේත් නො ගැලපෙන බව සමනල් දැන සිටියේ ය. එසේ හැඟුණු ගමන් ඔහු මාකුඹුරේ දී අධිවේගී මාර්ගයට රිය හරවන්නනට ගියේ ය. නමුත් ඒ පැත්තට යතොත් යන්නට වන්නේ කඩවතට බව වහා ඔහු ට සිහි විය. එය අඩ හෝරාවකටත් වඩා අඩු කෙටි ගමනකි. ගමනාන්තයෙහි වුව හිත නිවාගත හැකි පරිසරයක් ඇත්තේ නැත. එබැවින් ක්ෂණික ව තීරණය කොට සමනල් ගාල්ල දෙසට යන්නට අධිවේගී මාර්ගයට රිය ඇතුළත් කළේ ය.

තඹරු සිටියේ සැහැල්ලුවෙනි. අම්මා ට නො කියා මේ ගමන පැමිණියේ වී නම් ඒ සැහැල්ලුව ඇයට කිසි සේත් අත්විඳිය නො හැකි වනු ඇත. එහෙනම් හිතේ කොනකින් වරදකාරී හැඟීමක දෙගිඩියාවක් එබිකම් කොට බලනා එක නැවතිය නො හැකි ය. නමුත් දැන් එහෙම නැත. බියෙන් රකින්නට සිදුවන රහසක් නොවනා බැවින් රහස් එළි වෙතැයි බියක් ද නැත. ඇය වූ කලී පිරිමින් කෙරේ විශ්වාසය තබමින් වැඩිහිටි වූ ගෑනු දරුවෙකු නොවේ. තාත්තා නිසාවෙන් අමමාට උහුලා ගන්නට සිදු වූ ජීවිතයේ බර ඇයට ද දැනිණ. ජීවිත කාලයකට කියා අල්වා ගත් අත් අත්හරිනා පිරිමින් නිසා ගැහැනුන්ට විඳගන්නට සිදුවන සියල් පිරිපත ඇය දෑසින් දුටුවා ය. ඒ හින්දා ම ඇය පිරිමින් තබා ගත්තේ ඇගේ හදවතට අතේ දුරිනි. එය අනවශ්‍ය සැකකිරීමක් කියා හිතෙනා අවස්ථා වල “ඕනවට වඩා මිනිස්සු සැක කරන්න එපා බබූ” කියා රන්මුතු ඕනෑ තරම් කියා තිබේ. නමුත් සිය හදවත බිඳෙන සුළු වීදුරුවක් බව දැනගෙන ඕ මරි පරිස්සමෙන් එය බලාකියා ගත්තා ය. සමනල් ආවේ අනවසරයෙනි. එපා කියත්දීත් වැටකඩොළු බිඳගෙන ය. සීමා මායිම් හා ආරක්ෂිත උපක්‍රම සියල්ල අතික්‍රමණය කරමිනි. ඒ බලහත්කාරයට හිතේ එක පැත්තක් කෝප ගත්තා ට ඒ හිතේ ම අනිත් පැත්ත ආදරයෙන් බලා සිටි බව පිළිගන්නට අද ඇයට සිදු වේ.

මේ මොහොතේ ඔවුන් ට එක අරමුණක් ඇත. පොදු සතුරෙකු සිටී. තමන් වඩාත් ආදරය කරනා අය වෙනුවෙන් ඉටු කොට දෙන්නට යුතුකමක් තිබේ. සොබා දහම හෝ ඉරණම පුදුමාකාර ය. ඒ එක අහඹු සැඳෑවක, ජනාකීර්ණ නුගේගොඩ මංසන්ධියේ දී ඔවුන් ට ඔවුන් මුණගැස්වීම ගැන ය. උනුන් හඳුනා ගන්නට මාර්ගය හෙළි පෙහෙළි කිරීම ගැන ය. තඹරු පළා යත්දීත් සමනල් හඹා ආවේ ඔවුන් ට වැඩ කරන්නට එක අරමුණක් ඇති බව සොබා දහම කල්තියා දැන සිටි නිසා විය හැක. ඔවුන් මුණගස්වා ඒ අරමුණ කරා ගමන් කිරීම සාක්ෂාත් කොට දීම එහි දීර්ඝ කාලීන සැලැස්ම වූ නිසා විය හැක.

“මං ආසයි මේ ගමනට”

ටික වෙලාවක් රියෙහි පැති වීදුරුවට කම්මුල තියාගෙන වේගයෙන් ඉදිරියට එන හා පසු වී යන මනරම් දර්ශනය දෙස බලා උන් ඕ අනතුරුව යන්තම් හිස හරවා බලාගෙන සමනල් ට කීවා ය. ඇගේ ඒ ඉරියව්ව හා බැල්ම රිදී බිඳී තිබූ පිරිමි හිතේ කඩතොලු අතරේ රිංගා ගොස් සැනසීමක් කාන්දු කරවී ය.

“මං හයි වේ එකේ මාතර ගිහින් තියෙන්නෙ එක පාරයි. කැම්පස් එකේ යාළුවෙක්ගෙ තාත්ත නැති වෙලා ෆියුනරල් එකට. මේක එක විදිහක භාවනාවක් වගේ නේද…හිතේ තියන කරදර ඔක්කොම පහු වෙලා යන සීන්ස් වගේම පස්සට තල්ලු වෙලා යනව වගේ දැනෙනව”

“ඒත් ඒ ඇත්තට නෙවෙයි තඹරු. පහු වෙලා යන්නෙ මෙහෙම යනකල් විතරයි. ගිහින් නතර වුණ ගමන් ඒ ඔක්කොම ඇවිත් ආයෙ අපි ඉස්සරහ හිටගන්නව”

“ඒ වුණාට…ස්ට්‍රෙස් රිලීස් කරන්න මේක හොඳ මෙතඩ් එකක්”

“ඔයා කියන දෙයක් තමයි ඉතිං”

ඔහු එය කී විලාශයට තඹරු ට හයියෙන් සිනහ ගියේ ය. ඒ සිනහව ඒ මොහොතට වුව ඔහු සැහැල්ලු වූ සව්මිය ලෝකයකට ගෙන ගොස් අතරමං කරවන ලදී. ඇය සතුටු පෙති බෝතලයක් වාගේ සමනල් ට දැනිණ. කෙනෙකුට මුළු ජීවිත කාලයට ම ඒ එක සතුටු පෙති බෝතලය ප්‍රමාණවත් ය.

“සමනල්…”

මද මුදු සරකින්, නිවුණු තානයකින් ඈ ඔහු ඇමතුවා ය. මීට පෙර කිසිදු ගැහැනු ළමයෙකු ඒ තරම් සිත් ඇදගන්නා විලාශයකට ඔහු ගේ නම උච්චාරණය කොට නැති බව ඉඳුරා විශ්වාස ය. වචනයකින් වුව ඒ සුව දැහැන බිඳින්නට නො සිතුණෙන් සමනල් ඇස් වලින් විතරක් ඇයිදැයි විමසුවේ ය.

“ඔයාගෙ හිතට දැනෙන අමාරුව මට තේරෙනව. මට දැනෙනව. මගෙ තාත්ත අහිංසක විදිහට හදාගත්ත බිස්නස් එක ඩිලන් රණසිංහ අසාධාරණ විදිහට විනාස කරලයි කියල දැනගත්ත වෙලාවෙ මට දැනිච්ච ප්‍රෙශර් එකටත් වැඩි පීඩනයක් දැන් ඔයාට ඇති. මොනද මට තිබුණෙ මගෙ තාත්තගෙ බිස්නස් එක වට්ටපු කේන්තිය. ඔයාට තියෙන්නෙ ඔයාගෙ අම්මට ලොකු අසාධාරණයක් වුණා කියන වේදනාව. සමනල්…ඒ දෙකම වෙලා තියෙන්නෙ එකම තැනකින්නෙ. දැන් මං විතරක්වත් ඔයා විතරක්වත් නෙවෙයි…අපි දෙන්නම ඉන්නවනෙ එක අරමුණකට යන්න. ඉතිං ස්ට්‍රෙස් නොවී අපි හෙමිහිට ඒක කරමු. බිස්නස් එකක් නෙවෙයි ජීවිතයක් ඊට වැඩිය හුඟක් වටිනවනෙ. මං ප්‍රාර්ථනා කරනව ඔයාගෙ අම්ම කොහේ කොතනක කොයි විදිහට හරි ජීවත් වෙන්න කියල. අපි එයාව හොයා ගන්න ට්‍රයි කරමු. ඔයාගෙ අම්ම මගෙ තාත්තගෙ හොඳම යාළුවනං…අපිට ගොඩක් ඉන්ෆොමේශන්ස් තාත්තගෙන් ගන්න පුළුවන් වෙයි. කලබල වෙලා රණ්ඩු හදාගෙන බෑ හරිද…පොඩ්ඩක් ඉවසීමෙන් මේක කරමු. මොකද මේක ලොකු රහසක්. රහසක් කියන්නෙ එළිපිට තියන දෙයක් නෙවේනෙ. මෙච්චර කාලෙකට ඔයාට ඒ ගැන ඉඟියක්වත් දැනගන්න එයාල ඉඩ තියල නෑනෙ. ඉතින් ඔයා කලබල වෙලා ඒ ගැන අහනකොට කොහොමත් රිංගල යන්න පුළුවන් සිදුරු වහල දාන්න බලනව. අනේ ඒකනිසා කලබල නොවී ඉන්න සමනල්. කොහොම වුණත් වෙච්ච දේවල් දැන් වෙලා ඉවරයි. ඉතිහාසය වෙනස් කරන්න බෑ. හැබැයි ඉවසීමෙන් පරිස්සමෙන් ඉකිහාසයෙ මොකද වුණේ කියල දැනගන්න පුළුවන්. මෙච්චර කාලෙකට පස්සෙ අපිට මෙච්චර දේවල් දැනගන්න පුළුවන් වුණානෙ. නිකංම එහෙම වෙනව කියල ඔයා හිතනවද…ඒ හැම දේම වෙන්නෙ ප්ලෑන් එකකට. අපිට නොපෙනෙන බලවේගයක මැදිහත්වීමක් මෙතන තියනව. එයා පටන් ගත්ත දේ හරිම විදිහට ඉවර කරනව කියල විශ්වාසෙන් ඉමු. අර ඔයා කිව්ව වගේ සොබාදහම නඩු අහන හැටි බලන් ඉමු. ඔයා ගැන විශ්වාසෙං මං මේ කියන්නෙ. දිවාකර පබ්ලිශර්ස් වැට්ටුවෙ කොහොමද කියල මට කිව්වෙ සර්කියුලේශන් මැනේජර්. බිස්නස් දේවල් දන්නව වුණාට පර්සනල් දේවල් ඒ මනුස්සය දන්නව කියල හිතන්න අමාරුයි. ඒත් මං වෙලාවක ඒ මනුස්සයව කතාවට අල්ලගෙන වචනෙ දාල බලන්නං  සමහර විට අපිට පොටක් පාදගන්න පුළුවන් වෙයි”

පැටළුණු නූල් බෝලයක් සේ අපිළිවෙල වී තිබි සමනල් ගේ සිතිවිලි, තඹරු විසින් ඉසියුම් ලෙස ලිහා දමන්නට සමත් වූවා ය. එවිට ඔහු ට ඉදිරිය නිරවුල් ව පෙනෙන්නට වූයේ ය.

“තෑන්ක් යූ…”

කුඩා දරුවෙකු ගේ සතුටෙන් යුතුව සමනල් මිමිණුවේ ය.

“මේ වෙලාවෙ මාත් එක්ක ඉන්නවට…”

ඔහු ට ඕනෑ වූයේ ජීවිතය පුරාවට ඇය ළඟින් තබා ගන්නට ය. නමුත් ඒ අදහස ගැන මුල දී තඹරු ප්‍රසාදයක් හැඟවූයේ නැත. ඊට පස්සේ ඒ අදහස ඇය වෙත ඉදිරිපත් කරන්නට ඔහු බිය වූයේ ය. ඒ, මේ තරමටවත් ඇය ළඟින් නො සිටිනු ඇතැයි දෙගිඩියාවෙනි.

වැලිපැන්නේ දී මෝටර් රථය තුරු සෙවනක නතර කළ සමනල් දෑත් පිටුපසට ඔසවා අසුන අල්වාගෙන හිස ඊට බර කළේ ය. ඔහු ට යම් සහනයක් දැනෙමින තිබිණ. ඒ ඉරියව්වේ හිඳිනා තරුණයා දෙස තඹරු අසුනේ මඳක් ඇල වී හිඳ නෙත් යොමු කොට ගත්තා ය. දින දෙක තුනකින් නොකැපූ රැවුල් කොට දුක් කතාවක් කියමින් වැවීගෙන එයි. සිහින් රේඛා ලෙස අඩවන් වූ ඇස් පියන් තඩිස්සි වී ය. මේ දවසට දෙකට කම්මුල් ඇදී ගොස් වාගේ ය. ඔහු සිටිනා ඉරියව්ව නිසා උගුරු ඇටය වඩාත් ඉදිරියට නෙරා විත් පෙනේ. ඉහළට එසැවී ඇති අත් බාහුව, ටී කමිස අතින් නිරාවරණය වී ඇති හරියේ දී මාංශ පේශීන් කැපී පෙනෙන්නේ පුරුෂ ලක්ෂණ ගැන ගැහැනු හදක ගැස්මක් ජනිත කරමිනි. හදිසියේ ම හැරවූ සමනල් ගේ ඇස් වලට තඹරු ගේ බැල්ම හසු විය. ඔහු ඇයි දැයි ඇස් වලින් විමසමින් ඒ ඉරියව්වෙන් ලිහිල් වූයේ ය. ඇය කිසිත් නැතැයි කීවේත් ඇස් වලින් ම ය. ඒත් එක්ක ම පිරිමියෙකුට රහසින් ඔහු ගේ පිරිමි ශරීරය දෑසින් විඳ ගත් ඕනෑ ම ගෑනු දැරියකට ඒ රහස ඔහු ට හසු වීමේ දී දැනිය හැකි ලැජ්ජාශීලී බවින් ඇය බිම බැලුවා ය. සමනල් ගේ මොහොතක බැල්ම මුළු මහත් තඹරු වෙත එල්ල විය. නෙළුම් පෙති වාගේ ඒ ඇස් තටු පහළට බර වී ගෙන තිබේ. හුස්මක් තරම්වත් පමා නොවූ දඩබ්බර දෙතොල් ඇගේ ලවන් මත තද වූයේ තඹරු කොහෙත්ම බලාපොරොත්තු නොවූ ලෙස ය. ඒ තත්පරය ඇය අප්‍රාණික කරවී ය. නමුත් වසර විසි ගණනක් වූ දිවි මං තලාව තුළ කිසි දා හමු වී නො තිබි මිහිරකින් ඈ දෙගොඩතලා යන්නට වූවා ය. ඉකා කෙටි හා කලබලකාරී වූ ඊළඟ නිමේශයේ දඩබ්බර දෙතොල් සිප ගත්තේ ඇගේ වම් කොපුල ය.

තත්පර දෙක තුනක් තරම් වූ ඉතා කෙටි නිමේශයක් තුළ හරි හදිසියේ සිදු වූ ඒ අහම්බයෙන් පසු සමනල් ඇගෙන් ඉවත් වෙත්දී, තඹරු එතෙක් අල්වා ගෙන උන් හුස්ම හෙළුවා ය. ඇගේ දෙතොල් ඇයට ම බරට දැනිණ. කම්මුල මත සීතලක් ඉතිරි වී තිබිණ. සමනල් ගේ හිතුවක්කාර දෙතොල් මත්තෙහි වූයේ ජයග්‍රාහී මන්දස්මිතයකි. එය පරාජයක් නම් ඉත සිතින් ඒ පරාජයේ සතුට පිළිගන්නට තඹරු රිසි වූවා ය.

“තේ එකක් බීල එමු”

කියමින් ඔහු රිය දොර හැර ගෙන බැස ගත්තේ ය. නමුත් තඹරු එසේ ම සිටියා ය. දෙපා සොලවා ගත නො හැකි බවක් ඇයට දැනෙමින් තිබිණ. අලුත් ජවයකින් පණ ලැබූ යෞවනයා රිය වටෙන් විත් තඹරු සිටි පැත්තේ දොර හැරියේ ය. ඊළඟට මඳක් නැවී ඇය වෙත නැඹුරු වූයේ ය.

“තරහ ගිහින්ද ඉන්නෙ දැන්…”

එහෙම ඇසුවාට එහෙම නොවන බව ඔහු ඉඳුරා දැන සිටියේ ය. තඹරු බිම බලාගෙන ම රියෙන් බැසගත්තා ය. සමනල් ගේ අතැඟිලි ඇගේ අතැඟිලි අතරේ තදින් තද විය. ඒ උණුහුම ඇයට ඉකිළුමක් ගෙන ආ තරම ය. තඹරු අනිත් අතින් ඔහු ගේ අත් බාහුව වැළඳගනිමින් ම එහි දෑස් හොවා ගත්තා ය. ඉක්මන් හාදුවක සීතල උණුහුම ඇගේ හිස් මුදුණට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles