අරුණලී උන්නේ හඬාගන්නටවත් පණක් නැතුවය. හෝටලයේ සිට නිවස බලා එන්නට වාහනයට නගිද්දි අරුනලී දෙනෙත් බිමට බර කරගෙනම ආවේ මිනිසුන්ට මුහුණ දෙන්නට බැරිකමටත් වඩා තමන් විසින් ආදරයෙන් සොයා බලා ඇණවුම් කල විවාහ මංගල සැරසිලි දෙස බලන්නට බැරිකම නිසාවෙනි.
මේ සියල්ල මෙසේ ආදරයෙන් ගොඩ නැගුවේත්, විය හියදම් ගැන නොසිතා ඇණවුම් කලේත් මෙවන් ඉරණමකට මුහුණ දෙන්නට වේ යැයි සිතාද?
මෙතෙක් කාලයක් තමා සමග ආදරයෙන් බැඳී උන් මිනිසා තමන්ගේ ඇස් වසා වෙනත් සබඳතාවයක පැටලී හිඳී ඇති බවත්, මේ වසර ගණනාව පුරාවටම තමා රැවටී ඇති බවත් දරාගන්නේ කෙසේද?
අනෙක් අතට මෙනුක තමාව විවාහ කරගන්න ගොස් තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ හිඳින ඔහුගේ හොඳම මිතුරෙකු වෙන රමිත් සමග වීම.
අරුණලීට දරාගන්නට අපහසු වූයේ ඒ ඇත්තය.
“ඔන්නමහ ලොකුවට බඳින්න යන මිනිහගෙ ඇත්ත තත්ත්වෙ දැන්වත් දැනගන්නව” කියා ඒ ඩෙයාඩෙවිල් නම් අන්වර්ත නායක සහිත මුහුණුපොත් ගිණුමෙන් එවා තිබූ ඒ වීඩියෝව තමා සැබෑවටම දැක්කාද කියා අරුණලී නැවත නැවත සිතුවාය.
අකුණු දහසක් හිසට ඉහලින් පිපිරෙනු පමණක් අරුණලීට මතකය. දෙනෙත් නිලංකාර වී යනයුරුත්, දෙනෙතින් නිරායාසයෙන්ම කඳුලු වැගිරෙනුත් සාරි පොට සකසමින් අම්මා කාමරයට ආ අයුරුත් තමාව දැක තිහැස්සී වේගවත් ගමනින් තමා වෙත ආයුරුත් අරුණලීට මේ දැන් වූවාක් මෙන් මතකය.
එහෙත් ඒ සියල්ල සිදු වූයේ ඊයේය.
ඊයේ නොඑසේනම් තමන් විවාහ වන්නට සියල්ල සූදානම් කරගෙන උන් දිනයේය.තමාගේ වන්නට තිබූ දිනයේය.
“මොකද්ද බං උනේ? අරුණලීට කොහෙන්ද ඒ වීඩියෝ එක ඇවිල්ල තියෙන්නෙ?”
“මං දන්නෙ නෑ බං. දවස් කීපෙක ඉඳල කවුරුහරි ෆේක් අකවුන්ට් එකකින් අරුණලීට මැසේජ් දදා හිටියා. අමුතු අමුතු ඒවා. මම හිතුවෙ නෑ බං මෙහෙම දෙයක් වෙයි කියල. කවුද හිතුවෙ?”
“මං උබට ඉතින් වෙන්න කලින් ඕව කිව්ව. උබ ඉතින් පිලිගත්තෙ නෑනෙ. දැන් හරිනෙ ඔය කෙලවගත්තෙ හොඳ එකෙන්ම”
“කවුද බං හිතුවෙ මෙහෙම වෙයි කියල?”
“උඹ දන්නවද කවුද ඒක එව්වෙ කියල?”
“මං හිතන්නෙ අර ෆේක් අකවුන්ට් එකෙන් මැසේජ් කල එකාම වෙන්නැති. ඒ උනාට මං එහෙම කිසිම දෙයක් රෙකෝඩ් කරේ නෑ බං කවදාවත්”
“උඹ නොකරට රමිත් කරන්න ඇති. මට හොඳටම ශුවර් ඕක එවන්න ඇත්තෙත් ඌම තමයි කියල. උඹේ මූණ හොඳටම පේනවනෙ ඒකෙ. මං උබට කිව්වනෙ ඌ ඔය සද්ද නැතුව වගේ ඉන්නෙ හොඳ දේකට නෙවෙයි කියල”
“මං ඌට කිව්ව බං මේක නවත්තමු කියල, මට කියල ජීවිතයක් නැද්ද බං? මං බයිසෙක්ශුවල් කියන එක මට ප්‍රශ්නයක් නැති උනාට රමිත්ට උඹට ප්‍රශ්නයක් නැති උනාට අපේ ගෙදරට අරුණලී ලගෙ ගෙදරට ප්‍රශ්නයක් වෙන බව මම ඌට කියල දුන්න. ඌ ඒක පිලිගත්තෙ නැති බව දැනගෙන හිටියට මම හිතුවෙ නෑ බං ඌ මෙහෙම කරාවි කියල. මම හිතුවෙ ඌ වෙඩින් එකට එන්න බෑ කිව්වෙ උගෙ හිත රිදිල හන්ද නිසා මිසක් බව මෙහෙම කරන්න හිතාගෙන ඉන්න හන්ද නෙවෙයි. මම කොහොමද බං මිනිස්සුන්ට මූණ දෙන්නෙ? උඹ හිතන්නෙ වෙඩින් එකක් මෙහෙම කැන්සල් උනාම මිනිස්සු ඕක ගැන දැනගන්නෙ නැතුව ඉන්නවද?
“ඕව ඉතින් කලින් හිතන්න තිබුණ ඒව” කියා කුමිල කියද්දී ආරියරත්න නිවසේ වූයේද ඒ හා සමානම වාතාවරණයකි.
“හරිනං මේ මගුල් ගන්න කලින් තමයි ඕව හොයල බලන්න ඕන”
කියා සුරුස් ගා තේ උගුරක් ඉහලට ඇද්දේ ශ්‍රීනි නැන්දාය. අරුණලීගේ විවාහය මෙසේ හදිසියේ බිඳ වැටීම ශ්‍රීනිට බොහෝ කාලයක් යනතුරු සිනාසෙන්නටත් කතා කියන්නටත් හේතුවක් වන බව සුබා මෙන්ම ආරියරත්න ද දැන උන්හ. එහෙත් නිවසට ආ නෑයෙක්ට බැණ වදින්නට හැකිද?
“මල්ලිලත් ඉතින් ඔස්ට්‍රේලියා ගමනට රැවටිලා කිසිදෙයක් හෙව්වෙ බැලුවෙ නෑ. උඩ දාගෙනනෙ ඔය ඔක්කොම ලෑස්ති කරේ. දූත් කිසිම වෙලාවක අනිත් අය කියන දේ අහන කරන එක්කෙනෙක් නෙවෙයිනෙ. හොඳ පාඩම ඉතින් උඩ දාගෙන ගියාට” කියා දන්න අඳුනන තැන්වල මිනිසුන්ට කතා කර තමන්ට සිනාසී ඇති බව පවා ආරියරත්න පවුල නොදන්නවා නොවේ. එහෙත් මේ අසරණ මොහොතකි. තැන් තැන්වල සිනා සී මුහුණට හමු වූ විට මූණිච්චාවට අනුකම්පාව දක්වන නෑයන් පවා අවශ්‍ය අසරණ මොහොතකි.
“අපි මේ කෙල්ල ඔස්ට්‍රේලියා යවාගන්න උවමනා හන්ද මෙහෙම කසාදෙක පැටලෙව්වෙ නෑනෙ අක්කෙ. එහෙම කතා කරන්න එපා”
“එහෙම කතාකරන්න එපා කියන්නෙ අපි ඇත්තක් කිව්වම තම උඹලට දිරවගන්න අමාරු”
“අක්ක මහ පුදුම කතානෙ කියන්නෙ මගෙ දරුවට ඔහොම නොහොබිනා කතාවක් කියද්දි මං කොහොමද දිරවගන්නෙ?” කියා අසද්දී සුබාගේ කටහඬ බිඳී ගියේ දෙනෙත් කඳුලින් පුරවාලමිනි.
“නොහොබිනා කතාවක් වෙන්න තිබුන ඕක මගදි කැඩෙන්න නැතුව දෙන්න එක්කහු උනා නම්. උඹලට රෙද්දක් ඇඳන් නෙවෙයි පාරෙ බැහැල යන්න වෙන්නෙ එහෙනම්”
“අපිට මොකද බැරි රෙද්දක් ඇඳන් පාරෙ බැහැල යන්න? අපෙ දරුව මුකුත් වරදක් කරේ නෑනෙ. ඒ කොල්ලගෙනෙ ඔක්කොම වරද”
“පිරිමින්ව හෝදල හරි ගෙට ගන්න පුලුවන්. ගෑණුන්ව එහෙම බෑ. උඹල කොහොමත් ගියේ උඩින්නෙ. බිමට වැටුණම තමා ලෝකෙ රඟේ තේරෙන්නෙ. උඹලට අපිටත් වඩාලොකුවෙලා තිබුනෙ උන්වනෙ” කියා ශ්‍රීනි සමච්චලයට මෙන් හිනාවෙද්දි මුහුණ හරහා පහරක් ගහන්නට තිබුනා නම් අපූරු බව සුභාට සිතුණද මේ මොනවා නැතත් තමන්ගේ සැමියාගේ නංගීය.තමන්ගේ නෑනාය.
“දැන් ඔය කතාවලින් වැඩක් නෑනෙ. ලැජ්ජාවක් උනා නම් උනා. එච්චරයි” කියා ආරියරත්න පවා කිව්වේ මේ කතාව සමාදාන කරන්නට බලාපොරොත්තුවෙන් වුවද ශ්‍රීනි උන්නේ එසේ පහසුවෙන් මේ අල්ලාගත් පොට අත් අරින්නට සිතා නොවේ.
දරුවන් කුඩා කාලයේදි අරුණලී හෝ සඳලිනී එහෙමකට කියා ඉගෙනීමට දස්කම් දැක්වුවේ නැත. එහෙත් ශ්‍රිනිගේ දියණිය වන භානු කුඩා කල සිට ගණන් හදන්න, අකුරු ලියන්නට දස්කම් දැක් වූ නිසාවෙන් ශ්‍රීනි කුඩා කල සිට භානුට සැලකුවේ අනාගතයේ වෛද්‍යවරියක වන්නට හිඳින්නියක ලෙසිනි. භානු අරුණලී සහ සඳලිනීට වඩා වසර කිහිපයකින් ලාබාල වුවද එකට සෙල්ලම් කල අවදියේ පවා ශ්‍රීනී ඒ ගැන වැඩි මනාපයක් දැක්වුයේ නැත.ශ්‍රීනිට අනුව භානු යනු අනාගතයේ වෛද්‍යවරියක වෙන්නට හිඳින ඉතාම මොළේ ඇති කෙල්ලෙකි.
සඳලිනී සහ අරුණලී යනු එහෙමකට කියා ඉගෙන ගන්නට හැකියවක් නැති “අයියාගේ මෝඩ කෙල්ලන්” දෙදෙනාය.
එහෙත් කාලය වෙනස්වන බවත් ජීවිතය සහ බලාපොද ඒ අනුව වෙනස් වන බවත් ශ්‍රීනි පසක් කරගත්තේ නොසිතූ අන්දමින් උසස් ලෙස උසස් පෙල සමත් වූ අරුණලී සහ සඳලිනි විශ්ව විද්‍යාලයට යද්දී භානු පලමුවර උසස් පෙල යන්තමින් මෙන් සමත් වෙද්දීය.
මේ අරුණලී නොඑසේනම් තමන්ගේම සහෝදරයාගේ දියණිය විපතකට පත් වී හිඳිද්දී ශ්‍රීනි පිරිමසා ගන්නට හදන්නේ ඒ බලාපොරොත්තු බිඳ වැටීමේ වේදනාවය. තරහය.
“එච්චරයි කියල කිව්වට නම් ඉවරවෙන්නෙ නෑ. අපෙ ළමයින්ට පවා ප්‍රශ්නයක් වෙන්න පුලුවන් මේව කවදහරි උන් කසාද බඳින්න යද්දි” කියා ශ්‍රීනි නැද්ද මහමේරුව කඩන් වැටුණාක් මෙන් කියද්දී “භානුට නම් ප්‍රශ්නයක් වෙන් නෑ නැන්දෙ. එයා දැනටම එක්කෙනෙක් එක්ක යාලුයිනෙ ඒ ලමය ඕව ලොකුවට හිතන එකක් නෑ” කියා කියන්නට සඳලිනීට හිතුණද ඇවිලෙන ගින්නට පිදුරු දමන්නේ ඇයි කියා සිතා අනතුරුව ඇය මුව වසා ගත්තාය.
මේ සියල්ල ගෙදර පහත මාලයේ වෙද්දී අරුණලී උන්නේ උඩ තට්ටුවේ කාමරයට වී ඇඳේ හාන්සි වීගෙන කෙලවරක් නොපෙනෙන කල්පනා ලෝකයල ගුලි වී තෙරපීය. ඒ කල්පනා ලෝකයම පුරවාගෙන උන්නේ මෙනුක සහ ඔහු විසින් මේ වසර ගණනාව පුරාවටම කියන්නට යෙදුණ බොරුවලින් ය.
“අනේ ඇයි මෙනුක ඔයා මට මෙහෙම කලේ? ඇයි මටම මෙහෙම බොරුවක් කරේ?” කියා කෑ ගසා ඔහුගේ පපුවේ එල්ලී හඬනට හැකි වූවානම් මේ වේදනාවෙන් මදක් හෝ මිදෙන්නට තිබුණ බව සිතුණද අරුණලී ඊලඟ මොහොතේම ඒ සිතුවිල්ල ගැන අප්පිරියාවෙන් සිතුවාය.
මෙතෙක් දවසක් තමාව ආදරයෙන් සිපගෙන, වැලඳගෙන තිබෙන්නෙ තමන්ට විතරක් ආදරය කල පිරිමියෙකු නොවේ. ගැහැණුන් සහ පිරිමින් යන දෙපාර්ශ්වය හාම බැඳෙන්නට ඇති නිසාවෙන් තමන්ව රැවටූ පිරිමියෙකි.
දරාගන්නට අපහසු ඒ හැඟීමය. ඒ රැවටීම පිලිබඳ හැඟීමය.