කේක් ඇන්ඩ් කොෆී වලට ඉදිරියෙන්, පාර එහා පැත්තේ වන කහ පාට මල් සළුවක් පොරවා ගත් මාර ගසට ඉස්මත්තෙන් අඩ සඳක් අහසට පනිමින් සිටී. ඒ අඩ සඳ කිරණ නැහැවී තඹ පාට වූ හාත්පස පසුබිමෙහි, තඹරු ගේ ඇස් වලට කෙළින් ම හසු වන්නේ කාපට් පාර මත නිමැවී ඇති කහ මල් පාවාඩයයි. ඇය නෙතු පිය නො සලා ඒ දර්ශනය දෙස බලාගෙන ම සිටියා ය. ඒ රුව සිත්තමට නගන්නට සිත්තරාවක නොවීම ද ඒ රුව කවියකට නගන්නට ඇය කිවිඳක නොවීම ද ගැන තඹරු තුළ උපන්නේ මඳහසකි. නමුත් ඇයට ලස්සන දේවල් ලස්සනට පෙනෙනා දෑසක් හිමි ව තිබේ.
නගරය දහවලට ගිනිගත්ත ද රාත්‍රිය සිහිලැල් ය. හමා ආ සීතල සුළඟකින් හිරිවැටී ගොස් ඕ දෑත් පපුව මත බැඳගත්තා ය. ඒ හිරිවැටුම, යළිත් මඳහසකින් මුව විකසිත කරවී ය. මේ ඉක්මන් කෙටි මඳහස් තුළ සමනල් හුස්ම ගන්නා සුවඳ ඇයට දැනේ. යුවතිය පුටුවක් ඇද හිඳගෙන දෙපා සමීප කොට ඈතට දිගු කළා ය. දෙඅත්ල එක් කොට අත් දෙක කලවා අතරේ හිර කොට ගෙන සීතලෙන් මිදෙන්නට තැත් කළා ය. මේ සීතල සුළඟ නො කියා කියන්නේ ළඟ ළඟ ම එන වර්ෂාවක් ගැන කතාවක් නො විය හැකි ද?
හැන්දෑවේ ඇය සමනල් සමගින් අම්මා ඉදිරියට ආවේ දෙගිඩියාවෙනි. ජීවිතයේ ප්‍රථම වතාවට අම්මා ට නො කියනා රහසක් දරා හිඳීම දුවකට පහසු නැත. තමන් වෙනදාට වැඩිය සිනහ වෙනවා වාගේ තඹරු ට දැනිණ. වෙනදාට වැඩියෙන් ඇය දොඩමළුයි කියා ද සිතිණ. හොරයක් වහ ගන්නට දරනා උත්සාහය ම ඒ හොරය අම්මා ගේ අතට අල්වා දේවියි විටෙක ඕ බිය ගත්තා ය.
“තාත්ත එක්ක රණ්ඩු වෙලා ඊයෙ ගෙදරින් ගිහින්. යාළුවො ඇනෙක්ස් එකක් හොයල දීල. උදේ තේ එකක්වත් නැතුව තමයි ඇවිත් තියෙන්නෙ. හිත කලබල නිසා මුකුත් අවුලක් කරගනී කියලයි මං පුළුවන් තරං හිත හැදුවෙ. කෑම එකක් දීල යවමුද අම්ම…නැත්තං රෑටත් ඔහේ බඩගින්නෙ නිදියයි”
සමනල් කෝපි එකක් බොන අතරේ රන්මුතු ව තනිකර ගෙන තඹරු රහසින් කීවා ය. රන්මුතු කොල්ලෙකුගේ බඩට සෑහෙන තරම් බත් පතක් ඔතා දුන්නා ය. ඔහු ගිය පසු ගිය බවට පණිවිඩයක් තබා තිබිණ. නමුත් හිතේ වූ දෙගිඩියාව මුසු ගැස්ම නිසා තඹරු දුරකතනය අතට නො ගත්තා ය. කැෆේ එකේ වැඩ කරන ගෑනු ළමයා හැන්දෑවට නික්ම ගිය පසු එය වසා දමන්නට හැකි වී ද, පාන් ගෙඩියක් හෝ අලෙවි වන නිසා තරමක් රෑ බෝ වන තුරු රන්මුතු ඒ ඇරගෙන සිටී. අද තඹරු ස්වේච්ඡාවෙන් ම එහි ආවේ අම්මා ට විවේක ගන්නට කියා ය. ඈ අතින් වරදක් වූවා කියා හෝ ඒ වරද නිවැරදි කරන්නට ඕනෑ ම දෙයක් කරන්නට සූදානම් කියා හෝ ඇගේ හිත කියමින් තිබිණ. කොහොමත් මේ වෙලාවේ හිත වැඩිපුර කැමති වූයේ මේ වාගේ චමත්කාරයක තනි වන්නට යි.
දන්න දා පටන් තනි ජීවිතයේ දිග පළල හොඳින් දැන උන් සමනල් ට, මේ හෝරාවේ ඒ කිසි දාක දැනී නැති ආගන්තුක හුදෙකලාවක් දැනෙමින් තිබිණ. නමුත් ඒ තුළ වූයේ හදවත කීතු කරනා මූසල බවක් නොවේ. සීතල සුදු මීදුම් යායකදී දැනෙනා සව්මිය බවයි. දිය නාගෙන විත් ඔහු නැවත ද දුරකතනය ට එබුණේ ය. ඇනෙක්ස් එකට පැමිණි බවට පණිවිඩය ඇය දැක තිබෙන බවට නිල් පාට හරි සලකුණු දෙක සාක්ෂි දරයි. නමුත් ඉඟියකිනුදු වෙනත් ප්‍රතිචාරයක් නැත්තේ ය. තෙත් තුවාය රෙදි රාක්කයෙහි දිගහැර දැමූ සමනල්, රන්මුතු විසින් ඔතා දෙන ලද බත්මුල දිගහරිමින් කුඩා මේසය ළඟ හිඳගත්තේ ය. ඔහු ගේ දෙතොල් අහේතුක සිනහවකට විකසිත විය. ඇගේ කොපුල් ද ලවන් ද අතැඟිලි ද සිනිඳු ය. සියුමැළි ය. අද ඔහු ළඟදී ඇය වඩාත් හුරතල් හා හුරුබුහුටි වූවා ය. රන්මුතු ට මූණ දෙත්දී ඈ පෙන්වූ ආගන්තුක බව සිහි වී ඔහු ගේ සිනහව අලුත් විය.
“පිස්සු කෙල්ලෙක්”
බත් මුලෙහි වූයේ පහේ බැද පිසූ සැමන් කරියක් හා කහ පාටට හින්දවූ පරිප්පු ව්‍යාංජනයක් පමණකි. කුඩා ග්‍රොසරි බෑගයක කුඩාවට කපා බැද්ද පපඩම් අහුරක් විය. ඒ සුවඳ ඔහු ගේ රස නහර අවදි කොට කුසගිනි වැඩවී ය.
“ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නො දන්නෙමී…සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නො දන්නෙමී…නුඹට සිත බැඳුණේ කිමැයි මා තවම නො දන්නෙමී…නුඹට සිත බැඳි කාරණේ මම තව ම සොයන්නෙමී…”
ආසන්න නිවසක් දෙසින් දිවුල්ගනේ ගේ ශාන්ත ස්වර ඛණ්ඩයක් ගලා ආයේ ය. තඹරු ඕනෑකමින් ද ඕනෑවට එපාවට ද මන්දා ඇස් පියාගෙන රාත්‍රියත් ඒ ගැඹුරු පිරිමි හඬත් තුළ හිතට පාවෙන්නට හැරියා ය.
“බබූ…”
සමාධියක් තුළ දී ඇසුණ රන්මුතු ගේ මුණිවර සරින් යුවතිය කැළඹුණා විය යුතු ය. ඇය ඉක්මන් සිනහවක් නගා ගෙන, දිගහැරගෙන උන් දෙපා තමන් වෙතට ලං කොට ගත්තා ය. රන්මුතු ගේට්ටුව වසා විත් දියණිය ට යාබද අසුනක යන්තමින් හිඳගත්තා ය.
“දැං ඇති අනේ. වහල නිදියමු”
දෙතොල් තෙරපා ගත් සිනහවකින් ඇය හිස දෙපසට සලා අම්මා ට එකඟ වූවා ය. නමුත් අසුනින් නැගී සිටිනා උවමනාවක් රන්මුතු විසින් පෙන්වනු ලැබූයේ නැත.
“ඉතිං…”
ඕනේනම් ඒ පුංචි වචනය ඔස්සේ දිග කතාවක් ඇති කරගන්නට පිළිවන. නමුත් තඹරු ට එහෙම දිරියක් වූයේ නැත.
“මොනාද කල්පනා කරන්නෙ…”
එනයින් රන්මුතු ම ඌනපූර්ණය කළා ය.
“මොනාත් නෑ අම්මි. අර මාර මල් ගහයි බිම වැටිල තියන මල් පාවාඩෙයි දිහා බලං හිටිය. හඳ එළියට චිත්‍රයක් වගේ…”
“සමනල් මොකද කියන්නෙ”
දෙන්නට පිළිතුරක් ගලපා ගන්නට කාල වෙලාවක් නැතිව යුවතිය මන්දහාසයක් නගා ගත්තා පමණකි. නමුත් රන්මුතු වූ කලී අම්මා ය. ඉතින් ඒ මඳහස තුළ ලියවී තිබි නො කියූ කතා ඉව කළ හැකි පුහුණු ඉවක් ඇයට තිබිණි.
“එයා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ…එයාගෙ ජීවිතේ ගැන තීරණ ගන්න අයිතිය එයාට තියෙන්න ඕනෙ”
රන්මුතු එසේ කීවේ යහනෙහි වැතිරෙමිනි. දිවාකර ඇඳ විට්ටමට හේත්තු කළ කොට්ටයකට පිට දී ගෙන සිටියේ ය. ඔහු තරමක් නොසන්සුන් බව රන්මුතු දැන සිටියා ය. තඹරු කාර්යාලයට නොගොස් සමනල් සමගින් පිටතට ගිය බව දැනගත් වෙලාවේ පටන් ඔහු මේ නො සන්සුන් බව අත්විඳී.
“පොඩි ළමයෙක් නෙවෙයි තමයි. ඒ වුණාට එයාට දෙමව්පියො ඉන්නවනෙ. තනියම ජීවිතේ තීරණය කරන්න බබූ තැලිල පොඩි වෙලා නෑ”
“ඒත් එයා හරි වැරැද්ද අඳුරනව තාත්ති. බබූ ලේසියෙන් කාවවත් විශ්වාස කරන ළමයෙකුත් නෙවෙයි. එහෙම එකේ…එයාගෙ තරුණ හැඟීම් වලට අපි අතදාන්න යන එක වැරදියි. පව්නෙ…”
“සමනල් කියන්නෙ ඩිලන්ගෙ පුතානෙ”
රන්මුතු වහා හිස ඔසවා බැලුවා ය. දිවාකර ගේ කට කොනක මස් පිඬක් ගැස්සී ගියේ ය.
“ඔයා ඔච්චර හොඳයි කියන උදාරිගෙත් පුතානෙ ඒ ළමය”
“ගිරව් දෙන්නගෙ කතාව දන්නවනෙ රන්…සමනල් හැදුනෙ ඩිලන් ළඟ”
“ඒ වුණාට ඒ ළමය හොඳයි. මට ඒක දැනෙනව”
ඇය කොට්ටයෙහි හරි බරි ගැසී ඇස් තද කොට පියවා ගත්තා ය. තව බෝ වෙලාවක් දිවාකර ඒ ඉරියව්වේ කල්පනා කරමින් සිටියේ ය.
දොර අගුල දැමූ බව සැක හැර දැන ගත් තඹරු යහනෙහි ගුලි වී “කෑවද” කියා විමසා සමනල් ට කෙටි පණිවිඩයක් යැව්වා ය. එකෙනෙහි ඔහු ඒ දුටුවේ ය.
“දැන්ද මාව මතක් වෙන්නෙ…”
ඒ බොරු නෝක්කාඩුවකි. එකෙනෙහි ඔහු ඇයට ඇමතුමක් ගත්තේ ය.
“අම්ම මුකුත් හිතයි කියල බයට මං ෆෝන් එක ඇල්ලුවෙවත් නෑ”
පොඩි දැරියක සේ මුමුණා ඇය ඇත්ත ම කීවා ය. ඒත් කිසිවෙකුට ඇසේ යයි බියෙන්, වඩාත් පහළ ස්වරයකිනි. සමනල් හඬ නගා සිනහ වූයේ ය. ඒ සිනහව වනාහි පිරිමි හැඟීම් ගුලියකි. තඹරු මොහොතකට ඇස් පියාගෙන ඒ සිනහව විඳින්නට හදවතට ඉස්පාසුවක් ලබා දුන්නා ය.
“ඒත් අම්ම දන්නව හරිද…”
ඇය ගැස්සී නෙතු හැරියත් සමනල් එය කීවේ සැහැල්ලුවෙනි.
“ඇයි ඔයා එහෙම කියන්නෙ..”
“ඔයාගෙ අම්ම එහෙම මීටරයක්. එයාට දැනෙන්නැතුව හැරෙන්නවත් ඔයාට බෑ”
“ඒත් අම්මි මුකුත් කිව්වෙ නෑ. ඔයා මොනාද කියන්නෙ කියලනං ඇහුව”
“හ්ම්…”
“මට කියන්න දෙයක් තිබුණෙ නෑ. ඉතිං මං හිනාවුණා විතරයි”
“ඔයා ඇත්තටම බය වෙලා බබා”
“හ්ම්…බයක්මත් නෙවේ. ඒත්…අනේ මන්දා..ඒක මට හුරු නැති ෆීලින් එකක්”
තඹරු අවංක ය. ඈ කොයි තරම් අහිංසක ද යන්න ඒ වචන අතරේ තැවරී තිබිණ. සැබෑ තඹරු ඇයයි. මුලදී ඇය ඔහු ට පෙන්වූ අහංකාර රළු කෙල්ල ව්‍යාජ තඹරු කෙනෙකි. සිය ආරක්ෂක කවචය ලෙස ඇය විසින් පැළඳගෙන සිටිනු ලබන බොරු තඹරු කෙනෙකි. ඒ කවචයට ද ඔහු ආදරේ වූ එකේ මේ සැබෑ අවංක අවිහිංසක තඹරු ඔහුට මහමෙරකි. සමනල් ඇස් පියාගෙන හදවතින් ඇයව සිය පපුතුරෙහි හොවා ගත්තේ ය.
තඹරු ද මායාව තුළ මඳකට හුදෙකලා වන්නට රිසි වූවා ය. ඔහු ගේ පපුතුර සුව යහනේ දැනෙනා වූ සුවය ගැන ඇගේ හදවත ගණන් හිලව් හැදුවේ ය. ඈ තවත් මනසින් එහි ගුලි වූවා ය. දවාලේ ගාල්ලේ දී දාහය නිසා ඔහු කමිසයේ උඩ බොත්තම විවර කොටගෙන සිටියේ ය. තඹරු එදෙස බැලුවේ බියෙනි. නමුත් ඔහු එතකොට වඩාත් කඩවසම් කියා ඇයට සිතිණ. දිවා ආහාර ගත් අවන්හලේ උඩු මහලේ කොරිඩෝවට වී කෙටි බිත්තියට ඔබ්බෙන් වන සයුර දෙස බලා සිටියදී සමනල් ඇය ළඟට ආවේත් උඩ බොත්තම් දෙක විවර කළ කමිසය සහිතව ය. ඇය අඩැසින් බැලුවා ය. තව මොහොතකින් ඔවුන් සමු ගෙන යා යුතු බව දෙදෙනා ම දැන සිටියහ. ආයේ කවදාක එහෙම දවසක් උදා වේවිද කියා සිතිය නො හැකි ය. සමනල් තඹරු ගේ බඳ වටා අත දමා ඈ සිය සිරුර ට ලං කොට ගත්තේ ය. කමිස පපුව දිගේ ලිස්සූ හිස, බොත්තමින් විවර වූ පිරිමි පපුවෙහි නතර විය. බොත්තම් සහිත කමිස දාරය ඇගේ අතැඟිලි වලට ගුලි විය. ඈ දෙතොල් පෙති තබා තදින් ඒ පපුව මැද සිප ගත්තා ය. පිරිමි පපුවක සුවඳ ආත්ම ගණනකට ගැහැනු හදවතෙහි නිදන්ගත විය.
“තඹරු…”
ඒ ආමන්ත්‍රණයෙහි වූ ආදරයේ බර ඇයට දරාගත නො හැකි තරම් විණි.
“ම්…”
“මං ඩිලන් රණසිංහගෙ පුතා වෙච්ච නිසා…දවසක මට ඔයා නැති වෙයිද…”
තඹරු ගේ හදවත කීරි ගැසිණ.
“අනේහ්”
කියා ඇයට කියවිණ.
“අදින් පස්සෙ කවදාවත් එහෙම දෙයක් ගැන හිතන්න බෑ. තාත්ති මට එහෙම කරන එකක් නෑ”
ඇය උගුර යටින් කියාගත්තා ය.