මා හද තුළ ඔබ 44

වැස්ස නවතින පාටක් නැත. නිරිත දිග මෝසම සක්‍රිය වූ ගමන් මැයි මාසයේ වැසි වැටෙන්නේ එහෙම ය. පැල් බැඳගෙන එක දිගට ය. ආත්මය ම ගිනි ගොඩක දවා ලූ ඒ දර්ශනය නෙතු මත පතිත වීමෙන් පස්සේ ඩිලන් රණසිංහ මේ හිස් කරන්නේ කී වෙනි විස්කි විදුරුව දැයි ඔහු ම නො දනී. නමුත් පියවි සිහිය ඔහු හැර යන්නේ ම නැත. මඳ මත් බවකින් ඒ සියල්ල අමතක වී යන්නේ ම නැත. එතකොට ආත්මය තව තවත් ගින්දරෙහි පිළිස්සේ. දැවී අළු වී නැවත ද අලුතෙන් දැවේ.

දෛවය ඔහු ට සරදම් කරන්නට හදනා බව ප්‍රත්‍යක්ෂ ය. කාලයකට කලින් ඩිලන් ට සිටි සතුරා දිවාකර ය. ව්‍යාපාරික සතුරා පමණකුදු නොව සිය බිරිඳගේ හිසට වස විස එක් කළ පෞද්ගලික සතුරා ද ඔහු යයි ඩිලන් අදහයි. ඔහු සාර්ථක ලෙස සතුරා විනාශ කොට දිග්විජය කළායි ඩිලන් සිතා සිටියේ ය. දස වසරකට වැඩි කාලයක් ඔහු යෙහෙන් වැජඹුණේ ය. සව්දිය පිරුවේ ය. ජය පැන් බීවේ ය. ජයග්‍රහණය සැමරුවේ ය. නමුත් බලාපොරොත්තු නොවූ ලෙස සතුරා නැවත ද හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. එදා ඔහු ඉත්තෙකු කර ගත්තේ උදාරි සිය බිරිඳ ය. නමුත් මේ දෙවන වටයේ දී ඔහු සිය ලෙයින් උපන් පුත් සමනල් තුරුම්පුව ලෙස පාවිච්චි කරමින් හිඳී. ඩිලන් ගේ දුර්වලකම වූ කලී සමනල් ය. උදාරි ව පිළිකුල් කළ ද ඔහු ට සමනල් ඕනෑ විය.  සිය වාසනාව මිට මොළවාගෙන උපන් පුත් කුමරා සමනල් යයි ඩිලන් තරයේ විශ්වාස කළේ ය. ඔහු පුත්‍රයා හැදුවේ රජ පැටවෙකු වාගේ ය. නමුත් ඔහු නිතර ම පෙන්වූයේ අම්මා ගේ ගතිගුණයි. ඩිලන් හා සමනල් අතරේ පිය පුත් අරගලයට එය ද ප්‍රබලව බලපෑවේ ය.

“ඔය කෙල්ලව රස්සාවෙන් දොට්ට දාන්න. අපෙන්ම පඩි අරං අපිට මොන මරාලයක් අටවන්න ප්ලෑන් කරනවද දන්නෑ. ඔයාගෙ මහලොකු පුතත් ඒවට උඩ දාගෙන සපෝට් කරනව ඇතිනෙ. එක්කො ඔය පවුලම එකටම නැති කරල දාන්න තියෙන්නෙ. ජාති වෛරක්කාරයො”

ගයාත්‍රි දත්මිටි කෑවා ය. ඇය වෙව්ලයි. කේන්තිය ද බිය ද සම අනුපාත වලින් රුධිර සංසරණය හා මුහු වී තිබේ. උදා වී ඇත්තේ හොඳ ම කාලය යයි දස වසරක් ම ඔවුහු ඔද වැඩී සිටියහ. ඒ සිහින මාළිගය ඇස් ඉදිරියේ ම බිමට කඩාගෙන වැටීම උහුලාගත නො හැකි ය.

ඩිලන් සන්සුන් දෑසකින් සිය ප්‍රියම්බිකාව දෙස බැලුවේ ය. ඇය ආවේගශීලී ගැහැනියක බව ඔහු දනී. ඩිලන් ගේ හදවත ඇතුළේ පැටවී ඇති බර ගැන ඇයට අදහසක් ඇත්තේ නැතිවා විය යුතු ය.

“මෙච්චර දෙයක් වෙන්න යද්දිත් විස්කි බිබී ඔහොම කූල් එකේ ඉන්නෙ කොහොමද ඩිලන්…උන් එකතුවෙලා මේ ඔක්කොම අපෙන් උදුරගනී”

ජීවිත කාලයට ම මහ උළු ගෙදර තපින්නට සිදු වුණොත් ඊට වඩා භයානක විය හැකි යයි ඩිලන් නො කියා සිටියේ ය. ඔහු ගේ මේ අසීමිත නිහඬ බව නොකියා කියන්නේ හදවතට දැනෙනා අසීමිත පීඩනය ගැන කතාවකි. දිවාකර ඇතුළු පවුලට කළ හැකි හා විය හැකි දේවල් පෝළිමක් ඔහු ගේ කෲර මනසෙහි ඇඳී මැකේ. නමුත් ඒ සියල්ල ඉදිරියෙහි දැවැන්ත ප්‍රාකාරයක් සේ සමනල් සිටගෙන සිටින්නේ ය. දිවාකරලාට මොනවා කළත් ඒ තමන් යයි මේ වෙලාවේ සමනල් සිතන්නේ ය. අනුමාන කරනවා හෝ සැක කරනවා නොව ඔහු ගේ උසාවියේ දී නියත වශයෙන් ම ඩිලන් අපරාධකාරයා වන්නේ ය. එයින් වන්නේ තව දුරටත් ඔහු ට එක ම පුත්‍රයා අහිමි වී යන එකයි. එතකොට අවසාන වශයෙන් ඉතිරි වන්නේ කුමක් ද? දිවාකරලා සිය මාවතෙන් මුලිනුපුටා දමන්නට බැරි එක ම හේතුව එයයි.

විටෙක අඩු වෙමින් ද තවත් විටෙක වැඩි වෙමින් ද වැස්ස දිගට ම වැස්සේ ය. පිටතින් ඇනවුම් කොට කෑම ගෙන්වාගෙන කේක් ඇන්ඩ් කොෆී තුළ දී කමින් බොමින් පවුලක් වශයෙන් ප්‍රීතිමත් දවසක් ගෙවන්නට සමනල් ට ද අවස්ථාව ලැබිණි. ඒ ඔහු ට ජීවිතයෙහි මතක කාලයක අහිමි වී තිබූ යමකි. දිවාකරට ලං ව අම්මා ගැන තව තවත් හාරා අවුස්සමින් අතීත සුවඳට ඉව අල්ල අල්ලා සිට ඔහු ඇනෙක්සියට ආවේ හැන්දෑවේ ය.

“මොනා වුණත් ඒ කොල්ල ගැන දුකයි. දෙමව්පියන්ගෙ වැරදි වලට දවසක දරුවන්ටත් දුක් විඳින්න වෙනව කියන්නෙ ඕක තමයි”

රන්මුතු ඇත්තට ම කණගාටු වූවා ය. ඇය සමනල් ඉන්නා තැනට නිතර ම ආදේශ කොට සිතුවේ සිය දරුවන් දෙදෙනාව ය. එතකොට ඇගේ සිත හිරිවැටී යයි. ඇගේ ජීවිතයට යම් දෙයක් වී තඹරු ට හා සඳැස් ට මව් සෙනෙහස අහිමි වී ගියේ වී නම් යයි සිතත්දී පවා ඇයට වාවාගන්නට බැරි වේ. ඒ අතිදුෂ්කර කාලයේ ඇය කෙසේ සියල්ල උහුලා දරාගත්තා ද කියා සිතත්දී දැන් පුදුම ය. කෙසේ හෝ ජීවිතය අල්ලා ගෙන ඉන්නට හයිය දීම ගැන  ඇය ඉරණමට ස්තූති කළා ය. උදාරි ට යම් කිසි මොහොතක ඒ හයිය අහිමි වී ගියේවත්ද?

දිවාකර ගේ මූණේ පේශි තද විය. රන්මුතු ඒ ඇනුම්පදයක් කීවා ද යන සැකය ඔහු තුළ පහළ විය. නමුත් ඔහු වචන වලට ඉඩ නොදී සිටියේ ය. සැමියා ගේ මූණේ සිදු වූ ඒ වෙනස රන්මුතු ඉව කළා ය.

“ඩිලන් කියන්නෙ මහ නරුම මිනිහෙක්”

ඇය දිවාකර ගේ හිත ලිහිල් කළේ එවන් ප්‍රයෝගී බසකිනි. සමනල් ගේ ඇස් වල තඹරු වෙනුවෙන් උපදිනා බැල්මෙහි තැවරුණා වූ ප්‍රේමය හැඳිනගන්නට ද රන්මුතු අපොහොසත් වූවා නොවේ. තඹරු ද වෙනදාට වඩා ඔහු කෙරේ විශේෂිත බව ඇය නිරීක්ෂණය කළා ය. ඇගේ ඇස් මත මාතෘ බැල්මක් වූයේ ය. ඇය සමනල් දෙස බැලුවේ ඒ බැල්මෙනි. කෑම කත්දී ඇය ඔහු ළඟින් වතුර වීදුරුව තැබුවා ය. “බඩ පිරෙන්න කන්න” කියා කිහිප වර කීවා ය. කතා කරමින් කත්දී සමනල් ට කෑම පිටිඋගුරේ ගිය වෙලාවේ පිටට තට්ටු කළේ තරවටු බැල්මකිනි.

 “හැම තිස්සෙම ඔය බොට්ල් ඩ්‍රින්ක්ස් බොන්න හොඳ නෑ”

කෑම කමින් ම ඔහු ශීතකරණය හැර  සිසිල් බීම බෝතලයක් ගෙන විවර කරගත්දී තඹරු  තරවටු කරනු රන්මුතු දුටුවා ය. ඒ වෙලාවේ ඔහු ගේ මුහුණේ තිබුණේ බැගෑපත් බැල්මකි.

“අද විතරයි”

ඔහු ඉතා හෙමිහිට කීවේ ය.

රන්මුතු ගේ දෙතොල් මත්තෙහි මේ මොහොතේ මඳහසකි. ඔවුන් උනුන්ට සැබැවින් ම ප්‍රේම කරනවා නම් ඇයට එපමණක් සෑහේ. සමනල් වූ කලී සිය දියණිය සතුටින් තැබිය හැකි එක ම පිරිමියා වනු ඇත. මෙතෙක් ඇය අවනත කර ගත හැකි වූ එක ම කෙනා ඔහු බව ඇය දනී. තඹරු ඕනෑ ම පිරිමියෙකු ගේ කුමක් හෝ වරදක් දුටුවා ය. නමුත් සමනල් ගේ ඇදයක් ඇගේ මුවින් කියවෙනු රන්මුතු ට ඇසී නැත.

“දැං ගිහිං රෑ ජාමයක් වෙනකල් යාළුවොත් එක්ක බිබී ඉන්නැතුව ඇනෙක්ස් එකට යන්න හරිද…”

සමනල් සමුගන්නට හදත්දී තඹරු එසේ කියන විට රන්මුතු නෑසුණා සේ ඉවත බැලුවා ය. නමුත් ඇගේ දෙතොලතර වූ සිනහව සමනල් ට දකිත හැකි විය. ඒ සිනහව නො කියා කීවේ “මේ කොල්ලට ලේසි වෙන්නෑ අපේ බබූගෙං” වැනි කතාවකි.

වැස්සේ ම තඹරු සඳැස් සමගින් මත්තෙගොඩ හන්දියට ගොස් එළවළු පළතුරු ටිකක් මිල දී ගත්තා ය. මල්ලී එක්ක ලොකු කුඩය සෙවනේ තෙමී නො තෙමී යන විට ඇගේ හිත චමත්කාරයක පා වූයේ ය. මීට වඩා වසර කිහිපයකට පෙර ළමා වියේදී ඔවුන් දෙදෙනා අතරේ සිදු වූ විවිධ සිදුවීම්, සිනමා පටයක රූප රාමු සේ ඇගේ මනසේ ඇඳෙමින් තිබිණ. යන ගමන් සඳැස් මඩ වළකට පැන අක්කා ගේ ඇඟෙහි මඩ දිය විසි කළේ ය.

“බූ…රුවො…ඉන්නවකො කරන්න”

කියමින් ඇය ඔහුටත් වඩා හයියෙන් මඩ දියට පැන්නා ය. බොර වතුර ඔවුන් ගේ ඇඳුම් තෙතබරිත කරවී ය. දෙදෙනා ම කුඩා දරුවන් සේ සිනහ වන්නට වූහ.

“අම්මගෙන් ගුටිත් කන්න වෙයි දැන්”

තඹරු එසේ කීවේ සිය ඇඳුම් වලින් පෙරෙනා තෙත දෙස බලමිනි.

“හැම කෙල්ලම ඔහොමද…”

තඹරු නෙතු හකුළා මල්ලී දෙස බැලුවා ය.

“ඒ කිව්වෙ…”

“අම්මලට බබා පාට් දාං ඉන්නව..කොල්ලොංගෙ නහය විදල තෝන් ලනුව අතට ගන්නව”

“අඩෝ…”

“සමනල් වගේ කොල්ලො හැමතැනම නෑ හරිද…එහෙම කොල්ලෙක් මාර වටිනව. නැති කරගන්නනං එපා”

යමක් කියන්නට තඹරු ට සිහි වූයේ ම නැත. ඇය හිස වඩාත් බිමට හරවා ගත්තා ය. සඳැස් එක අතකින් කුඩය අල්වා ගෙන අනිත් අත අක්කා ගේ උරහිස වටා දමාගත්තේ ය. තඹරු ගේ දුරකතනය හැඬවුණේ එතකොට ම ය.

“ඔන්න මැඩම් කොල්ලො එක්ක රස්තියාදු ගහන්නැතුව ඇනෙක්ස් එකට ආව. දැං ඉතිං කරන්න දේකුත් නැති නිසා රෙද්දක් පෙරෝගෙන නිදාගන්නයි මේ හදන්නෙ”

තඹරු යමක් කියන්නට පෙර ම සමනල් කියවාගෙන ගියේ ය. ඇය සිනහව තද කර ගත්තා ය.

“දැං රෑට කන්නෙ මොනාද…රෑටත් කාලම යන්නයි තිබුණෙ”

“එච්චර වෙලා හිටියනං ඔයාගෙ අම්ම මාව විත්තිකූඩුවට නග්ගල ප්‍රශ්න කරන්න ගන්නව දෙකක් නෑ”

තඹරු හඬනගා සිනහ වූවා ය. ඒ සිනහව දෙස, පාරේ යමින් සිටි තරුණයෝ දෙදෙනෙක් හැරී බැලූහ.

“දැං මේ අපේ පොඩි පණ්ඩිතයත් මාව විත්ති කූඩුවට නග්ගලයි තියෙන්නෙ. අපි කඩේ ගිහිං එන ගමං”

“ඕගොල්ලොංගෙ ගෙදරින් එනකොට ලෝබයි තඹරු…”

පපුවට මොනවාද වෙනු යුවතියට දැනිණ. ඇය ලොකු හුස්මක් ගත්තා ය. ඇනෙක්ස් එකේ දොරට තට්ටු කරනා හඬක් ඇසුනෙන් සමනල් කන් දුන්නේ ය. ඔහු දුරකතනය සවනේ තබාගෙන ම ගොස් දොර ඇරියේ නිදුක් වෙන්නට ඇතැයි බලාපොරොත්තුවෙනි.

“ඒක හොඳයි. එතකොට පාළු නෑනෙ”

තඹරු අවංක සැනසීමකින් මිමිණුවා ය. නමුත් දොරකඩ සිටියේ නිදුක් නොවේ. ඩිලන් රණසිංහ යි.

“මං තව ටිකකින් ගන්නං”

කියමින් සමනල් වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. තඹරු ගේ හිතට අමුත්තක් දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles