“අනේ…මං කොච්චර බයෙන්ද හිටියෙ ඔයා ආන්සර් නොකරනකොට…හිතා ගන්න බැරි වුණා කලබලේම ලයින් එක කට් කරල මෙහෙම වෙනකොට…ඔයාට කරදරයක් නෑ නේද…දෙයියනේ දැනුයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ”
සමනල් ගේ දුරකතනය හා සම්බන්ධ වූ ගමන් තඹරු ඉවසිල්ලක් නැතිව කියවාගෙන ගියා ය. නමුත් ඒ වචන අතරේ දෝරෙ ගැලුවේ අතිශයින් ම ආදරය බව සමනල් ගේ පිරිමි හදවතට දැනිණ.
“ඒ වෙලාවෙ ආවෙ තාත්ත. එයා ගියාට පස්සෙත් මගෙ ඔළුව අවුල් වෙලා තිබුණෙ තඹරු. මට ඔයා එක්කවත් කතා කරන්න කරං හිතක් තිබුණෙ නෑ”
“ඇයි තාත්ත මොකද කිව්වෙ…සමහර විට ඔයා ගෙදරින් ගිය එකට ඇත්තටම එයාගෙ හිත රිදිල ඇති. එයත් තාත්ත කෙනෙක්නෙ ඉතිං”
“දැං කෝල් එකක් ආව. පොලිස්සියෙන් කිව්ව. තාත්ත ඇක්සිඩන්ට් වෙලා ජෙනරල් හොස්පිට්ල් එකේලු. දැන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට එන්නලු”
“දෙයියනේ”
තඹරු ගේ දෙපා පණ නැති වීමට ආවෙන් ඇය යහන මත යන්තම් හිඳගත්තා ය.
“මං යනව කියන්න ඔයාට ගත්තෙ”
“පරිස්සමෙන් දෙයියනේ. ඔයාට තනියම යන්න පුළුවන්ද…නිදුක්වවත් එක්කං ගියොත් හොඳයි නේද…අනේ සිහ් කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න හොඳේ. දෙයියංගෙ පිහිටෙන් තාත්තට මුකුත් අමාරුවක් වෙන එකක් නෑ”
“මට මුකුත් ඔළුවට එන්නෑ අප්ප”
“මං මල්ලිත් එක්ක එන්නද…”
“එපා. මේ වෙලාවෙ ඔයා කරදර වෙන්නෙපා. මං ගිහිං බලල ඔයාට කතා කරන්නං”
තඹරු කීවා සේ සමනල් නිදුක් ගේ නිවස අසලින් ඔහුව රියට නංවා ගත්තේ ය. ඉන් අනතුරුව රිය පැදවූයේ නිදුක් ය. සමනල් ගේ හිතත් හිසත් තෝන්තු වී තිබිණ. හැන්දෑවේ ඩිලන් කියා ගිය දේවල් ද දැන් ඔහු ගැන අහන්නට ලැබුණ දේ ද කියන කාරණා දෙක ම ඔහු වියවුල් කොට තිබේ. තඹරු ගේ කරුණාබර වදන් ඒ හිත මත ඉසිනා පිරිත් පැන් සේ ය. පියා ගේ වදන් නිසා මඳ වෙලාවකට හෝ ඇය බියපත් කළ එක ගැන දැන් ඔහු ට දුක ය. අනිත් පසින් පියාට මේ හදිසියේ කුමක් සිදු වී දැයි හිත තිගැස්මෙන් බර ය.
සමනල් රෝහලේ හදිසි අනතුරු ඒකකයට යන විට ද ඩිලන් ව සැත්කම් කිහිපයක් සඳහා ශල්‍යාගාරයට ගෙන තිබිණ. ඔහු ගේ හිසට ද සුශුම්නාවට ද බරපතල හානි සිදු වී ඇති බව වෛද්‍ය නිගමනය වී තිබිණ. අරුණෝදයට සූර්යයා අරාඳිමින් හිඳිනා ගුප්ත අඳුරු යාමයක, පාළු රෝහල් කොරිඩෝවක හුදෙකලා වී හිඳියදී සමනල් ට දැනුණා වූ කිසිවක් ම ඔහු ට මතක නැත. එය තනිකර ම නිර්වින්දිත තත්වයක් සේ ය. තාත්තා ගේ තත්වය බරතලයි කියා වෛද්‍යවරයෙකුගෙන් දැනගත් වෙලාවේ පටන් සමනල් ගේ මොළයත් සිරුරත් අක්‍රිය ය. කුමක් කළ යුතු ද කුමක් සිතිය යුතු ද කියාවත් ඔහු ට දැනුණේ නැත.
සමනල් ගෙන් ඒ ආරංචිය දැන ගත් වෙලාවේ එය තනිව හිතේ දරා ගෙන ඉන්නට තඹරු උත්සාහ කළා ය. අඩු තරමින් එළි වන තුරු ගෙදර අය අවදි නොකරන්නට ඇයට ඕනෑ විය. නමුත් එසේ කළ නො හැකි ම තැනදී ඇය අම්මා නිදන කාමරය ළඟට ගොස් දොරට තට්ටු කළා ය. රන්මුතු අවදි වී දොර විවෘත කළේ කලබලයෙනි. ඇගේ ඇස් වලින් නිදිමත පලා ගොස් අදිසි බියක් එහි කාන්දු වෙමින් තිබිණ.
“බබූ ..ඇයි පුතේ…”
“අම්ම…සමනල්ගෙ තාත්ත ඇක්සිඩන්ට් වෙලාලු”
“මොකක්…”
“සමනල්ට පොලීසියෙන් කතා කරල කියල තියෙන්නෙ. එයා හොස්පිට්ල් එකට යනව කිව්ව”
“ගොඩක් අමාරුයිලුද…”
“හරියට දන්නෑ. එයා හොස්පිට්ල් එකට ගිහිං කතා කරන්නං කිව්ව. ඒත් තාම කතා කළේ නෑ”
“දිවාකර…ඒයි…ඩිලන් ඇක්සිඩන්ට් වෙලා කියන්නෙ”
දිවාකර නැගිටගත්තේ විදුලි සැර වැදුණා සේ ය. රිය අනතුරක් කියන්නේ ම ඔවුන් ගේ හදවත් ඇසිල්ලකින් අතීතයට විසි කොට දමනා පුවතකි. රිය අනතුරක් නිසා පවුලක් වශයෙන් ඔවුන්ට විඳින්නට හා උහුලා ගන්නට සිදු වූ සියල්ලෙහි සාරාංශයක් මොහොතකින් මනස ඉදිරියේ ඇඳී යන්නේ ය. ඩිලන්ට එහෙව් අනතුරක් වූයේ හොඳ වැඩේ යයි සිතිවිල්ලක් හෝ ඔවුන් තුළ ඇති වූයේ නැත.
“අනේ දෙයියනේ අර කොල්ලගෙ හිතේ මොනා වුණත් ගින්දර පත්තු වෙලා ඇති”
“ඔව්. සමනල් බය වෙලා”
“කෝකටත් දැන් කෝල් එකක් අරං බලන්න බබූ…ඒ ළමය හොස්පිට්ල් එකට ගිහින්ද කියල”
ඒ දිවාකර ය. රන්මුතු ඔහු දෙස බැලුවේ දයාවත් බැල්මකිනි. දුකක් කරදරයක් වූ විට හතුරෙකු ගැන වුව සොයා බලන්නට තරම් ලොකු හදවතක් තිබෙනුයේ සැබෑ මිනිසුන්ට ය.
සැත්කම බරපතල එකකි. ඉන් අනතුරුව ඩිලන් ව දැඩි සත්කාර ඒකකයට දැමිණ. උදෑසන ගයාත්‍රි ද රෝහල වෙත පැමිණියා ය. ඒ රෝගීන් බලනා වේලාව නොවුණෙන් ඔවුන්ට රැඳී සිටින්නට සිදු වූයේ රෝහල් භූමියෙන් පිටත ය.
“ඔයා නිසා තමයි සමනල් මේ හැමදේම”
ගයාත්‍රි කෙලින් ම සමනල් ට චෝදනා කළා ය. ඒ ප්‍රසාද්ධ ස්ථානයක් වූයේ ඔහු දැඩි බැල්මක් හෙළුවා විනා වචන හරඹයකට නො ගියේ ය. එයින් ගයාත්‍රි අනුබල ලැබුවා ය.
“තමන්ගෙ පවුලට හුරුකං කරපු පවුලක් නිසා තාත්තගෙ හිත රිදෙව්ව. උං නිසා ගෙදරින් යන්න ගියා. තාත්ත හොඳටම හිත රිදෝගෙන හිටියෙ. ඔයාට තාත්තට වඩා පිටඑවුං ලොකු වුණා. ඒකයි මේ හැම දේටම මුල. මේ වෙච්ච දේට වගේම මීට වඩා දෙයක් වුණත් ඒකටත් වගකියන්න ඕන ඔයා”
අව්ථාවේ හැටියට ඔහු ඒත් කරබාගෙන ඇගෙන් ඉවතට වූයේ ය. දවාලේ තඹරු රන්මුතු සමගින් රෝහල අසලට ආවා ය.
“මේ වෙලාවෙ හිත අවුල් කරගන්නෙ නැතුව සිහිකල්පනාවෙන් වැඩ කරගන්න පුතා. ඔයාගෙ හිත මට තේරෙනව. මං දන්නව ඔය අමාරුවෙ තරම. කොච්චර අමාරු වුණත් ඔයා හොඳ සිහියෙන් වැඩ කරගන්න ඕනෙ. මොකද දැන් පවුලෙ තීරණ ගන්න ඉන්න කෙනා ඔයා”
රන්මුතු සමනල් ගේ හිත හදන්නට බෝ දේවල් කීවේ ය. මේ වෙලාවේ අම්මා කෙනෙකු වාගේ ඇය ළඟින් හිඳීම ඔහු ට සහනයක් දැනවී ය. ඒ ගැන ගයාත්‍රි සිටියේ නොරිස්සුමෙනි. ඇය සිය ඥාතීන් වට කොට ගෙන සමනල් ට දොස් කීවා ය. ඒ කලබල අතරේ ඇගේ හිත යට වූයේ බරපතල ගින්දරකි. එය මහත් වූ බරකි.
“සමනල් කියන්නෙ කවුද…එයාට විතරක් ඇතුළට ගිහින් පේශන්ට්ව බලන්න පුළුවන්”
දවල් රෝගීන් බලනා වෙලාවේ හෙදියක දැඩි සත්කාර ඒකකයේ දොර විවර කොට විමසුවා ය. ගයාත්‍රි ගේ මූණ ඇද විය. සමනල් කැළඹුණු සිතින් ඇතුළට ගියේ ය. ඩිලන් දුටු ඔහු ට වාවාගත නො හැකි තරම් වූයේ ය. මොන තරම් වැරදි කළ මිනිසෙකු වී ද ඒ ඔහු ගේ පියා ය. හැමදාමත් සිංහයෙකු සේ තේජස්වී වූ හෙතෙම මේ විදිහට දකින්නට, ශක්තිමත් යෞවනයෙකු වී ද ඔහු ට හයියක් නැත.
“තාත්…තෙ“
සමනල් ගේ හඬ බිඳී ගියේ ය. ඩිලන් නෙතු හැර බැලුවේ අන්ත පරාජිතයෙකු සේ ය.
“පුතා”
“සරුජරි එක හොඳට වුණා කියල ඩොක්ටර් කිව්ව. ඉක්මනට සනීප වෙයි තාත්තෙ”
ඩිලන් ගේ ඇස් වල හිස් බවක් විය. දැන් බිය වී පලක් නැති බව ඔහු දනී. දිවාකර ගේ රිය අනතුර ඔහු ගේ හිකේ හොල්මන් කරයි. සිහිය ආ වෙලාවේ පටන්, අවතාරයක් සේ එය ඔහු හඹා එයි. නෙතු වසා සිටියදීත්, නෙතු හැර සිටියදීත් හිතට කරදර ම කරයි.
“ගෙදර මගෙ ඔෆිස් රූම් එකේ wardrobe එකේ දකුණු පැත්තෙ ඉඳං තුන්වෙනි දොර අරින්න”
ඩිලන් අසීරුවෙන් කියාගත්තේ ය.
“දැන් ඔය මොනාත් හිත හිත ඉන්නෙපා. ඒව ගෙදර ගියාම බලාගන්න”
“ඒකෙ ෆ්‍රන්ට් ලේයර් එක ස්ලයිඩින් ශෙල්ෆ් එකක්. ඒක අරින්න”
ඩිලන් ඇස් පියවා ගත්තේ ය.
“දැන් ඇති. පේශන්ට්ව වැඩිය මහන්සි කරන්න එපා. ඔයා එළියට යන්න”
හෙදියක මඳ වෙලාවකින් ඔවුන් වෙත විත් කීවා ය. කල්පනාබර ව පිටතට පැමිණි සමනල් ට ගයාත්‍රි රැව්වා ය. නමුත් ඔහු ඒ දුටුවා නොවේ. රියට ගොඩ වූ සමනල් ප්‍රහේළිකාවක් විසඳමින් ගෙදරට ම රිය පැදවූයේ ය. කන්තෝරු කාමරයේ බිත්ති අල්මාරියේ දකුණු පැත්තෙන් තුන් වෙනි දොර විවර කළ කල වූයේ පොත් රාක්කයකි.