“වීරෙ හෙට එනවලු නේද?”
ඒ කතාබහ ඇතිවුනේ සඳුදා දවසක දහවල් වරුවේය. අරුණලී උන්නේ ලැප්ටොප් පරිගණකයට හිස ඔබාගෙන තවත් මසකින් පමණ වෙලඳ පලට නිකුත් කරන්නට බලාපොරොත්තුවෙන් හිඳින ශැම්පු වර්ගයක කැම්පේන් එකක ප්‍රසන්ටේශන් එක සකසමිනි. එහෙත් තමාගේ කණ්ඩායමේ නායකයා ගැන යමක් අසන්නට ලැබීම කතාබහකට මුල පුරන්නකි.
“මිස්ට වීරවර්ධන සැර ද?”
අරුණලී එසේ ඇසුවේ තමට එහා පසින් වාඩි වී අනෙක් මිතුරන් සමග කතා කරමින් උන් කේශිනී දෙසට හැරී මොහොතකට දෙනෙත් ලැප්ටොප් පරිගණකයෙන් ඉවතට ගෙනය. තමන් කියූ දෙයහි කුමක් හෝ ප්‍රශ්නයක් තිබේදැයි අරුණලීට සිතුනේ එක සැරේම මොහොතකට නිහඬ වූ මිතුරන් පිරිස මහ හඬින් හිනාවෙන්නට ගත් නිසාවෙනි. තමා ඇසුවේ හිනා යන එතරම්ම විහිලු සහගත ප්‍රශ්නයක්ද?අරුණලී මිතුරන් දෙස බැලුවේ කුතුහලය පිරුණු නෙතකිනි. හිනාවෙන්නෙ ඇයිද කියා වචනයෙන් ඇසුවේ නැති වුවද ඒ දෙනෙත් වල ලියවී තිබුනේ එකම එක ප්‍රශ්නයක් පමණි.
“මිස්ට වීරවර්ධන?”
“කවුද අනේ එයාට මිස්ට වීරවර්ධන කියන්නෙ?”
“වීරෙ වීරෙ කියල කියන්න”
මිතුරන් සිනාසෙන්නෙ තමා මේ නොදුටු පුද්ගලයාට මිස්ට වීරවර්ධන කියා ඇමතීම නිසා බව අරුණලීට තේරුණේත් ඒ මොහොතේය. තමන්ගේ කණ්ඩායමේ නායකයාට මිස්ට කියා ගරු කටයුතු ලෙස ඇමතිය යුතු බවට හිතා උන් අදහස වැරදි බව අරුණලී තේරුම් ගත්තේ ඒ මොහොතේය.
“වීරෙට මිස්ට කියල අරුණිට හොඳට අහගන්න තමයි වෙන්නෙ” යෙසිත් කියන්නේ අරුණලී අසලම මේසය උඩ වාඩිවෙමිනි.
“ඇයි ඒ එයා සැරද?”
“අම්මෝ ඔව්. හරියට ඩෙඩ්ලයින් වලට වැඩ ඉවර කරේ නැත්තම් මිනිහ හොඳට බනිනව” කියමින් යෙසිත් කියද්දි කේශිනී පුටුවෙන් නැගිට අරුණලී ලඟට ආවේ යෙසිත් ට ඔරවමිනි.
“අනේ මේ ඒ ලමයව බය කරන්නෙ නැතුව ඉන්න යෙසිත්. බොරු කියනව මෙතන”
“බොරු, ආ බොරු නෙවෙයි මංකිව්වෙ ඉතින්”
“හරි හරි මේ, බොරු කියල මේ ලමයව බය කරන්න එපා. අරුණිට රිපෝට් කරන්න තියෙන්නෙත් වීරෙට එකේ ඒ ලමයට ඇත්ත නොකිය ඉන්න එපා.
වීරෙ හරිම හොඳයි අරුණි. ඇත්තටම ඕනම කෙනෙක්ට ලැබෙන්න ඕන විදියෙ බොස් කෙනෙක් එයා. සැර නෑ පොඩ්ඩක්වත්. ඕනම දෙයක් කතා කරන්න පුලුවන්.හරිම සපෝටිව්. මෙහෙමයි එහෙමයි කියල වැඩ මිස් කරන්න එහෙම බෑ. ඩෙඩ්ලයින් නම් ඩෙඩ්ලයින්. හැබැයි හදිසියෙ හරි වෙන හේතුවක් වෙන වැඩක් හන්ද ඔයාට ඩෙඩ්ලයින් එකක් පුශ් කරගන්න වෙනවනම් එයා එක්ක ඒක කතාකරගන්න පුලුවන්. ඒ හන්ද මෙයාලා මේ කියන බොරු කතා වලට ඔයා පොඩ්ඩක්වත් අහුවෙන්න එපා. වීරෙ මාරම හොඳයි. ඔයාම බලන්නකො හෙට ආවම”
“ඇයි එයාට වීරෙ කියන්නෙ?”
“එයාගෙ සර්නේම් එක වීරවර්ධන. එයා මෙහෙට එන කාලෙ ඉඳපු බොස් තමයි ඒ නම රෙජිස්ටර් කරල තියෙන්නෙ. ඉතින් පස්සෙ දිගටම ඒකම යූස් කරල”
“එතකොට එයාගෙ ෆස්ට් නේම් එක මොකද්ද?”
“කිමල්. කිමල් වීරවර්ධන”
කේශිනී එසේ කියමි එතනින් නික්ම යද්දී කතාබහ නතර කල මිතුරු කැල තම තමන්ගේ රාජකාරිවලට හිස ඔබ්බවා ගත්හ. අරුණලී උන්නේ මද සතුටකිනි. බොහෝ තැවුල් වියවුල් වලට පසුව හිසත් හිතත් නිවාගන්නට හොඳ රාජකාරි ස්තානයක් හමු වී තිබේ. කණ්ඩායමේ මිතුරන් ද අපූරුය. එහි නායකයාද අපූරු යහපත් මිනිසෙකු බව දැනගන්නට ලැබීම හිතට සැනසුමකි.
අරුණලී සිත සනසාගන්න කටයුතු කරමින් උන්නද මෙනුක උන්නේ සිතේ වූසැනසීම අන්තිම බිංදුව දක්වාම නැති කරගෙනය. අරුණලී ජීවිතයෙන් මෙසේ ඈත් වී යාම තමන්ට මේසා දුකක් වේදනාවක් ඉච්ජාබංගත්වයක් ඇති කරන්නට හේතුවක් වනු ඇතැයි තම කවදාවත් සිතානොතිබුන බව මෙනුක දනී. මේ සියල්ල මෙසේ වන්නට හේතුව තමන්ගේ වැරදි බව දන්න නමුත් ආදරය වෙනුවෙන් හෝ අරුණලීට ට තමන්ට එකම එක අවස්තාවක් දෙන්නට තිබුනා නොවේද කියා මෙනුක රෑ තිස්සේ ඇහැරගෙන කල්පනා කරේය. උදෑසන නැගිට ඔහේ හැඳ පැලඳගෙන රැකියාවට ගියේය. රමිත් සහ කුමිල මෙනුක හමුවන්නට ආවද මෙනුක උන්නේ ඔවුන් හමුවන්නට කැමැත්තකින් නොවේ. තනිකම සැපතක් බව මෙනුක තේරුම් ගනිමින් උන්නේය.
“උඹ ඔහොම පිස්සෙක් වගේ කල්පනා කර කර ඉඳල හරියන්නෙ නෑ නේද?”
කුමිල තනිවමදවසක් මෙනුක හමුවන්නට ආවේ මෙනුක මිතුරන් මගහරිමින් තනි වන්නට සිතීම මගින් කිසිත් යහපතක් සිදු නොවන බවට සිත කියන නිසාවෙනි.
“මොකද්ද උඹ මට කරන්න කියන්නෙ?”
“අරුණලී ආයෙම එන්න සෙට්ල් වෙන්න බලාපොරොත්තුවක් නැත්තන් උඹට හිතෙන්නෙ නැද්ද කරන්න තියෙන හොඳම දේ හිත හදාගන්න එක…”
“මේ, උඹ දන්න රෙද්දක් නෑනෙ මමයි අරුණියි ගැන. ඒකි එක්ක අවුරුදු ගාණක් යාලුවෙලා හිටියෙ මම. මම දන්නව ඒකි ආයෙ කවදහරි එනව. මම ඒකි එනකම් ඉන්නවා”
“මචං උඹ කොච්චර හිත රවට්ටගන්න හිතුවත් ඒකෙන් තේරුමක් නෑ නේද? අරුණලී ට හිත හදාගන්න ඕන උනා නම් මේ.ලැබිච්ච කාලෙ හොඳටම ඇති ඒකට. උඹ නිකන් මේ දවල් හීන දකින්ව පිස්සෙක් වගේ ජීවත් වෙවී.බලපන් උඹේ හැටි. හරියකට කන්නෙ නෑ අඳින්නෙ නෑ. බැලුවොත් ඇත්තන් රෑ තිස්සෙ බොන ගමන්”
“උඹට තේරෙනවද බං මං ඉන්න වේදනාව? උඹේ ගෑණි නෙවෙයිනෙ උඹව දාලා ගියේ. දාලා ගියේ මගෙ ගෑණි වෙන්නහිටපු එකී. එහෙම එකේ උඹ කොහොමද මට ඇවිත් කියන්නෙ හිත හදාගනිං කියල. මං කොහොමද හිත හදාගන්නෙ?
මෙනුක ඉන්නේ නිවැරදි සිහියක නොවන බව තේරුම් ගිය මුත් කල යුත්තේ කුමක්ද හෝ කිව යුත්තේ කුමක්ද කියා පැහැදිලි අදහසක් කුමිලට තිබුනේ නැත. අරුණලී මෙනුකව හැරදමා ගිය හේතුව සියයට සියයක් සර්ව සාධාරණ බව තමන් ඇතුලු මේ බව දන්නා හැමෝම එකහෙලා පිලිගත්තද මෙනුක ඉන්නේ එය පිලිගන්නට සැදී පැහැදී නොවේ. ඔහුට අනුව අරුණලී එක්වරක් හෝ ඔහුට සමාව නොදීම වරදකි.
පීරිස් යුවල ද සිත උන්නේ එපරිද්දෙන්මය. අරුණලී ඔය කියන තරමට මෙනුකට ආදරය කරානම් මෙවන් මොහොතක ඔහුව සමාජය ඉදිරියේ අසරණ නොකර තවත් එක් අවස්තාවක් දෙනවා නොවේද?
“කොච්චර කතා කරත් මම හිතන්නෙ නෑ මිසිස් පීරිස් අරුණලී කැමති වෙයි කියල ආයෙ සෙට්ල් වෙන්න”
පීරිස් මහත්මිය අවස්තා කිහිපයකදීම අරුණලීගෙ මව ඇමතුවද ඒ පැත්තෙන් ඒ හැම අවස්තාවක්දීම ඇයට ලැබුනේ එකමාකාරයේ පිලිතුරකි.
“එහෙම නෙවෙයි සුභා, අපි ලමයින්ට හොඳ නරක කියල දෙන එක නේද කරන්න ඕන? එයාල කලබලවෙලා ගන්න තීරණ වලින් හොඳක් වෙන්නෙ නෑ කියන එක තේරුම් කරල දෙන එක නේද අපි කරන්න ඕන?”
“මෙතන ලමය උනත් අපි උනත් ගන්නවනම් ගන්නෙ එකම විදියෙ තීරණයක් නේද මිසිස් පීරිස්? අරුණලි ගත්ත තීරණේ වරදක් තියෙනව කියල කියන්න අපිට බෑනෙ. ඔයාම හිතන්නකො ඔයාගෙ දුවට මෙහෙම දෙයක් උනා නම් ඔයා උනත් ගන්නෙ මෙහෙම තීරණයක් නේද?”
“මම නෑ කියන්නෙ නෑ. ඒ උනාට අරුණලීයි මෙනුකයි ආදරෙන් ඉඳපු විදියට එයාලට මේකට තව චාන්ස් එකක් දෙන්න බැරිකමක් නෑ නේද?”
“ආදරේ කරානම් ඉතින් මෙහෙම රැවටෙන්න වෙන්නෙත් නෑ නේද?” කියා සුභා දුරකතනය තැබුවෙ සමච්චලයෙන් සිනාවෙමින් බව පීරිස් මහත්මියට නොතේරුනා නොවේ.
සුභා උන්නේ හිතේ කරදර අහස උසට පුරවාගෙනය. අරුණලී දිනෙන් දින යතා තත්ත්වයට පත් වෙමින් උන්නද එසේ වූ පමණින් මේ ප්‍රස්න මෙසේ අවසන් නොවේ. විවාහ වන්නටත් පළමුව මෙසේ විවාහය බිඳ වැටීම බරපතල ගැටලුවකි. ඒ ගැටලුවට බොහෝ විට සමාජය ඉදිරියේ පිලිතුරු දෙන්නට වෙන්නේත් මුහුණ දෙන්නට වෙන්නෙත් ඒ ගැහැණු දරුවාගේ අම්මාටය.
අනෙක් අතට අරුණලී මෙනුක සමග විවාහ වී සතුටෙන් සිටිනු ඇතැයි සිතා උන් නිසාවෙන් තමාගෙත් ආරිගෙත් හිතේ දරුවන් දෙදෙනා ගැන වූ බරෙන් මදක් හෝ අඩුවන්නට හේතුවක් උනත් දැන් වී ඇත්තේ ඒ බර තිබුනාටත් වඩා දෙගුණ තෙගුණ වීමය. විවාහය අතරමග බිඳ වැටුණ තරුණියක් දෙස සමාජය බලන්නේ වැරදි ඇහැකින් බවත් ඇත්තට වඩා කට කතාවලට අත්තටු තිබෙන බවත් ගෙවුණ දින කිහිපය පුරාවටම තේරුම් ගියා නොවේද?
තමනුත් ආරිත් නැති කලෙක අරුණලීට යන කලක් තිබිය යුතු නොවේද?