පමා වී පිපුණු මල් 16

“ඇයි බබා ඔයා මට කෝල් කරන්නෙවත් නැත්තෙ?”

මෙනුකගේ හඬ ඇසෙන්නේ වඩා බරැතිවය. එහි මද මත් බවක් ඇඳී තිබුණද තමා තවදුරටත් එයට සිත යොමුකල යුතු නොවන බව අරුණලී සිතුවාය. ඔහු කෙරේ, ඔහුගේ වේදනාවන් කෙරේ සිත යොමු කිරීමම මේ වේදනාකාරී බැඳීමෙන් මිදීම වඩ වඩාත් අපහසු සහ වේදනාව වැඩි කරන්නක් බව අරුණලී සිතුවාය.

“කෝල් කරල කතා කරන්න දෙයක් ඇත්තටම අපිට නෑනෙ?” කියා අසන්නට හිතුනද තමන්ගේ හඬ මේ කතව බොහෝ දුර ඇදගෙන යන්නක් බව අරුණලී දනී. ඉතින් එවන් දෙබසකට වඩා මුණිවත හොඳ නොවේද?

“ඔයා කතා කරන්නෙ නැත්තේ කතා කරල වැඩක් නෑ කියල හරි අපිට කතාකරන්නතව දෙයක් ඉතුරුවෙලා නෑ කියල හිතලනම් ප්ලීස් අරුණි තව එකම එක පාරක් විතරක් මට චාන්ස් එකක් දෙන්න. මම වැරැද්දක් කරා මම පිලිගන්නව. ඔයාගෙන් දේවල් හංගපු එක වැරැද්දක්. ඒත් මට මෙහෙන කරන එකහරිද? මිනිස්සු අතින් වැරදි වෙනව. ඒත් අඩුම ගානෙ මට මගේ වැරැද්ද හදාගන්නවත් ඉඩක් ලැබෙන්න ඕන නේද?”

“ඔයා වැරැද්ද හදාගත්තට ඔයාට ඔයාව වෙනස් කරගන්න බෑ නේද? ඒක අපි දෙන්නම හොඳටම දන්න දෙයක් නෙ.එහෙම එකේ ප්ලීස් අපි මේක ගැන තව කතා කරන්නෙ නැතුව ඉමු”

“ප්ලීස් අරුණි එහෙම කියන්න එපා. ඇයි අපිට බැරි තව එකම එක චාන්ස් එකක් මේකට දීල බලන්න”

“මට බෑ, මට බෑ, මට බෑ. මට ඒ ඇරෙන්න කියන්න දෙයක් ඇත්තටම නෑ. ප්ලීස් මෙනුක ඔයාවත් ඔයගෙ ගෙදර අයවත් ආයෙ මෙහෙට කතා කරන්න එපා. දෙවියන් වහන්සේ කතා කරල තීරණේ වෙනස් කරන්න කිව්වත් මම මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ. ඒ හන්ද අපේ ගෙදරටවත් මටවත් කෝල්.කරන්න එපා. ඒක අපි හැමෝටම හරි වදයක්. මම ඔයාට මේ දැන් කතා කරෙත් අපේ අම්මා කිව්ව හන්දමිසක් මට උවමනාවක් තියෙන හන්ද නෙවෙයි”

“අම්මල තමයි ඔයාගෙ ඔලුව කන්නෙ”

ඒ මෙතෙක් වේලා ඇසුණ බැගෑබර හඬට වඩා වෙනස් කෝපය පිරුණු හඬක් බව අරුණලී හැඳිනුවාය. මෙනුක මේ සියල්ලටම වරද තමන් සහ තමන්ගේ දෙමව්පියන් වෙත පටවන්නට තරම් පහත් මිනිසෙක් වේ යැයි අරුඊ නොසිතා තිබුනි.

එහෙත් මේ සම්බන්ධය තව දුරටත් පවත්වාගෙන යන්නට අදහසක් නැති තැන ඔහු තම ගැනකුමක් සිතුවද කිව්වද එය ගැන දුර දිග සිතිය යුතු නෑ නොවේද?

එදා රෑ නින්දක් ලැබුනේ නැති තරම්‍ ය.අරුණලී කල්පනා කරමින් උන්නේ මෙනුක මේ දින කිහිපයට කෙතරම් නම් වෙනස් වී ඇතිද යන්නයි.

“අම්මා තමයි ඔයාගෙ ඔලුව කන්නෙ. ඔයාලට ලේසියෙන් ආයෙ කතා කරන්න එපා කියන එඅ ලේසි. අපි වෙඩින් එකට වියදම් කරපුව ආයෙ ඒව ලැබෙනවද? එහෙම එකේ මේක වෙන්නම ඕන”

“ඔයා විතරක් නෙවෙයි අපෙ තාත්තල පවා වෙඩින් එකට වියදම් කරා ඔයා ඒක අමතක කරන්න එපා. අනික අපි කිසි වරදක් කරන්නෙ නැතුව වෙච්ච ලැජ්ජාව?” කියා අසන්නට හිතුණද මෙනුක ඉන්නේ හරි සිහියකින් නොවන බවත් තවදුරටත්මේ ගැන කතා කිරීම මේ කතා බහ දිගට ඇද ගැනීමක් බව තේරුම් ගිය නිසාම අරුණලී දුරකතනය තැබුවාය..

මේ දැන් තමා රාත්‍රියේ අවදී වි හිඳ අරගන්නේ ජීවිතයේ කෙදිනවත් ගන්නට සිතා හුන් තීරණ තීන්දු නොවේ?

ජීවිතය කොතරම් නම් ඉක්මනින් තමාව වෙනස් ඉරණමකට ගෙනවිත් තිබේද?

පසුදා උදෑසන අවදි වී රාජකාරියට පිටත්ව යන්නට සූදානම් වෙද්දීත් අරුණලීගේ මුහුණින් නිදිමත ද සිතුවිලි වලින් කල්පනාව සහ වේදනවෙන් බර හැඟීම්ද නික්ම ගොසින් තිබුණේ නැත. 

“ඔයා මෙනුකට කතා කරාද?”

අම්මා ඇසුවේ කෑම පාර්සලය අතට දෙන ගමන් ය. වෙනදාක නම් උදේ පාන්දර්‍ර හිත් කරදර ගෙන එන මාතෘකා ගැන කත නොකරන්න යැයි තරවටු කරන අම්මාම මෙසේ අසද්දී ජීවිතය බොහෝ සෙයින් වෙනස් වී ඇති බවක් පමණක් අරුණලී සිතුවාය.

“මම එයාට කිව්ව ආයෙ එකතුවෙන්න අදහසක් නෑ කියල. එයා කියනව එයාල වෙඩින් එකට සෑහෙන වියදම් කරාලු. පාඩු ලු එයාට. මට අහන්න හිතුන එතකොට ඒ වගේම පාඩුව දරාගෙන ලැජ්ජ විඳින්නත් වෙච්ච එකට අපිට වන්දි හම්බෙනවද කියල. ආයෙත් ඕන නෑ කියල හිතල මම කටවහගත්තා”

“හ්ම්” කියා හිස හොලවමින් අම්ම හෙලූ හුස්ම මුලු හදවතම සසල් කරවන්නකි. 

“මං කිව්වෙ අපි ලං කරගත්ත මිනිස්සු නෙවි පුතේ පස්සෙ ප්‍රශ්නයක් උනාම දකින්න වෙන්නෙ”

ඒ සසැලීමට හේතුව වී තිබෙන්නේ තමා වසර ගණනාවක්ම ප්‍රේමයෙන් බැඳී සිටි මිනිසාම නොවේද කියා සිතන සිතුවිල්ලම කඳුලුද වේදනවද අලුත් කරවන්නකි. 

“හෙලෝ මිස්, කොයි ලෝකෙද ඔයා ඉන්නේ?”

අරුණලී මතකයන්ගෙන් මෙලොවට ඇදී ආවේ ඒ කටහඬ මහ සද්දෙට ඇහෙද්දිය. අරුණලී පමණක් නොව මොහොතකට ක්‍රියේටිව්ස් හි ඩිජිටල් මාකටින් කණ්ඩායමම ගැස්සුණ බව කිව්වොතින් එය ඇත්තකි.

කිමල් වීරවර්ධන වනාහී කිසිදවසක මෙසේ මහ හඬින් කාර්‍යාලයෙදි කෑ ගසා ඇති පුද්ගලයෙකු නොවේ. ඔහු ස්වභාවයෙන් නිහඬ ය. කාර්‍යාල මිතුරෙකු කල විහිලුවකට ඉඳහිටක මහ හඬින් සිනාසුන්ද කිමල් කිසිම දිනක මෙවන් හැසිරීමක් කාර්‍යාලයේදි පෙන්වා නැති බව සියල්ලන්ටම මතකය.

එහෙත් අද ඒ මතකය වෙනස් කරන දවසක් බඳු ය.

“දැන් මම මෙතන හිටගෙන කොච්චර වෙලා කියලද ඔයා හිතන්නෙ? ඒ මුලු වෙලාවෙම ලැප්ටොප් එක දිහා බලාගෙන කල්පනා කරනව ඇරෙන්න අඩුමගානෙ ඔයා මම මෙතනට ආව කියලවත් දැක්කෙ නෑ නේද?”

කිමල් උන්නේ අරුණලීගේ මුහුණ දෙසම එක එල්ලේ බලාගෙනය. කිමල්ගේ හඬට එයටත් වඩා ඔහුගේ දෙනෙත්වල ඇඳී තිබුණ හැඟීම් විරහිත බැල්මට අරුණලී තිගැස්සුණාය. අනෙක් අතට කිමල් වීරවර්ධන කිසිම දිනක කාර්‍යාල සඟයෙකුට මෙසේ කතා කර නැති බව අරුණලී දනී. එයම ලැජ්ජා වෙන්නට හේතුවක් නොවේද?

“මෙහෙමයි, ආවෙ වැඩ කරන්න නම් ප්ලීස් වැඩ කරන්න. මනෝ පාර ගහන් හිටිය කියල වැඩ වෙන්නෙ නෑනෙ. දැන් කෙස් එකේ පිච් එක අනිද්දා. ප්ලෑන් එක රෙඩි ද? මට ඒක අද බලන්න ඕන. ෆෝ පීම් මගේ කැබින් එකට ඇවිත් මට කැම්පේන් එක පිච් කරන්න”

කොහෙන්දෝ සිට පැමිණ සුලි සුලඟ ඇති කල කිමල් වීරවර්ධන අරුණලීගේ මේසය අසලින් නික්ම යද්දී කේශීනි එහි ආවේ ඇත්තටම අරුණලී ගැන වේදනාවෙනි.

“අඩේ මොකද්ද බං ඒ උනේ? උඹ වීරෙව ඩේට් කරල ඌට බූට් එකවත් තිබ්බද උට මෙහෙම තරහ යන්නෙ?” කේශිනී සුපුරුදු විහිලු සහගත හඬින් එසේ ඇසුවද අරුණලී උන්නේඒ විහිලුවෙන් සිත සැහැල්ලු කරගන්නට බැරුවය.

“අනේ අරුණි ඕකට ඔච්චර අවුල් යන්න එපා. කවුද ඕව හිතන්නෙ?”

“මට මාර ලැජ්ජයි ඒයි. මම ඇත්තටම ගෙදර ප්‍රශ්නයක් ගැන හිත හිත හිටියෙ. එහෙම නැතුව මම වැඩ මුකුත් ස්කිප් කලේ නෑ. මම ඒ කැම්පේන් එක කරල ඉවරයිත් එක්ක”

“හරි බං, කවුරුවත් එහෙම නෑ කියන්නෙ නෑ උඹ ඔච්චර අවුල්.යන්න එපා ඒකට”

“මට මාර ලැජ්ජයි. මිස්ට වීරවර්ධන කවදාවත් ඔෆිස් එකේ කාටවත් එහෙම බැනල නෑනෙ. එහෙම එකේ එයාමටම මෙහෙම බනින්නෙ මගේ ඇත්තටම වරදක් තියෙන හන්දනෙ”

“පිස්සුනෙ. ඌට නම් මේ මොකක් හරි මල යකෙක් වැහිල. නියමිත වයසෙදි ඉතින් නියමිත දේවල් කරගත්තෙ නැති උනාම ඉතින් ඔහොම තමයි. මම කතා කරන්නකො ඕකට වෙලාවක”

“අනේ එයා එපා.මාත් එක්ක තව වයිර බඳී ඊටපස්සෙ”

“පිස්සු හිතන්නෙ නැතුව දැන් ඌ එන්න කිව්ව වෙලාවට ගිහින් ඌට පිච් එක කරන්න.ඔයා ඒක හොඳටම කරාම කොහොමත් ඕකගෙ කට වැහෙයි”

කේශිනී එතනින් නික්ම ගියේ අරුණලීගේ පිටට සැහැල්ලුවෙන් තට්ටු කරමිනි. එහෙත් එය අරුණලීට හිත සැහැල්ලු කරගන්නට උපකාරයක්  නොවුනි. කිමල් වීරවර්දන තමන් නොදන්නා කුමක් හෝ හේතුවකට තමාට වෛර කරන බව අරුණලී තේරුම් ගත්තාය. 

ඉතින් දැන් ඔහු එන්නයැයි කියූ වෙලාවට ඔහු පමණක් හිඳින ඒ කුටියට තමා යා යුත්තේ බියෙන් ගැහෙමින් නොවේද?

මේ අයුරින් මෙතන කොපමණ නම් කාලයක් තමා සේවය කරන්නද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles