නිලැසි -35

“මම පරදින්නෙ නෑ..”

නිලැසි කෝපයෙන් එසේ සිතන්නට වූවා ය.තිසරුගේ අනුකම්පාව ලබා ගැනීම දැන් සිහිනයකි.ඔහු දික්කසාදය ලබා නොදී හිඳින්නේ නැත.නමුත් එරන්ද එසේ අත්හැර ගැනීම ගැනීම ඇයට කිසිසේත්ම කළ හැකි නොවේ.

“ඔයා යථාර්ථය පිළිගන්න වෙනවා ලොකු බබා.එයා කැමති මැරි නොකර ඉන්න නම් ඔයා ඒකට එකඟ වෙන්න..”

මානවී ඇගේ ජීවිතය ඇසුරෙන් නිලැසිට ආදර්ශ ලබා දුන්නා ය.ආදරය කියන්නේ විවාහ වීම ම නොවන බව නිලැසිට සිතුණේ මානවී එසේ කියද්දී ය.

“අපි වැඩියෙන්ම හොඳට දන්නවා කියලා හිතන මිනිස්සු ගැන මුකුත්ම අපි දන්නේ නෑ.ඔයාටත් වෙලා තියෙන්නේ ඒක.එරන්දගේ ජීවිතේ හීන,ටාගට්ස් ගැන තේරුම් ගන්නවා නම් ඔයාට එයාව නැති කරගන්නේ නැතුව ඉන්න පුළුවන්..”

මානවී එසේ කියා සුසුමක් හෙළුවා ය.රාජේන්ද්‍ර වික්‍රමාරච්චි නම් සංගීතඥයා තමන්ගේ බිරිඳට දැන් සුවිසෙස් ආදරයක් නොදෙන බව මානවී හොඳින්ම දන්නී ය.නමුත් ඔහු පවුල යන සාධකය ඔහුගේ ජනප්‍රියත්වයේ මුදුන් මල්කඩ බව විශ්වාස කරන මිනිසෙකි.

“වැලන්ටයින් දවසට ඔයාලගේ තාත්තව ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්න ගන්න ටීවී චැනල් පොර කනව.ආදරය කියන දේ ගැන එයාට තරම් කියන්න දේවල් කාටවත් නෑ කියලයි ඒ මිනිස්සු හිතන්නේ. ඔයාලගේ ලස්සන පවුල ගොඩනගා ගත්තු හැටි ගැන එයා කියන දේවල් මම සාලෙට වෙලා බලාගෙන ඉන්නවා.මිනිස්සුන්ට වයසට ගියත් තමන්ගේ වයිෆ්ට ආදරය කරන්න පුළුවන් කියලා සර් මහා ලොකු දේවල් පැය ගාණක් තිස්සේ ඔයාලව වට කර ගෙන කියනවා..”

මානවීගේ කතාව තවත් දිගු බව පෙනුණ ද නිලැසි ඇයට බාධා කළා ය.

“ඒ වගේ වෙලාවට ඔයාට දුක හිතෙන්නැද්ද? ඔයා තාත්තත් එක්ක රණ්ඩු කරලම නැද්ද?”

මානවීගේ තොල් මත ඇඳුනේ සිනාවකි.

“ඒ ඔක්කොම ඉවර වෙලා සර් මෙහෙ එනව.ප්‍රෝග්‍රෑම් එකෙන් රටේ මිනිස්සු දැක්ක ආදරේ එයාගේ ඇස්වලින් මම දකිනවා..ආදරේ දැනෙන්න ඕන එහෙමනෙ.රසාදරී මිස් ඒක දකින්නේ කැමරා ඉස්සරහදි විතරයි.මට ඒක කැමරාවක් නැති හැමතැනකදිම පේනවා..”

එය දියණියක විසින් තමන්ගේ තාත්තා ගැන නෑසිය යුතු අන්දමේ කතාවකි.නමුත් නිලැසි එය අසා හුන්නා ය.

“මට ඒත් එහෙම කැමරාවට බොරු කරන්න වෙන් නෑ.තිසරු ආයෙත් මට සමාව දෙන් නෑ…”

ඇය පැවසුවේ හදවත ඉතිරී යන ශෝකයෙනි.

“ඔයා දන්නවද මං අවුරුදු කීයක් මේ රහස රැක්කද කියල.කටකතා ඕනතරම් තියනව.ඒත් ඔය එක මීඩියා කාරයෙක්ටවත් එළිපිට ඔප්පු කරගන්න වුණේ නෑ ඒ කතාව.ඒ වගේ දේවල් හින්දා සර්ට කවදාවත් ඩිවෝස් වෙන්න ඕන වුණේ නෑ..”

අනියම් ප්‍රේමයක් එපමණට රහසිගත විය යුතු යැයි මානවී කියද්දී තමන්ට අනියම් ප්‍රේමය ඉක්මනින් නියම් කරගන්නට ඕනෑ වූ බව නිලැසි සිහි කළා ය.නමුත් ඇය එරන්දට ද එය උවමනා දැයි නොසිතුවා ය.

වරද එතැන ය!

“ඔයාගේ ඩිවෝස් එක ඔයාට හොඳ විදියට හරවා ගන්නව මිසක් වෙන කරන්න කිසිම දෙයක් නෑ..”

මානවී එසේ පැවසුවේ දෙඅත් අතර දෝත හොවා කල්පනාවට වැටුණු නිලැසිගේ උරහිස පිරිමදින අතර ය.

“තිසරු රටේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක්.ඔයා ජනප්‍රිය පවුලක මිසක් පෝසත් පවුලක ළමයෙක් නෙවේ නිලූ.ඔයාට පුලුවන් සල්ලිකාර හස්බන්ඩ් ඔයා වගේ බිස්නස් ගැන උනන්දුවක් නැති, කලාවටම ආදරේ කරන,කැමරාවක් අරන් කැලේට රිංගන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ගන්න කෙල්ලෙක් ඩිවෝස් කරා කියල සමාජේ අනුකම්පාව ගන්න..ඒත් ඒක කරන්න නම් දැන් කට වහන් ඉන්න වෙනව.ඔයා ඕවා දැන් කීවොත් තිසරු සමහරවිට දැන්මම ඇත්ත කියන්න පුලුවන්..”

මානවීගේ සැලසුම් අනුව ක්‍රියා කරනු විනා දැන් කළ හැකි කිසිවක් ම නැති බව නිලැසි අවබෝධ කර ගත්තාය.නමුත් ඇයට තවත් එක් ගැටළුවක් ඉතිරිව තිබිණ.

“මට එරන්ද නැති වෙලාම ගියාද කියලයි මං හිතන්නේ..”

ඇගේ හඬේ ශෝකී බව එතී තිබිණ.සැබෑවටම ඇයට දැන් ඇති සෑබෑ ගැටළුව ද එය ය.

“ඔයා කසාදෙකට කරදර කරන්නේ නෑ කියලා තේරුණාම එරන්ද ඔයත් එක්ක හැමදාම ආදරෙන් ඉන්නවා..ඒ ගැන සැකයක් තියාගන්න එපා.”

නිලැසිට එවදන් ගෙනාවේ සැනසීමකි.ඇයට එවදන් පැවසීම ගැන මානවීට දැනුණේ ද සැනසීමකි.තමන්ගේ සංගීත ගුරුවරයා තම යෞවනය උරාබොමින් හිඳින්නේ දික්කසාදයට පසු තමන් විවාහ කර ගන්නට බව සිතමින් සිටි යෞවනියක සොයා ඇය අතීතයට පියමං කළා ය.රැවටීමට ලක් වූ බව දැන දැනම ඒ ප්‍රේමය බව සිතමින් තම පවුල අත නොහැර සිටින මිනිසාගේ සදාකාලික අනියම් ප්‍රේමය වන්නට හිත හදා ගත් යෞවනිය දෙස මානවී මනසින් මොහොතක් බලා හුන්නා ය.

“දැන් ඒක එයාගෙ දුවටත් වෙලා.ලස්සන ජීවිතයක් විනාස කරගෙන එයා ආදරයක් පස්සෙ දුවනව.මං වගේම දුවයි.මං එයාව ඒකෙන් ගලවා ගන්නේ නෑ.දැන් මම ඔයාට සාධාරණයක් කළා කියලයි මට හිතෙන්නෙ..”

එසේ සිතද්දී මානවීගේ තොල් මත නැඟුණේ ජයග්‍රාහී සිනාවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles