පමා වී පිපුනු මල් 21

“මම ඇත්තටම මෙහෙම සිද්ධියක් දැනගෙන හිටියෙ නෑ”

කිමල් කිව්වේ ආරියරත්න මහතාටය. කුමක් හෝ හේතුවකට දුරකතනය දමා ගැසීම නිසා බිඳුණ වීදුරු මල්.පෝච්චියෙන් විසිරුණු වීදුරු කටු මත හිටගෙන කඳුලක්වත් මුහුණේ නැතුව අමුතුම විදියට බලාගෙන උන් අරුණලීව ගෙදර එක්කරගෙන ආවේ කිමල් ය.

අරුණලී ඇඬුවේ නැතත් නිශ්ශබ්ධව කාරයේ ඉදිරිපස වාඩ් වී හිඳිද්දී දෙනෙත් වලින් කඳුලු වක්කරන්නේ කුමක් හෝ බරපතල හේතුවකට බව කිමල් තේරුම් ගත්තේය.

“මට ප්‍රශ්නෙ මොකද්ද කියන්නකො හොඳ ළමය වගේ, ඔයා ඔහොම ඉද්දි මට බයයි” කියමින් කිමල් අරුණලීගේ ඉණ වටා කාරයේ ආරක්ෂිත පටිය පැලඳුවේ ඇය ඉන්නේ එවන් දෙයක් කරන්නටවත් සිහියකින් නොවන බව තේරුන හන්දාය.

එහෙත් අරුණලී උන්නේ වචනයක්වත් මුවින් පිටකරන්නේ නැතුව දෙතොල හයියෙන් හපාගෙන, කෙස් අවුල් කරගෙන රතු පැහැ දෙනෙතින් ඉස්සරහම බලාගෙනය. උන්මත්තක විලාසයෙනි. ඒ කිමල්ව බියපත් කරවන බැල්මකි.

“හරි ප්‍රශ්නෙ කියන්න බැරි නම් හොඳ ළමය වගේ මට කියනවද ඔයාගෙ ගෙදරට යන්නෙ කොහොමද කියල. මම ඔයාව ගිහින් ඩ්‍රොප් කරන්නම්. ප්ලීස්”

අරුණලී නිවස ඇති මාර්ගයේ නම කිව්වේ ඉතාම බිඳුණු හඬකිනි. කිමල් වාහනය පණ ගැන්වුවේ ඒ හඬ අනුවය. කාර්‍යාලයේ සිට අරුණලීගේ නිවසට මාර්ග තදබදය අඩු ඒ රාත්‍රියේ යෑමට ගත වුයෙ ඉතාම අඩු කාලයක් වුවද කිමල්ට ඒ කාලය දැනුනේ කල්පයක් මෙනි. එහා පසින් අසුන්ගෙන හිඳින අරුණලී සුසුම් ලනවා හැර කිසිවක් නොකියයි. උන්මත්තකයෙකු මෙන් එක එල්ලේ ඉදිරියම බලා හිඳිනවා හැරෙන්න ඇය කිසිවක් නොපවසයි. 

“ඔයාට කවුරුහරි කරදර කරනවද අරුණලී? මම දවස් කීපයක්ම දක්ක ඔයා සමහර ෆෝන් කෝල්ස්වලට කරදරෙන් වගේ උත්තර දෙනව. අපි අර එදා ටින් කිරි තේ බොන්න ගිය දවසෙත් මම දැක්ක..ඒත් මං කල්පනා කලා මොකද ඒ කියල. කවුරුහරි ඔයාට කරදර කරනවනම් කියන්න අපි එයාට කතා කරමු”

කිමල් කිව්වද අරුණලී උන්නේ ඒ කිසිවකට සවන් දෙමින් හෝ පිලිතුරු දෙන්නට බලමින් නොවේ.  කොහෙදෝ ඈත කල්පනා ලෝකයක හිරවී එහිම සැරිසරමිනි.

“ප්‍රශ්නයක් තියෙනම් ඉතින් අපිට කලබල වෙලා විසඳගන්න බෑනෙ අරුණලී. දැන් ඔයාගෙ අම්මල මේ ප්‍රශ්නෙ දන්නවද? ඔයා මෙහෙම අසනීපෙන් වගේ ගෙදර ගියාම අම්මල කලබල වෙන එකක් නැද්ද?” කියා කිමල් ඇසුවේ ඇත්තටම මේ ගැන හරියාකාර අදහසක් හිතේ නැති නිසාවෙනි. 

එහෙත් අරුණලීගේ ගෙදර මිනිසුන් මේ සියල්ලටම මෙයට පෙර මුහුණ දී ඇති වග කිමල් අදුනගත්තේ එහි ගිය පසුය.

“මම අරුණලීගෙ ඔෆිස් එකෙන්, එයාට පොඩ්ඩක් සනීප නෑ වගේ මම ඒකයි එක්කන් ආවේ” කිමල් කිව්වේ දෙනෙත් කුඩා කර තමා දෙස බලා හුන් අරුණලීගේ පියා යැයි ඔහු සිතූ මිනිසාටය. ඔහුට පිටුපසින් තවත් කාන්තා දෙනෙත් යුගල දෙකක්ම තමා දෙස බලා හිඳින වගත් කිමල් ඒ මොහොතේ දුටුවේය.

“අනේ පුතා” කියාගෙන් එතනින් වැඩිහිටි කාන්තාවත් “අක්කේ” කියාගෙන අනෙක් තරුණියත් කාරය දෙසට දුව යද්දීත් ඒ තාත්තා උන්නේ දෙනෙත් කුඩාකරගෙන කල්පනා කරමිනි.කිමල් මාරුවෙන් මාරුවට ඒ තාත්ත දෙසත් අරුණලී දෙසත් දෙනෙත් යා කලේය. කල යුත්තේ කුමක්ද වෙන්නේ කුමක්ද විය යුත්තේ කුමක්ද කියා කිසිත් අදහසක් නැතුව කිමල් බලා උන්නේය.

මෙතෙක් වේලා හිත අස්සේ තද කරගෙන උන් හැඟීම් එලියට දමා හිතෙන් බර අඩු කරගන්නට අරුණලීට ඉඩක් ලැබුනේ අම්මාගෙත් නංගීගේත් උණුහුම ලඟ ය. 

“අනේ අම්මේ මට බයයි අම්මෙ, මාව කොහේ හරි හංගන්න අම්මේ, මෙනුක මාව අරන් යනව කිව්වා අම්මේ” කියමින් අම්මාට වාරු වී බියෙන් තිගැස්සෙමින් හුන් අරුණලී ව මෙතරම්ම පෙළන්න හේතුවක් ඇති බවත්, එයට මේ මෙනුක කියන පුද්ගලයාගේ සම්බන්ධයක් තියෙන බවත් කිමල් සිතුවේය.ඒ කවුරුන් විය හැකිද? පෙම්වතාද? නැතිනම් පස්සෙන් එක කොල්ලෙක්ද?

අරුණලී අම්මාගේ ඇඟට හේත්තු වීම ගේ ඇතුලට එද්දීත් මෙහි තමන්ගේ කාර්‍යාලයේ අංශ ප්‍රධානියා හිඳින බව ඇයට මතක තිබුනේ නැත. මෙනුක ලංකාවට එන බව පැවසූ බවත්, පැමිණ කෙසේ හෝ තමාව රැගෙන යන බවත් පැවසුවා මතකය. මෙනුකදැන් ඒවි යයි, ඇවිත් තමාව රැගෙන යනු ඇතැයි යන බිය අරුණලී ව ආයේ වරක් මුල් අඩියටම වට්ටවා තිබුණි.

මෙනුකට පැමිණ තමාව රැගෙන යන්නට හැකි බවත්, අම්මලා නොමැති වෙලාවක විත් තමාව රැගෙන යනුඇති බවත් අරුණලී දිගින් දිගටම මනසින් සිතුවාය. ඒ හිත කීරිගස්සන හැඟීමකි. තමා දුරකතනය බියෙන් මෙන් විසි කල බවත් එය කොහෝ වැදී යමක් බිඳෙන සද්දය ඇසුණ බවත් අරුණලීට මතකය. එහෙත් තමා නිවසට ආ විදිය කොහෙත්ම මතක් නැත. මොන දේ උනත් දැන් ඉන්නේ අම්මා ලඟය. අම්මා කිසිම දිනක තමාව රැගෙන යන්නට මෙනුකට ඉඩ නොදෙන බව අ රුණලීට විශ්වාස්‍ය. එහෙත් මෙනුක කිව්වේ වෙන දෙයකි.

“උඹේ මහ එවුන් දෙන්නව මරල හරි මම උඹව එක්කගෙන යනව” 

ඒ වදන් නික්මුනේ තමා වසර ගණනක් ආදරය කර, මේ නිවසට ආ ගිය, තමන්ගේ අම්මා සහ තාත්තාට පුතෙකු මෙන් ද නංගීට අයියා කෙනෙක් මෙන්ද සැලකූ මෙනුකගේ මුවින් නොවේ. ඒ ඔහු විය නොහැක. 

අරුණලී නිවසේ උඩු මහලට යන්නට පියවර මනින යුරු බලා හුන් කිමල් එතනින් නික්මෙන්නට සිතුවේ මෙතන තමන්ට තවත් රාජකාරියක් ඉතුරු වී නැතැයි සිතූ නිසාවෙනි.

“මම එහෙනම් ගිහින් එන්නම් අංකල්,  මොනව හරි උදව්වක් ඕන නම් දැනුම් දෙන්න. මෙන්න මගේ නම්බර් එක” නිතරම කමිසයේ උඩ පොකට්ටුවේ දමාගෙන හිඳින බිස්නස් කාඩ් පතෙන් එකක් ගත් කිම එය තවමත් දොරකඩ සිටගෙන සිටින අරුණලීගේ පියා අතට දුන්නේය.

“ඉන්න සර්, මෙච්චට උදව්වක් කල එකේ එහෙම යන එක හරි නෑනෙ” කියා ආරියරත්න ඒ ගමන නැවැත්වුවේ ඇත්තටම එය කල යුතු යැයි සිතු නිසාවෙනි.

“නෑ, ඒකට කමක් නෑ. මේ කරදර වෙලාවක්නෙ” 

“අපිට නම් දැන් සෑහෙන දවසක ඉඳල කරදරයි සර්. ඒව එක්ක බලද්දි මේක මොන කරදරයක්ද” කියමින් ආරියරත්න නැගූ සිනහව වේදනාවත්, අසරණකමත් එක්කහු වූ එකකි. කිමල් නතර වෙන්නට සිතුවේ ඒ වදන් වලටත් වඩා ඒ දෙනෙතේ ඇඳී තිබුණ වේදනාව නිසාය.

අරුණලීගේ නිවසේ බිත්ති සැරසී තිබුනේ ඇගේත් ඇයගේ නංගීගේත් ජායාරූපවලිනි.  ඒ ජායාරූපවල  අරුණලී උන්නේ සිනාසෙමිනි. උපාධියගත් ජායාරූප, උපන්දින ජායාරූප යනාදී බොහෝ ජායාරූපවලින් වැසී තිබුන බිත්තිය දෙස බලා උන් කිමල් ආපසු හැරුණේ ආරියරත්නගේ හඬටය.

“වාඩිවෙන්න සර්”

“අනේ මට සර් කියන්න එපා අංකල්. කිමල් කියන්නකො”කියමින් කිමල් එහි වාඩිඋනේය. 

“පුතා ගැන දූ ඇවිල ඉතින් විස්තර කියල ඇති. බොස් ගැන ඉතින් කියනවනෙ ඒ උනාට ඕව ඉතින් අම්මල දූලනෙ දන්නෙ. මම එහෙම ලොකුවට දන්නෙ නෑ”

“අනේ ඒකට කමක් නෑ අංකල්”

“මොකද්ද පුතා ඇත්තටම උනේ?”  ආරියරත්න කතාවට එළඹුනේ මේ සිදුවීමට හේතුව හරියාකාරව දැනගත යුතු නිසාවෙනි. ප්‍රශ්නයක මුල, මැද දන්නේ නැතුව ඒ ප්‍රශ්නයේ අගට යා නොහැකි බව ආරියරත්න විශ්වාස කලේය. 

“මම ඇත්තටම කන්ටෙක්ස් එකක් දන්නෙ නෑ අංකල්. හදිසි ප්‍රොජෙක්ට් එකක් නිසා තමයි අපි ඔෆිස් එකෙ හිටියෙ. අනිත් ළමය පොඩ්ඩක් කලින් ගියා ගෙදර ප්‍රශ්නයක් නිසා. මම දන්නෙ නෑ ඒකද ප්‍රශ්නෙ උනේ කියල. මම හිටියෙ ඉස්සරහ පැත්තෙ. එකපාර මොකද්ද බිඳෙන සද්දයක් ඇහුන හන්ද ගිහින් බලද්දි තමයි දැක්කෙ”

කිමල් කියූ කතාව අවසානයේ ආරියරත්න මහතා අරුණලී මුහුණ දී හිඳි ප්‍රශ්නා හෙමින් සැරේ සරලව කියා දැම්මේය. ඒ මොනවා උනත් අරුණලී ආයෙ රැකියාවට නොගියත් මේ මිනිසා මෙවෙලෙ කලේ විසල් උපකාරයක් බවත් ඔහුව විශ්වාස කල හැකි බවටත් සිතුවිල්ලක් හිතේ තිබුනු නිසාය.

“කොහොමහරි අන්තිමේ මේ හොඳට හිටිය ළමය පිස්සු නටන්න ගත්ත එක තමයි පුතා උනේ” කියා ආරියරත්න මහතා කියූ වචන විත් වැදුනේ කිමල්ගේ හිතේ පතුලේය.

“මම ඇත්තටම මෙහෙම සිද්ධියක් දැනගෙන හිටියෙ නෑ.

මෙහෙම දෙයක් දැනගෙන හිටියනම් මම අරුණලීට කියනව කෝල් එකට ආන්සර් නොකර ඉන්න කියල”

“එහෙම උනත් ඉතින් ඔය මනුස්සය කතා කරන්න විදියක් කොහොමහරි හොයා ගනීවි”

“දැන් ඒ බෝයිගෙ ගෙදර අය දන්නෙ නැද්ද මේ ගැන?”

“මොකද පුතා නොදන්නේ, ඒ ම්නිස්සුන්ට ඕන එයාලගෙ පුතාගෙ වැරැද්ද වහගන්න කොහොමහරි මේ කසාදෙ කරල දාන්න.” කිමල් ආරියරත්නගෙන් ඇසූ ප්‍රශ්නයට උත්තර දුන්නේ පඩිපෙල බැහැගෙන එමින් උන් සුභාය. ඇගේ දෙනෙත් ඉදිමී තිබුනේ හැඬීම නිසා බව කිමල් අඳුන ගත්තේය.

“දූ නිදාගත්තද?” ආරියරත්න හිස හරවා සුබා දෙස බලද්දී සුබා විත් ඔහු හිඳගෙන අසුන අසලින් හිටගත්තේ මහ හුස්මක් පිටකරමිනි.

“ඇස් පියාගෙන ඉන්නව, මම සඳලිනීවත් එතන තියල ආවා”

“ඒක හොඳයි, මේ අරුණලීගෙ ඩිපාට්මන්ට් හෙඩ්ලු” 

“තැන්ක්‍යු පුතා ඇත්තටම තනියම එවන්නෙ නැතුව එක්කරගෙන ආවට. තනියෙන් එන්න උනානම් ඔය ළමයා මොනව කරගනීවිද මන්දා මේ ලමයා”

“අනේ ඒකට කමක් නෑ ආන්ටි, බොහොම සුලු උදව්වක් ඒක” 

“මේ දරුවට කන්න බොන්න මොනවහරි ලෑස්ති කරමු නේද සුබා?” කියා ආරියරත්න මතක් කරද්දී කිමල් අසුනෙන් නැගිට්ටේ තමා දැන් යා යුතු බව පවසමිනි. එහෙත් ආරියරත්න සහ සුබා උන්නේ කිමල්ට එසේ පහසුවෙන් යන්නට දෙන අදහසක නොවේ. 

“නෑ නෑ එහෙම බෑ, මේ රෑ වෙච්ච වෙලේ. කන්න බැරි නම් තේ එකක් හරි බීල යන්කො” කියා ආරියරත්න තමන්ටත් වඩා  අඩියක් පමණ උස තරුණයාගේ උරහිසට අත තැබුවේ ස්තුතියත් විශ්වාසයත් රැඳුණු නෙතකිනි.



අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles