එයා මැරිලා හුගක් කල් 17

“කෙහෙල් කොළ පරඬැලක්..??

තලම්මැහැර ඉඳගෙන හිටපු පුටුවෙනුත් නැගිට්ටා.

“ශ්… ශ්…
ඩොක්ටර් ..ඩොක්ටර් ..කලබල වෙන්න එපා …කලබල වෙන්න එපා ..
ඉඳගන්න..වටේ පිටේ මිනිස්සු දැක්කොත් එහෙම ලෝක ලෙඩක්.”

රාජරත්නම් ඉක්මනටම තලම්මැහැරව  පුටුවේ  ඉඳෙව්වා.

“කලබල වෙන්න එපා..
හිතාගන්න බෑ වගේම ඉවසගන්නත් බෑ තමයි මේ දේවල් ඇහෙන කොට.ඒත් තාමවත් අපිට හරියට පොටක් පෑදිලා නෑ..”

රාජරත්නම් කිව්වා …

“ප්‍රහානයා ඉතුරු ටිකත් ඔහොම ඇදලා දාපන්.. “

රාජරත්නම් කිව්වේ  ප්‍රහාන් ගේ උර පත්තට තට්ටුවක් දාන ගමන්.

“ඔව් ඇත්තටම..ඒක දැක්කහම මට කලන්තේ දැම්ම.එතනින්ම ඒගොල්ලෝ මාව වාඩි කෙරෙව්වා.
මට හිතාගන්න බැරි වුණා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා….

එතන හිටපු ආශිකා ගෙ ඩොක්ටර් කිව්වා  සාමාන්‍යයෙන් හුඟක් දුර්ලභ අවස්ථාවලදී අම්මගේ බඩ ඇතුලේදි ළමයව විජලනයට පත් වෙන වෙලාවල් තියෙනවා කියලා කිව්වා.හැබැයි ඒත් මේ විදිහට නෙමෙයි.මේක නිකං හරියට මොකක් හරි බටයකින් ළමයගෙ ඇඟ ඇතුලේ තියෙන සාරය සම්පූර්ණයෙන්ම එලියට ඇදලා අරගෙන වගේයි කිව්වා .

ඒක දකින්නම ඕනේ.හිතා ගන්න බැරි මහ භයංකාර විදිහක්.පොඩි එකාගේ ඇස් දෙක විතරක් එලියට ඇවිල්ලා තිබුණා.ඉතුරු හැම එකක්ම වේලිලා පරඬැලක් වෙලා ගිහිල්ලා තිබුණා.මම යන්තම් කතා කරගන්න පුළුවන් වෙච්චි ගමන්ම මේ බොඩි එක අපේ ගෙදර කිසි කෙනෙකුටවත් ආශිකාටවත් ආපහු පෙන්නන්න එපා කියලා දොස්තරලට කිව්වා.

එතකොට ආශිකාගේ ඩොක්ටර් ඒ වෙලාවේ ඇහුවා මේක සාමාන්‍යයෙන් දකින්න නැති දුර්ලභ අවස්ථාවක්.මේ ගැන මොකක් හරි ඕගොල්ලන්ට සැකයක් තියෙනවා නම් මීට වඩා ඇක්ශන් එකක් ගන්න පුළුවන් කියලා .ඒ වගේම එයා ඇහුවා මේ ගැන මීඩියා වලට කියනවද කියල.ඇත්තටම මට දැන් හිතෙනවා මේ ගැන මීඩියා වලට කිව්වනම් හොඳයි කියලා. ඒ උනාට මට ඒ වෙලාවේ එකපාරට ඒක අනවශ්‍ය දෙයක් හැටියට දැක්කා. එහෙම දෙයක් මාධ්‍යයට කිව්වහම ආයි ඉතින් ගැලවිල්ලක් නැති බව ඕගොල්ලෝ දන්නවනේ..කලින් පාරත් මට ත්‍රස්තවාදියෙක් විදියට හංවඩු ගැහිල තියෙන නිසා ඇත්තටම මට බය හිතුණා පරණ දේවලුත් එක්ක මේ සිද්ධිය පටලවලා මාධ්‍ය මොකක් හරි ලොකු මගඩියක් කරයි කියලා. ඒ වෙනකොට මම හෙවනැල්ලටත් බය මිනිහෙක්..
ආශිකාගේ නින්ද ඉවරවෙලා ඇහැරෙනකොට එයා සම්පූර්ණයෙන්ම එයාගේ හොඳ මානසිකත්වයෙන් මිදිලයි  හිටියේ.ඇත්තටම මම ආශිකා  ඇහැරෙනකම් බලාගෙන හිටියේ එයාට තුරුල් වෙලා මගේ හිතේ දුක නැති වෙනකන් අඬන්න. අන්තිමේදී සිද්ධ උනේ තමන්ට තමන් කවුද කියලවත් මතක නැති ගැහැණියෙක් නැගිටින එකයි.

දරුවාගේ සිද්ධියත් එක්ක ආශිකා  සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හිටියේ. එක දිගටම අඬ අඬා  එයා දරුවාව ඉල්ලුවා. අපි දවසකට පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා.දරුවාගේ බොඩි එක කිසි කෙනෙකුට පෙන්නන්න එපා කියපු නිසා ඒක ඉස්පිරිතාලය හරහා වළලලා දැම්මා.ඒකට ඕන කරන ගාස්තු ඔක්කොම මම ගෙව්වා.
ගෙදර ආව වෙලාවෙ ඉඳන් ආශිකා හැසිරුණේ පිස්සියෙක් වගේ.අපි බබාට හදලා තිබිච්ච ඇඳුම් තොටිලි සෙල්ලම් බඩු කිරිබෝතල් නාවන බේසං වගේ දේවල් බදාගෙන තිස්සේම ආශිකා  වැළපෙන්න පටන් ගත්තා.ඇත්තටම ඒ වෙලාවේ මමත් හිටියේ කෑ ගහලා අඬන්න පුළුවන් තත්ත්වයක උනාට පුදුමාකාර ආයාසයකින් මට ඒ වේදනාව හිරකරගෙන ඉන්න සිද්ධ වුණා ආශිකා හින්දම. අපි දෙන්නම හරි ආදරෙන් හිටපු දෙන්නෙක්.අපි දෙන්නම අම්මල තාත්තලා වෙන්න හීන දැකපු දෙන්නෙක්. අපේ කකුල් දෙක ඉස්සරහම ඒවා සුන්නත් දූලි වෙලා යනකොට ඉවසගෙන දරා ගන්න අමාරුයි කියලා හිතුනා.

එකපාරටම රෑ අටට විතර මිදුලට මොකක් හරි ” දොහ්  “
ගාලා වැටෙන සද්දයක් ඇහුනා.මම එතකොට හිටියේ එළිය බංකුව උඩ වාඩිවෙලා.අහස දිහා බලාගෙන කල්පනා කර කර.මට හිතාගන්න බැරි වුණා ඒ ආපු සද්දෙ මොකක්ද කියලා.අපි දෙන්නා විතරක් හිටපු ගෙදර මේ දවස් දෙක තුනට විතරක් උදව්වට අපේ අම්මත් ඇවිල්ල හිටිය.මොකක්ද ඒ සද්දේ කියලා අහගෙන අම්මත් එළියට දුවගෙන ආවා.සද්දෙ ආපු පැත්තට අපි දෙන්න දුවගෙන යනකොට…”

එහෙම කියලා ප්‍රහාන් ආපහු  එයාගේ ඇස් දෙක අත් දෙකෙන් වහගත්තා.

“උඩ තට්ටුවෙන් පැනලා තිබුණේ ආශිකා..”

ප්‍රහන් කිව්වේ අත් දෙකෙන් මූණ වහගෙනමයි.

“අපේ ඉඩම පොඩියි. ඒ හින්දා අපි තට්ටු තුනකට ගේ හදලා තිබුණේ.තුන්වෙනි තට්ටුවෙන් උඩ කොටසේ වහලයක් නෙමෙයි.ඒක සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් දාලා ඒකත් එළිමහන් පරිසරයක් විදිහට හදලා තිබුණේ.මුළු ඉඩම පර්චස් හයක් හින්දා තමයි ඒ විදිහට ගේ ප්ලෑන් කලේ.ආශිකා වහලෙ උඩ තියෙන කොන්ක්‍රීට් එකටත් නැගලා තමයි බිමට පැනල තියෙන්නෙ. මම ළඟට ගිහිල්ලා එයාව උස්සල ගන්න කොටත් එයාගේ බෙල්ල කඩාගෙන වැටුනා.අපේ මුළු පවුලටම හරියට දේව සපයක් එල්ල වුණා වගේ.ඊට පස්සේ මොනවා වුනාද කියන්නේ මට කිසිම මතකයක් නැහැ.ඊට ටික කාලයකට පස්සේ තමයි මට ආපහු තේරෙන්න ගත්තේ මම මේ ඉන්නේ ඉස්පිරිතාලයක කියල.ඩොක්ටර් අසේල  ගොඩාක් මහන්සි වුණා මට කතා කරන්න ආපහු පුළුවන් කරවන්න.ඇත්තටම මම දන්නෙ නැහැ ඇයි මට එහෙම වුණේ කියලා..”

“ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්.අධික වේදනාවක් අධික බලාපොරොත්තු කඩවීමක් එහෙමත් නැත්නම් අසාමාන්‍ය විදිහට තමන්ට තමන්ගේ වර්තමානය ගැන බය හිතෙනකොට අපිට නොදැනීම අපේ මනස ඇතුලෙන් අපිව ගොළු කරනවා.එහෙම නැත්නම් අපිට නොදැනීම අපේ මනස ඇතුලෙන් අපිව බීරි කරවනවා.ඒක වෙන්න පුළුවන් දෙයක්. සෑහෙන්න ලොකු ඉවසීමක් තියෙන ප්‍රතිකර්ම ක්‍රියාවලියකින් පස්සේ හුඟක් දුරට අපිට ලෙඩ්ඩුන්ව සනීප කරගන්න පුළුවන්.දැන් අපි ඔයාව හොඳ කලා වගේ…”

එහෙම කියල මම ප්‍රහන්ට තට්ටුවක් දාලා යන්තම් හිනාඋනා .

වීදුරු ඇස් දෙකකින් අපි දිහා බලාගෙන හිටපු තලම්මැහැර …

“දැන් උඹලට තේරෙනවද මම කියපු කතාවෙයි මේ කතාවෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා.. “
කිව්වා .

.”ම්ම්… තියෙනවා .. අනිවාර්යෙන්ම තියෙනවා.හැබැයි මේක පැටලිච්ච නූල් බෝලයක්.මේ නූල් බෝලේ කොන හොයාගන්න එක තමයි කරන්න ඕනෙ ..”

එහෙම කියපු රාජා එයාගෙ ඉවර වෙච්ච සුප් කෝප්පය මේසය උඩින් තිබ්බා.

ප්‍රහානගේ මූණ දාඩියෙන් නෑවිලා තිබුනා. මට ඇත්තටම දුක හිතුනා.මිනිහෙක්ගේ ඔලුව විකාර වෙච්ච අතීතය අමතක කරන්න ඕන හින්ද ඒ මනුස්සයා මනසින් සැහැල්ලු ලෝකයක් මවාගෙන ඒකෙ අතරමං වෙනවා.අපි බොහොම අමාරුවෙන් බෙහෙත් කරලා ට්‍රිට්මන්ට් කරලා ආපහු ඒ මනුස්සයව අර ජීවත් වෙන්න අකමැති ලෝකයට ඇදලා ගන්නවා.
මනුස්සයා කැමති ලෝකයක ආතල් එකේ ඉන්න දෙන්නේ නැතුව…එතනදිත් අපිව තව කෙනෙක් පාලනය කරනවා.ප්‍රහාන් අමාරුවෙන් හරි ආපහු තමන් අකමැති ලෝකයට ඇවිල්ලා  ඉන්න හදනකොට අපි ආපහු සැරයක් බලෙන් එයාගෙන් ඒ රිදිච්ච දේවල් මතක් කර කර අහනවා. ප්‍රහාන් එතනින් නැගිටලා මුහුද පැත්තට ඇවිදගෙන ගියා.

“රාජා ..ප්‍රහාන් මෙතන ඉන්න නිසා මට අහන්න බැරුව හිටියේ.. ඔයාට අර ටේප් රෙකෝඩර් ටික අහන්න පුළුවන් උනාද..”

මං ඇහුවේ කටේ සද්දෙ ටිකක් අඩු කරල..

“ආ..ඔව් ඩොක්ටර් … ඇත්තටම එක දිගට ගත්තහම ඒක පැය හතරක් විතර දිග රෙකෝඩ් එකක්. හැබැයි මෙහෙම යි… ඒකෙ අපිට ගන්න පුළුවන් තරම් වැදගත් දෙයක් කියවෙන්නේ නැහැ.ගොඩක් වෙලාවට ප්‍රහානගේ අම්මා එයාගේ හිත හැදෙන විදිහේ දේවල් තමයි කියන්නේ.ඇත්තටම මම එකපාරක් නෙමෙයි ඒක දෙපාරක්ම ඇහුවා.ඒකෙ අපිට එච්චරම වැදගත් දෙයක් නැහැ ඩොක්ටර්…”

රාජරත්නම් කිව්වා ..

“සිරිසහන …. උබලට ඒ භූත බංගලාව අමතක උනාද…”

එහෙම අහපු රාජ රත්නම් හයියෙන් හිනාඋනා ..

“අම්මටසිරි ඔව්මයි… මමමයි  ඒ ගැන හොයන්න කිව්වෙත්..”

එහෙම කියපු තලම්මැහැර හිනාවෙලා සෝස් නාවලා තඩි ඉස්සෙක් කටේ දාගත්තා..

“මෙහෙම යි.. ඒක ගැන මට ලොකු විස්තරයක් මේ ටික වෙලාවෙදි මට හොයාගන්න බැරුව ගියා. හැබැයි ඒක එක තැනක තියෙන නිශ්චිත ආයතනයක් නෙමෙයි.ඒක බොහොම රහසිගත
රත්නාලෝකගේ අදෘශ්‍යමාන මැදිහත්වීම මත සිද්ධ වෙන දෙයක්.පිලිප් වෙත්තමුනි කියන ව්‍යාපාරිකයාගේ නමින් තමයි මේ සංවිධානය රන් වෙන්නේ..

හොදකට හෝ නොහොදකට ..ඔය වෙත්තමුනි කාරයගෙ කාර් එක ඇක්සිඩන්ට් වෙලා  මීට අවුරුදු පහකට විතර කලින් මිනිහා ලොකු කරදරේක වැටුනා. ඔය නාවල හංදිය පැත්තෙ ජයන්ත කියලා පිස්සු හාදයෙක් හිටියා. මිනිස්සුන්ටත් මාර කරදරයක් තිබුණේ.ගෑණියෙකුට රෙද්දක් වනා ගන්න නෑ  මූ අරගෙන යනවා .කොච්චර පොලිසියෙන් ගහලා ඉස්පිරිතාලෙට ගිහින් දැම්මත් වැඩක් නෑ..කොහෙන් හරි කීයක් හරි හොයාගෙන කුඩු ගහනවා.ඒ දවස්වල මම වැඩ කලේ නාවල.කොහොම හරි මේ මනුස්සයා කුඩු වැඩිවෙලා ඒ පිස්සුවෙන්ම පාර හරහා පැනලා තිබුණා මහ රෑ..මේ වෙත්තමුනි ගෙ   කාර් එකට තමයි ඒ වෙලාවේ හැප්පිලා තිබුණේ.මේ ජයන්ත එතනම මැරුණා.ඒ වෙලාවේ ඩියුටි හිටියේ මම. වෙත්තමුනි කියන්නේ කවුද කියන්න මම දැනගෙන හිටියේ නැහැ.ඒ උනාට මේ ජයන්ත කියන්නේ කවුද කියන එක මම දන්නවා.මේ කාලකන්නියා හින්දා කොයි වෙලාවක හරි අහිංසක මනුස්සයෙක් ලෝක අමාරුවක වැටෙනවා කියන එක නම් මම අපේ ස්ටේෂන් එකේ කීප සැරයක් කියලා තිබුණා.”..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles