පමා වී පිපුනු මල් 24

මේ සියලු ප්‍රශ්නවල අවසානය යැයි රමිත් සිතුවේ මෙනුක සමග ආපසු සුපුරුදු ජීවිතයට එළඹෙන්නට අවකාශය ලැබුණ නිසාය. වෙනදාමෙන්ම මෙනුක සමග එක ගෙදරක ඉන්නට, එකට උයා පිහාගෙන කන්නට, හවසට ඇවිදින්න යන්නට හැකිවෙද්දී රමිත් සතුටු නොවුනා යැයි කියන්නට නොහැක. 

මේ තමා බලාපොරොත්තු වෙච්ච ජීවිතය බව රමිත් හිතුවා උනත් මෙනුක උන්නේ වෙනද මෙන්ම සම්පූර්ණ සැහැල්ලුවකි නොවන බව රමිත් නොදුටුවා නොවේ. 

මෙනුක කිසිදාක නැති අන්දමෛන් නිහඬ වී තිබුනි. තමන් අසන ප්‍රශ්නයකට පවා මෙනුක උත්තර දුන්නේ දෙතුන් වරක් එකම ප්‍රශ්නය ඇසීමෙන් පසුවය. ඒද නොරිස්සුමෙනි.

“කාලයක් යද්දි හිත හදාගනීවි” කියා රමිත් සිතුවද මෙනුක ඇත්තටම උන්නේ එක මොහොතකටවත් අරුණලීව හිතෙන් අමතක කරගන්නේ නැතුවය.

“අරුණලීට තිබ්බ එකම එක වතාවකට හරි මට සමාව දෙන්න” කියා සිතනවා හැරෙන්න තමාගෙන් අරුණලීට වුනේත් වෙමින් පවතින්නේත් එකම එක වරදක් බව හිතන මෙනුක හිත යොමු කලේම නැත.

“උඹ හෙන අවුලෙන් වගේ ඉන්නෙ” රමිත් කිව්වේ මද සිනාවක් සමග මෙනුකව අස්වසන්නට හෝ කතාවට එක්කහු කරගන්න හෝ බලාපොරොත්තුවෙනි.

එහෙත් තමාට කාටවත් කියන්න කතාවක් නැති බව මෙනුක නැවත නැවට සිතුවේය.

“එහෙම දෙයක් නෑ” කියා කිව්වද අරුණලී එකදු දුරකතන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට පිලිතුරු නොදෙන්නට තරම් හිත හයිය කරගෙන තිබීම ප්‍රශ්නයකි..ප්‍රශ්නයකට වඩා වේදනාවකි. තමාව එතරම් ඉක්මනින් අමතක කරන්නට තරම් ඇය දරදඬු, හිත හයිය මනුස්සයෙක් වූයේ කෙසේද?

එහෙත් ඒ ප්‍රශ්නයට උත්තරයක් තමා ලඟ නැත.

“එහෙම දෙයක් නෑ කිව්වට උඹ ඉන්නෙ අවුලෙන් කියල ඉතින් ඕන එකෙක්ට තේරෙනවනෙ. උඹ ඉස්සර වගේ කතාකරන්නෙ නෑනෙ කියල කුමිලත් කිව්වා. ප්‍රශ්නයක් නම් කතා කරල ඉවරයක් කරපං. හිත හිත හිටිය කියල ඉවරයක් වෙන්නෙ නෑනෙ”

“ප්‍රශ්නෙ කතාකරන්න ඒකි කතාකරන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ”

“උඹ තාම ඒකි ගැන හිතනවද? අපි හිතුවෙ උඹ දැන් ඒකිව අමතක කරල හිත හදාගෙන ඇති කියල”

“උඹයි කුමිලයි එහෙම හිතුවට මට එහෙම කරන්න බෑ කියල උඹ දන්නවනෙ. මට ඒ හැමදේම අමතක කරල ඉන්න තිබුන මම මැරිල ඉපදුනා නං. අනික මම කොහොමද ඒ ප්‍රශ්නෙ විසඳගන්නෙ නැතුව ආයෙ ලංකාවට යන්නෙ? මිනිස්සු මං දිහා කැතට බලද්දි මම කොහොමද ඒක ඉග්නෝර් කරල ඉන්නෙ? ඇයි බං උඹලට තේරෙන්නෙ නැත්තෙ?”

මෙනුක කියන්නේ වේදනාවෙන්ය. එයට හේතුව අරුණලී බව මතක් වෙද්දී ලංකාවට ගොසින් සියතින්ම ඇයගෙ බෙල්ල මිරිකා එන්නට තරම් කෝපයක් සිතට ආවද රමිත් පිටතින් ඒ කිසිත් හැඟීමක් එලියට පෙන්වුයේ නැත. තමාගේ හිතේ අරුණලී ගැන ඇති කෝපය මෙනුක දැකීම ඔහුව සහ තමාව තව  තවත් ඈත් කරන්නා හේතුවක් විය හැක. අනෙක් අතට මොන දේ උනත් මේ කරදර කාලයේ මෙනුක ලඟින් හිඳින්නේ තමා මිස අරුණලී නොවේ. මොන දේ උනත් මෙනුක කිසිම දිනක එය අමතක කරනු ඇතැයි රමිත් නොසිතුවේය.

අරුණලී ගැන කිසිමාකාරයකින් අලුත් විස්තරයක් සොයාගන්නට නොහැකි තැන මෙනුක මුහුණ පොත පිරික්සුවේය. එහෙත් අරුණලී එහිද පෙනෙන්නට නැත. එක්කෝ ඇය තමාව බ්ලොක් අර ඇත. නැතිනම් මුහුණු පොතෙන් ඉවත් වී ගොසිනි.

නංගී සඳලිනී වුවද වෙනදාක පණිවිඩ වලට උත්තර දුන්නද තමා පසුගිය දිනකිහිපයේ යැවූ කිසිත් පණිවිඩයක් බලා ඇති බවටවත් සලකුණක් නැත.

“හෙලෝ අම්මේ” 

මෙනුක අවසානයට කලේ කරන්න හැකි එකම පියවර ගැනීමයි. ගෙදරට ඇමතුම ගෙන අලුත්ම තත්ත්වය ගැන විමසීමයි.

“අහ් ඔව් කියන්න” ඛේමාට දැන් මෙනුකව අරහං ය. “මොන වරද කරත් ඒ අපේ ළමය බව අමතක කරල කතා කරන්න එපා” යැයි පීරිස් කොපමණ කීවද මෙනුකගේ කට හඬ ඇසෙන සැම මොහොතකම තමන් විඳින මේ නවනිංගිරාවට හේතුව මෙනුක බව අමතක කරන්නට ඛේමාට නොහැක.

“අම්මා අරුණලීලගෙ ගෙදරට කතාකරාද?”

“අනේ ළමයො මේ මොන කරදරයක්ද? ඒ මිනිස්සු අපිත් එක්ක කතා කරනවා තියා අපෙ මූණවත් බලන්න කැමති නෑ. එහෙම එකේ කොහොමද අපි ආයෙ ආයෙ ඒ ගෙවල්වලට යන්නෙ, ඒ මිනිස්සුන්ගෙ මූණ බලන්නෙ?

අනික කොච්චර කරත් ඒ මිනිස්සු ආයෙ මේ ගැන හිතන්න කැමති වෙන්නෙ නෑ. ඒ නිසා කොච්චර ඕක ගැන කතා කරත් තේරුමක් වෙන්නෙ නෑ.”

අම්මා එහෙම කිව්වද මෙනුක උන්නේ හිත සනසාගන්නට පුලුවන් තැනක නොවේ. මේ වූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. අතේ තිබුන දේ ගිලිහීමකි. එයටත් වඩා ලැජ්ජාවකි. ඒ සියල්ල යතා තත්ත්වයට පත් කරගත හැකි එකම පියවර අරුණලී හා සම්බන්ධ වීම පමණකි.

අරුණලී උන්නේ මෙනුකගේ පැත්තෙන් නිශ්ශබ්ද වීම ගැන සතුටකිනි. මෙනුක ආයෙමත් තමාට කතා නොකරනු ඇතැයි සතුටකිනි. එහෙත් සුභාත් ආරියරත්නත් එය භාරගත්තේ එතරම්ම සතුටකින් නොවේ. මේ නිහඬවීම මහ වේදනාවක් හඬක්, ඇරඹුමක් නොවේ යැයි කියන්නට හැකිද?

“අනේ මන්ද ආරි මට නම් බයයි මේ සද්දයක් නැති එකත්. එකපැත්තකින් සද්දයක් තියෙද්දි අපි දන්නවනෙ මොකද්ද වෙන්නෙ කියල”

“ඒක නම් එහෙම තමයි කොහොම උනත් ඉතින් උන් සද්දයක් දානකම් මුකුත් වෙන්නෙ නෑ කියල හිතන් ඉන්න තමයි අපිට තමයි වෙන්නෙ.”

“කෝකටත් ඔයා අරුණලී එලියට යද්දි තනියෙන් නොයවා එයා එක්ක පොඩ්ඩක් යන්න.මට හරි හිතට මොකද්ද වගේ”

“නෑ එහෙම මගටඇවිල්ල කරදරයක් නම් කරන්න පුලුවන් කමක්නෑනෙ. එහෙමකරාවි කියලනම් මම හිතන්නෙ නෑ. අනික ඉතින් ඌ ඔස්ට්‍රේලියාවෙ ඉඳල ඇවිල්ල මේ කෙල්ල එනකම් පාරෙ ඉන්න කියලය”

“අනේ ඒ උනාට අපි දන්නෙ නෑනෙ මොන මොන ඔත්තුකාරයො දාලාද කියල මේ ලමය යන එන තැන් ගැන හොයල බලන්න. කෝකටත් ඔයා දරුව එක්ක මගට යන්නකො”

විනෝද වෙන්නට අදහසක් කියා දෙයක් නොතිබුනත් අරුණලී වෙනදාට වඩා යම් තක් දුරකින් සතුටෙන් උන්නාය. කිමල් විරවර්ධන ඉන්පසුව කිසිම දිනක මේ වූ සංසිද්ධිය ගැන නොඇසුවද, සුපුරුදු සමච්චල් සහගත වදනින් තමා ඇමතුවද අරුඊ ඒ භාරගත්තේ සතුටෙනි. මොන දේ උනත් කරදර අවස්තාවක ඔහු උදව් කල අයුරුත් අරුණලී අමතක කරේ නැත.

පසුගිය සතුය පුරාවටම උදෑසන සිට රාත්‍රියේ බොහෝ වෙලා යනතුරුත් කිමල්,  අරුණලී කේශිනී, භාශිත ඇතුලු කණ්ඩායමේ බොහෝ දෙනෙක්ට කාර්‍යාලයේ රැඳී ඉන්නට සිදු උනේ අලුතෙන්ම භාරගත් ප්‍රොජෙක්ට් එකක ඩෙඩ්ලයින් එකක් ලංවීම නිසාය.

කාර්‍යාලයේ අනෙක් සියලු දෙනාටම වඩා කිමල් වීරවර්ධන සමග සියල්ලන් එකමුතු ඔහු තමා කණ්ඩායමේ නායකයා කියා සිතනවාට වඩා කණ්ඩායමේ තවත් එක් සාමාජිකයෙකු ලෙස සිත නිසා බවටත්, අනෙක් සියල්ලන් සමගම මහන්සි වී වැඩ කරන පුද්ගලයෙකු නිසා බවත් අරුණලී හොඳින්ම තේරුම්ගත්තේ මේ දින කිහිපයේය.

කණ්ඩායමේ තමන්ට පහල සමාජිකයන්ටද උදව් කරමින් කිමල් වීරවර්ධන වැඩ කොටස මනාව නිම කරන්නට වෙහෙසෙන යුරු අරුණලී දෙනෙතින්ම විඳ දරාගත්තාය. තමා ඔහු දෙස බැලූ අවස්තා කිහිපයකම ඔහු තමා බලන යුරු දුටු බව සිතට ලැජ්ජාවක් වු බව ඇත්තකි. එහෙත් වාසනාවකට මෙන් කිමල් ඒ ගැන අසා විහිලු කරේවත් සමච්චල් කරේවත් නැති එක හිතට සැනසුමකි.

ඒ ගෙවුනේ මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මහන්සි වෙන්නට තිබූ අවසන් රැයයි. තමා බොහෝ සෙයින් පමා වෙන නිසාවෙන් නොඑන ලෙසටත්, කුලී රියක් කතා කරගෙන ආ හැකි බවටත් අරුණලී නිවසට දැනුම් දුන්නාය.

සියලුම වැඩ රාජකාරි අවසන් කර, කණ්ඩායමේ අනෙක් අය සිගරට්ටුවක් බොන්නට නතර වෙද්දී අරුණලී තමා යන බව පැවසුවේ කිමල් ටය.

“වෙහිකල් එකක් දාගත්තද?” 

“ඔව්” තමාට සර් කියන්න එපා යැයි කියා කිමල් කියූ දින සිට අරුණලී ඔහුව ආමන්ත්‍රණය කලේ කිසිදු හැඳින්වීමක් නොමැතිවය. සර් කියන්නට එපා කීම නිසා එය නොකීවත් අනෙක් අය අමතන මෙන් වීරෙ කියා ඔහුව අමතන්න අරුණලීට හිතක් නැත. 

අරුණලී අත වනා කාර්‍යාලයෙන් පිටව ගියද කුමක් හෝ හිතට වද දෙන හේතුවක් නිසා කිමල් විනාඩියකට පසු වේගයෙන් අඩි තබා එළියට ගියේය.

ඒ හිත කියූ යම් අණක් නිසාමය.

අඳුර මැද කවුරුහරි පොරබදිමින් හිඳ දුවගෙන එනවාක් මෙන් පෙනෙද්දී කිමල් දෙනෙත් කුඩා කර ඒ දෙස බැලුවේත් වේගයෙන් දුව ආ කිසිවෙක් කිමල්ගේ පපුවේ වැදී නතර උනේත් එකම මොහොතකය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles