එයා මැරිලා හුගක් කල් 20

පහුවෙනිදම අපිට ගමනට ලෑස්ති වෙන්න බැරුව ගියේ
තලංමැහැරට නිවාඩුවක් ගන්න බැරි වෙච්ච නිසයි.අපිට යන්න පුළුවන් දවසක් හදාගන්න සති දෙකක් විතර බලාගෙන ඉන්න සිද්ධ වුණා.
එදා හවස තුනට විතර අපි හැමෝම ගමනට ලෑස්ති වෙලා හිටියා. තලංමැහැර බොහොම අමාරුවෙන් තව කෙනෙක්ව රීප්ලේස් කරලා අපිත් එක්ක යන්න ආවේ දැන් කඩෙන් ගෙනාවා වගේ එයාගේ තියෙන මොරිස් තවුසන් ක්ලැසික් කාර් එකේ..

“අම්මටසිරි .. මෙන්න බඩු… ෆුල් ඔප්ශන්… නෝ සිග්නල්… “

කියලා රාජරත්නම් කියලා ඉස්සරහින් නගිද්දි අපි හැමෝම හිනාඋනා .

“කොහෙද බොල සිග්නල් නැත්තේ..මේවා රාජ බඩු”

කියලා තලා හිනාඋනා …

“ඇත්තටම ඩොක්ටර් .. ඔයා ක්ලැසික් කාර් පිස්සෙක්ද ..”

කියලා රාජරත්නම් ඇහුවෙ තලාගෙ ලොකුම දුර්වල කම පරන කාර් බව නොදැන…

“රාජා මේ මොනවා අහනවද..කැම්පස් කාලෙදිත් මූ ගාව ක්ලැසික් කාර් තුනක් විතර තිබුණා. දැන් නං ඉතින් ඊටත් වැඩි ඇති..දවසක් උනත් විස්තර කියයි පරණ කාර් වල… “

මං කිව්වේ ප්‍රහාන් එක්ක පිටිපස්ස සීට් එකේ ඉඳගන්න ගමන්..

“මේ මොරිස් තවුසන් එක අපේ රටේ මාරෙට ජනප්‍රිය වුනු  මෝස්තරය…  මේ වාහනය තමයි ඒ කාලේ ටැක්සි වලට  ගොඩක්ම ගත්තේ. කහපාටින්  වහලයට පාටගාලා කලුපාටින්  බඳට පාට ගාලා තිබුණා රාජට මතකයි ද…”

“ඇත්තටම ඩොක්ටර් … මට හොඳට මතකයි…එතකොට අපි හොටු පෙරන එවුන්…
අර එළියෙන් හයි කරලා තිබිච්ච විශාල   ටැක්සි මීටරය…. මට අදටත් මතකයි. හැබැයි ඒ කාලේ අපිනම් මේ ටැක්සියක ගියේ බොහෝම කලාතුරකින්. ඒ කාලේ  අපි හරි දුප්පත්…දැනුත් එහෙම තමයි.. එහෙම කියලා රාජා  හයියෙන් හිනා වුණා..”

“ඇයි අප්පා ඒ කාලේ තව ජනප්‍රිය බඩුවක් නේද  ඔස්ටින් මිනි කූපර් එකයි … මොරිස් මිනි කූපර් එකයි…   අපේ ඔෆිස් එකේ බොස්ට තිබුණා…”

අපේ කතා බහට ප්‍රහාණ්  ඒ විදිහට සම්බන්ධ වීම මට ලොකු සතුටක් ගෙනාවා.එයා බොහොම ලස්සනට රිකවර් වෙලා තියෙනවා කියලා මට හිතුනා.

“ආ.. ඔව් ඔව්..
ඔය පරණ කාර් හුඟක් ඒවා කවදාවත් පරණ වෙන්නේ නෑ ප්‍රහාණ…මට මතක් වෙනවා 1969 දි ලෝකය පුරා ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක් තිබුණා..  The Italian Job කියලා.. ප්‍රහාන් බලල නැද්ද දන්නෑ… මං හිතන්නේ යූටියුබ් වලින් ඔයාට බලන්න පුළුවන් වෙයි..අපි ඒ දවස් වල ඕක බැලුවේ කෑගල්ලේ, ‘පරාක්‍රම’ ෆිල්ම් හෝල් එකේ..ඒක දැන්නම් වහල මං හිතන්නේ..මේ චිත්‍රපටියේ තියෙන්නේ  රත්තරං මංකොල්ලයක කතාවක්.
සුපිරි ෆිල්ම් එකක් .. මංකොල්ල කාගත්තු රත්තරං  තොගයක් සමාන කොටස් තුනකට බෙදාගෙන  මිනි කූපර්  තුනකින් ඉතාලියේ ඉදලා ස්විට්සර්ලන්තයට අරං යන්න  දරන උත්සාහය මාර ලස්සන ට පෙන්නනවා. “

තලම්මැහැර වාහනේ එලවන ගමන් අපි හැමෝටම වාහන ගැන ලස්සන දේශණයකුත් දිදී යනවා.
ඒ විතරක්යැ..ඒ අතරමැදට එක එක චිත්‍රපටි ගැනයි ඉතිහාස කතාවයි ඉවරයක් නෑ..කොච්චර ලොකු ප්‍රශ්නයකට අපි දැන් ඉස්සරහට මුහුණ දෙන්න තිබුනත් මේ කතාවල් අහගෙන යනකොට ගමනට තියෙන දුරවත් මහන්සියවත් දැනුනේ නෑ.කතාව ගමනට ඉනිමගක් කියලා කියන්නේ නිකන් නෙමෙයි කියලා මට හිතුනා..

  “මිනි කූපර් එක  වගේම ජනප්‍රිය කාර් එකක් තමයි ඔස්ටින් මිනි මොක් එක.. විශේෂයෙන් 1970 දි විතර ලංකාවේ ධනවත් කාර් කාරයන්ගෙ බෙස්ට් ෆේවරිට් කාර් එක තමයි ඔය මිනි මොක් එක..  රණසිංහ ප්‍රේමදාස මහත්තයා ත්  ඒ කාලයේ, ‘ගම් උදාව’ ප්‍රදර්ශණය බලන්න, මේ කාර් එකකින් ආවා මට මතකයි.”

තලං මැහැර එක දිගටම පරණ වාහන වල විස්තර පරණ සිද්ධි අපිට කිය කියා ගියා..

“ඇයි ඩොක්ටර්..ෆෝර්ඩ් කාර් එක …රජ ඇමෙරිකන් බඩුවක් නේද…”

රාජරත්නමුත් කාර් පිස්සෙක් කියලා මට හිතුනා.

“ෆෝර්ඩ් ලොරි වෑන් එහෙමත් ආව නේද..”

මමත් ඉතින් ඔන්න ඔහේ දන්න දෙයක් කිව්ව.

  “අපි පුංචි ළමයි කාලේ  දැකපු ෆෝර්ඩ් කාර්  එක පස්සේ  කාලයේදී කිව්වේ  දඬු ෆෝර්ඩ් කියලා .
  ඒත් දඬු ෆෝර්ඩ් එකට පස්සේ ආව ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් කාර් එක  පවුලේ වාහනයක් වගෙම කුලී කාර්  විදිහට ත් බොහොම ජනප්‍රිය වුණා. “

“හැබැයි ඊට පස්සේ ආපු ෆෝර්ඩ් කොන්සල් කාර් එක  ඒතරම් ජනප්‍රිය වුණේ නෑ…ඒක අක්කර යක් විතර විසාලයි.. උඹලට මතක නැද්ද…  අම්බෝ තෙල් බොනවා…”

“ඇයි ඩොක්ටර් ෆෝර්ඩ් ඇන්ග්ලියා මතකයි ද… ඉස්සර ඒකට කිව්වෙත් මනමාල කාර් කියලානේ..  නේද”

“රාජරත්නම් කාර් ගැන හොඳට දන්නවා නේද..ෆෝර්ඩ් ඇන්ග්ලියා  පට්ට ලස්සන කාර් එකක් නේ..මාර වේගයකින් යන්නත් පුළුවන්නේ..ඉස්සර ගොඩක් ඕකට ආස උනේ තරුණ කෙල්ලෝ කොල්ලෝ තමයි..
  ඔය කාර් එකේ පිටිපස්සේ වීදුරුව ඇතුලට එබිලා තියෙන විදිහටනේ තියෙන්නේ..වෙන කිසිම කාර් එකක ඔය විදිහට නෑ..”

තලංමැහැර එහෙම කියලා හිනා වුණා..

“අපේ මාමටත් තිබුණා ෆෝර්ඩ් එස්කෝර්ට් එකක් .. කලු පාට.. පස්සෙ එයා ඒකට රතු පාට ගෑවා..
 අපේ මාමාත් පරණ වාහන වලට හරි ආසයි..එයා ඊට පස්සේ ගෙනාවා ලු ෆෝර්ඩ් කෝර්ටිනා එක .. හැබැයි තාම ඒ දෙක තියෙනවා.. වික්කේ නැහැ..”

ප්‍රහාන් කිව්වේ  මේ සංවාදයට එයා බොහොම උනන්දුවෙන් සහභාගි වෙලා අහගෙන හිටිය හින්දයි.

“ඇත්තටම  දවසක ප්‍රහානගේ මාමාව හම්බවෙන්න මම යන්න ඕනේ..රජ බඩු දෙකක් නේ එහෙ තියෙන්නේ..”

තලා එහෙම කිව්වම අපි හැමෝම හිනා වුණා..

“ඉස්සර තව ජනප්‍රිය කාර් එකක් තමයි හිල්මන් මින්ක්ස්.. නිතර පාරේ ගියා.ඉස්සර ඉතින් හෙන සැප බඩුවක් තමයි ඕපල්..අම්මා ..කෙලින්ම ජර්මන්..
ඕපල් රෙකාඩ් කියලා එකක් තිබුණා ඒක නිකං හරියට අද කාලේ ටොයොටා ඇලියන් එකකට තියන ගෞරවය තමයි..
අපේ ලොකු අම්මා බැඳලා තියෙන්නේ 1968 විතර.. එතකොට අපි ඉපදිලත් නෑ….මට මතකයි  අපේ අම්මල  කතාවක් කියනවා  ඉස්සර ඕක ගැන.. ඉස්සර පුංචි බබා කියලා චිත්‍රපටියක් ගියා.ඒ චිත්‍රපටියෙත් තිබුණා ඔස්ටින් ෆිෆ්ටි ෆයු  කාර් එකක් ..  ඒ දවස්වල බොහොම ජනප්‍රිය, මහේශාඛ්‍ය කාර් එකක් තමයි  ඔස්ටින් ඒ ෆිෆ්ටි ෆයු  කේම්බ්‍රිජ් එක.  පුංචි බබා ෆිල්ම් එකේ පින්තූරයක් තියෙනවා, කාර් එකේ පිටිපස්සෙ වම් පැත්තේ දොර වීදුරුවෙන්, මංගල ජෝඩුව පේන විදිහට එකක්  . මම හිතන්නේ, ඒ පින්තූරයේ ඉන්නේ, ජෝ අබේවික්‍රමයි  මාලනී ෆොන්සේකායි. ඒ පින්තූරය අරන් තියෙන්නෙ ටෝනි රණසිංහ මහත්තයාගේ  සහෝදරයෙක් වෙච්ච රැලෙක්ස් රණසිංහ කියලා අපේ සීයා කියනවා මට මතකයි.මම කාර් පිස්සා උනාට සීයා පිච්චර පිස්සා..ඉතින් ඒ කාලේ කොහොම හරි  හැම  මගුලකම මේ විදිහට  පින්තූරයක් ගත්තා. අපේ ලොකු අම්මගෙ  වෙඩින් එකෙත් ඒ  විදිහට ම ෆොටෝ එකක් සීයා කියලා  ගන්නව ගත්තා කියලා අපේ අම්මා කියනවා….”

තලංමැහැර  එයාගේ ලස්සන අතීත විස්තර අපිත් එක්ක කිය කිය ගියා.

වෙත්තමුනි කියලා තිබිච්ච රතුගල රාස්සගල හරියට අපි ලං වෙනකොට හැන්දෑවේ හයත් පහුවෙලා තිබුණා.

“දැන් රාජා ..
වෙත්තමුනි දන්නවද අපි අද මේ ගමන යනවා කියලා.”

“නෑ මම ඌට කියන්න ගියේ නෑ. මේක අපි බොහොම රහසෙන් යන ගමනක්.”

“දැන් රාජා හිතනවද ඔය ගෑනි අපිට ඇත්ත කියයි කියලා..”

“ඒකටත් මගේ ළඟ පොඩි උපක්‍රමයක් තියෙනව ඩොක්ටර්.ඩොක්ට දන්නවනේ ඕනම මනුස්සයෙක් ලග මොකක් හරි දුර්වලතාවයක් තියෙනවා කියලා.කොච්චර හයි කාරයෙක් උනත් තමන් දුර්වල වෙන තැන කවුරුහරි දැනගෙන ඒ දුර්වල වෙන තැනින් හරියට අල්ල ගත්තොත් හැම දෙයක්ම කරගන්න පුළුවන්…
මේ වින්නබු ගෑනිගෙ නම ආරියලතා… හැමෝම කතා කරන්නේ ආරි කියලා.තනිකඩ ගෑනියෙක්. ඉන්නෙත් තනියම.ගෑනිගේ ලොකුම දුර්වලකම තමයි ස්පෙශල් අරක්කු.. එච්චර අරක්කු පෙරේතියෙක් වෙන්නත් සමහර විට මොකක් හරි හේතුවක් තියෙන්නත් පුළුවන්..”

“එහෙමනම් රාජා අපිට ඒ බඩුව අරන් යන්න වෙයි නේද..”

මම එහෙම ඇහුවේ පර්ස් එක එලියට ගන්න ගමන්..

“ඒවා ඔක්කොම හරි ඩොක්ට…පොලිස් කාරයෝ වෙච්ච අපි ළඟ නැති බඩු බාර් වලද තියෙන්නේ..”

එහෙම කිව්වහම අපි හැමෝම හිනා වුණා.

“රාජ හිතනවාද අපිට ගෑනිගේ කටින් දෙයක් එළියට ගන්න පුළුවන් වෙයි කියලා..”

“මෙහෙමයි ඩොක්ටර් ..අපි මේ වාහනයෙන් ගෑනිගෙ ගේ ගාවටම යන්නේ නෑ…ටිකක් කළුවර වැටුනහම මේ වැඩේට බහින්න හිතා ගත්තෙත් ඒක තමයි.අපි වාහනේ මගින් නවත්තල තමයි යන්නේ.. මම ගෑනිත් එක්ක සාකච්ඡාවට යන්නේ තනියම.ඔයාලා ඔක්කොම ගියොත් ඒ ගෑනි බය වෙයි..මට මොකුත් එළියට ගන්න බැරුව යයි.. අපි දන්නේ නෑ ගෑනි මොන මොන ආරක්ෂක විධිවිධාන යොදාගෙන ඉන්නවද කියලා..ඒ හින්දා ඔයාලා තුන්දෙනා කාටවත් නොපෙනෙන විදිහට හැංගිලා ඉන්න ඕනේ..මම ඇතුලට ගිහිල්ලා පැය හතරකට පහකට විතර පස්සෙත් ආවේ නැත්නම් විතරක් ඔයාලා මේ ගැන පොලිසියට දැනුම් දෙන්න.එතකං ඉවසීමෙන් ඉන්න.”.

“ඒ කියන්නේ ඒ ගෑණි එච්චර දරුණු ගෑනියෙක්ද…”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles