පෙඟුණු මල්පෙති 07

“කොහොමද පුතා?මොකද කරන්නේ”

ගතින් කෙතරම් දුරින් උන්නද අම්මාගෙන් එන ඇමතුම කෙතරම්ම ලෙංගතුද? ආදරය අවැසි ඕනෑම මොහොතක ආදරය වැස්සක් සේ වස්සවාලන්නට අම්මලා සමත් ය. 

“මුකුත් නෑ අම්ම. මම මේ වොශ් එකක් දාල ඇඳේ හාන්සිවෙලා ඉන්නව”

“කෑම ගන්ට ගියේ නැද්ද පුතේ තාම?”

” නෑ අම්මෙ තව වෙලා තියනවනෙ. තාම මෙහෙ වෙලාව හයයිනෙ. හතට විතර ගිහින් කෑම ගන්නව”

“පුතා තාම කෑම ගන්නෙ අර සිංහල ලේඩි ගෙ කඩෙන්ද?”

මෙරටට ආ අලුත්ම අම්මාට තිබූ මූලිකම ගැටලුව වූයේ සිංහල හාලේ බතටත්, එලවලු මාලු, අච්චාරුවලටත් හුරු පුරුදු වූ නුවර කොල්ලාට මේ නොදන්නා දේස දීපංකර වල කන්නට යමක් සොයාගන්නට හැකිවේද යන්න ය.  

මුල් දිනවල නූඩ්ල්ස් ආදිය පිසගෙන කෑ නමුත් ඉක්මනින් සිංහල කෑම කඩයක් ලඟපාතින්ම සොයාගන්නට මිහික උත්සුක වූයේත් අම්මා නිසාමය. උයා පිහා ගන්නට හැකියාවක් තරුණ වියේ හිඳම තිබුනද වෙහෙසකාරී ජීවිතය තව තවත් වෙහෙසකාරී කර නොගනු වස් ඇඹුලෙන් කෑම මිල දී ගන්නට ඇරඹුවේත් සිංහල කෑම කන්නට ඇති මිහිකගේ ආසාවත් එයට නොදෙවනු වූ නිලංජනී දෑලබණ්ඩාර මහත්මියගේ පෙරැත්තයත් නිසාවෙනි.

“ඔව් අම්මා. එතනින් තමයි උයන්නෙ නැති දවසට මම ගන්නෙ තාමත්”

“ඒක හොඳයි. නිවාඩු දවසටත් උයන්න මහන්සි වෙන්න එපා පුතේ. ඔයා ආස කෑම ජාති තියෙන එකේ ඒ කඩෙන්ම කෑම ගන්ට. ලේසි නේ.”

“ඒ වුණාට මම උයන්න ආස බව අම්ම දන්නවනෙ. මිතුන මල්ලි  ලංකාවට ඇවිත් කියල මම දැක්කා. අපෙ අහ ආවද?”

“අනේ ඔව් සුරංගි නැන්දට සන්තෝසේ දාගන්ට තැනක් නෑ පුතේ. ඇයි අවුරුදු කීයකට පස්සෙද මිතුන ලංකාවට ආවෙ. සුරංගි කිය කිය උන්නෙ මේ පාර නම් යන්ට කළියෙන් කටයුත්තක් කරල දීලා තමා යවන්ටෙ කියල”

“ඔය හදිස්සියෙ ඉතින් ඔය කටයුතු ලෑස්ති කරන්න පුලුවන්ද ඉතින්”

“නෑ නෑ බඳින්නම නෙවි, කතා කරල තියාගත්තම හොඳයි කියල කියන්නෙ ආපස්සට ආ දවසක එතකොට මංගල්ලෙ හෙම ගන්ට පුලුවන්නෙ”

අම්මලාට ඕපදූප කියවන්නට ඉතින් දූවරුන්ම අවැසි නොවේ. කොහොමත් අම්මලාගේ වැඩි ආදරය හිමිවන්නේ පුතාලාටය. ඉතින් හැමදේම බෙදාහදාගන්නේත් රස විඳින්නේත් පුතාලා සමගිනි.

මිහිකට පිය පාර්ශ්වයේ නෑයන් මෙන්ම මව් පාර්ශ්වයේ නෑයන්ද බොහෝ ලැදිය. දූවරුන් රැසකට පසු ඉපදුනු පවුලේ පුත්‍ර රත්නය වූ මිහිකගෙන් පසු පුංචි අම්මලා බාප්පලාට පුතුන් ඉපදුනද මිහිකට හිමි ආදරය, ලෙංගතුකම අබමල් රේණුවකින්වත කිසිවෙක් අතර බෙදා ගොසින් නැත.

කුඩා කල සිටම දඟකාර නමුත් කීකරු, සුන්දර දරුවෙකු වූ මිහික ටිකෙන් ටික වැඩිමහල් වියට එළඹුනේද ඒ කීකරු දඟකාරකම්ද සමගිනි. 

පවුලේ බහුතරයක්ගේ සිත් බිඳලමින් තම ජීවිත කාලය පුරාවටම මිහික යමක් කළා නම් ඒ තම උඩරට රදළ කුලවත් පරපුර විසින් චිරාත් කාලයක් පුරාවටම ඉදිරියට ගෙන ආ “උඩරටින් විතරයි හිර ගන්නවනම්” යන කියමන බිඳ දැමීම පමණකි.

 පහතරට වුවත් ගොයිගම කුලයට අදාල චරිත්‍රා මිහිසුරණි විජේබණ්ඩාරට පාත දුම්බර දෑලබණ්ඩාර වලව්වේ දොරගුලු හැරුණේ බලන්නෙකු දෙවරක් හැරී බලන සුන්දරා රූ සපුවවත්, පනස් දහස පන්නමින් අනුගාමිකයක් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණූම නිසාවත්, ලංකාවේ ප්‍රමුඛ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක හොබවන ඉහල රැකියාව නිසාවත් නොව පහතරට වුවත් ගොයිගම වීම නිසා ය.

 චරිත්‍රාගේ ගමේ සිටින නූගත් ගැමි මව්වරුන්ගේ දෙපළ හා පෑහෙන්නට උගත් බුද්ධිමත් දෑලබණ්ඩාරට මදිකමක් වුවද විසි එක්වන සියවසේ ජීවත්වන මිහික හා සමානව නවීන සිතුවිලි දරමින් ඉදිරියට යන ලොවක් හා බැඳී උන් නිමල් දෑලබණ්ඩාරට හා ස්වර්ණා පානබොක්ක දෑලබණ්ඩාරට එරෙහිවන්නට නෑයන් කිසිවෙකුට හැකියාවක් ලැබුනේ නැත.

මිහික හා සම වයස් ප්‍රසාදි, අනුජා, සමුද්‍යා මෙන්ම මිහිකට වඩා දෙවසරකින් පමණ බාල මිතුන, කාලින්ද සහ අංජලී දෑලබණ්ඩාර පරම්පරාවේ අනාගත නියමුවන් ය. 

නවීන අදහස්, වෙනස් සිතුවිලි දරන ඔවුන්ගෙන් බහුතරයක් මිහික මෙන්ම විදේශ රටවල අධ්‍යාපනය හදාරන අතර මව් රටට පැමිණෙන්නේ අහම්බෙනි. 

ගැහැණු ලමයින් පිරුණු දෑලබණ්ඩාර පරපුරේ දඟකාර කොල්ලන් තිදෙනා වූ මිතුන සහ කාලින්ද මිහිකගේ අගසව් දෙනමය. කොලුකාරකම් වලට වයස් බේදයක් නැතැයි කියන්නට මෙන් කුඩා අවදියේ සිටම මව් පියවරුන්ගේ මුවගට පවා සැඟවුණු සිනාවන් ගෙන එන්නට සමත් කොල්ලන් තිදෙනා ගෙන් දෙදෙනෙකු ඈත දුර රටක වෙසෙන අතර කාලින්ද ලංකාවේ ඉහළ පෙලේ ආයතනයක රැකියාවක නිරත වෙමින් හිඳින කුඩා දියණියකගේ පියෙකි.

වසර හත අටකට පෙර රැකියාවක් උදෙසා කැනඩාවට ගිය මිතුන මේ ගියායින් පසු ලංකාවට ආවාමය. 

එනමුත් අතීතයේ කළ දඟකාරකම් සිහිපත් කරමින් දෑල බණ්ඩාර වලව්ව පිටුපස ඇති පොකුණේ දිය කෙලින්නටත්, මාලු බැද ගෙන මයියොක්කා තම්බාගෙන කමින් ගෙදරට හොරෙන් යමක් තොලගාන්නට එක්වන්නටවත් තිදෙනාට අවකාශ නොමැත.

“ජීවිතේ ඉස්සර කොච්චර නම් සරලද?” මිහිකට සිතුනේ විසල් සුසුමක් නාස් පුඩු අගින් අවට වා තලයට මුදා හරිමිනි.

“මං කතා කලේ පුතේ මිතුනත් ආව හන්දා මේ පාරත් අපි ආච්චිලගෙ දානෙ ලොකුවට වලව්වෙම දෙන්ට ලෑස්තිය. දූටත් එන්ට කිව්වනම් හොඳයි නේද?”

“ඉතින් අම්ම කතා කරල කියන්න.”

“මමත් කියන්නම් ඔයත් කියන්ට කියලයි මේ කියන්නෙ. තනියම නෙවෙයි එහෙ අම්ම අප්පච්චි එක්කලම එන්ට කියල ඒ දරුවට කියන්ට ඕන”

මිහික ඈත රටක සිටියද චරිත්‍රාට දානයට ආරාධනා කිරීම අම්මා පසුගිය වසරවලද නිකඩවා ඉටු කළ දෙයකි. කොටින්ම චරිත්‍රා පෙම්වතියකව සිටින අවදියේ පවා නිවසේ දාන මානාදී කටයුතු වලට එක්කාසු කරවාගන්නට අම්මා උත්සුක වූයේ මිහිකගේ බිරින්දෑ පවුලේ කටයුතු වලට උද්‍යෝගීව සහභාගී විය යුතුයැයි සිතූ නිසාවෙන්ම පමනක් නොව චරිත්‍රා කෙරේ ඇගේ සිත තුළ ඇති දුහිතෘ ප්‍රේමය නිසාවෙනි. 

දූවරුන් නැති ස්වර්ණාට චරිත්‍රා මැණිකකි. ඇය තම ආදරණීය පුතණුවන්ගේ ජීවිතයත් සතුටත් සැනසුමත් හිමි ගැහැණියය. පුතු තරමට චරිත්‍රාව රැකබලා ගැනීමද, ආදරය කිරීමද තම වගකීමකි, යුතුකමකි. 

මිහික විදේශයක සිටින නිසාවෙන් චරිත්‍රාට නුවර වලව්වේ වැඩ වලට එතරම් දායක වන්නට අවස්තාව නැති බව මෙන්ම මිහික නොමැතිව වලව්වේ විසීම චරිත්‍රාට අපහසුවක් බවද තේරුම් ගන්නට තරම් ස්වර්ණා දැනුම් තේරුම් ඇත්තියකි. 

තමා විවාපත් වී ආ අලුත, කෙතරම් කුලවත් ලියක් වුවද හිත රිදුනු තැන් ඉදිරියේ නිහඬව සිටි ස්වර්ණා මිහික ඉපදී දෝතට ගත් පළමු මොහොතේම සිතූ දෙයක් නම් පුතු විවාපත්ව එන තරුණිය කවුරුන් වුවද තමන්ට වූ හිත් රිදීම්,බිඳීම් ඇයට නොවන්නට වග බලාගන්නෙමි යන්නයි.

ඒ සිතුවිල්ල සිතුවිල්ලක් පමණක් නොවී ක්‍රියාවට නංවන්නට ස්වර්ණා නිරතුරුවම උත්සාහ ගන්නේ වැඩියමත්ම පුතුට ඇති ආලය නිසාවෙනි.

තම ලේලියන්ට නපුරු ලෙස සලකන බොහෝ නැන්දම්මාවරුන් මැද ස්වර්ණා වැනි මාතෘ ගුණ සපිරි අයෙක් ඇසුරට පත්වන්නට තරම් චරිත්‍රා කෙතරම් වාසනාවන්තද? 

ඉතින් මවකගේ ආදරය එයමයි. 

තම කුසින් ඉපදුණු දරුවන් වුවද, නැතිද එකසේ සියලුම දරුවන්ට ආලය කිරීමට හැක්කේ මවකට මිස වෙන කවුරුන්ටද?

කොළඹ සිට නුවර යන්නට ගතවෙන පැය තුන හතරක කාළය පාලුවක් නොදැනුනේ දොඩමලු වෙමින් යන්නට  ළහිරු තම වාහනයෙන් ආ නිසාවෙනි.

 උණුසුම් තුරුලු වීම්, සිප ගැනීම්, හිත හිරිවට්ටන ප්‍රේමණීය දෑස් බැල්මවල් මෙන්ම මී පැණි ගැල්වූ වදන් වලින්ද සපිරි මාසයක් ගත වුණේ ඉතා ඉක්මනින්‍ ය.

ගෙවුණු ඒ මාසයට පසු අනියම් සම්බන්දයක් වුව නියම සම්බන්දයකට වඩා පරිපූර්ණ විය හැකි බවත්, සොදුරු විය හැකි බවත් චරිත්‍රා තම සිතට නිරතුරුවම මෙනෙහි කරමින් සිටියාය.

නුවර යන අතරමග හමු වූ රොටි කඩවලද, ප්ලේන් ටී කඩවලද නතර කරමින්, එක එක කඩචෝරු කමින්, සින්දු කියමින්, අත් පටලා ගනිමින් ගිය ගමන වෙනදා නුවර යන ගමන මෙන් කම්මැලිකමේ නොගෙවීම පිළිබඳව සිතට කෙතරම් නම් සතුටුද?

හැඳ සිටි ලා රෝස පැහැයක් සුදු පැහැයත් මුසු වූ ටයි ඩයි චිෆොන් ගවුම සුලඟට යන්නට හැර ඈත කඳු පෙළ පසුබිම්ව දිගු කෙහෙරැලි විහිදුවමින් බලා හිඳින චිත්‍රයක් බඳු ජායාරූපය අරගෙන දුන්නේද ළහිරු ය.

එය එසැණින්ම මුහුණු පොතේ පළකිරීම මිහිකගෙන් ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දීමට සිදුවන හේතුවක් වුවද එතරම් සොඳුරු ජායාරූපයක් තම විවාහ ලියාපදිංචිය අවස්තාවේදීවත් නොගත් බව එම සිතුවිලි පරදවමින් ඉහලට නැග ඒ.

මිහිකගෙන් එන කුමනාකාරයේ ප්‍රශ්නයකට වුවද දෙන්නට පිළිතුරක් සදාගන්නට තමාට හැකි වනු ඇතැයි සිතමින් එකී සිතුවිලි ගංගාවට නැවතීමේ තිතක් තබන්නට චරිත්‍රා උත්සුක වූයේ වාහනයේ සිට එන්න යැයි කියූ ළහිරුගේ හඬ නිසාවෙනි.

මිහිකගේ මහගෙවල් ආසන්නයෙන්ම හැරලවන්නට තරම් ළහිරුගේ මුරණ්ඩු පිරිමි සිත උනන්දු වුවද, එයට එකඟ වන්නට චරිත්‍රාගේ සිත තුළ වූ තාරුණ්‍යයම සිතුවිලි බුර බුරා නැගුනද තමා විවාහක බවත්, මේ තමා විවාපත් සැමියාගේ ගම බවත් අමතක කරවාලන්නට තරම් ඒ සිතුවිලි ප්‍රබල නොවීම ගැන චරිත්‍රා එක් අතකින් සතුටු වූවාය. 

මිහික හා විවාහයට පෙරද, ඉන් පසුවද කිහිපවරක්ම ඔහුගේ වාහනයෙන් මෙම ගමනම ඇවිත් තිබුනද ඒ එකදු ගමනකින් වුව නොලැබුණු අන්දමේ සතුටකුත්, මිහිරකුත් අත්විඳින්නට අද ඉඩකඩ ලැබුණි.

ඒ තම සිත මලක් මෙන් පුබුදුවාලන්නට හැකියාව ඇත්තේ ළහිරුට පමණක් වීම නිසාද යන්න චරිත්‍රා ඇසුවේ තම සිතෙනි.

 එදවස මිහික ගැන මිතුරන් සමග බෙදාගනිමින් සිතෙන් විඳි සතුටට වඩා අද ළහිරු පිළිබඳ සියලු තතු සහ සිතුවිලි තම සිත තුලම සිර කරගනිමින් විඳිනා චමත්කාරය ඉස්තරම් ය.

බාගදා ඒ එළිපිට යමක් කිරීමට වඩා රහසින් යමක් කිරීමෙන් ලබන්නා පොදු මනුශ්‍ය හැඟීම් දහරාව නිසාවෙන් විය හැක.

අතරමගින් ගත් ත්‍රි රෝද රිය වලව්වට පිය නගන ගේට්ටුව ඉදිරිපසින් නතර වූයේ වලව්වේ ගේට්ටු පියන් වසා ඇති නිසාවෙනි.

පාත දුම්බර දෑලබණ්ඩාර වලව්වේ ගේට්ටු පියන් ඇරෙන්නේ එසේ මෙසේ කුලවත් බලවත් අයෙක් එන විටක මිස තමා වැනි පාතරට අයෙකු වෙනුවෙන් නොවන බව ඉතින් චරිත්‍රාට නුපුරුදු කරුණක් නොවේ. 

ගේට්ටු පියන් අසල හිඳිමින් කොළ පැහැ උදුපියලිය මතින් සිමෙන්තියෙන් තැනූ ටයිල් කැට අල්ලා තිබෙන මග දිගේ වලව්ව දෙසට ඇවිද ගියමුත් සිත තුල තිබූ සබකෝලය, බිය ගැන චරිත්‍රාට අදටත් පුදුමයකි. 

මේ තම විවාහක සැමියාගේ නිවසයි.

 තම නෑයන් හිඳින නිවසයි. 

විවාපත් යුවතියකට තම විවාහක සැමියාගේ නිවසට පිය නැගීම මෙතරම්ම සිත කළඹවන කාරණාවක් විය හැකිද?

එබඳු සිතුවිලි පෙරදැරි කොටගෙන විවාහයක ඇති සොඳුරු බව හදවතින්ම අත්විඳින්නට හැකිද?

නිවසේ සොල්දරයේ සිට බලා හිඳින මිහිකගේ ලොකු අම්මා සහ ඇයගේ දියණිය නෙතු ගැටීම නැවතුනේ දෙපා අඩපණ කරමිනි.

බාල වියේ සිටම මිහික ගැන බලාපොරොත්තු තබාගෙන සිටි ලොකු අම්මා සහ ඇයගේ දියණිය වන නයන්තරා සැබවින්ම තමාට වඩා සුන්දර බවත්, උගත් බවත් චරිත්‍රාට අරුමයක් නොවේ. 

අහම්බෙන් ඇරඹුනූ මිතු දමක් අවසානයේ විවාහය තෙක් තමාව සහ මිහිකව රැගෙන ආ වී නමුදු තමා වෙනුවට එතනට එන්නට නියමිතව තිබුනේ නයනතාරා බව චරිත්‍රාට අරුමයක් නොවේ. 

එකී හේතූව නිසාවෙන් නයනතාරා මුල් අවදියේ තමන්ට වැඩිපුර මුහුණ නොදුන්නේ වී නමුදු වැඩිපුරම බාදක එල්ල වූයේත් නොහොඳ වපුරුවාලන්නට  වූයේත් අයිරාංගනී පානබොක්ක මඩුගල්ල නොහොත් මිහිකගේ මවගේ සොයුරියයි.

එඩ්වින් මඩුගල්ල නොහොත් තම සැමියා මිය ගිය පසු තම නැගණිය සහ ඇයගේ සැමියාගේ උදව් මැද දිවිගෙවන්නට වූවද වලව් මාන්නය ඇයගෙන් එක බිඳුවකුදු අඩු වී තිබුනේ නැත.

තම දියණිය වන නයනතාරා මඩුගල්ලව කෙසේ හෝ තම නැගණියගේ පුතු වන මිහික දෑලබණ්ඩාරට විවාපත් කර දීම, සැමියා මළ පසු ලොවට නොපෙනෙන්නට විඳින දුක් කන්දරාවකින් ගොඩ ඒමට මගක් බව අයිරාංගනී පානබොක්ක හොඳින් දැන සිටියාය.

අයිරාංගනීගේ සැමියා වන එඩිවින් මඩුගල්ල ගරා වැටුණු වලව් පැලැන්තියක අවසාන පුරුකකි.

ඔහු සමග විවාපත් ව ආ අයිරාංගනී පානබොක්කට, තම බීමත්, ගැහැණු සොඬ සැමියාගේ ශාරීරික අඩත්තේට්ටම් වලින් මිදෙන්නට ඉඩ ලැබුනේ ඔහු අකාලයේ සිරෝසිස් හැදී මිය ගිය පසුය.

 සැමියා මිය යෑම බිරිඳකට ඉමහත් වේදනාවකි.

එහෙත් මේ මරණය සමග එළියට ආ මුහුදු රළ බඳු ණය කන්දරාව ඔස්සේ ඉමහත් මානසික වියවුලකට පත්වුණු අයිරාංගනී දුටු එකම ගැළවීමේ මග තම නැගණියගේ පුතු වන මිහිකට තම එකම දියණිය විවාපත් කර දීම පමණකි.

දෑවැදි ලෙස දෙන්නට තිබුනේ ගරා වැටුණු වලව් පැලැන්තියක නමක් පමනක් වුව එකී අඩුපාඩු සියල්ලම මකා ලන්නට මෙන් රූමත් බවින්ද උගත් බවින්ද යුතු නයනතාරා පරදන්නට ආ පාතරට ගමේ කෙල්ලක ගැන ඇය මෙතරම්ම වෛර බඳින්නේද එබැවිනි.

ඇය තම ගැලවීමේ මග වසා දැමූ තම ජන්මාන්තර හැතිරියයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles