පමා වී පිපුනු මල් 26

“අපි ඇත්තටම හිතුවේ නෑ මේ ප්‍රශ්න මේ මෙච්චර දුර අරගෙන යන්න වෙයි කියල”

ආරියරත්න කතාවට එක්කාසු වුණේ හීන්සිරුවේය. මෙනුක විසින් පෙරද රැයේ නටන්නට යෙදුණ නාඩගම ගැන අරුණලී ගෙන්ද අනතුරුව කිමල් විරවර්ධනගෙන්ද අසා හුන් ආරියරත්න තම පවුලේ වැඩිහිටියන්ද පීරිස් පවුලෙ වැඩිහිටියන්ද සමග හමුවක් සූදානම්කලේ මේ ප්‍රශ්න තමන් සිතූ පරිද්දෙන් පහසුවෙන් විසඳාගන්නට නොහැකි බව වැටහෙද්දිය.

“ඒ කොල්ල මේ අපේ කෙල්ල කතාකරන්නෙ නැති හන්ද ඔස්ට්‍රේලියාවෙ ඉඳල ආවය කියන්නෙ ඔයා හිතනවද ඌ මේක ගොඩින් අතාරින්න හිතන් ඉන්නව කියල” සුබා ඊයේ රැයේ අසද්දී මෙයට කිව යුත්තේ කුමක්ද කියා ඇත්තටම ආරියරත්නට අදහසක් තිබුනේ නැත.

“මං කියන්නෙ පීරිස්ල හම්බෙලා කියන්න මේ විකාර මෙතනින් නතර කරන්නය කියල. මේ යන විදියට අපෙ දරුවට බයක් සැකක් නැතුව ගෙයින් දොට්ට බහින්න බෑනෙ.

ඇයි ඉතින් අරූ මල යකෙක් වගේ කොහෙන් මතුවේද කියල කවුද දන්නෙ?

ඔයා කතා කරල කියන්න මේ විකාර මෙතනින් නතර කරේ නැත්තම් අපි පොලිසියට හරි යනව කියල” තමන්ගෙන් කිසිත් පිලිතුරක් අපේක්ෂා නොකරම සුභා දිගටම කියාගෙන ගියේ මව් සෙනේ නිසාම හිත හටගත් ආදරයත් වේදනාවත් නිසා බව ආරියරත්නට රහසක් නොවේ. 

“මං නම් කැමතියි පුතාව එක්කන් එන්නෙ නැත්තම්” කියා කෙලින්ම කියන්නට බැරිකම නිසාම “අපි දෙමහල්ලො විතරක් එක්කහු වෙලා මේ ගැන කතා කරමු” යැයි කීම ගැන ආරියරත්න දුක් වුනේ පීරිස් යුවල පසුපසින් මෙනුකද නිවසට පියනගනු දකිද්දීය.

අරුණලී මේ හමුව ගැන දැනගෙන නොඋන්නා නොවේ. එහෙත් අම්මාගේ බසට අනුව නංගී සමග ඇගේ විශ්ව විද්‍යාලය වෙත ගිය අරුණලී නංගීට දේශන අවසන් වනතුරු කොළඹ විශ්ව විද්‍යාලයේ කැන්ටිමට වී පොතක් කියවන්නට සිතුවේ ගෙදර හිඳීම හිතට බරක් මෙන්ම නිස්කාන්සුවක් නැති කමක් මෙන් දැනුන නිසාමය.

“අධිරජුගේ සිරියහන් ගබඩාවෙන් එළියට පැමිණි අග්‍රා සිය හැඬුම පාලනය කරගන්නට වෑයම් නොකළා ය. සළු පටින් මුව වසාගෙන දෝලාපන්නය එනතෙක් පවා නොඉඳ හඬමින් ම ඇය පියගැටපෙළ ඔස්සේ පහළට ආවේ දුවන ගමනිනි. ඇයගේ මේ හැසිරීම දුටු දසීහු එකිනෙකාගේ හොඳින් මුහුණ බලා ගත්තද කිසිවක් ප්‍රශ්න කිරීමට තරම් නිර්භීත නොවූහ. අධිරාජ්‍ය මන්දිරයේ සිට මහ බිසෝ මන්දිරය අතර තරමක දුරක් පවතී. පාවහන් සඟලින්ද තොරව ඒ මුළු දුරම ගෙවාගෙන නිරාවරණය වූ දෙපයින් පැමිණි අගබිසෝ, සැරසිල්ලකින් මිදුණු මල් දමක් සේ සිරියහන් තලය මත වැටුණාය. ඇයට දරා ගත නොහැක්කේ තමා ඔහු වෙතින් ප්‍රතික්ෂේප වීම නොවේ. “වෙනත් ගැහැණියක නිසා” තමා ප්‍රතික්ෂේප වීම ය”

නර්මදා අක්කගේ අග රැජිණ නවකතාව මහ විසාල පොතක් උනත් එක හුස්මට කියවා අවසන් කල හැකි තරම් රසවත් එකකි.තමා කොතෙක් වේලා එහි ගිලී උන්නද කියා කිසිත් මතකයක් අරුණලීට තිබුනේ නැත. 

“ආදරේ හන්ද දුක් විඳින්නෙ මං වගේ අය විතරක් නෙවෙයි, රජ මාලිගවල ඉන්න මිනිස්සු පවා දුක් විඳිනව” කියා හිතේ එක පැත්තක් කියද්දී “මේ කතාවෙ නම් රැජිණට දුක හිතුනෙ රජතුමාට වෙන ගැණියෙක් ඉන්න හන්ද, මෙනුක ගත්තෙ තව ගෑණියෙක්ව නෙවෙයිනෙ” කියා හිතේ අනිත් පැත්ත රිදවන්නට පටන් ගත්තාය. ඒ පැරණි මතක, නොඑසේනම් අමතක කරන්නට වෙර දරන මතක අලුත් කරවන සිතුවිල්ලකි.

කොළඹ නගර මධ්‍යයයේ පිහිටා තිබුණද කොළඹ විශ්ව විද්‍යාලය පුරාවටමත්, අරුණලී අසුන්ගෙන උන් බංකුව අසලත් තිබුනේ මනරම් සිහිලැල්ලකි. එවන් සිහිලසක් යට හිඳගෙන මෙවන් රසවත් පොතක් කියවන වෙලාවේ අතීතයේ වූ නීරස සිද්දි යලිත් මතක් කරගෙන හිත ගිනි තබාගන්න අවශ්‍ය නැත. 

අරුණලී එසේ සිහිලසේ උන්නද ආරියරත්න සහ පීරිස් පවුල අතර ඇති වූ කතාබහ යටින් ගිනිගන්නා සීතල ගිනිකන්දක් බවට පත්ව තිබුණි. මෙනුක උන්නේ වැඩිහිටියන් කියන කිසිවක් පිළිගන්න අදහසකින් නොවේ. 

“අරුණලී මාත් එක්ක කතාකරන්න අකමැති අංකල් ලාගෙ ප්‍රෙශර් එක හන්ද”

“අපි නම් අපේ ළමයින්ට කිසිම ප්‍රෙශර් එකක් දාලා නෑ පුතා. ඔයාගෙ වරදක් හන්දනෙ මේ හැම.ප්‍රශ්නයක්ම පටන්ගත්තෙ. ඉතින් අරුණලීට සම්පූර්ණ අයිතිය තියෙනව නේද තමන් කැමති තීරණයක් ගන්න. අරුණලී ඔයා එක්ක කතා නොකරන්නෙ අපි කිව්ව දෙයක් හන්ද නෙවෙයි එයාගෙ තීරණේ කීප අවස්තාවකම කියලත් ඔයා ඒක තේරුම් ගන්නෙනැති හන්ද”

“අංකල්ල එපා කියන නිසා තමයි අරුණලී ආයෙ සෙට්ල් වෙන්න අකමැති. අංකල්ලට ඕන මේ කසාදෙ කඩාකප්පල් කරල දාලා අපිට ලැජ්ජකරන්න, ඒකනෙ අරුණලීට කතාකරන්නමට චාන්ස් එකක් දෙන්නෙම නැත්තෙ”

“මෙනුක උඹ කටවහං වාඩිවෙයන්” කියා පීරිස් කිව්වද මෙනුක උන්නෙ ඒ කිසිවකට සවන් දෙන අදහසකින් නොවේ. ඔස්ට්‍රේලියාව සිට මේ ගමන ආවේම අරුණලීව කෙසේ හෝ තමන් සමග ගෙනයන්නට කැමති කරවා ගන්නවා යැයි සිතාය. එයට දෙමව්පියගේ උදව් ලැබුනද නොලැබුනද අතහරින අදහසක් මෙනුකට නැත.

“අංකල්ල කැමති උනත් අකමැති උනත් මම අරුණලීව බඳිනව. මේව මේ අපිට කතා කරල විසඳගන්න පුලුවන් ප්‍රශ්න. අංකල්ල මැදිහත් වෙච්ච නිසා තමයි මෙච්චර දුර දිග අරගෙන යන්න උනේ. අරුණලී එක්ක කතා කරානම් මට මීට වඩා හොඳට ඒ ප්‍රශ්නෙ විසඳගන්න තිබුනා. කොල්ලො වැරදි කරනව අංකල් හැබැයි අරුණලී මට ඇත්තටම ආදරේ කරානම් එයාට බැරිකමක් නෑනෙ මට සමාවක් දෙන්න. ආදරේ නම් කරන්න ඕන සමාව දීලා වැරැද්ද හදාගන්න උදව් කරන එක නේද?”

මෙනුක එක දිගටම කියාගෙන යද්දී අහන් හිටියට ආරියරත්නට අහන්න තිබුනේ එකම එකම දෙයකි.

“මේ කොල්ලට පිස්සුද පීරිස්? මොනවද මෙයා මේ කියන්නෙ? හදාගන්න තිබුනා හදාගන්න පුලුවන් දෙයක් නම්. මං මෙච්චර දවසක් උනත් ඉවසගෙන හිටියෙ අවුරුදු ගාණක්ම යාලුවෙලා උන්නු කොල්ලයි කෙල්ලයිනෙ කියල පස්සෙ පස්සෙ ඔය ළමය මේ නටන්න තියාගත්ත නාඩගම් වල හැටියට දැන් නම් අරුණලී කැමති උනත් අපි නම් මේවට කැමති වෙයි කියල හිතන්න එපා”

“මට කාගෙවත් කැමැත්ත අකමැත්ත වැඩක් නෑ. හොඳින් හරි නරකින් හරි මගෙයි අරුණලීගෙන් මැරේජ් එක වෙනවා

අන්න ඒක හොඳට මතක තියාගන්න. එකෙක් මරල හරි මමඒකිව අරගෙන යනවා”

මෙනුක කිව්වේ ආරියරත්න දෙසට ඇඟිලි දිගුකර තර්ජනාත්මකවය. හිත යටින් තමන්ගේ දරුවාගේ ආරක්ෂාව ගැන බයක් දැනුනද ආරියරත්න ඒ බියෙන් අංශුමාත්‍රයක්වත් දෙනෙතින් හෝ මුහුණෙන් පිටවෙන්නට ඉඩක් තැබුවේ නැත.

මේ තමන්ගේ හිතේ ඇති බය හෝ සැක පෙන්වන්නට අවස්තාවක් නොවේ. තමන් බිය නැති වගත් තමන්ගේ දරුවන්ට තමා ලඟ ඕනවටත් වඩා ආරක්ශාව තිබෙනවායැයි පෙන්විය යුතු මොහොතකි.

“මාත් එක්ක තරහවෙන්න එපා පීරිස්. අපි සාමාන්‍යයෙන් ගෙදරය එන සතෙක්ටවත් මෙහෙම සලකන මිනිස්සු නම් නෙවෙයි. හැබැයි මේ වෙලාවෙ මටත් සද්ද නැතුව ඉන්න බෑ. කරුණාකරල යන්න.  ඒ වගේම තමයි ආයෙ අපිට හරි අපේ දරුවට හරි කරදරයක් වෙන විදියට හැසිරුණොත් අපිත් නීතිය ඉස්සරහට ගිහින් තමයි පස්ස බලන්නෙ. අන්න ඒක හොඳට මතක තියාගන්න”

“අංකල් මේ..” කියා මෙනුක ආයේ වරක් ඇඟිල්ල ආරියරත්න දෙසට දිගු කරද ඒ අරඹන්නට ගිය කතාව අවසන් කරන්න ඉඩක් හම්බුනේ නැත.

“කිව්වම අහල බැහැපං එළියට”

ආරියරත්නගේ හඬ මුලු නිවස සිසාරා නැගෙද්දී මෙනුක ඇතුලු පිරිස තිගැස්සුනේ නැතෙයි කියන්නට බැරිය.

ඒ මොහොතේ අරුණලී උන්නේත් තිගැස්සීය. එහෙත් ඒ චමත්කාරජනක තිගැස්මකි.

“හෙලෝ ළමයා, කැම්පසුත් යනවද?” කියාගෙන කාර්‍යාලයේදි නොදැකිය හැකි සුහදත්වයකින් තම අසල සිටගෙන සිනාවෙමින් උන්නේ මේ මොහොතෙදී දකින්නට බලාපොරොත්තු නොවූ අයෙකි.

කිමල් වීරවර්ධන. ඒ ඔහු ය.

කියන්නට ඕන කුමක්ද කියා ඇත්තටම අරුණලීට පැහැදිලි අදහසක් නැත. මේ මෙවන් හමුවක් බලාපොරොත්තු වූ මොහොතක් නොවේ. අනෙක් අතට කිසිම මොහොතක කිම විරවර්ධනව මෙහිදී දකින්නට ලැබේ‍ය කියා අරුණලී කිසිසේත් සිතුවේ නැත.

“මම මෙතනින් වාඩිවෙන්නද?” කිමල් අසන්නේ විනීතවය. මේ තමන්ට කාර්‍යාලයේදී සමච්චයෙන් කතා කරන කණ්ඩායම් ප්‍රධානියේ නොවේ. එයට වඩා වෙනස් අයෙකි. තරුණ බව වෑහෙන්නෙකි.

“ඔයා ඇයි මෙහේ?” 

“නංගි එක්ක ආව. එයාට අද එක්ස්ට්‍රා ලෙක්චර් එකක්”

“ආහ් ඒක තමයි මමඒත් බැලුවා වීකෙන්ඩ් එකක ඇයි කියල. ඉතින් නංගි ඔයාව දාලා ගියාද?”

“ඔව්, එයාට ලෙක්චර්ස් ඉවරවෙන්න තව පැයක් වගේ යනවා. මම ඉතින් මෙතන වාඩිවෙලා හිටිය”

“ඇයි ඉතින් ගෙදර හිටියෙ නැත්තෙ?” කියා කිමල් ඇසුවද එයට දිය යුතු පිලිතුර ලැජ්ජාවෙන් පිරුණකි. කිමල් තමන්ගේ බිඳුණ අතීතය ගැන සියල්ල දන්නා නමුත් හිතට ලැජ්ජය. මෙසේ නිරාවරණය වීම ලැජ්ජවකි.

“ගෙදර ප්‍රශ්නයක් ද?”

“නෑ අද තාත්ත එන්න කියල තිබ්බා මෙනුකලගෙ ගෙදර අයට”

“තාත්තා හදන්නෙ ඔයාව ආයෙ ඒ මිනිහට බන්දල දෙන්නද?” කිමල්ගේ හඬ මුලින්ට වඩා මදක් කලබලකාරී උනේ ඇයි ද කියා සිතාගන්නට අපහසු උනත් අරුණලී ඒ ප්‍රශ්නයට සෙමෙන් පිලිතුරු බැන්දාය.

“නෑ නෑ, තාත්තා බයවෙලා ඊයෙ වෙච්ච දේ හන්දා. තාත්තාල හිතුවෙ නෑ කොටින්ම මමත් හිතුවෙ නෑ මෙනුක කීයටවත්, තමන්ගෙ අතේ වරදක් තියෙද්දි මෙහෙම කරදර කරාවි කියල. තාත්ත මම හිතන්නෙ එයාගෙ අම්මලට කියන්න හදන්නෙ ආයෙ කරදර කරන්න එපා කියල”

“ඔයයි එයයි කොච්චර කල් යාලුවෙලා හිටියද?”

“අවුරුදු හයක් ලබන මාසෙ”

“අවුරුදු පහක් කියන්නෙ ලොකු කාලයක් නේද”

” මට ඇත්තටම හිතාගන්න බැරිත් ඒක. එච්චරකල් යාලුවෙලා ඉඳල මෙච්චර දුර ඇවිල්ල ඇයි එයා මාව මෙහෙම රැවැට්ටුවෙ කියල.”

“රැවටුනේ ඔයා උනාට ඇත්තටම මේ ප්‍රශ්නෙදි ඒ ලමයත් අසරණයි අරුණලී. ඔයාම දන්නවනෙ එල්ජීබීටීකිව් කමියුනිටි එක ලෝකෙට අරුමයක් නොවුනට අපේ රටේ මිනිස්සු තාම ඕක ගැන හිතන්නෙ පවක් විදියටනෙ. මෙනුකට ඔයාව රවට්ටන්න හේතුව උනේ අන්න ඒ පවට තියෙන බයට. ඒ පව එලිපිටකලොත් මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයි කියන බයට”

ඒ ඇත්තකි. එහෙත් ඒ පවට තිබූ බිය තමාව රවට්ටන්නට මෙනුකට තිබූ හේතුව සාධාරණීකරණය කල නොහැකි නොවේද?






අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles