පමා වී පිපුනු මල් 27

“ඔයා ඉඳල ඉඳල හොඳ ස්පොට් එකක් අල්ලගෙන තියෙන්නෙ වාඩිවෙන්න” කිමල් කිව්වේ දහවල්වරුවේ ඉර අව්ව නොවැටෙන ලෙස අරුණලීගේත් තමන්ගේත් හිසට ඉහලින් විහිද තිබෙන තුරු සෙවණ දෙස බලාගෙනය. 

ඒ වචන සැබෑවක්මය. හිත දැවුණද හිස තිබුනේ හිසට ඉහළින් තිබුණ තුරු වියන නිසාවෙන් සිහිලැල්වය. ඒ සහනයකි. හිස නිවීම හිත නිවීමට හේතුවක් බව අරුණලී මෙන්ම කිමල්ද දැන උන්නහ. මේ විඳින්නේ එයම විය හැක. 

“සර් ඇයි මෙහෙ ආවෙ?” කියා ඇහුවට සර් කියන්න එපා යැයි කිමල් කියූ කතාව අරුණලීට මතක් උනේ පස්සේය. එහෙත් කටින් පිටකල වචන ආපසු ගන්නට නොහැක. ඒ බැගෑබර බව ඇඳුණේ දෙනෙතේය. ඒ දෙනෙත් එකිනෙක යාවෙමින් අරුණලීගේ දෙනෙතේ සිට කිමල්ගේ දෙනෙත් වෙත යාවුණි. 

“මං කිව්ව ඒව එච්චර ඉක්මනට අමතක කරා නේද?”

කිමල් අසන්නෙ අමනාපයෙන් වුවත් ඒ බව ඇඟවෙන බැල්මක් හෝ හඬක් ඔහුගේ වදන්වල හෝ අංගචලන වල තැවරී තිබුනේ නැත. 

“සොරි මට ඇත්තටම නම කියල කතාකරන්න පුරුදු නෑ. ඒකයි”

“හරි හරි ඒකෙන් කමක් නෑ. පස්සෙ පුරුදුවෙන්නකො. ඔයා මොකද්ද ඇහුවෙ?” 

“මෙහෙ ආවෙ ඇයි කියල”

“මම වීකෙන්ඩ්ස්වල මෙහෙ මාකටින් ඩිපාට්මන්ට් එකට ඩිජිටල් මාකටින් විසිටින් ලෙක්චර් එකක් කරනවා. ඒකයි”

“අහ් මම ඒක දැනගෙන හිටියෙ නෑ”

“නංගිට ලෙක්චර්ස් ඉවර වෙන්න තව වෙලාව තියෙන එකේ ප්ලේන් ටී එකක් බොමුද? කැන්ටින් එකේ මේ වෙලාවට ඉඟුරු ප්ලේන් ටී තියෙනව. රසයි. ඔයා බොනවනෙ ප්ලේන් ටී?”

“ඔව්”

ඉර මුදුන් වෙමින් පැවතුනද සිත සිහිලැල්ව තිබුනේ මෙතෙක් වේලා හිත බරකරමින් තිබූ අඳුරු වලාකුල පහව යමින් තිබුණ නිසාවෙන් විය හැක. එයට හේතුව කිමල් විසින් නිරත්තරයෙන් ඇති කරන විශ්වාසය සහ සුහදතාවය බව අරුණලී සිතුවාය. තමාගේ සිතේ පවතින බව සහ කරදර එකපාර එක සිතුවිල්ලකින් බිම තබන්නට අපහසු බව අරුණලී නොදන්නවා නොවේ.එයට කාලය අවශ්‍යය. හොඳ මිනිසුන් සහ ඔවුන්ගේ හිතවත්කම් අවශ්‍යය. 

තමා මෙතන මෙහෙම සැනසුමෙන් උන්නද මෙනුකගේ පවුලෙ අය ගෙදර අවුදින් කුමනාකාරයේ ගින්නක් පතුරුවා ඇතිදැයි යන කුකුස හිතෙන් ඉවත් වී නැත. ප්ලේන් ටී එකෙහි ඉඟුරු රසය පරදවමින් ඒ සැකයේ තිත්ත රස සෙමෙන් මනස ආක්‍රමණය කරමින් හිඳී. එනිසාම අරුණලීට කිමල් කියූ කිසිවක් ඇසුණේ නැති තරම් ය.

“කල්පනා කරන්නෙ ගෙදර මොනව වෙලා ඇතිද කියලද?” 

කිමල් එකම.ප්‍රශ්නය ඇසුවේ දෙවන වරටය. අරුණලීට තමන් කියන කිසිවක් නොඇසුණක් මෙන් කල්පනාවක සිරවී හිඳින්නට සාධාරණ හේතුද අයිතියක්ද ඇති බව කිමල් දනී. 

“ඔව් මට හරි බයයි එයාලගෙ ගෙදර අය මොනව කියල කරල ඇතිද කියල”

“මෙනුකට තරහ යනවද ගොඩක්?”

“යාලුවෙලා ඉඳපු අවුරුදු ගාණටම මම දැකල නෑ එයාට තරහ යනවා. මං ඇත්තටම හිතුවෙ එයා පොඩ්ඩක්වත් තරහ යන්නෙ නැති කෙනෙක් කියල.ඒ උනාට මේ ප්‍රශ්න උනයින් පස්සෙ තමයි මට තේරුනේ එයා කිසිම විදියකින් මම හිතාගෙන ඉඳපු කෙනා නෙවෙයි කියල. මම එයා ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනව කියල. මට ඒකයි බය. තාත්තා එන්න කිව්වෙ එයාගෙ අම්මලට විතරක් උනාට එයාත් ආවද දන්නෙ නෑ. එයා දැන් කොහොමත් අපි එක්ක තරහෙන් ඉන්නෙ”

“ඇයි එයා ඔයා එක්ක තරහෙන් ඉන්නෙ? ඇත්තටම ඒකෙ අනිත් පැත්තනෙ හරි නම් වෙන්න ඕන”

“එයා හිතන්නෙ එයා කරපු වැරැද්දට මම සමාව දෙන්න ඕන කියල. මම එයාට ඕල්‍ රෙඩි සමාව දීල තියෙන්නෙ. එයා ආයෙම මේ ප්‍රශ්න අලුතෙන් පටන් ගන්න හිතද්දි පවා මම හිටියෙ හැමදේම අමතක කරලා අලුතෙන් ආයෙ ලයිෆ් එක පටන් ගන්න අමාරුවෙන් උනත්.

සමාව දුන්න කියන එකේ අදහස මට ආයෙ එයා එක්ක සෙට්ල් වෙන්න පුලුවන් කියන එක නෙවෙයිනෙ. මම කොහොමද එයා එක්ක සෙට්ල් වෙන්නෙ? එයාව මැරි කරන්නෙ? එයා තේරුම් ගන්නෙ නෑ එයා වගේ කෙනෙක් එක්ක මට තියා වෙන කිසිම ගර්ල් කෙනෙක්ට නෝර්මල් ලයිෆ් එකක් ගෙවන්න බෑ කියල. හැබැයි එයා හිතන්නෙ මම එයාට සමාව දීල එයාව මැරි කරන්න කැමති වෙන්න ඕන කියල. එයා හිතන්නෙ මම එයාට ආදරේ කරා නම් මට පුලුවන් වෙන්න ඕන කියල එයාමොන වරද කරත් ඉවසන්න.

ඇයි පිරිමි හැමතිස්සෙම එහෙමහිතන්නෙ? එයාලට ඕන වරදක් කරන්න පුලුවන් හැබැයි කෙල්ලො හැම තිස්සෙම සමාව දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන කියල”

“පිස්සෙක්නෙ”

“එයගෙ පිස්සු හන්ද අන්තිමේ හැම පැත්තෙන්ම විඳවන්න ඕනයි ලැජ්ජ විඳින්නයි ඕන මම”

“එදා ඔෆිස් එකට ආව වෙලාවෙ මට තේරුණා මිනිහ පොඩ්ඩක්වත් කියන දේ අහන්න ලෑස්ස්ති කෙනෙක් නෙවෙයි කියල”

“මට හිතාගන්න බැරිත් ඒක. එයා ඉස්සර එහෙම නෑ. මාරම හොඳයි. එක්කො මේ.ප්‍රශ්නෙ හන්ද එයා වෙනස්වෙලා. එහෙම නැත්තම් එයා ඉස්සර කරල තියෙන්නෙ සම්පූර්ණ බොරුවක්. මට දුක මම කිසිම බොරුවක් කරන්නෙ නැතුව මමයි මගෙ පවුලෙ අයයි අහක ඉන්න ඔයාලටයි මේ හන්ද ප්‍රශ්න ඇති වෙන එක. අනික මොන ලැජ්ජාවක්ද කියන්නකො, එදා ඔෆිස් එකට ඇවිල්ල එයා නටපු නාඩගමෙන් දැන් ඔෆිස් එකේ අය පවා බලනවනෙ මොකද්ද මේ කියල”

“ඒක ගැන නං ලැජ්ජ වෙන්න එපා. ඔයා ඇත්ත කියන්න.ඔයාගෙ පැත්තෙ කිසිම වරදක් නැතුව ඔයා ලැජ්ජ වෙන්න ඕන නෑනෙ ඒක ගැන

අනික ඔයා කලින් වතාවෙ වගේ කලබල වෙන්නවත්, බොරුවට රියැක්ට් කරන්නවත් එපා. මොකද අනුන්ගෙ වැරදි වලට ඔයා ඔයාට රිද්දගන්න ඕන නෑනෙ. 

අනික ඔයා දන්නවද සමහර දේවල් වෙන්නෙ අපේ හොඳට, අපි නොහිතුවට සමහර වෙලාවට අපිට දුක්විඳින්න වෙන්නෙ, කරද‍ර වෙන්නෙ අපෙ හොඳට.

අපි ජීවිතේ සෑහෙනතරුණ වයසකදි එහෙම දුකක් විඳින්න උනාම අපි ජීවිතේ ඉස්සරහදි දන්නව ආයෙ එහෙම සිටුවේශන් එකක් ආවොත් අපි කරන්න ඕන මොකද්ද කියල. ආයෙ එහෙම සිටුවේශන් එකක් ඇති නොවෙන්න වැඩ කරන්න ඕන විදිය අපි ඉගෙන ගන්නවා.අනික ඔය කොච්චර කිව්වත් මෙනුකට ඔක විකාර කවදහරි නතරකරන්න වෙනවනෙ. මොකෝ එයා මුලු ජීවිත කාලෙම ඔයාගෙ පස්සෙන් එන්න කියලද සමව ඉල්ල ඉල්ල.

ඔයා හිත කරදර කලබල කරගන්නෙ නැතුව හිටියොත් මේ ප්‍රශ්න ඉක්මනට විසඳිලා යාවි. ඔයා ඒ කාලෙ ඇතුලත බලන්න ඔයාට ඉස්සරහට යන්න පුලුවන් කොහොමද කියල. අපි රියැක්ට් අරන තාක්කල් තමයි මෙනුක ප්‍රශ්න මවන්නෙ, ඔයා කිසිමදේකින් සැලෙන්නෙ නෑ කියල දැනගත්තම එයත් ඕක නතර කරාවි”

කිමල් එසේ කිව්වද මෙනුක උන්නේ පහසුවෙන් අරුණලීව අමතක කරන අදහසක නොවේ. අරුණලී ව් අමතක කරන්නට නම් තමා මේ ප්‍රශ්න සහ ලැජ්ජව විඳ දරාගත යුතු බව මෙනුක දැන උන්නේය. එහෙත් එය කල නොහැක්කකි.

“විහින් ලැජ්ජ වෙනව අපි මේ වැඩ හන්ද”

වාහනය පදවගෙන එන ගමන් පීරිස් ඛේමාට කිව්වේ කෝපයෙනි. ආරියරත්න නිවසේදී තමාට වූයේ ආත්ම ගණනකට විඳවන්නට වන ලැජ්ජාවකි. මේ සියල්ල මෙනුකගේ නොහොබිනා වැඩ ය.

“අපි මොනව කරන්නද උන්මනෙ අපිට එන්න කිව්වෙ”

“උන් එන්න කිව්වෙ ඇයි? මේ ගොං තඩියා අපිට නොකියම ලංකාවට ඇවිත් ඒ කෙල්ලගෙ ඔෆිස් එකට ගිහින් පිස්සුවක් කෙලල ආව හන්දනෙ. නැත්තම් මෙච්චර දවසකට උන් අපිට කතාවත් කලා ද නෑනෙ”

“උන්ටත් ඔච්චර ගණන් උස්සන්න මොකෝ අරුණලී මහ ලොකු එකියක්ද?” 

“මූ තාම ඒකි පස්සෙන් යන හන්දනෙ මේ ඔක්කොම”

“ඕකුන්ට පේන්නම අපි වෙන අතක් බලගත්තනම් නම් හරි. මොකෝ අරුණලී විතරද මේ ලෝකෙ කෙල්ලෙක්ට ඉන්නෙ. ඕනතරම් කෙල්ලො ඉඳීවි ඔස්ට්‍රේලියාවෙ ගිහින් පදිංචි වෙන්න කැමති”




























අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles