එතැන් පටන් දවස් ගෙවුණේ මද අස්වැසිල්ලකිනි. නොඑසේනම් එය එසේයැයි අරුණලී ඇතුලු ආරියරත්න පවුල සිතා උන්නහ. අරුණලී සුපුරුදු පරිදි තාත්ත සමග උදෑසන රාජකාරියට ගියාය. කිමල්.පොරොන්දු වූ පරිදි බොහෝ රෑ වනතුරු අරුණලීව කාර්යාලයේ රඳවා නොගත්තේය. හැකිතාක වේලාසනින් අරුණලීව කාර්යාලයෙන් නිවස බලා එව්වේය. ඒ හැම දිනකම පාහේ ආරියරත්න කාර්යාලය වෙත පැමිණ අරුණලීව ගෙදර එක්කර ගෙන ගියේය. රෑ බෝ වන දිනක නම් කිමල් අරුණලීව ආරක්ශිතව ගෙදරිටම එක්කරගෙන ගොස් ඇරලුවේය.
“මං හිතන්නෙ එදා කතා බහෙන් පස්සෙ අර මිනිස්සුන්ට තේරෙන්න ඇති වැඩේ බරපතල කම”
සුබා කිව්වේ ආරියරත්න ට උදේ දහයට හදා දෙන තේ එක ඔහු අත තබමිනි. මේ වෙලාව වෙද්දී අරුණලීත් සඳලිනීත් ඉන්නේ ගෙදරින් පිට වී නිසාවෙන් නිදහසේ ඕනම දෙයක් ගැන කතාබස් කරන්නට හැකි ඉඩකඩක් ආරියරත්න නිවස තුල වෙයි.
“මට ඒ මහ දෙන්න ගැන නම් ඇත්තටම දුකයි. ඒ මිනිස්සු මොනව කියල කරන්නද? මෙනුක ගැන නං පුදුම හිතෙනව අම්මප අපි හිතන් උන්නු ලමය නෙවෙයිනෙ ඇත්තටම ඉන්නෙ”
“ආයෙ කරදර කලොත් පොලිසි යනවය කිව්ව එකට බයවෙන්නැති. කවුද කැමති මේ මෙහෙම දේවල් වලට ඕන නැති කරදර ඔලුවට දාගන්න”
“මං මේ කල්පනා කරේ මොන ප්‍රශ්න උනත් අරුණලී මෙනුකව කසාද නොබැන්ද එක කොච්චර වාසනාවක්ද කියල. අනිත් දේවල් අමතක කරත් ප්‍රශ්නයක් උනාම ඔහොම හැසිරෙන මනුස්සයෙක් එක්කල ජීවත් වෙනවය කියන එකම කොච්චර ලොකු හිතට අමාරුවක්ද කියන්නකො”
“ඔව් අනික ඔන්න අපිට පේන මානෙ ඉන්නවනම් කමක් නෑ. මේ නොදන්න රටක නොදන්න මිනිස්සු ඉස්සරහ අන්තිමේ රටේ නැති කරදරවලට තනියෙන් මූණ දෙන්න වෙන්නෙ එහෙම උනා නං. මං මේ හිතුවෙ අපි අරුණලීව කවුන්සලින් එක්කරගෙන ගියා වගේ පීරිස්ලත් හරි නම් මෙනුකව කවුන්සලින් එක්කරගෙන යන්න ඕන. අපිට කරදරයක් වගේ දැනුනට ඒ ලමය ඔය පිටකරන්නෙ හිත ඇතුලෙ තියෙන පීඩනයක්නෙ”
“ඒව ඉතින් අපි කතා කරල තේරුමක් තියෙනවද? ඒ මිනිස්සු නෙ ඒක තේරුම් ගන්න ඕන” සුබා කිව්වේ බී අවසන් කර කෝප්පය මේසය මත තබා කුස්සියෙන් නික්ම යන් ආරියරත්නට ඇසෙන්නටය.
මෙනුක මෙපරිද්දෙන් හෝ නිශ්ශබ්ධ වීම වඩා හොඳ බව සියල්ලන්ම සිතා උන්නහ. ඉතින් දවස් ගෙවුණේ වඩා නිදහස්වය.
කාර්යාලයේ මිතුරු මිතුරියන් මෙනුක සම්බන්ධ තමන්ගේ අතීතය ගැන දැනගැනීම මුලින් ලැජ්ජවක් ලෙස සිතුවද ඒ හැඟීම් දියව ගියේ ඔවුන් හා ඒ ගැන කතාබස් කරද්දීය. හුදකලා වූද එහෙත් වේදනාබර හැඟුම් දහසක්ද හිරකරගෙන උන් කෙනෙකුට යහපත් හිතවත් මිතුරු ඇසුරක් ගෙන එන්නේ කෙතරම් නිවනක්ද බව අරුණලී වටහාගත්තේ කේශිනීත්, භාශිතත් සමග සියල්ල ගැන කතා කර හිත හිස් කරගනිද්දීය.
“උඹට තිබ්බනෙ බං අපිට කියන්න කලින්, එහෙනං ඕකට මේ ඔෆිස් එක පැත්ත පලාතෙ එන්න ඉඩ දෙන්නෙ නෑ අපි”
“ඈ ඇත්තද උඹ බැට්මෑන් නෙ. අනේ මේ විකාර නොකිය ඉන්නව” භාශිතගේ කතාවට කේශිනී මැදින් පැන කියද්දී මෙතෙක් වේලා ඇස් කොනක හිර වී උන් කඳුලු බිංදුවම් ඇස්වලින් පිටතට විසිරෙද්දී රත් පැහැ දෙතොල් විහිදා හිනාවකට අරුණලී අර ඇද්දාය.
“දැන් ඕව හිතන්න එපා අරුණි. ඒ මනුස්සය දැන් තේරුම් අරගෙන ඇති තව දුරටත් ඔයාව ෆලෝ කරල තේරුමක් නෑ කියල. ඒක වෙන්නැති සද්ද නැතුව ඉන්නව ඇත්තෙ”
“ඒ උනාට එයා එදා ඇවිල්ල කෑගහපු විදිය මතක් වෙන වාරයක් පාසා මට හරි බයයි ආයෙ කොහෙන් හරි මතුවෙයි කියල. මට ඔක්කොටම වඩා දුක එයා ඒවි මට කරදර කරාවි කියල තියෙන බයට තාත්තටයි අම්මටයි ආපහු පොඩි ලමේක් වගේ මගෙ පස්සෙන් වැටෙන්න වෙච්ච එක”
“අම්මල තාත්තල ඉතින් කොහොමත් අපි ගැන හිතන්නෙ අපි පොඩි ලමයි ගාණට දාලනෙ. ඒ නැතත් තනියම යනවටවඩා තාත්තා එක්ක යන එන එක හොඳයි. මොන දේ උනත් තාත්තා ඉන්න තැනක ඒ මනුස්සය ඔයාට කරදරයක් කරන්න හිතන එකක් නෑ”
අරුණලීත් කේශිනීත් භාශිතත් උන්නේ කාර්යාලයට මදක් ඔබ්බෙන් පිහිටි ලා තැඹිලි පැහැ බෝගන්විලා ගාලකින් වැසුණු ටින් කිරි තේ අවන්හල තුලය. කාර්යාලයට එන්නට සහ පිටවෙන්නට නියමිත වෙලාවක් තිබුනද වැඩ කර මහන්සි දැනෙද්දි එලියට ගොස් එන්නට, විඩා නිවාගන්නට තේකක් බොන්නට යන්නට බාධාවක් කිමල් වීරවර්ධනගෙන් හෝ ආයතනයේ ඉහල කලමණාකරීත්වයෙන් බාධාවක් තිබුණේ නැත.
“ඒජන්සි වල වැඩ කරන්නෙ ක්‍රියේටිව් පිස්සො. එහෙම අයව මේ පැය අටම ඔෆිස් එක අස්සෙ තියාගෙන හොඳ ක්‍රියේටිව් අයිඩියාස් එලියට ගන්න අපිට බෑ. ඩෙඩ්ලයින් වලට වැඩ ඉවර කරානම් ඇති. ඒක දවසෙන්ද සතියෙන්ද කරන්නෙ කියන එක ගැටලුවක් නෑ” ඒ කිමල් වීරවර්ධන නිරත්තරයෙන් මිමිණූ වදන් අතරින් එකකින්.
ලා තැඹිලි පැහැ බෝගන්විලා ගොල්ල යට හිරු කිරණක උණුහුමක් කිසිවෙකුට දැනුනේ නැත. ඒ වෙනුවට තිබුනේ සිහිලසකි. නිවීමකි. සැහැල්ලුවකි. ඉමිහිරි ටින් කිරි තේ රසයෙන් කුල්මත් වූ හදවත් තුනකට එක්ව කතා කරන්නට බොහෝ දේ එහි විය.
“මං කවදාවත් හිතුවෙ නෑ ඇත්තටම මට කවදහරි මෙහෙම දෙයක් වෙයි කියල” මද සිනාවක් සමග කිව්වද අරුණලීගේ දෙනෙත් අස්සේ ඇඳී තිබුනේ වේදනාවක සේයාවක් බව අඳුනාගන්න කේශිනිටත් භාශිතටත් හැකියාව තිබුණි.
“මං මාරම ඉන්ඩිපෙන්ඩන්ට් විදියට වැඩ කරන්න කැමති කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙ තමයි මෙනුක එක්ක අෆෙයා එක පටන් ගත්තෙ. ඒ උනාට ඒ කාලෙදි උනත් කැම්පස් යද්දි ඉන්ටර්න්ශිප් එකට යද්දි උනත් මම කාගෙවත් මත ඩිපෙන්ඩ් වෙන්න හිතුවෙ නෑ. එහෙම එකේ දැන් හැමවෙලාවකම අම්ම හරි තාත්ත හරි එක්ක යන්න වෙච්ච එක්, බයෙන් ජීවත් වෙන්න වෙච්ච එක මට දරාගන්න හරිම අමාරුයි”
“වෙන හැම දේම අපිට ඕන ඕන විදියට ඉතින් කන්ට්‍රෝල් කරන්න බෑනෙ බං. එහෙම එකේ ඕව ගැන වොරි වෙන්න එපා ඕනවට වඩා. සමහර දේවල් වෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් වෙන්න කියල කියනවනෙ”
“ඔව් ඒකනෙ කියන්නෙ එව්රි ඩාක් ක්ලවුඩ් හෑස් අ සිල්වර් ලයින් කියල. සමහරවිට මේ දැන් ඩාර්ක් උනාට එහෙම වෙන්නෙ ඉස්සරහට එන්න තියෙන සිල්වර් ලයින්ස් පේන්න වෙන්නැති”
“තාත්ත එක්ක එන එක ලැජ්ජ නම් මං කියන්නෙ දැන් වෙන අතක් බලාගන්න තියෙන්නෙ” කියමින් භාශිට්ජ ඇහැක් වැහුවේ මොකක් හෝ කුපාඩි කතාවක් කියන්නට බව අරුණලී ත් කේශිනීත් තේරුම් ගත්තහ.
“මොකද්ද ඒ කතාවෙ තේරුම”
“නෑ මං කිව්වෙ දැන් තාත්තගෙ අත අල්ලන් යන එකේ ඕන නම් මට පුලුවන් අරුණලීව ගෙදරටම ඇරලවන්න”
“අම්මේ, නරියට කුකුල්ලු භාරදුන්න වගේ තියේවි උඹට මේකිව ගෙදර ඇරලවන්න දුන්නොත්. අනික තිමාශා කැමති වෙයිද උඹ ඔෆිස් එකෙ කෙල්ලන්ව ගෙදරට ඇරලවන්න යනවට”
කේශිනීත් භාශිතත් එසේ වචනයෙන් ඇණ කොටා ගනිද්දි අරුණලී එදෙස බලා උන්නේ ඇත්තටම සැහැල්ලු සිතකිනි. මේ බොහෝ දිනකට පසු දැනුන සැහැල්ලුවකි. මෙනුකගේ කිසිත් හොරයක් අහු නොවී තිබුනානම්, තමා ඔහු හා විවාහ වූවානම් මේමොහොතේ තමා කුමක් කරමින් ඉන්නට හැකිද කියා නොසිතුනා නොවේ. එසේනම් ජීවිතය මෙයට වඩා වෙනස් වෙන්නට තිබුණි.
එහෙත් ලැබෙන්නෙ දෛවයේ ලියවී ඇති දේය. තමන්ට ඉරණමේ හැටියට ලැබෙන්නට ඇති දේය. සතුටෙන් හෝ අසතුටෙන් දුකෙන් හෝ සිනහවෙන් බාරගන්නට වෙන්නේ ඒ ලැබෙන දෙයක් නොවේද?
අනෙක් අතට ජීවිතය තමාව වෙන්නට තිබූ බොහෝ ව්‍යසන වලින් බේරගෙන තිබෙන අතර තවත් බොහෝ දේ ඉල්ලා හිටිනට තමට හැකියාවක් නෑ නේද?
ටින් කිරි උගුරෙන් උගුර පහලට යද්දීත් කෝප්පය බිඳෙන් බිඳ හිස් වෙද්දීත් අරුණලී උන්නේ එවන් සිතුවිලි දහරාවක් ගිලී අතරමං වීය.