“මේ විදියට හමුවෙන්න වෙච්ච එක ගැන ඇත්තටම අපිට කණගාටුයි” ආරියරත්න මහතා කතා කලේ පේශලාව සිනාමුසුව නිවසට පිළිගන්නා අතරය.
“අනේ ඒකට මක් වෙනවද මිස්ට ආරියරත්න, කරදර වෙලාවකට නේන්නම් හිතවත්කම් වලින් පල ප්‍රයෝජන ගන්න ඕන”
“ඇත්තටමමේ වෙලාවෙ කිමල් පුතාවත් හිටියෙ නැත්තන් ඇත්තටම අපි දන්නෙ නෑ මිසිස් වීරවර්ධන මොක්ද්ද කරන්න ඕන කියල? අපි හාංකවිසියක්වත් හිතාගෙන උන්නු දේවල් නෙවෙයි අපිට පහුගිය කාලෙ මූණ දෙන්න වුණේ”
“ඒව ඉතින් එහෙම තමයි, කරදර එන්නෙ කලින් කියල නෙවෙයිනෙ මිස්ට ආරියරත්න. පුතා මට එන ගමන් විස්තරේ කිව්වා. මම දන්න අය තාම ඉන්නව කාර්‍යංශෙයි සර්ට් එකෙයි දේකේම. බයවෙන්න එපා අපිට මේ.ප්‍රශ්න විසඳගන්න බැරිවෙන එකක් න”
“අපි ඔය කියන පෝස්ට් එක මකල දැම්මත් වෙච්ච ලැජ්ජව මකන්න පුලුවන්ද කියන්නකො මිසිස් වීරවර්ධන. කීදෙනෙක් නම් දැනටම ඕක ගැන අහල අපිට කෝල් දුන්නද? අපි නම් තව ටික කාලෙකින් මැරිල යාවි කියන්නකො. අරුණලී කොහොමද මේ වෙච්ච දේවල් එක්ක ආයෙ මිනිස්සුන්ට මූණ දෙන්නෙ?” සුබා කිව්වේ හඬන්නට ඔන්න මෙන්න හඬකිනි. පේශල ඒ වේදනව හඳුනගත්ත නිසාවෙන්ම හිඳගෙනනුන් තැනින් නැගිට සුබා අස්වසන්නට වූයේ අම්මලා, විශේෂයෙන්ම දූවරු හිඳින අම්මලා ඕනවටත් වඩා දුක් උහුලන බව දන්නා නිසාවෙන් ය.
“අනේ මිසින් ආරියරත්න ඕව මේ අඬන්න කාරණාද කියන්නකො? අරුණලී ගෙේ කිසිම වරදක් නෑනෙ. මේ ඒ බෝයිගෙ වරදකට බොරු කතා පැතිරෙව්ව කියල අරුණලීට ජීවිතේට මූණ දෙන්න බැරිවෙන්නෙ කොහොමද? අපේ රටේ මිනිස්සු ඉතින් අපි කොච්චර හොඳට හිටියත් කතන්දර හඳන එකේ අරුණලීට මෙහෙ ඉන්න බෑම කියල හිතෙනවනම් මොකෝ වෙන රටකට හරි ගිහින් ජීවත් වෙන්න බැරිය. ඉගෙනගත්තෙ නැති ළමයි නෙවෙයිනෙ”
“ඔව් ඒව අපි පස්සෙ විසඳගන්න ඕන කාරණානෙ. ඉස්සෙල්ල අපි මේ වෙලාවෙ මේ වෙලා තියෙන දේට මොකද කරන්නෙ කියලනෙ බලන්න ඕන”
පේශලා ඒ ලෙසින් සුබාව අස්වසමින් හිඳිද්දී කිමල් උන්නේ අනවසරයෙන් උඩුමහලට ගොස් අරුණලීව දකින්නට බැරි සොවිනි. අම්ම අරුණලීගේ අම්මාව අස්වසන පරිද්දෙන්ම අරුණලීව අස්වසන්න,ඇයට කෙසේද කියා අසන්නට සිතුණා නම් හොඳ ය. සඳලිනී පහලට ආවේ ඒ මොහොතේම වගේය. කිමල් “අක්කා කෝ” කියා සඳලිනීගෙන් ඇසුවේ ඇස් දෙකෙන් කතාකරමිනි. “උඩට එන්න” කියා සඳලිනී ආරාධනා කලේත් එලෙසින්මය.
කිමල් උඩුමහලට නැග්ගා නොව පියැඹුවේය. “අක්කා කාමරේ අයියෙ” කියා සඳලිනී කියද්දී අහන්න ප්‍රශ්න රැසක් කිමල්ට තිබුණි.
“නිදිද? තාම අඬනවද?”
“අඬන්නෙ නම් නෑ, ඇහැරල ඉන්නෙ, හැබැයි එයා සෑහෙන ශොක්වෙලා. දන්නවනෙ පොඩි දේටත් දැන් හරි ඉක්මනට එයා කඩං වැටෙනව”
“මං ගිහින් බැලුවොත් අවුල් ද?”
“නෑ නෑ අයියා යන්න. මම ටක්ගාලා.පල්ලෙහට ගිහින් බොන්න මොනාහරි ලෑස්ති කරගෙන එන්නම්” කිය සඳලිනී නික්මුණේ අක්කා මොන දේ කිව්වත් කිමල් අයියා ඉන්නේ අක්කා ගැන ඉමහත් ආදරයෙන් බව තේරුම්ගනිමිනි. ඔහු විශ්වාසය තබන්නට හැකි වැඩිමල් සහෝදරයෙක් වෙන්නට සුදුසු කෙනෙකු බව සඳලිනී හීන් සීරුවේ සිතුවාය.
කිමල් අරුණලී ගෙේ කාමරයට පියවර තැබුවේ සඳලිනීගේ වචන එල්ලීගෙනය. වසර ගණනාවක් ආදරය කල මිනිසා විසින් පලමුව රැවටීමටත් අනතුරුව ලැජ්ජාවටත් පත් කර තිබියදී අරුණලී මෑතක හමු වූ තමාව කුමන ආකාරයකින් පිලිගනීවිද කියා සැකයක් කිමල්ගේ හදවත තුල නොතිබුණා නොවේ. ඇය තමන් ඇතුලු සියලුම පිරිමින්ව ප්‍රතික්ශේප කිරීමට හිත හදාගෙන හිඳිනවානම් යන සැකය බයක් ලෙස නොතිබුණා නොවේ.
කිමල් කාමරයට එනවිටත් අරුණලී උන්නේ ඇඳ අසල බිම අසුන්ගෙන බැල්කනියෙන් එපිට පෙනෙන කහ පැහැ ඇසල මල් ගස දෙස බලාගෙනය. කාලයක් ජීවිතය තිබුණේ මේ ඇසල මල් මෙන්ම විචිත්‍රවත්ව වර්ණවත්ව නොවේද? එහෙත් ආදරය යැයිවරදවා වටහාගත් දරුණු කුණාටුවකට හසුව ජීවිතය නම් තුරු මුදුනින් තාරුණයය වෙනුවෙන් පිපුණු මල් ද එහි සුවඳ ද පාටද අතුරුදහන් කර දමා ඇත.
ඉතින් ආයෙමත් ඒ ගෙවී ගිය කාලය ලඟට ගන්නට හැකිද? ඒ කරද පෙර විශ්වාසයෙන්ම තවකෙකුට ආදරය කරන්නට හැකිද? ආයෙමත් කිසිවෙකුව විශ්වාස කරන්නට හැකිද? ආදරයත් විශ්වාසයත් නොමැතිව යන ජීවිතයකට තේරුමක් තියෙනවාද?
“මට ඇතුලට එන්න අවසරද?” කිමල් ඇසුවේ කිසිවක් සිදු නොවුනාක් මෙන් වඩා ස්හැල්ලු ස්වරයකිනි.මේ වෙලාවේ කුමන ප්‍රශ්නයක් උද්ගතව තිබුණද මුලින්ම කල යුතුව තිබෙන්නෙ කැඩීබිඳී ගොස් හිඳින අරුණලීව සැහැල්ලු කරවීම බව කිමල් සිතුවේය.
“සර්” කියා කියද්දී මෙතෙක් වේලා හිත අස්සේ කෙලවරක හංගගෙන උන් කඳුලු බිඳු රෑණක් අරුණලීගේ දෙනෙත් අස්සෙන් ගලා හැලුනාය. ඒ කිමල් දැකීමෙන් හඬන්නටත් හිත සනසාගන්නටත් හිත වඩා සැහැල්ලු කරගන්නටත් ලද අවසරය මත ය.
“අඬන්න එපා ඉතින් මං ආවනෙ” කියා කිමල් අරුණලි අසලින්ම බිම ඉඳ ගත්තේ එක අතක් ඇගේ උර වටා දමා තමා හිඳින බව, ලඟින්ම රැඳෙන බව කියාපාමිනි.
“අනේ බලන්න සර් වෙච්ච දේ, මං කොහොමද දැන් ලෝකෙට මූණ දෙන්නෙ? ඇයි එයා මට මෙහෙම ලැජ්ජාවක් කරේ? මොකද්ද මම එයාට කරපු වරද කියන්නකො”
“ඕකනෙ ඉතින් මම එදත් කිව්වෙ ඔයා කිසිම වරදක් කරල නෑ ළමයො. ඔයාට වරදක් කරල තියෙන්නෙ එයා මිසක්ක. මිනිහ දාපු බොරුවක් අල්ලගෙන අනිත් මිනිස්සු ඒ පෝස්ට් එකට මොන විදියෙ කමෙන්ට් දැම්මත් ඔයා ඒව හිතන්න ඕන නෑ. ඔයා දන්නවනෙ ඇත්ත මොකද්ද කියල”
“ඒත් ඒත් ඇයි මෙනුක එහෙම දෙයක් කරේ? කොච්චර ජරා වැඩක්ද ඒක?”
“ඒක ඉතින් මිනිහගෙ තියෙන ක්ලාස් එක තමයි කියල හිතනව ඇරෙන්න දෙන්න වෙන් උත්තරයක් නෑ. ලබාගන්න බැරිඋනාම නරිය මිදි ඇඹුලයි කිව්ව කතාව ඩිජිටල් ලෝකයක් ඇතුලෙ මිනිස්සු එක්සිකියුට් කරන්නෙ ඔය විදියට වෙන්නැති. ඒ කොහොම උනත් ඔයා බයවෙන්න එපා අපි ඒ පෝස්ට් එක, ෆොටෝස් ෆේස්බුක් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කරල දාන්න කරන්න ඕන දේවල් කරන්න පටන් අරගෙන තියෙන්නෙ.
අනික මේ වතාවෙනම් මම කීයටවත් ඒ මිනිහට ලේසියෙන් ගැලවිල යන්න ඉඩක් තියෙන්නෙ නෑ. ඔයා මේ වෙලාවෙ කරන්න ඕන ජීවිතේට රිස්ක් එකක් ගන්න එකවත්, අඬ අඬ හැංගිල ඉන්න එකවත් නෙවෙයි ඔයාට වෙච්ච අසාදාරනේ වෙනුවෙන් මෙනුකට හොඳ පාඩමක් කියල දෙන එක අරුණලී. අපි මෙච්චර දවසක් ඇත්තටම ලීගල් ඇක්ශන් එකක් නොගත්ත එකේ වරද කියලත් මට හිතෙනව මේ දේවල් මෙච්චර දුර දිග යන්න හේතුව
අපි මිනිහ ඔයාට ත්‍රෙට් කරන්න ඔෆිස් එකට ආව වෙලාවෙත් ලීගල් ඇක්ශන් එකක් නොගත්ත එකේ මනුස්සය හිතන් ඉන්න ඇති ඔයාට ලැජ්ජාවක් වේවි කියල හිතල අපි හැමදාම සද්ද නැතුව ඉඳී කියල”
“ඒත් අපි දැන් මොන දේ කරත් මිනිස්සු කී දෙනෙක් ඒ පෝස්ට් එක දැකල ඇතිද? ඒක කවදාවත් මකල දාන්න අපිට පුලුවන්ද?”
“වෙච්ච දේව ජීවිතෙන් මකල දාන්න අපිට බැරිබව ඇත්ත. ඒත් ආයෙ එහෙම දෙයක් නොවෙන විදියට ජීවිතේ හදාගන්න අපිට මේ වෙච්ච හැමදේකින්ම පාඩමක් ඉගෙන ගන්න පුලුවන් නේද?”
කිමල් අරුණලීගේ සිත එසේ අස්වසමින් හිඳිද්දී රමිත් උන්නෙ මෙනුක හමුවන්න ඔහුගේ නිවස බලා එන අතරවාරයෙනි. මෙනුක ආපසු පැමිණ ඇති බව රමිත් දැනගත්තේ ඔහු විසින් එවන්නට යෙදුණ කෙටි පණිවිඩ සහ මග හැරුණ ඇමතුම් ඔස්සේය. එහෙත් මේ ගමන යන්නේ පෙර උන් මෙනුකට පිස්සුවෙන් මෙන් ආලය කල රමිත් වාසලතන්ත්‍රී ලෙස නොවන බව දැන උන්නේ රමිත් පමණකි.
මෙනුක ආපසු ඔස්ට්‍රේලියාව බලා පැමිණ ඇත්තේ අරුණලීගෙන් පලිගත හැකි උපරිමම, නින්දිතම ලෙස පලිගෙන බව රමිත් දැනගත්තේ කුමිලගෙනි.
කුමිල විසින් කියූ දේවල් ඔස්සේ මුහුණු පොත බැලූ රමිත් මෙනුක කල විනාශය දෙස බලා උන්නේ අඩක් කෝපයෙනි, අඩක් පශ්චත්තාපයෙනි. මේ සියල්ලම මෙසේ අවසන් වන්නට හේතුව වූයේ තමා විසින් දුර දිග නොබලා ගත් තීරණයක ප්‍රතිපලය බව ඒ පශ්චත්තාපයට හේතුව කරගන්නට රමිත්ට නොහැකි වූයේ නැත. තමා විසින් විවාහයට පෙර අරුණලී වෙත යවන්නට කටයුතු කල ඒ වීඩියෝව අවසානයේ විනාශ කර දමා තිබෙන්නෙ තමන්ටවත් මෙනුකටවත් අබැටක තරම්වත් වරදක් නොකර අවංකව ආදරය කල අවිහිංසක කෙල්ලකගේ ජීවිතය බව සිතෙද්දී රමිත්ට දැනුනේ හදවත පසාරු කරගෙන ඊතලයක් ගියාක් බඳු වේදනාවකි.
ඉතින් මේ ගමන යන්නේ අරුණලී වෙනුවෙන් මෙනුක හමුවනු පිණිස මිස තමන් වෙනුවෙන් නොවන වග රමිත් ට සහතිකය.