fbpx

සඳක් කළ සක්මන් -17

ආනන්ද ගුරුගේ තාත්තා ට පොලීසියට යන්නට කතා කළේ ය. නමුත් තාත්තා එය ප්‍රතික්ෂේප කළ වෙලාවේ මා ඔහු වෙතින් දුටුවේ අසරණ කමකි.

“අපි තව ටිකක් බලමු සර්. මං හිතන්නෙ කෙල්ල මේ ළඟ පාත කොහෙ හරි ඇති. මට හිතෙන විදිහට අපිව බය කරන්න කරපු වැඩක් මේක”

එහෙම කියමින් තාත්තා සිනහ වෙන්නට හැදුවේ ය. නමුත් මා දුටුවේ ඒ සිනහව ම මහා විලාපයක් සේ ය.

තාත්තලා කියන්නේ දරුවන් වෙනුවෙන් වන අපරිමිත ආදරය හදවත තුළ හංගාන දැඩි බවක් පෙන්වා ගෙන සිටිනා ජීවී කොට්ටාසයක් බව මම අසා ඇත්තෙමි. අපේ තාත්තා මට නම් ආදරේ කළේ ම නෑ කියා මම සිතුවෙමි. යන්තම් හෝ ආදරය පෙන්වූුවා නම් ඒ නංගීට ය. 

මේ විදිහට තවත් හෙතෙම පොලීසියේ පැමිණිලි කරන්න ට නොයා ඉන්නේ නංගී ගැන වන මහත් බලාපොරොත්තුවෙන් නොවේ ද? විශ්වාසයෙන් නොවේ ද?

තාත්තා ගේ චර්යාවන් ගැන මා තුළ පැහැදීමක් වූයේ ම නැත. දරුවන් ගැන ඔහු ගේ ආදරය ද මම සැක කළෙමි. නොයෙකුත් අවස්ථා වල එය ප්‍රශ්න කළෙමි. නමුත් අද මේ අයුරින් ලෝකය ඉදිරියේ අසරණ ව තිබෙන්නේ ඒ ආදරය නොවේ ද?

තාත්තා උගත් මිනිසෙකු නොවේ. නමුත් සමාජ ආශ්‍රය තුළ ඔහු නොදැන උන් දෙයක් ද නැති තරම ය. ඉතින් නංගී ගේ මේ අතුරුදන් වීම ගැන, ගෙදර අයට හෝ නො පෙන්වා සිටියා ට ඔහු විවිධ මානයන් ඔස්සේ සිතන්නට ඇත. විවිධ දේ ඔහු ට සිතෙන්නට ද ඇත. තාත්තා බිය පත් ව සිටින බව මට ඔහු ගේ දෑසින් දකිත හැකි විය. නමුත් ඔහු මුවින් ප්‍රකාශ කළේ වෙන දෙයකි. 

දහවල් වන තුරු ම ආරංචියක් නො වුණෙන්, හැම කෙනෙකු ගේ ම බලපෑම මත පොලීසි යන්නට තාත්තා ට සිදු විය. ඔහු නැති අතරේ ආච්චම්මා අම්මා ට දෙහි කැපුවා ය.

“මං බොට කිව්ව නේද කෙල්ලව ඇස් දෙකේ තියාගෙන පරිස්සං කරහං කියල…නැකත් ගුරුන්නාන්සෙගෙ අනාවැකියක් වැරදිලා නෑ කියල මං උඹට කිව්වනෙ. දැං ඉතිං ඔය කෙල්ලව හොයල පලක් නෑ බොල”

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

වෙනදා ට ආච්චම්මා කියන ඕනෑ ම දෙයක් සිය සිහින් සිනහවෙන් භාර ගන්නා  අම්මා, සිදු ව ඇති දේ ගැන පත් ව සිටි පීඩනය මත ආච්චම්මා ගේ ඇඟට කඩන් පැන්නා ය.

“පරිස්සං කරන්නයි කියල මං මොකෝ ආයෙ බඩ ඇතුළෙ තියා ගන්නද…උං දැන ගන්න එපැයි පරිස්සං වෙන්න”

“ඒක යස කතාව. බොලා දෙමව්පියොම තමයි බං. මිනිහත් එකයි ගෑනිත් එකයි. ජාඩියට මූඩිය වගේ”

“ඉතිං අම්මෙ මං කියල මොනා කරන්නද…අඩු ගානෙ පොඩ්ඩි කොල්ලෙක් එක්කවත් යාළු වෙලා හිටියෙ නෑනෙ”

“ආ…එතකොට ඔය පැනල ගිහිං තියෙන්නෙ දන්නෙවත් නැති මිනිහෙක් එක්ක…”

“පැනල ගියා ද කියල අපිට හරියටම කියන්න බෑනෙ…”

“අනේ ගොං වැස්සියෙ…නිදාගෙන හිටපු එකීව නිදි පැදුරෙං හොරෙක් උස්සං ගියාද…එතකොට මේ ලොකු එකීව තියල ඒකිව විතරක් හොරු අරං ගියා…”

“අපි තාම දන්නෑනෙ මොකක් වුණාද කියල”

“දැන ගනී දැන ගනී…ඔහොම යනකොට දැන ගනී”

මා හිටියේ තැවුළෙනි. නංගී හා මා අතර හැමදා ම නො ගැලපීම් විය. ඒ මත කුඩා කල පටන් ම අප අතරේ රණ්ඩු දබර සිදු විය. ඇය මා ගැන කෙසේ සිතුවා ද කියා නො දනිමි. නමුත් මම නම් නංගී ට පණ සේ ආදරය කළෙමි. පාසලේ දී ළමයෙකු ගේ උපන් දිනයකට ලැබුණ කේක් කෑල්ලක් පවා නොකා මා ඔතාගෙන ආවේ නංගී ට දෙන්නට ය. ඇය අධ්‍යාපන කටයුතු කෙරේ උනන්දු නොවීම මා අසහනයට පත් කොට තිබිණි. ඒ ගැන අවවාද දෙන්නට යත්දී ඈ සිතුවේ ඇයත් එක්ක මා තරහා බවයි.

ජංගම දුරකතනය හැඬවිණි. මා හිතුවේ නංගී ගෙන් ආරංචියක් කියා ය. නමුත් කතා කළේ ආකාශ් ය.

“මොකද තත්වෙ පූජා…”

ඒ ළෙංගතු බවත් සිතට මහත් බරක් සේ දැනිණ.

“අනේ කිසිම ආරංචියක් නෑ අයියෙ”

මෙතෙක් මා දැඩි කර ගෙන උන් සිත දිය වී කඳුළු සේ ගලා යන්නට විය. කඳුළු සලන්නටත් අපට ළෙංගතුයි කියා දැනෙන කෙනෙක් සිටිය යුතු ය. හැම මිනිසෙකු ඉදිරියේ ම හැඬුම් එන්නේ නැත.

“ඉතිං ඔයා කලබල නොවී ඉන්නකො. මේක ඔයාට තේරෙනවනෙ පූජා.. මට නං හිතෙන්නෙ නංගි කාත් එක්ක හරි ගිහිං”

“මටත් එහෙම හිතෙනව අයියෙ. අනේ මට මගෙ නංගිව බේරගන්න බැරි වුණා අයියෙ. කවුද හිතුවෙ එයා මේ තරං ඉස්සර වෙයි කියල…මෝඩ කෙල්ල. මං කිව්ව ඉගෙන ගන්න කියල. මාත් එක්ක හැමදාම රණ්ඩු වුණේ ඒකට. අන්තිමට එයා මාත් එක්ක තරහෙං හිටියෙ ඔයා මට හිතවත් එකට. අනේ මගෙ නංගි කබලෙන් ලිපට වැටෙන්න ඇති අයියෙ”

මම ඉකි බිඳිමින් හැඬුවෙමි. නංගී ගැන මා මත පැටවී තිබූ මහත් වගකීමක් වෙනුවෙන් යුතුකම් ඉටු කොට ගත නො හැකි වූ බවට වරදකාර හැඟීමක් මා රිදවූයේ ය.

තාත්තා පොලීසි ගොස් පැමිණියේ ‘ආවෙ නැද්ද’ කියා අසා ගෙන ය. ආච්චම්මා හොස්ස ගැස්සූ අතර අම්මා යන්තම් හිස සෙලවූවා ය. තාත්තා ගේ බලාපොරොත්තු සුන් වී යන්නට ඇත.

අන්තිමට ඇය මගේ දුරකතනය ට කතා කළේ හැන්දෑවේ ය.

“නංගි. කොහෙද ඔයා ඉන්නෙ…මොකද වුණේ…දැං ගෙදර එනවද…”

කලබල වූ මම ප්‍රශ්න වැලක් අසා ගෙන ගියෙමි. අම්මා ත් තාත්තා ත් ආච්චම්මා ත් මා වටා රොක් වී මගේ මූණ දෙස ම බලා උන්හ. නංගී කියන දෙයක් ඔවුන්ටත් ඇසෙන සේ දුරකතනයේ ස්පීකර ක්‍රියාත්මක කරන්නට ඒ වෙලාවේ මට සිහිපත් වූයේ නැත.

“මාව හොයන්න එපා”

ඇය තදින් කීවා ය. සැබවින් නංගී කතා කළේ අපෙන් ඇයට ලොකු වරදක් සිදු වී, යන්තම් ඇය ඉන් ගැලවී ගත්තා මෙනි. 

“කොහෙද ඔයා ඉන්නෙ…මොකද්ද වුණේ…”

මම නැවතත් ප්‍රශ්න කළෙමි.

“මට කරදරයක් නෑ. මං අජිත් එක්ක ආවා”

“මොකක්…”

“ඔයාගෙ අර පොෂ් අයියල වගේ නෙවෙයි. අජිත් කියන්නෙ අපි විදිහම අපිට ගැලපෙන කෙනෙක්”

“මෝඩ වෙන්නෙපා නංගි. ගෙදර එන්න. බඳින්න තරං වයසක නෙවෙයිනෙ ඔයා ඉන්නෙ”

“අනේ මේ අක්කෙ. මට ඔයාගෙ බයිලා අහං ඉන්න ඕන නෑ. මං මේ කතා කළේ මාව හොය හොයා දඟලන්න එපා කියන්න. අපිට අපි ගැන බලා ගන්න පුළුවන්. මං තියනව”

“නංගි”

මා කතා කරත්දීත් ඇය සම්බන්ධතාව බිඳ දමා තිබුණා ය. මම පුටුවක් මතට වැටුණෙමි. මට දැනුණේ මා වට කොට ලෝකය ම කැරකෙනවා සේ ය. සිදු වන්නට ඇත්තේ එය බව මම අනුමාන කොට සිටියෙමි. නමුත් එය සිදු වී ඇති බව දැන ගත් මේ මොහොතේ දැනෙන්නා වූ කම්පනය කොහෙත් ම මා බලාපොරොත්තු වූවක් නොවේ. 

“දැං ඉතිං ඒකිට එන්න කියල මොකටද බං…”

ආච්චම්මා සුසුමකින් කීවා ය. තාත්තා දුම් වැටියක් අලුතෙන් දල්වා ගත්තේ පරාජිතයෙකු සේ ය. නංගී තරුණයෙකු සමග වහං වී ගොස් නැත ය යන්න ඒත්තු ගන්වන්නට තාත්තා දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ. දුම අතරින් තාත්තා ගේ ඇස් වලට කඳුළු පිරී එන හැටි මම බලා සිටියෙමි.

“ඒකි එහෙනං එහෙම කළා…”

තාත්තා ට කියා ගත හැකි වූයේ ඒ පේළිය විතර ය. ඔහු ගේ ඇස් වලින් කඳුළු කඩා හැළිණි.

“තාත්තෙ…”

මම ඔහු ගේ අතක් අල්ලා ගතිමි.

“ලොක්කි කළත් පොඩ්ඩි මට එහෙම කරයි කියල මං හිතුවෙ නෑ. ඒකිට මං කොච්චර ආදරේ කළාද බං…අනික ඒකි තාම චූටි කෙල්ලනෙ. අරූ ඒකිව රවට්ටගෙන”

අජිත් කියන්නේ තාත්තා ගේ හිතවතෙකි. ඔහු කිහිප වතාවක් මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් හිර බත් කෑවේ ය. රැකියාවක් නො කළ අජිත් යළට මහට කුළී වැඩක් කරමින් මත් ද්‍රව්‍ය සඳහා මුදලක් සොයා ගත්තේ ය.

“යන එකේ පලයං හරි හමං මිනිහෙක් එක්ක. මේ අජියට පුළුවන් ද ඒකිට කන්නවත් දෙන්න…”

තාත්තා විස්සෝප වූයේ ය. ආච්චම්මා කේන්තිය යටපත් කර ගත් සිනහවක් නගා ගත්තා ය.

“හරි හමං එකෙක්නං ඔහොම කෙල්ලො හොරකං කරගෙන යනවද බං. මේව උඹලගෙ වැරදි. උඹල දෙන්නගෙම වැරදි. උඹල දෙන්නම වැඩ කළේ ගෑනු ළමිස්සියො දෙන්නෙක් ඉන්නව කියල හිතා ගෙන නෙවෙයිනෙ”

ආච්චම්මා දේශනාව පටන් ගත්තා ය. අම්මා හෝ තාත්තා හ්ම් කීවේ නැත.

“මං බොට කිව්ව කටේ කෙළ හිඳෙනකල්…ගේ අස්සට කොල්ලො දා ගන්න එපයි කියල. හරියට විස්සාස කොළානෙ උංව. දැං ඔය කොරල හිටියෙ”

“තමුසෙගෙයි වැරැද්ද සුමිත්‍රා”

තාත්තා සම්පූර්ණයෙන් වරදෙහි වගකීම අම්මා මත පටවන උත්සාහයක් ගත්තේ ය.

“තමුසෙනෙ අම්ම. තමුසෙ කෙල්ලො ගැන බලා ගන්න ඕනෙ. තමුසෙ කොහෙද ඒව කරන්නෙ තමුසෙට ඊට වඩා විසේනෙ”

“ඔව් ඔව් මමයි වැරදි. මෙතනට කුඩු කාරයො ගෙන්න ගත්තෙ මමනෙ”

අම්මා හා තාත්තා ඊළඟට කළේ වරද උනුන් මත පටවමින් වචන වලින් දමා ගසා ගත් එක ය. ආච්චම්මා වරින් වර මැදින් පනිමින් දෙදෙනා ට ම දොස් කීවා ය. මම ඇඳට වැටී කඳුළු සලමින් සිටියෙමි. එදා දවල් හා රෑ වේල් දෙකට ම අපේ ගෙදරට ගුරුගේ ලා ගෙන් කෑම ලැබිණ. නමුත් කුස පිරෙන්නට කිසිවෙකු කෑවා යි මම නො සිතමි.

මැදියම් රැයක් වන තුරු ම ගුරුගේ පවුල අපේ ගේ ඉදිරියේ පාර ළඟට වී සිටියහ. මේ වගේ විපතකදී ඒ අයුරින් කිසිවෙකු සිටීම හිතට හයියකි. ආකාශ් බැල්මකින් පවා මගේ හිත සැනසීමේ උත්සාහයක් දරන බව මට දැනිණි. නමුත් හදවත මැද ම සිදු ව තිබුණේ දරුණු තුවාලයකි. නංගී අපේ මුළු පවුලේ ම හදවත මැදට බෝම්බ පහරක් එල්ල කොට තිබුණා ය. දුප්පත් වුණත් මිනිසුන් ට ආත්ම ගෞරවයක් ඇති ව ජීවත් වීමේ හැකියාව තිබිය යුතු ය. අපේ ගෙතුල වරින් වර සිදු වූයේ එවැනි තත්වයක් පවත්වා ගත හැකි සිදුවීම් නොවේ. 

“මිනිස්සුන්ට ඕන ම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන් පූජා. ඒ දේවල් වලින් හිත කම්පා කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි අපි කරන්න ඕනෙ. අෂ්ට ලෝක ධර්මයෙන් නො සැලී ඉන්න පුළුවන් මිනිස්සු තමයි මේ ජීවිත සංසාරෙ දිනන මිනිස්සු වෙන්නෙ”

නෙරංජලා ගුරුගේ මගේ අතකින් අල්ලා ගෙන කීවා ය. අවට අනෙකුත් අසල්වැසියන්, ඒ ධනවත් පවුල අපේ පවුලට මේ තරම් ළෙංගතුකම් පාන්නට හේතු මොනවා දැයි සිතා ගත නො හැකි ව බලා සිටියහ. 

“මේ හැම සිදුවීමක් ම ජීවිතේට පාඩමක්, අත්දැකීමක් කර ගන්නයි ඕනෙ. ජීවිතේ කියන්නෙ මෙහෙම දෙයක් තමයි පූජා”

අම්මා සේ ම නංගී ද තාත්තා ගේ මත් ද්‍රව්‍ය ලෝලී මිතුරන් සමග ඇති කර ගත් සම්බන්ධතා නිසා මා ලැජ්ජාවට පාත්‍ර ව හිඳිනවා නම් මගේ හිත හැදීම නෙරංජලා ගේ අරමුණ වන්නට ඇත. නමුත් එයින් සිදු වූයේ මගේ හිත තව තවත් තැති ගන්නා එකයි.

“ඔයා හිතං ඉන්න ඒව කවදාවත් වෙන්නෙ නෑ අයියෙ. මේ වගේ පවුලකට සම්බන්ධ වෙන්න ඔයාගෙ අම්මලට ඔළුවෙ අමාරුවක් නෑනෙ. ඒක නිසා ඔයා මගෙං ඈත් වෙලා ඉන්න”

මා ළඟට ම වී සිටින ආකාශ් ට මම මිමිණුවෙමි. ඔහු කළේ සුසුම් හෙළනා එක පමණ ය.

පසු දා නංගී හා අජිත් ඔවුන් ගේ ගෙදරට පැමිණ ඇති බව අපට ආරංචි විය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x