හේමන්ත සන්ධ්‍යා -31

දුරකතනය දිගට ම හැඬවෙමින් තිබිණ. ගුවනි පසු වන්නේ දෙගිඩියාවක බව නිකිනි ට දැනුණේ ය. තමන් ඉදිරියේ මංජුල සමග දොඩමළු වීමේ අපහසු තාවයක් ඇය ට දැනෙනවා වන්නට පුළුවන. 

“ඔයා කතා කරන්නකො…මං එන්නං”

කියා ගෙන නිකිනි කාමරයෙන් නික්ම තනත්දී ම ගුවනි ඇගේ අත් ගොබයෙන් ඇල්ලුවා ය.

“මිස් ඉන්න”

එහෙම කියමින් ම ගුවනි ස්පීකර් ක්‍රියාත්මක කොට මංජුල ව සම්බන්ධ කර ගත්තා ය.

“සර්…”

“මොන මගුලක් ද ඔහේ කරන්නෙ…”

මංජුල ඇඟට කඩා ගෙන පැන්නේ ය.

“මං…මිස් එක්ක වැඩකට යන්න දාගෙනයි හිටියෙ සර්”

“ගුවනි මේ…මං සැරයක් කිව්ව නේද ඔය ගෑනිගෙං ඈත් වෙලා ඉන්නයි කියල. ඔය ගෑනිට පිස්සු. ඒකි ඔයාගෙ ඔළුවත් අවුල් කරයි”

නිකිනි ගේ දෙතොල්, අවඥාවෙන් ඇද විය. 

“සර් ඒ ගැන කලබල වෙන්න එපා. කවුරුවත් නිසා ඔළුව අවුල් කර ගන්න තරං දැං මං මෝඩ කෙල්ලෙක් නෙවෙයි. අනිත් එක මං ලං වෙන්න ඕන කාටද මං ආශ්‍රය කරන්නෙ කාවද කියල තීරණය කරන්න බැරි කමක් මට නෑ සර්”

“දැං ම එන්න පාරට. මං බස් හෝල්ට් එක ළඟ කා එක නවත්තං ඉන්නව”

“සර් යන්න. මට එන්න විදිහක් නෑ. තියන්නං සර්”

“මේ මේ ගුවනි…”

මංජුල ගේ විරෝධය ඇසෙත්දීත් ගුවනි දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. නිකිනි සුසුමක් හෙළමින් යහන මතට වැටුණා ය. ගුවනි ඉතාමත් හෙමිහිට යහන කොනක හිඳ ගත්තා ය.

“ජීවිතේ එඩිට් කරන්න පුළුවන් වුණානං ගුවනි…”

නිකිනි සුසුමකින් කතා කළේ ගුවනි ගේ හදවත කීරි ගස්වමිනි.

“එහෙනං මං මගෙ මැරේජ් එකේ ඉඳල ගෙවිච්ච අවුරුදු ගාණ දෙපාරක් හිතන්නෙ නැතුව කපල දානව…”

“එක පාරක් වැහෙනකොට තව පාරවල් ඇරෙනවයි කියල මං මිස්ට කියල දෙන්න ඕන නෑනෙ”

“ඒත් අපිට නැගිටල යන්න ඕන අතීතය අවතාරයක් වගේ ආයෙ ආයෙත් අපි ඉස්සරහිං ඇවිත් හිට ගන්නකොට…”

“නීතියක් කියල දෙයක් තියනවනෙ මිස්. තනි කැමැත්තට කසාදයක් තියං ඉන්න බෑනෙ. ඊටත් වඩා අසාදාරණ විදිහට…”

එදා ඔවුන් ගියේ මොරටුව ප්‍රදේශයේ ළමා ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකට ය. ඒවා අතරේ ඇවිදිමින් සිටියදී නිකිනිත් නො දැන ඇගේ ඇස් තෙත් වී ගෙන ආවේ ය.

“මේ වගේ බඩු තියපු කාමරේක මගෙ බබෙක් සෙල්ලං කරන හීනයක් මටත් තිබුණා ගුවනි”

ඊට පෙර බිනුරි ට හෝ හෙළි දරව් නො කළ සිතැඟි, නිකිනි ගුවනි ඉදිරියේ හෙළි කළා ය.

“දුක් වෙන්න එපා මිස්. අපිට අපි බලාපොරොත්තු වෙන හැම දේම ලැබෙන්නෙ නෑනෙ. මිස්ට බබාල නෑ කියල සර් මට කියල තියෙනව. සමහර විට…සර් වෙන සම්බන්ධයක් ගැන හිතන්නෙ ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති කියල වෙලාවකට මං හිතල තියෙනව”

“මොකද්ද…”

නිකිනි ගුවනි දෙස බැලුවේ පුදුමය වාවා ගන්නට බැරිව දෙනෙත් මහත් කොට ගෙන ය. ඒ බැල්මෙහි අරුත තේරුම් ගන්නට ගුවනි ට හැකි වූයේ නැත.

“මංජුලද කිව්වෙ මට දරුවො නෑ කියල….”

“ඔව්”

“මේ මනුස්සය මාව පාවල දීලයි එයාගෙ ජරා ගති සාධාරණීකරණය කරල තියෙන්නෙ”

“ඇයි මිස්…”

“කොච්චර මං කතා කරල තියෙනවද ඩොක්ටර් කෙනෙක් කන්සල්ට් කරමු කියල. අපිට දරුවො නැත්තෙ ඇයි බලන්න. කවදාවත් ඒකට කන් දුන්නෙ නෑ. ඇහෙන්නෙ නෑ වගේ හිටියා. අන්තිමට කවුරු අතේ වරද තිබුණත් ඒක මගෙ පිට පටවල එයා අහිංසකයා වෙලා. ශෝක්…ඔය විදිහට තමයි එයාගෙ මිත්‍ර සමාජෙ ඉස්සරහත් මාව හංවඩු ගහල ඇත්තෙ”

පිරිමියෙකු ගැන ගැහැනු හිතක් කලකිරිය හැකි උපරිමය කුමක් ද ඒ සීමාව ද ඉක්මවමින් නිකිනි මංජුල කෙරේ කළකිරෙමින් සිටියා ය. පිරිමියෙකු විශ්වාස කොට ඔහු ගේ සහකාරිය වී ඔහු වෙතට යන ගැහැනිය, සැබවින් ම සිය ආත්මය ඔහු ඉදිරියේ පාවා දෙන්නී ය. ඒ විශ්වාසයේ නාමයෙන් පමණකි. ඇය ඔහු ගෙන් බලාපොරොත්තු වන්නේ ඒ විශ්වාසය රකිතැයි කියා පමණකි. නමුත් එය එසේ නො වන බව දැන ගත්දී මුලින් ම ඇයට දැනෙන්නේ බරපතල කඩා වැටීමකි. අසරණ කමකි. නමුත් ඒ කඩා වැටීම තුළ හිස ඔසවා ගන්නා ගැහැනිය සිය පුරුෂයා මෙන් දස දහස් ගුණයකින් සවිමත් වේ. නිකිනි දැන් සිටින්නේ එතැන ය. 

ළමා ගෘහ භාණ්ඩ සඳහා මුදල් ගෙවූ නිකිනි ගුවනි ගෙන් සමු ගෙන බිනුරි බලන්නට ගියා ය. සෑහෙන කලකින් නිකිනි එහි ගොස් තිබුණේ නැත. පසු ගිය වතාවේ ඔබේසේකර මැදුරට විත් සිටියදී බිනුරි නිකිනි බලන්නට එහි ආවා ය.

“ඔන්න පුතේ පුංචාට ඔයාව මතක් වෙලා තියෙන කල්…”

බිනුරි ඈ පිළි ගත්තේ ම නෝක්කාඩුවකිනි.

“මගෙ චූටි මැණික දන්නවනෙ පුංචා ඔයාට කොච්චර ආදරේද කියල…නේ…”

“අම්මි කිව්ව අපි පුංචා බලන්න යමු කියල”

“ඇත්තද මැණික…හරි දැං පුංචා ආවනෙ. පුතා මේ ටෝයිස් වලිං සෙල්ලං කරන්නකො…ම්…”

පොඩ්ඩා ව මුළුතැන්ගෙයින් පිටත් කොට හැරි නිකිනි මේස පුටුවකට බර වූවා ය.

“මං එන්න හිටියෙ ගිහිං මංජුල අයියත් එක්කත් කතා කරන්න හිතා ගෙන. ඇයි අප්ප…මේක ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයිද….සැරෙන් සැරේ ඔයා ඔහොම ගෙදර එනකොට ඒකත් විහිළුවක් වෙනවනෙ අප්ප”

නිකිනි දිගු සුසුමක් හෙළුවා ය. කළලයක් ව සිටියදී සිට ම ඇයත් එක්ක ජීවිතය බෙදා හදා ගත්තා වී ද බිනුරි නිකිනි ට හාත්පසින් වෙනස් ය. බාහිර පෙනුමෙන් පමණකුදු නොව සිතනාකාරයෙන් හා ගති ගුණ අතින් ද වෙනස් ය. ඒ නිසා මංජුල හා ඇය අතර වන පෑහිය නො හැකි පරතරය ගැන කොතෙක් කීවත් බිනුරි වටහා නො ගනු ඇත.

“ආයෙත් යන්නෙ එන්නෙ දෙකක් වෙන්නෑ. ඒ හැම දේම එතනිං ඉවරයි”

“ඔයාට පිස්සුද නිකී…පප්ප කියන විකාර වලට කැමති වෙන්න එපා. මට ග්‍රැනී කිව්ව ඔය ගැන. පප්ප දැං වයසක මනුස්සය. ලෙඩිං ඉන්නෙ. කොයි වෙලේ ජීවිතේ නැති වෙයිද කියන්න බෑ. එහෙම එකේ ඔයා එයා කියන දේවල් කරන්න යන එක මෝඩ කමක්. අන්තිමට ඉතුරු වෙන්නෙ හස්බන් ට වයිෆ්. වයිෆ් ට හස්බන්…”

සිය නිවුන් සහෝදරිය වූවා ට ඇය කවදත් හිතුවේ සම්ප්‍රදායික රාමුවක සිට බව නිකිනි දනී. මංජුල හා විවා පත් වන ලෙස බල කරමින් නිකිනි පොළඹවා ලූවේ ද බිනුරි ය. 

“එයා හොඳයි. බෑ කියලනං කියන්නෙපා. කැම්පස් ලෙක්චරර් කෙනෙක්. ස්මාට්. සල්ලි තියෙනව. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති එකේ මංජුල ට අකමැති වෙන්න ඔයාට කිසිම හේතුවක් නෑ”

නිකිනි අකමැත්තක් හඟවන්නට තරම් හෝ උනන්දු නොවෙත්දී බිනුරි ඒ ලෙස ක්‍රියා කළේ නිකං ම නොවේ. ඩෙස්මන් ගේ අදහස වූයේ නිවුන් මිණිපිරියන් දෙදෙනා ව ම එක ම කාල වකවානුවක විවාපත් කරවීමයි. අකලංක ගේ ගෙදරින් විවාහය ඉක්මන් කරවත්දී බිනුරි ට ඕනෑ වූයේ පෙම්වතෙකු නැති නිකිනි ව කාගේ හෝ පතිණිය කොට යැවීමට ය.

සිය පෙම්වතා හා විවාහ වූ බිනුරි ඔහු ගේ ලෝකය සිය ලෝකය කර ගෙන ජීවත් වන්නී ය. අකලංක ගලක් පෙන්වා ඒ මැණිකකැයි කීවොත්, කිසිදු විමසීමකින් තොර ව ඈ ඒ මැණිකක් කියා පිළිගනු ඇත. 

ඒ වාගේ පතිණියක් වීම වාසනාවක් ද කියා නිකිනි දන්නේ නැත. නමුත් ඒ වාගේ වීමට ඇය ට නො හැකි බව නම් ඈ දනී.

“අනිත් එක මොකද්ද අප්ප අර විදත් අංකල් ගැන හදා ගෙන තියන කතාව. ඊයා හලෝ”

නිකිනි යටි තොල්පට සපා ගෙන බිම බලා ගත්තා ය.

“මොකටද ඒ මනුස්සය එක්ක කතා කර කර ඉන්න ගියේ. ඔයත් ඉඳල ඉඳල හලා ගත්තනෙ ගාබේජ් ට්‍රක් එකක් ම ඇඟේ”

කියන්නට දෙයක් නිකිනි ට සිහි වූයේ නැත. අනිත් අතට බිනුරි වාගේ හිතන කෙනෙකු සමගින් ජීවිතයේ ගැඹුරු සංවේදනා ගැන කතා කොට පලක් වන්නේ ද නැත. ඒ නිසා ම දොඩම් යුෂ වීදුරුවකින් සෑහී නිකිනි බිනුරි ගේ නිවසින් පිටමං වන්නට සූදානම් වූවා ය.

“මොකද අනේ…බත් ටිකක්වත් කන්නෙ නැතුව දුවන්න හදන්නෙ…මේ කාලෙකිං ඇවිත්…”

බිනුරි ගතු කීවා ය.

“වැඩ ගොඩක් තියනව අනේ…බුක් ශොප් එකේ වැඩ…”

නිදහසට කියන්නට කාරණයක් නිකිනි වෙත විය. ඇය සොයුරිය ගේ නිවසින් නික්මුණේ මින් පෙර කිසි දාක, ඔවුන් ගේ යෞවනයේ දී හෝ බිනුරි සමගින් විදත් ගැන ඈ සිත් හි වූ චමත්කාරය ගැන වදනක් නො බිනූ එක ගැන සැනසීමෙනි.

ඒ සන්ධ්‍යාවත් ගෙවී ගියේ විදත් ගෙන් කෙටි පණිවිඩයක් හෝ නොමැතිව ය. රෑ කෑමෙන් පසුත් නිකිනි හදවතේ ගැස්මක් තියා ගෙන බලා සිටියා ය. මදියම් රැය වන තුරුත් දුරකතනය නිහඬ ව නිසල ව පැවතියෙන්, තව දුරටත් ඉවසීව ප්‍රගුණ කරන්නට ඕ අසමත් වූවා ය. නිකිනි විදත් ට ඇමතුමක් ගත්තා ය. නමුත් කිහිප වරක් උත්සාහ කළ ද ඔහු ගේ දුරකතනය සම්බන්ධ කර ගත නො හැකි විය.

උදේ පාන්දර නෙතු හැරුණු ගමන් ඇය කළ මුල් ම කාරිය ඔහු ට ඇමතුමක් ගන්නා එකයි. නමුත් ප්‍රතිචාර ලැබුණේ පෙර දා රාත්‍රියේ පරිදි ම ය.

මහත් නිස්සාර මූසල බවක් නිකිනි ට දැනිණ. ඒ දවස බෙහෙවින් මළානිකයි කියා ඇය සිතුවා ය. පොත් සාප්පුව වෙත යන්න හෝ ඈ තුළ උනන්දුවක් නො වූයෙන්, ඕ යහනට වී සිටියා ය. උදේ කෑම කන්නයි කියා ගෙන ආ සුමනා ට හිසරදයක් ගැන පැමිණිලි කොට ඕ ඇය ව හරවා යැව්වා ය. හවසට පොත් හල වෙත එනවා කියන්නට කතා කළ ගුවනි ටද ඒ හිසරදය ගැන ම පැමිණිලි කළා ය. මානසික වශයෙන් ඇති ව තිබූ එය පහ් වෙත්දී සැබෑ හිසරදයක් වී ඇති බවක් ද නිකිනි ට දැනිණි.

දිවා ආහාර පවා නොගෙන නින්දට වැටී සිටි ඈ අවදි වූයේ කවුරුන් විසින් හෝ ඈ අවදි කර වූවා බඳු හැඟීමකිනි. ඕ නෙතු විදා වට පිට බැලුවා ය. කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. දුරකතනය ගෙන විදත් ගෙන් පණිවිඩයක් හෝ ඇත් ද කියා බැලුවා ය. එවැන්නක් නො විණ. හිත හයිය කර ගෙන ඕ නැවතත් ඇමතුමක් ගත්තා ය. දුරකතනය සම්බන්ධ කර ගත හැකි නො විණි.

නිකිනි යහනෙන් බැස්සා ය. කැඩපතින් ඈ දුටු ඇගේ දුක්මුසු ලෙඩ පාටක් විය. 

නිකිනි පිය ගැට පෙළ බසින්නට වූවා ය.

“මං නිසා ඇති වෙච්ච ප්‍රශ්නෙනෙ ආන්ටි. ඒක නිසා මට එහෙට වෙලා හිත හදං ඉන්න බෑ”

නිකිනි තිගැස්සී නතර වූවා ය. විදත් සෝෆාවෙහි වාඩි වී සුමනා සමගින් කතාවේ සිටියේ ය. ඔහු ගේ ඇස්, නිකිනි ගේ ඇස් වෙත පා ව ආවේ ඇය මේ සිහිනයක් ද කියා සිතමින් සිටිනාතර වාරයේ ය. ඇය තදින් ගරාදි වැට අල්ලා ගත්තා ය. ඒ ඇස් වල බිය මුසු කම්පනයක් සනිටුහන් වී තිබිණ. නමුත් විදත්, නිසන්සලේ දෑසින් ඇය සිප ගනිමින් සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles