නජිත්ටයි හිමේශාටයි නිවුන් දරුවන් ලැබුනා. දෙන්නාගේම අම්මලා මුල් මාස තුනේම නජිත්ලාගේ ගෙදර නැවතිලා දරුවන්ගේ වැඩ වලට උදව් කලා. ඒත් මාස තුනෙන් පස්සේ අම්මලා දෙන්නාටමම තවදුරටත් නජිත්ලා එක්ක රැඳෙන්න නොහැකි වෙන යම් යම් කාරණා තිබුණා. හිමේශාගේ නංගීට විදේශ ශිෂ්ඃයත්වය අනුමත වුන නිසා ඇය විදෙස් ගත වෙන්න නියමිතව තිබුනා. එහෙම ගියාම හිමේශාගේ තාත්තාව තනියෙන් ගෙදර ඉන්න එක ගැන හිමේශාගේ අම්මා හිත කලබල කරගත්තා. නජිත්ගේ අක්කාට හදිසියේම ස්තාන මාරුවක් ලැබිලා උදේ පහට කාර්‍යාල ප්‍රවාහන සේවා බසයට ගොඩ වෙන විදියට සැලසුම් කරගන්න වුනා. එතකොට නජිත්ගේ අක්කාගේ දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් නජිත්ගේ අම්මාට ආයෙම මහ ගෙදර යන්න වුනා. නජිත්ගෙ අක්කාගේ සැමියා උන්නේත් විදෙස්ගත වෙලා නිසා නජිත්ගේ පියාට අක්කාගේ දරුවෝ තුන් දෙනාවම සූදානම් කරලා ඉස්කෝලේ යවන්න පහසු වුනේ නැහැ.
අම්මලා ගියාට හිමේශා හෙමින් සීරුවේ වැඩ වලට හුරු වුනා. නජිත්ගෙනුත් අඩුවක් නොකියන සහයෝගයක් ලැබුනා. ඒ නිසා ඊළඟ මාස හයම කාගෙවත් උදව්වක් නැතිව වැඩ කටයුතු කලමණාකරණය කරගන්න දෙන්නාට ඉඩ ලැබුනා. වෙහෙස දැනෙන එක අඩු නැති වුනත් ටිකෙන් ටික උස් මහත් වෙන දරුවන් එක්ක ඒ වෙහෙස නිවා ගන්න දෙන්නටම පුලුවන් කම තිබුනා.
ප්‍රශ්නේ පටන් ගත්තේ නිවාඩු අවසන් වීගෙන එනකොට. දරුවන් බලාගන්න කාන්තාවක් දිනපතා ගෙඩ්දරට ගෙන්නගන්න එක තමයි දෙන්නාගේ පලවෙනි සැලැස්ම වුනේ. ඒත් බබාලා දෙන්නෙක් බලාගන්න එක අපහසු නිසා හොයාගන්න හැමෝම මඟෑරුනා. කාන්තාවන් දෙදෙනෙක් දරුවන් වෙනුවෙන් ගෙන්වා ගන්න එක නජිත්ලාගේ ආර්තිකය එක්ක එතරම් සුව පහසු වුනේ නැහැ. ඒ නිසා දෙන්නා තීරණය කලා ඊළඟ විකල්පයට යන්න.
“අපි බබාලව ඩේ කෙයාර් දානවා..”
දෙන්නගේම අම්මලා ඒආරංචිය එක්ක මහා කලබලේකට වැටුණා. ඒත් ඒ තීරණය වෙනස් කරවන්න දීර්ඝ කාලීන පිළිතුරක් ඔවුන් ලඟ තිබුනෙත් නැහැ. ඒ වගේම දිගින් දිගටම අම්මලාගේ ජීවිත වලට නිදහස නැති කරන්න නජිත්ලා කැමති වුනෙත් නැහැ. ඒ නිසා ඔක්තෝම්බර් අට වෙනිදා ඉඳන් හිමේශා වැඩට යනකොට බබාලා දෙන්නාව දිවා සුරැකුම් මධ්‍යස්තානයට ඇතුලු කලා.
සීසීටීවී කැමරා මඟින් දරුවන්ව බලන්න පහසුකම් සපයලා තිබුණ නිසාත්, හිමේශාගේ මිතුරියන් කිහිප දෙනෙකුගේම කුඩා දරුවන්ට එම දිවා සුරැකුම් මධ්‍යස්තානය ගැන යහපත් අත්දැකීම් තිබුන නිසාත් හැමදේම හිතේ කලබලයක් නැතිව සිද්ද වුනා.
ඒත් හිමේශාගේ හිතේ සැහැල්ලුව ටිකෙන් ටික නැතිව යන කතා ඇහෙන්න ගත්තා.
” අනේ මන්දා හිමේශා.. පොඩි උන් ඩේ කෙයාර් වල දැම්මම අම්මලාට නුහුරුම වෙනවා.. ඇයි ඉතින් ගෙදරින් පිට, පිට ගෑණු එක්කනේ වැඩිපුරම ඉන්නේ.. ඉතින් ලොකු වුනාමත් ගෙදරින් පිටමයි ඉන්න බලන්නේ…”
” ඔයා කොහොම කිරිසප්පයෝ ඩේ කෙයාර් දාලා එනවද කියලා මට තේරෙන්නේ නෑ… පවු දරුවො..”
ඇණුම් පද වෙනුවට හිමේශාට කෙලින්ම චෝදනා කරන කාර්‍යාල සගයො කිහිප දෙනෙක් උන්නා. හිමේශා නැති තැන් වලත් ඒ ගැන විවේචනය කරන බව ආරංචි වුනා.
” අපේ දරුවෝ නම් ලොකු වෙනකල්ම බැලුවේ අපේ අම්මලා.. ඒ අතින් අපේ අම්මලාට මල් තියලා වඳින්න ඕනි…..”
එහෙම කතා කියන කෙනෙකුත් හිටියා. හිමේශාට ඒ කිසිම කතාවකට පිළිතුරු බඳින්න හිතක් තිබුනේ නැහැ. ඒ වෙනුවට මේ කරන්නේ වරදක්, දරුවන්ට මේකෙන් වෙන්නේ නපුරක් කියන අදහස හිමේශාගේ හිතටත් එන්න ගත්තා.
” මම ජොබ් එකෙන් අයින් වෙන්නද නජිත් ?”
” එක පාරටම ?”
“බබලා ඩේ කෙයාර් දාන එක ගැන මගේ හිතට හරි නෑ….”
” හිමේශා.. එතන ප්‍රශ්නයක් නෑනේ…. අපේ බොස්ගේ බබාත් එතැන ඉඳලා තියෙන්නේ පොඩි කාලේ….”
” ඒක හරි ඇති .. මං කියන්නේ මගේ හිතට හරි නෑ..”
“ඔයාට එග්සෑම් එකක් අත ලඟ තියෙන වෙලේ, ඒ එග්සෑම් එක ගොඩ දාගන්න පුලුවන් ඉඩ හොඳටම තියෙන එකේ, මෙහෙම අත් හැරෙන්න දෙන්න ඕනි නෑනේ හිමේශා.. අනෙක බබාලා එහෙම ඩේ කෙයාර් තියන්න් වෙන්නේ උපරිම අවුරුදු දෙකයි ..ඊට පස්සේ ප්ලේ ස්කූල්, මොන්ටිසෝරි …”
“ඔය මොක කලත් දරුවාට අම්මගේ උණුසුම ලැබෙන්න ඕනි කාලේ ආදරේ නැති වෙන එක හොඳ නෑ නජිත් ..”
“ඉතින් දරුවෝ ආදරේ අඩුවක් නෑනේ.. අනෙක ආදරෙයි ලඟ ඉන්න එකයි එකට සමානුපාතික කරන්න බෑනේ….”
“මට තේරෙන්නේ නෑ….”
නජිත් හිමේශාට පැහැදිලි කරන්න උත්සාහ කලේඑ නෑ. ඒ වෙනුවට හිමේශාගේ හිත ම්ව්හ්ව්ම වෙන්න හේතුව කල්පනා කරා. විටින් විට හිමේශාට නොදැනෙන්න ඇගෙන් ඒ ගැන ඇහුවා.
“ඔෆිස් එකේ අය හරියට එක එක ඒවා කියනවා නජිත් .. එයාලා මාව දකින්නේ නරක අම්මා කෙනෙක් වගේ…”
නජිත්ට හැමදේම වැටහුනා. අඩු වයසින් හිමේශාට යන්න ලැබෙන උසස් තනතුර ගැන කාර්‍යාලයේ බොහෝ දෙනාට නොරිස්සුමක් තියෙනවා විය හැකි බව ඔහු හිතුවා. ඒත් ඒ හැන හිමේශාට පැහැදිලි කරලා ඇගේ හිත හදන විදිය ඔහුට පැහැදිලි වුනේ නැහැ. හිමේශා දවසින් දවස ඒ ගැන හිතමින්ම බිඳෙන්න ගත්තා. ඇය කොඋඉ විදියකින්වත් නජිත් ගේ පැඃඇදිලි කිරීම් වලට එකඟ වුනේ නැහැ.
අන්තිමේදී නජිත් හිමේශාව ලං කරගෙන වාඩි වුනා.
” මේක අහන්න හිමේශා…. මම වර්ක් ෆ්‍රොම් හෝම් වලට ශිෆ්ට් වෙන්න කතා කරගත්තා.. දැනට මාස හයකට … වර්ක් ශිෆ්ට් එක දවසින් දවස වෙනස් වෙන්නත් හදලා දෙන්නම් කියලා බොස් පොරොන්දු වුනා…. අපි බබාලා බලන්න ඇන්ටි කෙනෙක් එක්කන් එමු… මාත් ඉන්නවනේ.. එතකොට ප්‍රශ්නයක් නෑ….. බොස්ගේ බබා බලපු කෙනා එක්ක මම කතා කලා… දැන් එයා ගෙදර තනියම ඉන්නේ.. හස්බන්ඩ් නැති වෙලා.. වයස පනහකට කිට්ටුයි… එයා වීක් ඩේස් නවතින්නම උනත් කැමති …. විසිදාහක් ඇති කිව්වා කෑම බීම අපි දෙන නිසා…. අපිට විසි පහක් වුනත් දෙන්න පුලුවන් නේ.. මගේ කාර් එක එහෙමම නවතිනවා නේ ඔය වැඩෙන්..”
හිමේශා නජිත් දිහා බලාගෙන හිටියේ අදහගන්න බැරුව. නජිත් මිනිස් ඇසුරේ වැඩ කරන්න කොයි තරම් කැමති කෙනෙක්ද කියලා දන්න නිසා ඔහු මේ කරන්න යන දේ ඇයට හිතා ගන්න බැරි වුනා.
” අපි මේක හැමදාම කරනවා නෙවෙයි … මම මාස හයෙන් පස්සේ ආයෙම බලනවා විදියක්.. ඒත් ඔයා එග්සෑම් එකට සහ හිතේ සැහැල්ලුවට ෆෝකස් කරන්න ඕනි … “
හිමේශා නජිත්ගේ උරිස්සට වාරු වුනා.
“අනෙක දැන් ඊලඟට ඔයාගේ ඔෆිස් එකේ හිතවත්තු කියාවි මිනිහා ළමයි බලන්න නැවතිලා, ඒක මේක.. ඒවට කන පැලෙන උත්තර දෙන්න තරම් හයිය වෙන්නත් ඕනි ඔයා.. තේරුනාද?”
හිමේශා ඔලුව වැනුවා.
“මිනිස්සුන්ට ඕනි විදියට අපිට ජීවත් වෙන්න බෑ හිමේශා.. මම මේ සිද්දියෙදි මෙහෙම තීරණයක් ගත්තේ මට ඒකට ඉඩක් තිබුණ නිසා.. ඒම නොවෙන්න අපිට අපේ තිබුන ඔප්ශන් එකේම ඉන්න වෙනවා… කිරි දරුවෝ ආච්චිලාලඟ දාලා රට යන අම්මලා කියන්නේ ආදරේ නැති අය නෙවෙයි සමහරවෙලාවට .. දරුවන්ට වැඩියෙන්ම ආදරේ අය .. ඒ නිසා මීට පස්සේ විකාර කාන්තාවන්ට ඔයාගේ ඔලුව කන්න ඉඩ නම් දෙන්න එපා..”
දෙන්නම එකිනෙකා දිහාව බලලා හිනා වුණා.
ඒ අවුරුද්ද අන්තිමේදි හිමේශා පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ගණකාධිකාර තනතුරට පත්වීම ලැබුවා.
අපේක්ෂා ගුණරත්න