පීනසයෙන් වෙන බලපෑම අඩු කරගන්න මේ දේවල් හරියටම දැනගන්න

දැනටමත් පීනසෙන් පීඩා විඳින ඔබට මේ දවස්වල වැස්සත් එක්ක දැනෙන අපහසුතා දෙගුණ තෙගුණ වෙලා ඇති නේද? 

කන් කැසීම, නාසයෙන් නොනවත්වා හොටු දියර ගැන, ඇස් කැසීම සහ ඔලුවෙ බර ගතියක් එක්කම තවත් විවිධාකාර අපහසුතා ඇතිකරන්න හේතුවෙන පීනස කියන්නෙ ඇත්තෙන්ම එදිනෙදා වැඩකටයුතු වලට දැඩි බාධාවක් ඇති කරන තත්වයක්.

ඒ නිසාම පීනසෙන් ඇතිවෙන බලපෑම හැකිතරම් අඩුකරගෙන ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් කරගන්නෙ කොහොමද කියල ඔබව දැනුවත් කරන්න smart lady අපි තීරණය කරා. 

පීනස කියන්නෙ මොකක්ද? 

වාතයේ ඇති වෛරස්, බැක්ටීරියා වැනි හානිකර ආගන්තුක අංශු විවිධ ක්‍රම හරහා අපේ ශරීරයට ඇතුළු වුනාම අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඒවාට එරෙහිව ක්‍රියාත්මක වෙනව කියල ඔබ දන්නවනේ. 

ඒ ප්‍රතිචාර නිසා මේ ආගන්තුක අංශු වල හානිකර ප්‍රතිඵල වලින් අපේ ශරීරය ආරක්ෂා කරගැනීමේ හැකියාව ලැබෙනවා. 

ඒ තමයි ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාවලිය. 

නමුත්, සමහර අවස්ථා වලදී මේ සාමාන්‍ය ක්‍රියාවලියට එහා ගිහින් වාතයේ ඇති හානිකර නොවන ආගන්තුක ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වුනාමත් ඒවාට ප්‍රතිචාර දක්වන්න ප්‍රතිශක්තීකරණ පද්ධතිය කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පීනස (allergic rhinitis/ hay fever) තත්වය ඇතිවීම සිදුවෙනවා. 

ලෝක ජනගහනයෙන් 10% ත් 30 % ත් අතර පිරිසක් පීනසෙන් පීඩා විඳිනව කියලත් පර්‍යේෂණ වාර්තා වල සඳහන් වෙනවා. 

ඊළඟට අපි බලමු පීනස රෝගී ලක්ෂණ මොනවද කියල?

රෝග ලක්ෂණ

නොනවත්වා කිවිසුම් යාම

නාසයෙන් හොටු දියර ගැලීම

නාසය හිරවීම

නාසය සහ ඇස් කැසීම 

උගුරේ වේදනාව

කැස්ස

ඇස් යට අඳුරු කව ඇතිවීම

හිසරදය සහ හිසේ බර ගතිය

කන් පිරී ඇති ස්වභාවය සහ කන් කැක්කුම

තෙහෙට්ටුව 

ආගන්තුක අංශු වැඩි ප්‍රමාණයකට නිරාවරණය වූ විට පමණක් මේ තත්වයන්ගෙන් පීඩා විඳින පිරිස් වගේම වසර පුරාම මේ තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන් හඳුනාගන්නත් පුළුවන්. 

ඊළඟට අපි බලමු පීනස නිසා මේ රෝග ලක්ෂණ ඇතිවෙන්නෙ ඇයි කියල?

මෙහෙම වෙන්නෙ කොහොමද? 

අපේ ශරීරය ආසාත්මිකතා වලට මුහුණ දීමේදී ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන ස්වභාවික රසායනික ද්‍රව්‍යයක් වෙන හිස්ටමීන් නිපදවීම සිදුකරනවා. 

මේ රසායනිකය නිසා නාසයෙන් හොටු දියර ගැලීම, ඇස් කැසීම සහ කිවිසුම් යාම ආදී රෝග ලක්ෂණ ඇතිවීම සිදුවෙනවා. 

මෙලෙස ආසාත්මික වෙන ආගන්තුක අංශු අතර, 

මල් වල පරාග,

මකුළුදැල්, 

තෘණ වර්ග වල පරාග,

දූවිලි,

ලී කුඩු,  

දූවිලි මයිටාවන්,

සත්ව අපද්‍රව්‍ය, 

සතුන්ගේ රෝම, 

පුස් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. 

ඔබට දැනට පීනස නැතිවුනත් පීනස තත්වයන් ඇති වීම සඳහා අවදානම් සාධක මොනවද කියල අපි ඊළඟට බලමු. 

අවදානම් සාධක 

පීනස සහිත පවුල් ඉතිහාසය, 

සිගරැට් දුම, 

රසායනික ද්‍රව්‍ය,

සීතල දේශගුණය,

පරිසරයේ ආර්ද්‍රතාව,

සුළං,

වාත දූෂණය,

Hair spray,

සුවඳ විලවුන් සහ කොලෝන් වර්ග, 

පීනස ඇති කරන්නත් ඇතිවී ඇති පීනස තත්වයන් තවත් නරක අතට හරවන්නත් හේතු වෙන්න පුළුවන් නිසා මේ අවදානම් සාධක වලින් ඈත්වී සිටීම වඩා යහපත් බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

ප්‍රතිකාර

ඉතිං, මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනව නම් හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

වෛද්‍ය ප්‍රතිකාර නිසිපරිදි ලබාගන්නා ගමන්ම පීනසෙන් ආරක්ෂා වෙන්න එදිනෙදා ජීවිතයේ ඇති කරගන්න පුළුවන් සරල වෙනස්කම් අනුගමනය කිරීමත් ඉතාමත් වැදගත්. 

ඒ අතර,

දූවිලි, පරාග, ලී කුඩු වැනි ආගන්තුක අංශු වාතයේ වැඩිපුර අඩංගු විට ඒවාට නිරාවරණය නොවී හැකිතරම් ගෘහස්තව කාලය ගත කිරීමත්, එළිමහනට යන විට මුඛ ආවරණ පැළදීමත්, නිවසේ දොර ජනෙල් වසා තැබීමත්,

එළියට ගොස් නිවසට පැමිණ හැකි ඉක්මණින් පිරිසිදු වීමත්,

කම්හල් සහ වැඩබිම් ආශ්‍රිතව සේවය කරන විට නාසය සහ කට ආවරණය කරගැනීමත්, 

පාපිසි, ඇඳ ඇතිරිලි, කොට්ට ආවරණ, ජනෙල් තිර රෙදි, මදුරු දැල් ආදිය නිසි පරිදි සෝදා වේලාගැනීම වගේම

ඔබේ සුරතලුන් නිසි පරිදි පිරිසිදු කිරීමත් ඉතාම වැදගත්. 

අද ලිපියෙන් ඔබ ලබාගත්ත මේ දැනුවත්භාවය අද වගේම ඉදිරියටත් ඔබට වගේම ඔබේ ආදරණීයයන්ට පීනසෙන් ඇතිවෙන බලපෑම අවම කරගන්න උදව් වෙයි කියල අපි විශ්වාස කරනවා. 

එහෙනම් මේ වගේම තවත් වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා   

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles