“කෝසල වැටුණයින් හරි ප්‍රශ්නෙ නේද උනේ?” කියා මොන්ටිසෝරියේ ලොකු නෝනා අහද්දීත් සිසිමාධවී කලේ යාන්තමට හිනාවෙච්ච එකය. දැන් ඉතින් මේ ප්‍රස්නෙට ජීවිතයේ බොහෝ කාලයක් යනතුරු උත්තර දෙන්නටත්, මෙලෙසින්ම යාන්තමට හිනවෙන්නටත් වන බව සිසිමාධවී දනී. ඉතින් කරන්නට දෙයක් නැත. මේ තමන් පෙර ආත්ම වල කල දේවල් වන්නට හැකිය.
“මං ඒකමයි මේ ආවෙත් මැඩම්”
“ඒකත් බලන්නකො, අපි වේකන්සිය දාලා කොච්චර කල් කෙනෙක් නැතුව හිටියද? කෙනෙක්ව අරගෙන දවස් දෙකකින්මනෙ මාධවීත් ආවෙත්. අපරාදෙ, ඇත්තටම අවුරුදු ගාණක් ඉඳල දන්න කෙනා හන්ද මම කැමති මාධවීව ගන්න පුලුවන් නම්.ඒ වුනාට දැන් අර අනිත් ළමයට ආයෙ එන්න එපා කියන්න පුලුවන්කමක් නෑනෙ. පුලුවකමක් තිබුණා නම්”
“අනේ මැඩම්, එහෙම කරන්න ඕන නෑ. ඒ මනුස්සයත් නැතිකම හන්දනෙ රස්සාවකට එන්නෙ. මට කන්න බොන්නය කියල ඒ මනුස්සයගෙ රස්සාව උදුරගන්න එක තව ආත්ම ගණක් මට විඳවන්න වෙන වැරැද්දක් වෙයි. මැඩම්ට වෙන තැනක හරි මොකක් හරි රස්සාවක් හම්බු උනෝතින් මට දැනුං දෙන්නකො ඒ හොඳටම ඇති” කියා සිසිමාධවී නික්මුණේ අතේ ඇති කුඩා දුරකතනයේ අංකය්ද එතුමිය අත තබාය.
ඉන්පසුව ගෙවුණ දින කීපය පුරාවටම කෝසලගේ අම්ම දුන් යමකින්ද, කෝසල විසින් මාස් පතා දුන් මුදලෙන් ඉතිරි කරගත් සොච්චමකින්ද හාල් තුනපහ අරගන්නට සිසිමාධවී කටයුතු කරාය. එහෙත් ඒ දින ගෙවුණේ ඉස්සරහට එළඹෙන දවස් ගැන අවිනිශ්චිතතාවයකින් යැයි කියන්නට නොහැක. සිසිමාධවී නොපෙන්නුවාට උන්නේ පුදුමාකාර බියකිනි. හිතට සහනයක් එන දුන් එකම කාරණාව තමන්ගේම කියා හිසට වහලක් තිබීම පමණකි. එහෙත් දරු දෙදෙනාත් කෝසලත් එක්ක ජීවත් වෙන්න ඒ ප්‍රමාණවත් නොවන බව සිසිමාධවී නොදැන උන්නා නොවේ. දරුවෙකුට දෙමව්පියන්ගේ උදව් උපකාර අවශ්‍ය වන්නේ මෙවන් මොහොතක බව සිසිමාධවී නොසිතුවා නොවේ. එහෙත් එය කරන්නට හැකියාවක් තිබුණේ නැත. අම්මාත් අයියාත් ගොස් තිබුණේ තමා සමග තිබූ සියලුම බැඳීම් ලෙහා දමාය. ඔවුන් ඉන්නේ කොහේද? කුමක් කරන්නේද කියා පසුගිය අවුරුදු ගාණටම සිසිමාධවී දැන උන්නේ නැත.
“තාත්තා ඇයි අම්මෙ හැමතිස්සෙම නිදාගන්නෙ?”
චනුක ඇවිත් අහද්දී සිසිමාධවී ඇත්ත කියාගන්නට බැරුව හිමින් සැරේ කඳුලු චනුකගේ කිරි සුවඳ විහිදෙන කෙස් ගස් අස්සේ හැංගුවාය.
“තාත්තට සනීප නෑනෙ පුතේ”
“ඇයි ඒ?”
“තාත්තා ගොඩක් මහන්සිවෙන නිසා සනීප නැති වෙලා”
ඉන්පසුව චනුක කිසිවක් ඇසුවේ නැති නමුත් සිසිමාධවී උන්නේ හිතින් අඬමිනි. තමා මෙසේ අසරණ වේයැයි අදහසක් කිසිදිනක හිතේ තිබුණේ නැත. කෝසල සමග පැන එද්දී වුව කුමන දුකකට මුහුණ දෙන්නට වුනත් ඔහු තමා ලඟින් හයියක් වී හිඳින බව දන්නා නිසාම සිසිමාධවී ජීවිතය ආ හැටියට භාරගත්තාය. ඒ කෙදිනක හෝ මෙසේ අසරණ වන්නට වේයැයි කිසිත් අදහසක් හිත ඇතුලේ නැතුවය. එවන් අසරණ මොහොතක කල යුත්තේ කුමක්දැයි අදහසක් නැතුවය.
“මොනවහරි වැඩක් හම්බුනාද ළමයො?” කියා පුශ්පලතා ගෙට ගොඩවුනේ ඇත්තටම හිතේ මහ බරක් තබාගෙනය. ඒ කෝසල තමන්ගේ පුතා හන්දාම පමණක් නොවේ. ඉස්කෝලෙ කැන්ටිමේ උයන රාජකාරිය තිබියදීත්, මාසෙකට වැටුපක් අතට එද්දීත්, කෝසලගේ පියා නැති වූ කාලයේ දරුවන් දෙදෙනෙකු උස්මහත් කරගන්නට තමා වින්ද දුක පුෂ්පලතාට අමතක නැත. එහෙම පඩියක් හම්බුන, මෙතරම් බඩු මිල ඉහල නැති කාලය තමා වින්ද දුක් රස්සාවක් නැති සිසිමාධවීට අද විඳින්නට වෙන්නේ දෙගුණ තෙගුණ වී බව සිතද්දී පුෂ්පලත ඇත්තටම සිසිමාධවී ගැන දුක් වුණාය. චනුකත් දෙව්මිත් ගැන දුක්වුණාය. සිසිමාධවී තම පවුලේ අය කියු අයෙකු හා විවාපත් වූවානම් මෙවන් මොහොතක් උදා වුවද ඇයට තමන්ගේ කියා පරිවාර සේනාවක් හිඳිනු ඇතැයි සිතා දුක්වුණාය.
“ඔහෙ නෑ අම්මෙ. පීරිස්ලගෙ ගෙවල් ලඟ මොන්ටිසෝරියටත් ගිය සතියෙ ගෑණු කෙනෙක්ව අරගෙන. එහෙ යන්න තිබුණා නම් හොඳයි. ඒත් ඉතින් මං යද්දි ඒ මනුස්සයව අරගෙන ඉවරයිලු”
“බැරිවෙයිද මුකුත් කතාබස් කරල ඔය ළමයට එතන වැඩට යන්න?”
“අනේ අම්මා අපිත් මේ කාලා බීල ඇඳල ඉන්නෙ කොහොමද කියල තැවෙද්දි තව අසරණ ගෑණියෙක්ගෙ බඩගෝස්තරේට විදින්න බෑනෙ. මම ලොකු මැඩම්ට කියල ආවෙ වෙන තැනක හරි රස්සාවක් හම්බ උනොත් මට ඉක්මනට දැනුං දෙන්නය කියල”
“බලමුකො, පුලු පුලුවං හැටියට මමත් උදව්වක් කරන්නම්කො. මං මේ කියන්න ආවෙ අක්කව එදා බලන්න ආව මනමාලය කැමතිය කියල දන්නල එවල. හැබැයි කැන්දන් යන්නෙ නෑලු. රස්සාව කරන්නෙ මේ අහල පහල හන්දා ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා මෙහෙ ඉන්න පුලුවන් වෙයි කියල”
පුෂ්පලතා එසේ කියා සිනාසුණේ නෝංජල්වය. හරිනම් මහ ගෙදරක හිමිකාරිත්වය ලැබිය යුත්තේ පුතට යැයි මිනිස්සු විශ්වාස කරද කෝසල කවදාවත් මහගෙදර ලැබේවියැයි බලාපොරොත්තුවක නොවුන් වග සිසිමාධවී දනී. කෝසල කුඩාවට හෝ හැකි පමණින් මේ ගෙදර බිත්ති උස්සා වහල ගැසුවේ ඒ නිසාමය. තමන්ගේම කියා තැනක් තිබීම අස්වැසුමක් වන බව දැන හුන් නිසාය. අද කුඩාවට හෝ සැනසුමෙන් හිඳින්නේ ඒ නිසාය. කන්නට නැතත් වැටී ඉන්නට හෝ තැනක් තිබෙන හන්දාය.
කෝසල හෙමින් සැරේ ඇවිදගෙන කුස්සිය දෙසට ආවේ අම්මාගේත් සිසිමාධවී ගේත් කටහඬ ඔස්සේ මග අසාගෙනය. ගෙවුණ දින කීපයට කෝසල වේලුණ දර ඉපලක් මෙන් වී ඇති බව පුෂ්පලතා ගේත් සිසිමාධවීගෙත් ඇසට හසුවුණද කිසිවෙකුත් ඒ ගැන යමක් දෙඩුවේ නැත. අනික කිව්වාය කියා කුමක් කරන්නද?
“මං මේ කිය කිය උන්නෙ අක්කගෙත් කටයුත්ත හරිය කියල පුතේ” පුෂ්පලතා ආයෙම වරක් කෝසලට ඇහෙන්නට ඒ වදන කියමින්ම සිසිමාධවී සුද්ද කරමින් උන් ගෝවා කෑල්ලේ තිබූ කහ ගැහී වේලිච්ච උඩ කොටසේ කැබැල්ලක් මිදුලේ හුන් කුකුලන් වෙතට විසි කර දැම්මාය. “කොක් කොක්” ගාමින් වේලුණ ගෝවා කැබැල්ල උස්සාගෙන ගිය කිකිළියක පිටිපස්සේ කෝසල බොරපාට වුණ තමන්ගේ දෙනෙත් යැව්වේය.
“හොඳයි අම්මෙ, තව වයස යවන්න කලින් අක්ක එකලාසයක් කරානම් අම්ම නිදහස්” කියා කෝසල කිව්වේ ජීවිතයේ සියලු දේ අත හැරිය මුණිවර හඬකිනි. සිසිමාධවී හැංගුවාට, නොකිව්වාට ඇයව බියපත් කරන කාරණා අතර තමන්ගේ හිත රහසෙන් කියන්නට හදන, ඇඟ වේදනා දිදී කියන්නට හදන බරපතල, බයංකාර ඇත්තක් තිබෙන බව කෝසල විශ්වාස කළේය.
රාත්‍රියේ නින්දට ගොස් දෙනෙත් පියාගෙන බොහෝ වේලා ඇහැරගෙන හිඳින්නට උත්සහ කරන්නේ ආයෙමත් හෙට දිනක හිරු පායන අන්දම දකින්නට තමාට වරම් නොමැති වනු ඇතැයි යන බිය නිසා බව දැන උන්නේ තමා පමණකි. ඒ සිසිමාධවී එක්ක කතාබස් කරන්නට නොහැකි එහෙත් දෙදෙනාම හොඳින් දන්නා කාරණාවක් බව කෝසල දැන උන්නේය. නොඑසේනම් හිත එසේ කිව්වේය. ඒ මුණිවර හඬ,නිවීම ආවේ ඒ යතාර්තය හෙමින් සැරේ පිළිගන්නට හිතත්, මනසත්, සිරුරත් කටයුතුකරමින් උන් නිසාවෙනි.
“කටයුත්තක් කරල දෙන්න පුලුවන් උනා කියල කොහොමද දරුවො අම්ම කෙනෙක්ගෙ හිතෙන් දරුවෙක් ගැන තියෙන ගින්දර අයින්වෙන්නෙ? ජීවත්වෙලා ඉන්නකම් අම්මල කරන්නෙ ඉතින් පුලුවන් විදියට දරුවන්ගෙ ගින්දර නිවන්න හදන එක නේන්නං” කියා පුෂ්පලතා කිව්වේ මෙවන් වටපිටාවක, මෙවන් පරිසරයක ගැහැණියකගෙන් අහන්නට නොලැබෙන අන්දමේ බරසාර බවකිනි. ඒ වදන් අස්සේ සිසිමාධවී මෙතුවක් කාලයක් නැන්දම්මා තුළින් නොදුටුව අම්මෙකුගේ වේදනාව දුටුවාය.
“ඒ මනුස්සය මෙහෙ බින්න බහින්න බලං එන්නෙ පුතේ, මං මේ ඒත් මේ ළමයට කිය කිය හිටියෙත් ඒ විත්තිය”
“මක්වෙනවද ඉතින්? අම්මයි අක්කයි විතරනෙ ඔය ගෙදර ඉන්නෙ”
“අනේ මන්දා ඒ උනාට, ඒ ලමය රස්සාවට යන්නෙත් මේ කොළඹම හන්දාලු බින්න බහින තැනක් හොයන්නෙ. නැත්තම් හොරණ පැත්තෙ හොඳට ඉඩකඩම් වතුපිටි හෙම තියෙන මිනිස්සුලු”
“අක්කයි ඒ මනුස්සයයි දෙන්නම රස්සාවකරන එකේ මනුස්සයගෙ වතුපිටි ඉඩ කඩං ඉතින් අපිට මොකටද අම්මෙ? මහගෙදර අම්මගෙ තනියට අක්කයි තව පිරිමියෙකුයි ඉන්න එකම හොඳයිනෙ අම්මෙ”
කෝසල එසේ කියා මද ඉස්පාසුවක් ගත්තේ කැස්සක් ආ නිසාවෙනි.
සිසිමාධවී උන්නේ ගෝවා ගෙඩිය හීන් තීරුවලට ලියමිනි. තෙල් ටිකකට ලූණු ටිකක්, තක්කලි ටිකක්, කරපිංචා ටිකක් කපා දමා ගෝවා කෑල්ල එක්කම හාල්මැස්සන් ටිකක් තෙල් දමා ගත්විට පරිප්පු ටික හදාගත්තා නම් ඇති වග සිසිමාධවී සිතුවාය. ඔක්කොටම වඩා හිතට පහසු දරුවන් දෙදෙනා මොනව දුන්නත් කන එකය.
පුෂ්පලතා උන්නේ කෝසල කියූ දෙය අසමිනි. කෝසල කොහොමත් ඉස්සර හිඳම කිසි දෙයක් බලෙන් ලබාගන්න උත්සහ කල එකෙකු නොවේ. තාත්තා මිය ගියායින් පසු වැඩි දුර ඉගෙනීමකට තිත තියූ කෝසල පුලුවන් කාලයෙ හිඳම තමන් කැන්ටිමේ උයා පිහා අරගෙන එන සොච්චමට සම්මාදම් වෙන්න ගැරජ් වල වැඩට ගිය බව පුශ්පලතාට අමතක නැත. මහගෙදර ලිවිය යුත්තේ කෝසල නමට බව දන්නවා වුවද උත්පලාට දෙන්නට වෙන දෑවැද්දක් ද නැත. රස්සාවෙන් එක්කහු කරගන්න කීයකින් හෝ රත්තරන් බඩුවක්වත් හදාගත්තේ උත්පලා තනිවමය.
” අම්මා ඔය කටයුත්ත පස්සට දාන්න එපා. අක්කත් එන්න එන්න තරුණ වෙන්නෙ නෑනෙ.
මොන දේ උනත් තව පිරිමියෙක්ගෙ හයිය අපෙ ජීවිතවලට වැටෙනවනම් හොඳයිනෙ අම්මෙ. කවුද දන්නෙ මට තව කී කලක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද? එහෙම දවසක මේ පවුලට පිරිමියෙක් කියල කෙනෙක්ගෙ හෙවණැල්ලක් තියෙන්න ඕන”
ඇස් අස්සෙන් පිටපනින්න වෙරදරන කඳුල සිරකරගනිමින් කෝසල එසේ කියද්දී ගෝවා කැබැල්ල කපමින් උන් පිහිය එතනම අතැර දමා සිසිමාධවී දෑතින්ම මුහුණ වසාගෙන බොහෝ වෙලා හැඬුවාය.
කුස්සියේ හිඳ එළියට බහින මැට්ටෙන් කල පඩියට අඩියක් තබා බිත්තියට හේත්තු වූ පුෂ්පලතා ඇහැට ඉනූ කඳුල හවුස්කෝට් අතෙන් පිස දමමින් නාසය උඩට ඉරුවාය.