මවක වන තුරු..

“තේරුමක් නෑ…”

ඒ පණිවිඩය ගිහාන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා.ඇඳට වැටිලා අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට නෑ.ප්‍රමාදය කාටවත් සතුටක් නෙවෙයි.ඒත් මම හිටියේ සතුටින්.

මේ වතාවේ මගේ ඔසප් වීම සතියකට පරක්කු වුණා.

ඒක මොනතරම් සතුටක් ද? මම අපේ පුංචි පැටියා යවන පාසල පවා තීරණය කරන තරම් සිහින වල කිමිදෙමින් හිටියේ.

ඒත් රතුපාට කියන්නේ ලෝකයේ තියන නරකම පාට වග මට ආයේම උගන්වමින් එයා යන්න ගියා.මේ කීවෙනි වතාවද? බලාපොරොත්තු කඩවීම මහ නරක දෙයක් කියලා මං තේරුම් ගනිමින් හිටියා.

හිත හදා ගැනීම ලේසි නෑ.මම ඒකට සතියකටත් වඩා නාස්ති කළා.ඒත් බලාපොරොත්තු ඉටු වෙන්න ඉටුවෙන්න තව කොයි තරම් කාලයක් යයිද කියන එක මම දන්නෙ නෑ.කාලය වේගයෙන් ගෙවිලා යනවා.ඒත් බලාපොරොත්තු එක තැනක හිරවෙලා.

“අපි හිත හදාගමු” අන්තිමේදී ගිහාන් එහෙම කිව්වා.මම හිත හදා ගන්න පටන් ගත්තා.ගිහාන් ගේ අම්මා අපේ ගෙදර ආවේ ඒ සති අන්තයේ.

“මෙහෙටම ආපු ගමනක් නෙමෙයි.මං අපේ චාන්දනී ගේ දුව බලන්න ආවා..” ගිහාන්ගේ අම්මා කියන්නේ බෑග් එකෙන් ගත්ත පාර්සලයක් මං අතට දෙන ගමන්.

“ඒ දරුවාට කෑම හදාගෙන ආවා.දෙවෙනි පාරටත් අම්මා කෙනෙක් වෙන්න යනවානේ..”

ඒක සාමාන්‍ය ආරංචියක් තමයි.ගිහාන්ගේ අම්මා මගේ මූණ දිහා බලලා වචන බර කරලා නොකීවානම්! අම්මා දන්න කිහිප දෙනෙක්ම මේ වෙනකොට ගැබිනියෝ කියලා අපි විනාඩි කිහිපයක් ඇතුලත දැනගත්තා.

“හිතවත් අය කාටත් බබෙක් හම්බෙන්න ආවම මං පුළුවන් රහට කෑම හදලා දෙනවා.මගේ එකෙක්ට හදලා දෙන්න පින නැති වුණාට..”

උගුර ලේ රහ වෙනවා මට දැනුණා.ගිහාන් අම්මගේ එකම පුතා තමයි.ඒත් අම්මට එහෙම දෙයක් නොකියා ඉන්න තිබුණා.මං ගිහාන් දිහා බැලුවේ අසරණ වෙච්ච මූණකින්.

“බලමුකො අම්මේ.අම්මා ඔය කරන පින් පල දුන්නොත් අම්මටත් මුණුබුරෙක් ලැබෙයි..”

ගිහාන්ටත් එහෙම කතාවක් නොකියන්න තිබුණා.මේක අපේ පව කියලද එයා කියන්නේ? මේ වේදනාව විඳින්නේ අපි දෙන්නම එකට.මේක අපි දෙන්නගෙම වේදනාව.ඒත් එයා කතා කරන්නෙත් කලකිරීමෙන්.

එදා හැන්දෑවේ මං මගේ අම්මට කතා කලේ දුක ටිකක් නිවාගන්න.එතනිනුත් මගේ දුක වැඩි වුණා විතරයි.

“ඒ මනුස්සයත් සාධාරණයි පුතේ.මං උනත් කොච්චර ආසයිද ඔයාගේ දරුවෙක් දකින්න.”

මගේ අම්මා එහෙම කියනවා.මේවා මොන තරම් හිත රිදෙන කතා ද? එයාලා මුණුබුරෝ දකින්න ආසා තරමට වඩා මම අම්ම කෙනෙක් වෙන්න ආස නැද්ද?
මාස නමයක සුන්දර වේදනාව විඳගන්න ආස නැද්ද? පුංචි පැටියෙක් ඇස් ඇරලා මං දිහා බලන පළමු බැල්ම දකින්න ආස නැද්ද?

මමත් ආසයි.මමත් හීන දකිනවා.ඒත් මගේ ශරීරය මගේ හීනයට ඉඩ දීම තරයේ ප්‍රතික්ෂේප කරනවා.

“අපි වෙන ඩොක්ට කෙනෙක් මුණ ගැහෙමු..”

මං ගිහාන්ගෙන් ඉල්ලුවා.තව ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම අපට පිහිට වෙන්න මඟ බලාගෙන ඉන්නවා කියලා මං විශ්වාස කරනවා.මෙච්චර විද්‍යාව දියුණු ලෝකෙක මට පැරදෙන්න බෑ.

“හංසි, ඔය ට්‍රීට්මන්ට්ස් ලේසි නෑ..”

ගිහාන් කියන්නේ කරුණාවෙන්.හිතේ වේදනාව ආදරය පරද්දන්න වෙලාවට වචනවලට සීමාවක් නැති වුණත් එයා ඉන්නේ මම ගැන දුකින්.අපේ ඉරණම ගැන වේදනාවෙන්.

“මම කියන්නේ සල්ලි ගැන නෙමෙයි.ඔයා ඔය ට්‍රීට්මන්ට්ස් හින්දා දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ..”

මම ගිහාන්ගේ අතක් තදින් අල්ලා ගත්තා.මේ අවුරුදු අටකට කලින් මට ආදරේ බව කීව යෞවනයාගේ පරණ නොවුණු ආදරය බව මම දන්නවා.අවුරුදු පහක් තිස්සේ දුක සැප බෙදා ගන්න ආදරණීය සැමියාගේ නිකැලැල් ආදරය බව මම දන්නවා.ඒත් සටනක් කරන්න මේ ආදරය හොඳටම ප්‍රමාණවත් බවත් මම දන්නවා.

“මේ අපහාස ඊට වඩා දුකක්.මට ඕනෙම දුකක් ඉවසන්න පුළුවන්..මේ හැමෝගෙම වචන වල සැර උහුලන්න බෑ..”

මම එතැනින් එහාට කතා කළේ නෑ.කඳුළු මට කලින් කතා කරන්න පටන් ගත්තා.ඉකිගහ ගහ අඬන මං තුරුළු කරගෙන ගිහාන් බොහෝ වෙලාවක් හිටියා.

“අම්මලා තාත්තලා අපි විභාග පාස් වෙනකම් බලාගෙන ඉන්නවා.රස්සාවකට යනකන් බලන් ඉන්නවා.ඊට පස්සේ හොඳ කසාදයක් කරගන්නකම් බලන් ඉන්නවා.ඊටත් පස්සේ එයාලට ඕන ආච්චිලා සීයලා වෙන්න..එයාල ඔයාගේ හිත රිද්දන්නේ හිතාමතා නෙවෙයි.ඔයාව රිද්දවන්න හොඳ නෑ කියන එක අමතක වෙලා එයාලගේ ආසාවල් ඉස්සර වෙනවා..”

මගේ හොඳම මිතුරිය අශානි දවසක් කිව්ව හැටි මට මතක් වෙනවා.අම්මලා තාත්තලා අපි ගැන බලන් ඉන්නවා.හීන මවනවා.ඊටත් පස්සේ අපේ දරුවන්ට ආදරය කරන්න එයාලට ඕනෑ වෙනවා.දරුවන්ට තියන අසීමිත ආදරය,බැඳීම කියන්නේ අන්න ඒක වෙන්න ඇති.බලාගෙන යනකොට මාත් දඟලන්නේ ඒ බැඳීමට හිරවෙන්න නෙවෙයිද?

“සමහර බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න අපිට එක ජීවිතයක් මදි හංසි..”

ගිහාන් එහෙම කියන්න පුරුදු වුණා.මාත් ඒ දේ දන්නවා.ඒත් මගේම ශරීරය මගේ ලොකුම සිහිනයට එරෙහි වන එක මට දරා ගන්න අමාරුයි.

“වඳ ගෑනු..” ඒක මොනතරම් කැත ලේබලයක් ද? සමහරු මූණටමත් සමහරු හොරෙනුත් මට එහෙම කියන බව මම දන්නවා.

“දරුවෙක් හැදෙන එක ගෑනු 90% ක ට විතර ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්.තමන්ගේ ජීවිතේ එකම ජයග්‍රහණය ඒක කියලා හිතාගෙන ඔයාව රිදවන මිනිස්සුන්ට හිනා වෙන්න ඉඩ තියන්න එපා.එයාලගේ එකම දිනුම දරුවා උනාට ඔයා මේ අවුරුදු තිස් දෙකට ආපු දුර ඕනෑවටත් වැඩියි..”

අශානි දවසක් මට සැරෙන් කිව්වා මට තාමත් මතකයි.ඒත් තමන්ගේ එකම දිනුම මගේ රිදවීම වෙනුවෙන් පාවිච්චියට ගන්න අය දවසින් දවස වැඩිවෙමින් ඉන්නවා.

ජීවිතේ අපිට දෙන දේට වඩා නොදෙන දේවල් වැඩියි.සටන් කරලා දිනාගන්න පුළුවන් දේ තියෙනවා තමයි.ඒත් සමහර වෙලාවට සොබාදහමට පරදින්න අපට සිද්ධ වෙනවා.මම තවම මම පරාදයි කියලා හිතන්න කැමති නෑ.නොනවත්වාම ප්‍රතිකාර ගනිමින් මම මඟ බලනවා.

රතු ඉරි දෙකකට ආශ්චර්යය මගේ ඇස් ඉස්සරහට ගේන්න පුලුවන් දවසක් එයි.
එදා වෙනකම් මම මඟ බලනවා.

More Stories

Don't Miss


Latest Articles