වරුණිට අවුරුදු විසි නවයයි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය අවසන් කරාට පස්සේ වරුණි රැකියා විරහිත උපාධිධාරී කොටසට වැටුණා. වරුණිගේ තාත්තා පාරම්පරික වී ගොවියෙක්. අම්මා ගෘහණියක්. වරුණිට බාල මල්ලී ලා දෙන්නෙක් හිටියා.
වරුණිගේ උපාධියේ වැඩ කටයුතු වෙනුවෙන් වරුණිගේ තාත්තා අසීමාන්තිකද වෙහෙසුණා. තාත්තා හිතාගෙන හිටියේ උපාධි ප්‍රධානෝත්සවයට පස්සේ, වරුණිට රැකියාවක් ලැබේවි කියලා.
” මං හිතුවේ ඒකි රස්සාවක් කරලා කොල්ලෝ දෙන්නාගේ වියදම් බාගයක්වත් බලාවි කියලා … ඔය කියන හැටියට ලොකු එක්කෙනාට රස්සාවක් ලැබෙන දවසක් ගැන විස්සාසයක් නෑ නොවැ ? ..”
තාත්තා වෙලේ ඉඳලා ඇවිල්ලා අම්මත් එක්ක එහෙම කියනවා ඇහුනම වරුණිගේ හුස්ම හිර වුණා. වරුණි කාමරේට ඇවිල්ලා ඇඳේ උඩු බැලි අතට හාන්සි වුණා. අවුරුදු හතරක් තිස්සේ තිබුණ ලස්සන බලාපොරොත්තු වල වටිනාකමක් නෑ වගේ කියලා වරුණිට හිතෙන්න පටන් ගත්තා.
වරුණි මුහුණු පොත දිගේ එහෙ මෙහෙ ගියා. වරුණිගේ යාලුවෝ උපාධි ලැබීමේ සතුට සමරන සාද වල පින්තූර දාලා තිබුණා.
වරුණි ඒ හැම පින්තූරෙකටම ආදර සලකුණු එකතු කරගෙන ගියා.
ඒ අතරේ තමයි ජිත්මික වරුණිට ඇමතුමක් ගත්තේ.
” මගේ ගෑණු ළමයා මොකෝ කරන්නේ ?”
” මුකුත් නෑ…”
ජිත්මික ට ලැබුණේ බිඳුණු පිළිතුරක්.
” මොකෝ උනේ .?”
ජිත්මික උනන්දුවෙන් ඇහුවා. වරුණි කලේ නිකම්ම හුස්ම බින්ද එක. ජිත්මික ආයේ ආයෙම වරුණිව ප්‍රශ්න නොකර අහගෙන විතරක් හිටියා.
” තාත්තා පවු ජිත් … “
වරුණි මුල ඉඳන්ම සිදුවිම කිව්වා. ජිත්මික ට ඒ කතාවේ බරසාරකම හොඳටම වැටහුණා. මොකද , ජිත්මිකගේ ගෙදර ත් තිබුණේ ඒ හා සමානම තත්වයක්.
” අපි මොකද කරන්නේ කෙල්ල ?”
” තේරෙන්නේ නෑ….”
ඇමතුම විසන්ධි වුනේ හිත් වල මහ බර පුරවලා. ජිත්මික ඔහුගේ මිතුරෙකුට ඇමතුමක් ගත්තේ පහු වෙනිදා උදේ. ඔහු එක්ක සෑහෙන කතා බහකට පස්සේ ජිත්මික ට අදහස් කිහිපයක් ගොඩ නඟා ගන්න පුළුවන් උනා.
ඊටත් පහුවෙනිදා ජිත්මික වරුණිලාගේ ගෙදර යන්න පිටත් වුණා. ඒ වරුණිටවත් නොකියා. ජිත්මික ව දැකලා වරුණි වගේම පවුලේ හැමෝම පුදුම වුණා.
” ආහ් මස්සිනා …”
ජිත්මික ආව නිසා මල්ලිලා දෙන්නාටත් සතුටුයි. වරුණි අම්මා එක්ක කඩිමුඩියේ දවල්ට කෑම හැදුවා. තාත්තා වෙල් මාලුයි, කිරියි ගෙනාවා.
” මම දවස් දෙක තුනක් ඉඳලා ගියාට කමක් නැද්ද තාත්තේ ?
කවුරුත් නැති වෙනකල් ඉඳලා ජිත්මික වරුණිගේ තාත්තා ගෙන් ඇහුවා. තාත්තා ඒකට එක පයින්ම අවසර දුන්නා.
හවස ජිත්මික කලේ වරුණි එක්ක වත්ත වටේ ඇවිදලා බලපු එක. වරුණි ඒ ඇවිදීමට හේතුවක් විමසුවත්, ජිත්මික කිසිම දෙයක් කිවේ නම් නැහැ. එදා රෑ ජිත්මික කොළයක මොනවා හරි කුරුටු ගගා ඉන්නවා දැකලා වරුණි ඒ ගැන ඇහුවත්, ඒකටත් පිළිතුරක් නම් ලැබුනේ නැහැ.
ජිත්මික පහුවෙනිදා උදේ ඇහැරුණේ සම්පූර්ණ සැලැස්මක් එක්ක. උදේට කාලා බීලා ඉවර වෙලා ජිත්මික වරුණි එක්ක ඉස්තෝප්පුවේ කොනක වාඩි වුණා.
” මොකක් ද අනේ ඔයා මේ කරන්න හදන්නේ…?”
වරුණි ජිත්මික ගෙන් ඇහුවේ සියවෙනි වතාවටද මන්දා.
” හරි… අහන්න.. අපි බිස්නස් එකක් කරන්නයි යන්නේ …”
“ඒත් සල්ලි ?”
” මුල් වැඩ ටිකට ඕනි සල්ලි ටික මම හොයාගත්තා.. හෙමින් සීරුවේ ඉතිරි වැඩ කරමු.. හෙට අපි දෙන්නා එක්ක ගිහින් බඩු අරන් එමු…”
“ඒත් මොකක්ද කියන්නකෝ..”
“අපි හතු වවමු…”
“මොකක්..”
ජිත්මික හැමදේම පැහැදිලි කලා. පහුවෙනිදා දෙන්නා එක්කම ගිහින් අවශ්‍ය දේවල් ටික එකතු කරගත්තා. ලී මෝලකින් වියළි ලී කුඩු කවර විස්සක් ගත්තා. හාල් මෝලකින් හාල් නිවුඩු කිලෝ පනහක් ගත්තා. සෝයා ඇට කිලෝ පහක් ගෙනල්ලා සෝදලා, වේලලා කොටාගත්තා. අනෙක් කලමණා ටිකත් අවශ්‍ය ප්‍රමාණ වලින් මිලයට ගත්තා.
පොලිතින් කවර, පුලුන්, රබර් පටි ටික ජිත්මික ගේ යාලුවෙක් කොළඹින් අරගෙන එවලා තිබුණා.
පහුවෙනිදා ම වගා මළු පුරවලා ඒවා තැම්බුවේ පවුලේ හැමෝම එකතු වෙලා. ඊට පස්සේ ජිත්මිකයි, වරුණියි වගා මළු වලට බීජ එකතු කරලා ආයෙම කටවල් වහලා ඇතුළු කාමරේක තිව්වා.
ඊට පස්සේ ජිත්මික ගෙදර ගියා. ඊට පස්සේ සති දෙකකින් විතර ආයේම ආවා. වරුණි ගේ තාත්තා එක්ක එකතු වෙලා ගෙදර පිටිපස්සේ තැනක බිම්මල් වගා මළු වෙනුවෙන් වගා ගෘහයක් හැදුවා. වියදමක් ගියා වුනත්,ආවරණ දැල් ගහලම වැඩේ අවසන් කලා.
පිට ලෑලි ගෙනල්ලා රාක්ක හැදුවා. පහුවෙනිදා මුලු ගෘහයම සෝදලා, ජීවාණුහරනය කරලා පිරිසිදු කලේ ජිත්මිකයි වරුණියි එකතුවෙලා.
” වරුණි කෙල්ල ආං හතු හදන්න යනවලු… “
ගමේ තැන තැන එහෙම කතාවෙන්නේ නුහුරට බව වරුණිටත් ආරංචි වුනත්, වරුණි අලුත් වැඩේ ගැන හිටියේ විශ්වාසෙන්.
සම්පූර්ණයෙන්ම දිලීර වර්ධනය වුණ වගා මළු බිම්මල් ගෘහයට ගෙනාවා. ඒ අතරේ වරුණි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාල කටයුතු කරගත්තා. කෘෂිකර්ම උපදේශක කාර්‍යාලයෙන් වැඩිදුර දැනුවත් කිරීම් කරගත්තා.
ටික දවසකින් බිම්මල් පිපෙන්න පටන් ගත්තා. උදේට හවසට බිම්මල් පැකට් විස්ස, තිහ ගානෙ පැකට් වුනා. රුපියල් දෙසීයක් බැගින් වටිනාකමක් ඇතිව පැකට් විකුනන වගකීම තාත්තා ගත්තා.
ඒ අතරේ ජිත්මික එක්ක එකතු වෙලා වරුණි තව වගා මලු දෙදාහක් හැදුවේ ග්‍රාම සංවර්ධන සමිතියෙන් ණයක් අරගෙන.
තාත්තා බයිසිකලේ බැඳගෙන බිම්මල් විකුණන එක වරුණි සතියකින් නැවැත්තූවා. ඒ ටව්මේ හෝටල් දෙකකට උදේ හවස බිම්මල් ඇණවුම් සකස් කරගෙන. ඒ අතරේ ගමේ අයගෙන් දානේ ගෙවල්, මඟුල් ගෙවල් වලටත් අඩු නැතිව ඇණවුම් ලැබුණා.
” කෙල්ල ධෛර්යවන්තයා…”
ඒ අතරේ වරුණු කෘෂිකර්ම කාර්‍යාලය එක්ක එකතු වෙලා ගමේ බිම්මල් වගාව පටන්ගන්න කැමැත්තෙන් උන්න අයට පුහුණු වැඩසටහනක් කලා. ණය පහසුකම් වෙනුවෙන් උදව් කලා. මාස හයක් යනකොට වරුණිලාගේ මාසික ආදායම රුපියල් ලක්ශයක සීමාවට ගේන්න පුළුවන් වුනා.
ඒ අතරේ ජිත්මික මැනිං වෙළඳපොළේ ගැණුම්කරුවෙක් හොයාගත්තා. වරුණිලා එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ගමේම ස්ථාපනය කලා. සාධාරණ මුදලට බිම්මල් මිලයට ගත්තා. ගමේ පවුල් වල ආදායම සහ ඔවුන්ගේ ජීවන තත්ව පවා ඉහල යන්න ඒ ව්‍යාපෘතිය හේතු වුණා.
වරුණි මල්ලි ලාගේ හැම වියදමක් ම දැරුවා. තාත්තා ට කුඹුරු කරන්න අවශ්‍ය දේවල් ඉතාම ඉක්මනින් සැපයුවා. ඒ අතරේ වරුණිට රජයේ රැකියාවක් ලැබුණා.
” මම මේකම කරනවා ජිත්මික … මේක මගේ ජීවිතේ වෙල දැන් … මම බිම්මල් වලින්ම ජීවිතේ දිනනවා..”
වරුණි තීරණය කලා. ජිත්මික වරුණිට හෙව්ණැල්ල වගේ ඉඳන් උදව් කලා.
වරුණි බිම්මල් ආශ්‍රිත අගය එකතු කිරීමේ නිශ්පාදන වෙනුවෙනුත් අඩිය තිව්වා. ඉල්ලීම් සපයාගන්න නොහැකි වෙන තරමට සාර්ථක රස රහස් ඇය ළඟ තිබුණා.
ඒ වගේම සම්පූර්ණයෙන්ම දිලීර වර්ධනය වුන වගා මළු විකුණන ව්‍යාපාරයත් ඇය ඇගේ ව්‍යාපාරය ට ඈඳා ගත්තා.
ටිකෙන් ටික ව්‍යාපාරය යන්ත්‍ර සූත්‍ර එක්කත් මුහු කලා.
දැන් අවුරුදු තුන ගෙවිලා ගිහින්. වරුණිගෙයි, ජිත්මික ගෙයි විවාහය.
“බිම්මල් වලින් හදපු කෑම පිරිලා නේහ්…”
මඟුල් මේසේ දකින හැමෝම එහෙමයි කීවේ. ඒ හැම වෙලාවකම ජිත්මික වරුණි දිහා බලලා හිනා වුනා. මාසික පඩියක් වෙනුවෙන් අශාව ඉවත දාලා මේ ව්‍යාපාරය තෝරගත්ත තම බිරිඳ ගැන ජිත්මික ආදරෙන් ඉතිරෙන බව දෙන්න්න දිහා බලන, දෙන්නාගේ කතාව දන්න හැමෝටම හිතෙනවා.
ජීවිතේ එහෙමයි. එක් අහම්බයක්, සියල්ල වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ කුමක් හෝ අරඹන එක.
වෙහෙසිලා එය පවත්වගෙන යන එක.
| අපේක්ෂා ගුණරත්න |