වෙනදාට උදේ අට වෙන්නත් කළියෙන් ගෙදරින් එළියට යන සුමධුර එදා හිතාමතාම බොරුවට වැඩ දාගෙන ගෙදර නතර වුණේ සිසිමාධවී දකින බලාපොරොත්තුවෙනි.
“පුතා අද පරක්කුයි නේද?”කියා අම්මා අහද්දීත් කිව යුතු දෙයක් ඒවන විටත් සුමධුර දෙතොල් අග රඳවා ගෙන උන්නේය.
“ඔව් අම්ම අද උදේ එළියට යන්න තියෙනව ක්ලයන්ට් මීටින් එකකට. කෙලින්ම ඒකටම යනවා” කියා සුමධුර කිව්වේය. තද නිල් පැහැ කලිසමට, ආ නිල් පැහැ කාර්‍යාල කමිසයක් ඇඳ දුඹුරු සපත්තු දමා උන් සුමධුර උන්නේ ඇයව දකින නොඉසිල්ලකින් යැයි කිව යුතුමය. ඒ වූ කලී තමා වන් අවුරුදු හතළිහක පමණ වයසැති මිනිසෙකුට උචිත නොඉවසිල්ලක්ද කියා සුමධුර නොසිතුවා නොවේ.
සිසිමාධවී නිවසින් පිටවුණේ දරුවන් දෙදෙනාව පාසල අසලින් බස්සවාය. උදේ පාන්දර නිසාවෙන්මදෝ කකුල් දෙක තිබුනේ පණ ගසාය. ඒ පණෙන් සිසිමාධවී වහ වහා තිලකරත්න නිවස බලා ඇවිද ගියාය.
සිසිමාධවී ආරුක්කු ගේට්ටුවෙන් ඇතුලට එද්දි සරණපාල වෙනදා මෙන්ම නිහඬව ගේට්ටුව හැරියද සිසිමාධවී මද සිනාවක් ඔහුට ගුඩ් මෝනින් යැයි කීවාය.සරණපාල වනාහී නරක මිනිසෙකු නොවන බවටත් මේ නිහඬ බව ඔහුට ආවේණික දෙයක් බවටත් සිසිමාධවී ගෙවුණ එක දවසට වටහාගෙන උන්නාය.
බෝගන්විලා පඳුර තිබුනේ උදෑසනින්ම වැටුණ පිණි බිංදු සලමින් බෝගන්විලා කොල ගාණටම පිපුණ රෝස පැහැ මල්වල පෙති සලමිනි. මදක් වියැලුණ ලා රෝස පැහැ බෝගන්විලා පෙති බිම විසිර තිබුණ උඳුපියලිය පාවඩය උඩින් සිසිමාධවී හෙමින් සැරේ පා තබා නිවසේ විවෘත ආලින්දයට පිය නැගුවාය.
සුමධුර උන්නේ විවෘත ආලින්දයේ ලී ඔංචිල්ලාව මත වාඩි වී උදෑසන සිහිල් සුව විඳිමින් දුරකතනය පිරික්සමිනි. පහත් වී දෙපයේ දමා උන් සෙරෙප්පු දෙක ගලවා ආලින්දයේ පැත්තක තබන්නට නැඹුරු වී උන් සිසිමාධවී සුමධුරව් දුටුවේ නැත.
පහත් වී සෙරෙප්පු යුගලය අයිනෙන් තබද්දී එක් උරහිසකින් වැටී පහලට වැක්කෙරෙන සිසිමාධවීගේ කොණ්ඩ කරලත්, ඒ කොණ්ඩ කරලට වැසීම නිසා පෙනෙන මුහුණේ අඩක පෙනුමත් සුමධුර විඳගත්තේ රහසිනි. නෙත් කොණකිනි. තමා එක එල්ලේ ඇය දෙස බලා ඉන්නා බව දැකීම දකින ඕනම අයෙකුට විචිකිච්චාවක් ඇති කරන්නක් බව දන්න හන්දම සුමධුර උන්නේ ඇයව රහසින්, නෙත් කොණකින් විඳගනිමිනි.
එහෙමකට කියා උසක් නැති, කෙට්ටු සිරුරත්, බෝපත් හැඩති මුහුණත් අම්මා කියූ ඇයව පෙලන දුප්පත්කමෙන් එහාට ගිය අපූර්ව සුන්දරත්වයක් මවන බවක් සුමධුර හිතුවේය. සිසිමාධවී ඔංචිල්ලාවේ වාඩි වී දුරකතනය බලමින් හුන් සුමධුර තිලකරත්නව දුටුවේ ඒ ඇසිල්ලේය.
“ගුඩ් මෝනිං සර්” සිසිමාධවී මනහර සිනාවක් සමග කිසිත් අමුත්තක් නොමැතිව සුබ පතද්දී සුමධුර කිව යුත්තේ කුමක්දැයි සිතා මොහොතකට කලබල වුණේය. හේ “ගුඩ් මෝනින්” කියා කියාගත්තේ ඒ කලබලය මැද්දේය.
සුමධුර එහි වාඩි වී ඉද්දී සිසිමාධවී හින් සිරුවේ කල්පනා ඊයේ තමාට කියා දුන් මග ඔස්සේ නිවස අභ්‍යන්තරයට ගොස් මුලුතැන්ගෙයි සිට පිටුපස ගෙඋයනට විවර වන විසල් ෆ්‍රෙන්ච් වින්ඩෝව විවර කරාය. අනතුරුව කුඩයත්, මුදල් පසුම්බියත් දමා ගෙන ආ බෑගය පසෙක තබා කේතලය ලිප තැබුවේ අයිරාංගනී මැතිණිය වෙනුවෙන් උණුවෙන් තේකක් සකසනු පිණිසයි.
වතුර උණුවෙන්නට හැර තේ හදන බඳුනට පිටිත් සීනිත් එක්කර කලවම් කර, සිසිමාධවී උදෑසන කෑම පිළියෙල කරන්නට හනි හනික කටයුතු කරාය. අනතුරුව උඩු මහලට ගොසින් අයිරාංගනී මහත්මියගේ දත් මද්දවා මුහුණ සෝදවා අලුත් ඇඳුමක් ඇන්දෙව්වාය.
සුමධුර ඒ වෙද්දීත් උන්නේ පහත මාලයේ එහෙට මෙහෙට ඇවිදිමින් කල්පනවකය. ඒ කල්පනාවට හේතුව කුමක්ද කියා සුමධුරවත් දැන උන්නාද යන්න සැකයකි. කට් සිමෙන්තියෙන් කල පොලොව උඩ ටකස් ටකස් හඬින් ඇතිල්ලෙන සුමධුර තිලකරත්නගේ දුඹුරු පැහැ සපත්තුවල හඬ උඩු මහලේ උන් අයිරාංගනී තිලකරත්නගේ සවන් මත හෙමින්ස සැරේ විත් පතිත විය.
“අපේ පුතා තාම ගිහිල්ල නැද්ද දරුවො?” අයිරාංගනී ඇසුවේ සිසිමාධවී ගෙනි.
“මං එද්දිත් මහත්තය පල්ලෙහ ඉඳියා නෝන”
“වෙනද මේ වෙද්දි මේ ළමයා ගිහිල්ලා.අද මොකද්ද මීටින් එකකට යන්න තියෙනව කියල ඉන්නෙ” කියා අයිරංගනී කියද්දිත් සිසිමාධවී කලේ ඒ අසා සිනාසුණ එක පමණකි.
උණුවතුරෙන් සේදූ ඇඟපත පිරිසිඳු තුවායකින් පිහිදා සම වියැලීම වලක්වන්නට මොයිස්චරයිසර් එකක් අයිරාංගනී මහත්මියගේ ඇඟේ ගැල්වූ සිසිමාධවී අනතුරුව වඩා සැහැල්ලු ඇඳුමක් ඇගේ ගත දැවටෙව්වාය. දැන් තිබෙන්නේ උදෑසන ආහාරය ඇයට කන්නට දුන්නයින් පසු කාමරය පොඩ්ඩක් අස්පස් කර දමා දහවල් ආහාරය සකසන්නට යාමය.
“මම නෝනට බ්‍රෙක්ෆස්ට් එක අරගෙන එන්නම් මැඩම්” කියා සිසිමාධවී නික්ම යන්නට තනද්දී අයිරාංගනී ඇයව නතර කරාය.
“අපෙ පුතා ඉන්නවනම් ඒ ළමයටත් තේක දෙන්න ළමයො. වෙනදට ඔය එළියෙන් තමා කන්නෙ බොන්නෙ උදේට ඔය ළමයා මම එක්තැන් වෙච්ච දවසෙ ඉඳල. ගෙදරින් පරක්කුවෙලා යන දවසක වුණත් ඉතින් මට මොකෝ තේකක්වත් හදල දෙන්න පුලුවන්කමක් තියෙනව කියලය”
“මම හදල දෙන්නම් නෝන” කියා සිසිමාධවී උඩුමහලේ සිට පහල මාලයට යොමු කර තිබූ ලී පඩිපෙල දිගේ බහිද්දීත් සාලයේ එහෙට මෙහෙට ඇවිදමින් උන් සුමධුර තිලකරත්නගේ රූපයට පෙර ඔහුගේ දුඹුරු පැහැ සපත්තු බිම ඇතිල්ලීම නිසා නැගෙන හඬ සිසිමාධවී කරා ආවේය.
“නෝන කිව්ව මහත්තයට තේකක් හදල දෙන්න කියල, මහත්තය දැන්ම යන්නෙ නෑනෙ” ඒ ටකස් ටකස් හඬ නතර වුනේ සිසිමාධවී ගේ හඬ ඇසුණ මොහොතේය. ඇය තමා දෙස බලා ඉන්නේ ඉතාමත් පැහැදිලි නිරවුල් බැල්මකිනි. සුමධුර පැකිලුනේ ඒ බැල්ම ලඟය. පිරිසිඳු දිය දෝතක් මෙන් සුපැහැදිලි ඒ දෙනෙත ලඟය.
“අහ් ඔව් නෑ නෑ මම යන්නෙ නෑ”
“මම තේකක් හදන් එන්නම් මහත්තයා”
සුමධුර එදා නිවසින් නික්ම ගියේ කල්පනා ආපසුය. ඒද තවත් වෙලාවක් එහි රැඳී ඉන්නට බැරි නිසාවෙන් නොව කල්පනාගේ දෙනෙත් සැරය තම ආත්මය විනිවිද යන්නට මෙන් එල්ල වූ නිසාවෙනි. ඒ නෙත් හී සර පහර ලඟ තම හිත අස්සේ සිසිමාධවිය වෙනුවෙන් ඉපදුණ තවමත් පැහැදිලිව තේරුම් ගන්නට අපහසු වූ හැඟුම් සමුදාය කල්පනා විසින් විනිවිද දකීවි යැයි බියෙනි.
දහවල් ආහාරය පිස අයිරාංගනී මහත්මියට කවා පොවා හමාර කල පසු සිසිමාධවී උන්නේ කම්මැලිකමිනි. කඩිසරකමට නිවෙස අස්පස් කර දුහුවිලි ගසා දැම්මායින් පස්සේ ඇත්තටම කරන්නට දෙයක් තිබුනේ නැති නිසාවෙන්ම පහත මාලයේ විසිත්ත කාමරයේ බිත්තියටම අලලා තනා තිබුණ විවෘත ලී කබඩයේ තබා තිබූ පොත්වලින් එකක් ගත් සිසිමාධවී බෝගන්විලා ගාල අද්දර විවෘත ආලින්දයේ බිම වාඩිවුනාය.
බෝගන්විලා ගාලට එහායින් පිහිටි අතුපතර විහිදා උන් කොහොඹ ගස බොහෝ පැරණි බව එහි කොල අතර තැනින් තැන පල දරා තිබෙන්ස් කොහොඹ ගෙඩි කියයි. කොහොඹ ගහේ සීතල සුලඟ ද ඒ හුලඟ වැදී බෝගන්විලා ගාල ගයන මුණු මුණුවද අසමින් සිසිමාධවී සීතල කට් සිමෙන්තිය මත වැතිරුණාය.
මේ දහවලේ මේ නිවසට එන්නට වෙන කෙනෙකු නැති බවත්,අයිරාංගනී මහත්මිය අවදි වී තමාගේ සේවය අවශ්‍ය වුවහොත් ඇගේ ඇඳ ලඟ රඳවා තිබෙන සීනුව නාද කරන්නට හැකි බවත් දන්නා නිසාම සිසිමාධවී උන්නේ සැහැල්ලුවෙනි.
වෙනදාට රෑට විතරක් ආ දරන්නට අපහසු කැස්ස දැන් දහවලෙත්, හැමවෙලාවකමත් එන්නට පටන්ගෙන ඇති බව කෝසලට සිතුනේ දහවල් බත් කද්දී ආ කැස්ස නතර කරගන්නට විනාඩි ගණනාවක්ම ගියායින් පසුවය. වියලි කැස්ස හන්දාම උගුර තුවාල වී ඇති බවක් දැනෙද්දී කෝසල බත් පිඟාන පැත්තක තබා අත සෝදාගත්තේය. කෑමක් කනට බැරි තරම් අප්පිරියාවක්ද හුස්ම ගන්නට අපහසුවක්ද දැනෙද්දී කෝසල හෙමින් සැරේ ගොසින් ඇඳෙන් හාන්සි වුණේය.
නිරත්තරයෙන් කහින, හුස්ම ගන්නටද අපහසු මේ ජීවිතයෙන් පලක් තිබේද කියා සිතෙන හැම වෙලාවකම කෝසල කරේ ඇඳ ඉස්සරහ බිත්තියේ එල්ලා ඇති තමාගේත්, සිසිමාධවීගේත්, දරුවන් දෙදෙනාගේත් රාමු කල ජායාරූපය දෙස බැලීමයි. ඒ ජායාරූපය ගත්තෙ දෙව්මිගේ පලවෙනි උපන්දිනය දවසේ නුගේගොඩ කලර් ලැබ් ස්ටුඩියෝ එකට ගොසිනි.
රාමුකර තිබෙන ඒ ජායාරූපයේ සියල්ලන්ගේම මුහුණුවල ඇඳී තිබෙන සැබෑ සතුටෙහි සිනහව මේ ජීවිතය තුල තමාට ඉතින් දැන් අහිමි බව සිතමින් කෝසල නින්දකට දෙනෙත් පියාගත්තේය.