බලවතුන්ගේ ලිංගික හිංසාවන්ට එරෙහිව හිස එසවූ කාන්තා අරගලය

අරගලයකට සහ විප්ලවයකට විවිධ හැඩ තිබෙන්න පුළුවන්.ඒ නිර්මාණශීලී වන තරමට වෙනස් හැඩයක් ගන්නා තරමට එයට ඇති අවධානය ඉතාම වැඩි වෙනවා.තමන්ගේ ඉල්ලීම් දිනාගන්න ලෝකය පුරා සිදුවුණු අරගල ජන පීඩක දේශපාලනයටත් සමාජ ප්‍රතිපත්ති වලටත් එරෙහිව ඇති වූ ඒවායි.ඒ කිසිදු අරගලයක් ජයග්‍රහණයකින් තොරව අවසන් වුයේත් නැහැ.

වෙනස් සහ අපූරු හැඩ ගන්නා මෙවැනි විප්ලව සියවස් ගණනක අතීතයක් අයිති කර ගන්නවා.ඒවාටම අනන්‍ය වූ නම් ද මේ විප්ලවයන් ට ලැබී තිබෙනවා.මියන්මාර කාන්තාවන් දියත්කල සරම් විප්ලවය ජන පීඩක දේශපාලනයට එරෙහිව ඇති වූ කැරැල්ලක් බව අපි ඔබට ඊයේ පැවසුවා.හැම කැරැල්ලක් ම දේශපාලනයට එරෙහි ව ම ඇතිවන්නක් නොවේ.

මුහුණ ආවරණ වලින් වසා ගත් කාන්තාවන් සිව් දෙනෙක් අත් පිටුපසට බැඳගෙන නිරාවරණය වූ පාද දිගේ රතු තීන්ත ගල්වාගෙන ඩබ්ලින් හි රුසියානු තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක් ආරම්භ කළේ පසුගිය සෙනසුරාදා දිනයේ දී.

ඔවුන් විනාඩි පහළොවක් තිස්සේ නිශ්ශබ්දව ඇති අතර Rape is a weapon of war යන්න සඳහන් පුවරු ඔසවාගෙන සිටියා.

ඔවුන් පවසන අන්දමට රුසියානු සොල්දාදුවන් අතින් යුක්රේන තරුණියන් විවිධ අතවරවලට සහ ලිංගික හිරිහැරවලට ලක් වෙනවා.මේ කාන්තාවන් අත මේ සම්බන්ධ වාර්තා ද තිබුණා.මෙය අපරාධයක් බවට ඔවුන් කරුණු දක්වා තිබුණා.ඔවුන් හිස වසාගෙන දෑත් බැඳගෙන සිටින්නට හේතුව දූෂණයට ලක්වී පාරේ අතහැර ගිය කාන්තාවන්ගේ සිරුරු සිහිගන්වන්නටයි.
යුක්‍රේන කාන්තාවන්ට රුසියානු සෙබළු මෙලෙස සැලකූ බවට ඔවුන් පවසනවා.ආක්‍රමණය ආරම්භ වූ දා පටන් රුසියානු සොල්දාදුවන් අතින් අත් විඳින්නට වූ ප්‍රචණ්ඩත්වයේ මට්ටම පිළිබිඹු කරන්නට මෙම කාන්තාවන්ගේ කකුල් ලේ වලින් වැසී තිබුණා.ඔවුන් එම ලේ සඳහා ඉරිඟු පිටි,බැරි කොකෝවා කුඩු සහ සිරප් වර්ගයක් මිශ්‍රකර ද්‍රාවණයක් සාදා ගෙන තිබුණා.

“සාමකාමී විරෝධතාවලට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා.අපි ඒ ගැන දැනුවත්.ඒ නිසා අපි නිහඩ විරෝධතාවක් පැවැත්වූවා”

ඔවුන් සමාජ ජාලා ඔස්සේ එසේ අදහස් පළ කර තිබුණා.

යුක්රේනයේ මානව හිමිකම් පිළිබඳ ඔම්බුඩ්ස්මන්, Lyudmyla Denisova රුසියානු හමුදාව විසින් සිදු කරන ලද ස්ත්‍රී දූෂණ සහ පහරදීම් සිද්ධීන් ගණනාවක් පිළිබඳව වාර්තා කර තිබෙනවා.යුක්රේනයට එක්සත් ජාතීන්ගේ විශේෂ අධිකරණයක් අවශ්‍ය බව ඇය බීබීසීයට පවස තිබුණා.ව්ලැඩිමීර් පුටින්ව පුද්ගලිකව යුද චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට අවශ්‍ය බවත් ඇය දන්වා තිබුණා.

මෙවැනි වටපිටාවක් තුළ සාමාන්‍ය යුක්රේන යුවතියන් සහ ගැහැනුන් රුසියානු සෙබළුන් අතින් දූෂණයට ලක්වීම ගැන ලෝක බලවතුන්ගේ අවධානය යොමු විය යුතුම වෙනවා.ඒ අවධානය යොමු කරන්නට කාන්තාවන් සිව් දෙනෙකු මෙවැනි නිහඩ අරගලයක නිරත වීම අතිශය වටිනා කාරණාවක්.”යුද්ධයක් ඇති වෙද්දී එහි අතුරු ඵලයක් ලෙස කාන්තා දූෂණය සිදු විය යුතුද?” කිසිසේත්ම නැහැ.ලිංගික අඩත්තේට්ටම් වලට ලක් කරමින් කාන්තාවක නිහඬ කර තැබිය නොහැකි බව ඕනෑම බලවත් රාජ්‍යයක් වටහා ගත යුතුම කාරණාවක්.

මුහුණු වසාගෙන,දෙකකුල් දිග ගලා යන රුධිර ධාරා සහිතව,බැඳගත් දෑත් සහිත කාන්තාවන් සිව් දෙනෙකු පවසන්නේ ඒ කාරණාවයි.කාන්තා දූෂණය යුද අපරාධ ගණයට වැටෙන්නක්.ඒ වෙනුවෙන් නීති සැකසිය යුතුමයි.ඔවුන්ගේ මේ නිහඬ විරෝධය ලෝක අවධානයට ලක් වන්නට වැඩි වේලාවක් ගත වී තිබුණේ නැහැ.ඒ වගේම තවත් කාන්තාවන් විවිධ ස්ථානවල මේ අරගලය ආරම්භ කර තිබුණා.යුක්රේනයේ ජීවත්වෙන හඬ නොනඟන කාන්තාවන්ට මෙමගින් විශාල සහනයක් ඉදිරියේදී අත්වේවි.

අරගලය වඩා නිර්මාණශීලී විය යුතුයි.එය වෙනස් විය යුතුයි! අරගලයක ජයග්‍රහණය ඉතා ඉක්මනින් ළඟා කර ගැනීම එවිට ඉතාම පහසු දෙයක්

Related Articles

Don't Miss


Latest Articles