මතක දිගහැරුම 55 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පනස් පස්වන දිගහැරුම ,

මගෙ දෙමව්පියන්ගේ හිතේ හෂාන් පිළිබඳව හොඳ පැහැදීමක් තිබූ අතර ඔවුන් හෂාන්ට සැලකුවේ ඔවුන්ගේම පුතෙකුට මෙන් ය.ඇතැම් දින වලදි හෂාන් අප නිවසට පැමිණෙන තුරු මගේ තාත්තා බලා සිටියේ නොඉවසිල්ලෙනි .හෂාන් අප පවුලට ඉතා හොඳ පුතෙක් වේ යැයි අම්මා සහ තාත්තා තුළ දැඩි විශ්වාසයක් ද විය .

හෂාන්ගේත් මගෙත් බැඳීම වෙනුවෙන් මට විශාල කැපකිරීමක් කරන්නට සිදු වන බවත් ,ඉන්පසුව මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන බවත් මට ඒ වන විට වැටහී තිබුණි.මා හුරු වී සිටි ජීවන රටාව, මගේ ආදායම් මාර්ගය , විවිධ රටවල සංචාරය කිරීම සහ සාප්පු සවාරි යෑම ආදිය ද වෙනස් කර ගත යුතුව තිබුණි.දවසේ වැඩි කාලයක් මගේ මිතුරු මිතුරියන් සමග ගතකළ ජීවිතය පවා මා කැප කළ යුතු විය.සාමාන්‍යයෙන් emirates වැනි ආයතනයකට බැඳෙන අය ඒ තරම් ලේසියෙන් රැකියාවෙන් ඉවත් වන්නේ නැත.ඔවුන් ඒ ජීවන රටාවට හුරු වී මුදල් උපයමින් සෑහෙන කාලයක් සිටිති.

කෙසේ හෝ ඒ සියලු දේ කැප කරමින් මා හෂාන් සමග මගේ ජීවිතයේ ඉදිරි කාලය ගත කරන බවට අවසානයේ දී මා තීරණය කළෙමි.මා මුණගැසෙන විට හෂාන් ඔහුගේ ජීවිතයේ ඉතා අසීරු අවධියක් පසු කරමින් සිටි නිසා ඔහු සමග අත්වැල් බැඳගෙන ඔහු හට ශක්තියක් විය යුතු යැයි සිතූවෙමි.මා රැකියාවෙන් ඉවත් නොවී හෂාන් හට රැකියාවෙන් ඉවත් වන්න යැයි ඔහුගෙන් ඉල්ලා සිටීමට මට අවස්ථාව තිබුණි.නමුත් එසේ කළා නම් මා ඉතා ආත්මාර්ථකාමී අයෙකු යයි මට හැඟුණි .මන්ද ඒ වන විට හෂාන් යනු ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ බැවිනි.ඔවුහු මා හට විතරක් අයිති වස්තුවක් නොවන නොව ශ්‍රී ලංකාවට අභිමාණයක් ගෙන ආ හැකි ජාතික වස්තුවක් බව මා තේරුම් ගෙන සිටියෙමි.

අප දෙදෙනා අත්වැල් බැඳගෙන එකට ගමනක් යාමට නම් පරිත්‍යාගයක් සිදුකල යුතුවන්නේ මා බව ,මා සිතට ගත්තෙමි.ඔහු පසු කරමින් සිටි අසීරු අවස්ථාවෙන් සම්පූර්ණයෙන් ඔහුව මුදවා ගැනීමට මෙන්ම තවත් හොදින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය ඔහුට ලබාදීමට මට උවමනා විය.එම නිසා මා එමිරේට්ස් ආයතනයෙන් ඉවත් වන බවට අවසානයේ දී මා තීරණය කළෙමි.

මා ගත් තීරණය කුමක් දැයි දැනගැනීමට හෂාන් හවස් වරුවේ නැවත අපේ නිවසට පැමිණියේය.මගේ පවුලේ සියලු කටයුතු මගේ ආදායමෙන් ඉටු කළ බව හෂාන් දැන සිටියේය.අවම වශයෙන් තව අවුරුද්දක පමණ කාලයක් මට රැකියාවේ නිරත වීමට හැකියාව තිබුණා නම් , මගේ අනාගතය වෙනුවෙන් සහ මගේ පවුල වෙනුවෙන් තවත් යමක් කළ හැකිව තිබුණි.ඒ පිළිබඳව මා හෂාන් ගෙන් විමසූ විට ඔහු කිසිසේත් ම එයට එකඟත්වය පළ කළේ නැත.රැකියාවෙන් ඉවත්විමට මා දැනටමත් තීරණය කර තිබෙනවා දැයි හෂාන් මගෙන් විමසුවේ ය .මා එමිරේට්ස් ආයතනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති නමුත් තව අවුරුද්දක පමණ කාලයක් මට රැකියාවෙහි නිරත වීමට ඇත්නම් හොද යැයි මා ඔහුට නැවත වාරයක් පැවසුවෙමි.එවිටද ඔහු පැවසූයේ කෙසේ හෝ පසු දිනයේ දී රැකියාවෙන් ඉවත් වන ලෙසයි.

රැකියාවෙන් ඉවත් වන ලෙස හෂාන් මා හට පුන පුනා පවසන විට මා ඔහුගෙන් විමසුවේ ඉදිරි කාලයේදී මා මගේ පවුලේ වියදම දරාගන්නේ කෙසේද යනුවෙනුයි.මන්ද මගේ අම්මා ,තාත්තා සහ නංගීව අසරණ කිරීම කිසිසේත්ම මට කළ නොහැක්කක් විය .

” ඔයා බය නැතුව අයින් වෙන්න.ඔයා අම්මයි තාත්තයි නංගියි වෙනුවෙන් කරපු ටිකම මම ඉස්සරහට එයාලා වෙනුවෙන් කරනවා.ඔයා ඒ ගැන පොඩ්ඩක් වත් බය වෙන්න එපා මම එයාලව මගේම අය වගේ බලාගන්නවා.ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් වත් හිතන්න එපා “

රැකියාවෙන් ඉවත් වීම පිළිබඳව තරමක දෙගිඩියාවෙන් මා සිටින විට හෂාන් එකවරම පැවසුවේ එලෙසය.ඒ වගේම රැකියාවෙන් ඉවත් වීමෙන් මුහුණ දෙන්නට සිදු වන ගැටලුවක් වන පවුලේ වියදම් හැරුණුකොට මා හට තවත් ගැටළුවක් තිබුණි.

” මට ජීවිතේ කවදාවත් ආපහු තනියම ඉන්න බැහැ .අවුරුදු 18 වගේ ඉඳලා මම ජීවත් උනේ තනියම.මම පවුලේ අයත් එක්ක හිටපු කාලේ සෑහෙන්න අඩුයි.වැඩිපුරම මම හිටියේ වෙන රටවල් වල . ඒ නිසා පුලුවන්නම් හැම තැනකදිම අපි දෙන්න එකට ඉමු “

මා මගේ සිතේ තිබූ ගැටලුව එසේ හෂාන් හට පැවසුවෙමි

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles