උරහිස් වේදනා ගැන හරියටම දැනගමු..

අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ අපේ ශරීරයේ තියෙන ඉතාම ප්‍රයෝජනවත් විදිහට නිර්මාණය වෙලා තියෙන අතිශය වැදගත් වුනත් වැඩි කතාබහට ලක්නොවෙන සන්ධියක් ගැන. 

ඒ තමයි අපේ උරහිස් සන්ධිය. 

උරහිස් සන්ධිය එක්කම ඒ ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ මොනවද? ඒ රෝගාබාධ හඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද වගේම මේ රෝගාබාධ සඳහා ප්‍රතිකාර මොනවද කියන කාරණා ගැනත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මුලින්ම අපි බලමු උරහිස් සන්ධිය කියන්නෙ මොකක්ද කියල?

උරහිස් සන්ධිය

උරහිස් සන්ධිය කියල හඳුන්වන්නෙ සරලවම අපේ අත, සිරුරට සම්බන්ධ වෙන ස්ථානයයි. 

උරහිස් සන්ධිය අස්ථි 03 කින් හැදිල තියෙනව. 

ඒ තමයි, 

හරහට තියෙන Clavicle (ක්ලැස්විකල්) කියන දීර්ඝ අස්ථිය, 

අතේ උඩ කොටසෙ තියෙන humerus (හියුමරස්) කියන අස්ථිය සහ

පිටුපස ඇති උරපත් සන්ධිය එහෙමත් නැත්නම් Scapula (ස්කැපියුලා) කියන අස්ථි වල එකතුවෙනුයි. 

මේ අස්ථි තුන මුණගැසෙන ස්ථානය උරහිස් සන්ධිය කියල හඳුන්වන්න පුළුවන්. 

අනෙත් සන්ධි සියල්ලටම වඩා ලොකු චලන පරාසයක් උරහිස් සන්ධියේ දකින්න ලැබෙනවා. 

ඒ හේතුව නිසා අපිට අපේ අත අවකාශයේ විවිධ තැන්වලට ගෙනියන්න, ඉහළට සහ පහළට වගේම රවුමට කැරකැවීමේ හැකියාවත්, යම් දෙයක් විසිකිරීමේ හැකියාවත් ලැබී තිබෙනවා. 

මේ අස්ථි වලට අමතරව උරහිස් සන්ධියේ මාංශපේශි වර්ග කීපෙකුත් දකින්න ලැබෙනවා. 

ඒ අතර,

බලය සහ ශක්තිය ලබාදෙන පපුව සහ කොන්ද ප්‍රදේශයේ ඇති විශාල මාශපේෂි සහ

Humerus කියන අස්ථිය ස්ථාවරව තබාගන්නා rotator cuff කියන මාංශපේෂි ඒ අතරින් ප්‍රධානයි. 

ඊට අමතරව, උරහිස් සන්ධිය ස්ථාවරව පවත්වා ගෙන යන්න උපකාරී වෙන තන්තු සහ ඝර්ෂණය වීමෙන් තොරව මේ සන්ධිය චලනය කරන්න අවශ්‍ය වෙන කාටිලේජත් උරහිස් සන්ධියේ අස්ථි අතර දකින්න ලැබෙනවා. 

හොඳයි, අපේ උරහිස් සන්ධියේ ව්‍යුහය ගැන ඔන්න දැන් දළ වශයෙන් ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති කියල අපි විශ්වාස කරනවා. 

ඊළඟට අපි බලමු, උරහිස් සන්ධිය ආශ්‍රිතව දකින්න ලැබෙන ගැටළු මොනවද කියල?

උරහිස් සන්ධිය ආශ්‍රිත රෝගාබාධ

මාංශපේෂී ඇඳීම

උරහිස් සන්ධියට සම්බන්ධ rotator cuff කියන මාංශපේෂිය ගැන අපි කතා කරා ඔබට මතකනේ. 

ඒ මාංශපේෂිය මත අධික පීඩනයක්, අධික බරක් යොදීම හෝ වැරදි ඉරියව් භාවිත කර චලනය කරොත් ඒ මාංශපේෂීන් මත ඉරීම් ඇතිවෙන්න පුළුවන්. 

ෆ්‍රෝසන් ශෝල්ඩ (Frozen shoulder)

උරහිස් සන්ධිය වටා ඇති මාශපේෂි සහ ඒවා ආවරණය කරමින් පිහිටන joint capsule කියන ආවරණයත් තද වීමට ලක්වීමෙන් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. 

මේ තත්වය මාංශපේෂී ඇඳීමක් හෝ දියවැඩියා තත්වයෙන් පෙලෙන රෝගීන් අතර වැඩිපුර හඳුනාගන්න පුළුවන් තත්වයක් බවත් සඳහන් කරන්න පුළුවන්. 

ඔස්ටියෝ ආතරයිටීස්

මේ තත්වය කාටිලේජ් ගෙවීම කියල සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. 

වයසත් සමඟ උරහිස් සන්ධිය ආශ්‍රිතව ඇති කාටිලේජ වල ක්‍රියාකාරීත්වය අඩුවී මේ තත්වය ඇතිවෙන බව සඳහන් කරන්න පුළුවන්. 

සන්ධි ප්‍රදාහා

රූමොටයිඩ් ආතරයිටීස්, සොරයිටිස් ආතරයිටිස් වැනි රෝග වලදී උරහිස් සන්ධි තුළට ඇගේ අනෙක් සෛල ගමන් කර උරහිස් සන්ධිය ආශ්‍රිත ප්‍රදේශය ආක්‍රමණය කර එහි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ ක්‍රියාවලියක් මෙහිදී සිදුවෙන බව දැකගන්න පුළුවන්. 

මීට අමතරව වැටීම් සහ තුවාල වීම් වලදී උරහිස් සන්ධි ආශ්‍රිත අස්ථි වලට හානි වීම් වගේම අත පැනීමේ තත්වයන් ඇතිවීමත් දකින්න පුළුවන්. 

ඊළඟට අපි බලමු උරහිස් ආබාධ ඇතිවීමේදී ඒව හඳුනාගන්න අපිට උදව් වෙන රෝග ලක්ෂණ මොනවද කියල.

රෝග ලක්ෂණ

අතට උඩට එසවීමේදී එහෙමත් නැත්නම් අත පැත්තට චලනය කරන විට වේදනාවක් දැනීම,

එක මට්ටමකින් එහාට අත එසවීමට නොහැකි වීම,

දරාගැනීමට නොහැකි වේදනාවක් දැනීම වැනි තත්වයන් උරහිස් ආබාධ ගැන ඉඟි කරන රෝග ලක්ෂණ විදිහට හඳුනාගන්න පුළුවන්. 

ඉතිං මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්‍ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

මීට අමතරව, ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් අවශ්‍ය තත්වයනුත් උරහිස් සන්ධිය ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන්. 

වැටීමකින් පස්සෙ උරහිසේ වේදනාවක් ඇතිවෙනව නම්,

‍යම් කාර්‍යයක් අවසන් වීමෙන් පසු අත පනින ස්වරූපයක් දැනෙනන නම්, 

උරහිස් වේදනාවත් සමඟම උරහිස ඉදීමමක් හෝ උණ ගතියක් දකින්න ලැබෙනව නම් හෝ

උරහිස් කැක්කුමත් සමඟ ශරීරයේ වෙනත් සන්ධි ආශ්‍රිතවත් ආබාධ කැක්කුම් සහ වේදනා දකින්න ලැබෙනව නම් හැකි ඉන්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

ප්‍රතිකාර

උරහිස් වේදනාවන් සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙක් වෙත යන ඔබෙන් මේ වේදනාවන් ඇතිවූ කාල පරාසයන්, අවස්ථාවන් සහ වේදනාව ඇතිවෙන ස්ථාන පිළිබඳ විමසීමත් අවශ්‍ය නම් X ray, scan වගේ පරීක්ෂණ වලටත් ලක් කිරීමෙනුත් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා.

එන්නත් වැනි ප්‍රතිකාර ක්‍රම, 

භෞත චිකිත්සක උපදෙස් මත ව්‍යායාම වගේම 

අයිස් තැබීම, වේදනා නාශක සහ යම් ආලේපන වර්ග වැනි නිවසේදීම කළ හැකි ප්‍රතිකාර ගැනත් ඔබට වෛද්‍ය උපදෙස් ලැබෙන්න පුළුවන්. 

මීට අමතරව, 

අත භාවිත කර යම් යම් කාර්‍යන් වල නිරත වන විට (එසවීම්/පරිඝනකය භාවිත කිරීම්) වැළමිට හැකිතරම් ඇඟ ලඟට කර තබාගෙන වැඩ කිරීමත්, 

අධික බර එසවීමෙන් වැළකීමත්, බර ඔසවන විට නිවැරදි ඉරියව් පවත්වා ගැනීමත්, 

ක්‍රීඩා වල නිරත වෙනව නම් තමන්ගේ පුහුණුකාරවරයා හමුවී නිසි ඉරියව් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමත්,

වේදනාවන් ඇතිවූ විට තවදුරටත් එම කාර්‍යය කිරීම නතර කර වෛද්‍ය උපදෙස් ගැනීමත් ඉතාම වැදගත්. 

ඉතිං, ඔන්න අද ලිපියෙන් අපි වැඩිය කතා නොකරන නමුත් ඉතාම වැදගත් මාතෘකාවක් ගැන තමයි අපි ඔබත් සමඟ මේ විදිහට තොරතුරු බෙදාගත්තේ. 

මෙවැනිම වැදගත් ලිපියක් සමඟ අපි නැවත හමුවෙමු.

අන්තර්ජාලය ඇසුරෙන් සටහන දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles