“අද දින මේ අපේ පාසලට වසර ගණනාවක් පුරාවට තිබූ අඩුපාඩුවක් මගහරවාලමින් මේ කුසලන්ති ගුණවීර මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් පිරි නැමුණ පුස්තකාලය අපේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට භාර දෙන පිණිස පීත්ත පටිය කපන්න මම ගෞරවයෙන් ආරාධනා කරනව අපේ කුසලන්ති ගුණවීර මැතිණියට”
විදුහල්පති තුමාගේ කතාවෙන් පස්සෙ කතාව පවත්වන්න තිබුනෙ හීන්කෙන්ද ගමේ ග්‍රාම සේවක මහත්තයට. හීන්කෙන්ද ගම කියන්නෙ කොළඹින් බොහොම දුර ඈත ගම්මානයක. කඳු වලල්ලක් අස්සෙ හැංගිලා. හීන්කෙන්ද මහා විද්‍යාලය මහා විද්‍යාලයක් වුණේ නමට. ගමේ ඉන්න ළමයි ඔක්කොම වගේ හීන්කෙන්ද මහා විද්‍යාලයට ආවෙ ඒ ළඟපාත වෙන යන්න ඉස්කෝලයක් තිබුණෙ නැති හන්දා. ආයෙම සංඝරාජ විද්‍යාලය පිහිටල තියෙන්නෙ ටවුම. හීන්කෙන්ද ගමේ ඉඳල බස් එකක ගියත් පැයක් එකහමාරක් විතර යන්නෝන.
නමට මහා විද්‍යාලයක් වුන හීන්කෙන්ද ඉස්කෝලෙට හරිහමං පුස්තකාලයක්වත් තිබ්බෙ නෑ. ඉස්කෝලෙ ලමයි, පරණ කබඩ් එකක් අස්පස් කරල අඩුක්කරල තිබිච්ච අතටම දියවිච්ච පරණ පොත් අවුරුදු ගාණක් තිස්සෙ කියෙව්වා. ඒ ඇරෙන්න සති පතා ගමේ කඩේට එන පත්තරේ කියෙව්ව ඇරෙන්න වෙන කියවන්න දෙයක් ඒ ළමයින්ට තිබ්බෙ නෑ.
එහෙම ඉද්දි තමා කුසලන්ති ගුණවීර හීන්කෙන්ද ඉස්කෝලෙට පුස්තකාලයක් හදල කරල දෙන්න කැමති බව දැන්නුවෙ. අද තමයි ඒ පුස්තකාලෙ විවෘත කිරීමේ උත්සවේ.
“කුසලන්ති නෝන කියන්නෙත් අපේ ගමේ ඉපදිල අපෙ ගමේ ඉස්කෝලෙන්ම ඉගෙන ගත්ත ගෑණු දරුවෙක්. අපිට අද මේ පුස්තකාලෙ ලැබෙන එකේ තියෙන වටිනකමත් සතුටත් දෙගුණ තෙගුණ වෙන්නෙ අන්න ඒ කාරණේ හන්ද තමා විශේෂයෙන්ම.
අද අපේ වර්තමාන ශිෂ්‍ය පරම්පරාවට මේ ත්‍යාගය දෙන්න මුල්වෙලා තියෙන්නෙ අපේම ආදි ශිෂ්‍යාවක් වීම ගැන අපිට හරි සන්තෝසයි. තමන්ගෙ දරුවො දෙන්නවත් උස් මහත් කරගෙන, තමන්ගෙ මහන්සියෙන්ම ගොඩ නගපු ව්‍යාපාරයක් ඉතාම හොඳින් කලමණාකරණය කරගෙන යන ගමන් හොඳ ව්‍යවසායිකාවක්, හොඳ අම්මා කෙනෙක්, හොඳ පුරවැසියෙක් විදියට ජීවත්වෙන කුසලන්ති කියන්නෙ ඇත්තටම යකඩ ගැහැණියක් බව මම කිව යුතුමයි”
ග්‍රාම සේවක මහත්තය ඒ අන්තිමට කිව්ව වචන පේළිය කුසලන්තිව උස්සල විසික්කරල දැම්මෙ සෑහෙන දුර අතීතෙකට. අද යකඩ ගෑණියෙක් කියල හඳුන්වන තමාම මීට අවුරුදු ගාණෙකට කලින් ජීවත් වුණේ කොච්චර නිවට නියාලු විදියටද කියන එක කුසලන්තිට මතක් වුණා.
දවස් පතා කඳුලු බිව්ව ජීවිතයකින් මිදිලා යකඩ ගෑණියෙක් විදියට මෙච්චර දුර ගමනක් එන්න තමන්ට කොච්චර කතා අහගන්න වුණාද කියල කුසලන්තිට අමතක නෑ.
රෝහිතව කුසලන්ති බැන්දෙ යෝජනාවකින්. රෝහිත වැඩ කාරේ ටවුමෙ පත්තර ප්‍රෙස් එකේ. උදේ පාන්දර කෑම අරන් යන්න බෑ ගිහින් දවල් වෙලා කද්දි හීතලයි කියල කඩෙන් බත් ගන්න රෝහිත ලෑස්ති වෙද්දි කුසලන්තිගෙ දෙවනි දරුව තනෙන් ඇරුණා විතරයි.
සීතල වෙච්ච බත් කන්න බෑ කියල කියන්නෙ, බත් කඩේ නංගි බත් වල උණුහුමට වඩා වෙන දේවලුත් උණුහුම් කරන නිසා බව දැනගන්නකොට කුසලන්ති පරක්කු වැඩියි.
“තමුන්ගෙ දරුවො දෙන්නව හදාගෙන ගෙටම වෙලා බත් තම්බ තම්බ උන්නු මට මෙහෙම කලේ ඇයි?” කියල අඬ අඬ අහන හැම වෙලාවකම රෝහිත කරේ කුසලන්තිට තඩි බාපු එක.
තඩිස්සි වෙච්ච නැති තැනක් ඔලුවෙවත්, හීරිච්ච තුවාලවෙච්ච නැති තැනක් ඇඟේවත් තිබ්බෙ නෑ.
“කසාද මිනිස්සු ඔහොම තමා ළමයො. ගෑණු කරන්න ඕන ඉවසන් ඉන්න එක. නිකන්ද ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නෙ” කියල කිව්වෙ පවුලෙ අයමයි.
“දරුවො දෙන්න එක්ක පාරට බහින්න උනාම තමා උඹට තේරෙන්නෙ ගුටි කකා හරි හිටියනම් හොඳ බව” කියල මිනිස්සු හිනාවෙද්දි තමා කුසලන්ති හිතුවෙ රෝහිතට බත් කඩේ ගෑණි එක්ක ඕන කුදයක් ගහගන්න කියල ගෙයින් දොට්ට බහින්න තමන්ට තියෙන අවහිරේ තමන්ට කියල කීයක්වත් හරිහම්බ කරගන්න මාර්ගයක් නැති එක බව.
මුල් කාලෙ හරි අමාරු වුණා. වේලපු කොස් දෙල් පොලොස් වලින් හදන කෑම හදනවට වඩා අමාරු උනේ විකුනගන්න. හීන් සීරුවෙ තමා කුසලන්ති ඔලුව උස්සගත්තෙ. දරු දෙන්නවත් බලාගෙන, උන්ටත් උගන්නගෙන වේලපු, කොස්, දෙල්, පොලොස් වලින් හදපු කෑම ජාති බෝතල් කරල පිට රටවල් වලට යවන කාලෙ වෙද්දි කුසලන්ති රෝහිතව අතෑරල ඇවිල්ල අවුරුදු එකහමාරක් දෙකක් විතර වෙලා.
ගෑණි නෙවෙයි පස්ස බැලුවෙ. එක හිතින් දහිරියෙන් වැඩ කරගෙන ටවුමෙන්ම හදල ඉවර කරපු පුංචි ගේකුත් ගත්තා. ඒ ගෙදරකම පැත්තට තව ඔහොම පාතාලෙට වැටිච්ච ගෑණු කීප දෙනෙක් එක්කාසු කරගෙන කරන්න ගත්ත ෆැක්ටේරියට දැන් ටවුමෙම වෙනම බිල්ඩිමකුත් තියෙනවා.
කසාදෙ අතාරින්න එපාය කියල කිව්ව නැයො හෙම පස්සෙ හරියද්දි ආවත් කුසලන්ති එහෙමකට කියල ගණන් ගත්තෙවත් නොගත්තෙවත් නෑ. තමන්ට කන්න කටට වැටෙන්නෙ තමන් අත හෙලෙව්ව තරමට කියල දන්න හන්දම කුසලන්තිට ඔව්ව ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නැ.
නිකන්ම නිකන් කුසලන්ති යකඩ ගෑණියෙක් උනේ ඔන්න ඔහොම.
ග්‍රාම සේවක මහත්තය කතාව ඉවර කරද්දිම වගේ තමා කුසලන්ති ආපහු මේ ලෝකෙට ආවෙ.
එදා රෝහිතගෙන් වෙන් වෙන්න හිතුවෙ නැත්තම් අද තමන් මේ වගේ තැනක මෙහෙම අනුන්ටත් උදව් කරගෙන ඉන්න යකඩ ගෑණියෙක් වෙන්නෙ නෑ නේද කියල හිතන ගමන් මයි කුසලන්ති තමන්ගෙ කතාව පවත්වන්න ඉස්කෝලෙ වේදිකාවට නැග්ගෙ.