කාන්තා සහ පිරිමි රහස් ප්‍රදේශ නිවැරදිව පිරිසිදු කරන්නෙ කොහොමද?

රහස් ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම කාන්තා පිරිමි බේදයක් නැතුව අපි කවුරුත් ඉතාමත් හොඳින් සැළකිලිමත් විය යුතු කාරණාවක්. 

එය බැක්ටීරියා ආසාදන වැනි රෝගී තත්වයන් වගේම ලිංගිකව බෝවන රෝග රැසකින් ඔබව ආරක්ෂා කරන්නත් ඔබේ ලිංගික ජීවිතය තෘප්තිමත්ව ගත කරන්නත් හොඳ සහයෝගයක් ලබාදෙන ඉතාමත් වැදගත් පුරුද්දක්. 

කාන්තා සහ පිරිමි රහස් ප්‍රදේශ නිවැරදිව පිරිසිදු කරන්නෙ කොහොමද කියල වෙන් වෙන්ව සලකා බලන්න කලින් අපි කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු කරුණක් ගැන අපේ අවදානය යොමු කරමු. 

ඒ තමයි රහස් ප්‍රදේශය ආශ්‍රිතව රෝම වැවීම. 

රහස් ප්‍රදේශයේ රෝම වර්ධනය සහ ඒවා ඉවත්කිරීම

ඇහිබැමි, ඇස් පිහාටු, නාසයේ සහ කනේ රෝම වගේම රහස් ප්‍රදේශයේ රෝම වර්ධනය ඉතාම සාමාන්‍ය තත්වයක්. 

ලිංගික ප්‍රදේශවල වැවෙන රෝම මගින්, 

අපේ රහස් ප්‍රදේශවලට අවශ්‍ය තෙතමනය සහ උණුසුම ආරක්ෂා කිරීම,

ලිංගික ක්‍රියාකාරකම් වලදී ඇතිවෙන ඝර්ෂණයෙන් ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව ඇති සියුම් සම ආරක්ෂා කිරීම,

දූවිලි, කුණු සහ විෂබීජ ලිංගික ප්‍රදේශවලට ඇතුළු වීම වැළැක්වීම මඟින් ආසාදන ඇතිවීමේ අවදානම අඩු කිරීම වගේම

සමහර පර්‍යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ලිංගික ආකර්ෂණය හිමිකරදීමත් සිදුකරනවා. 

ලිංගික ප්‍රදේශ වල වැවෙන රෝම වල කිසිදු අපිරිසිදු බවක් නොමැති නිසා ඒවා ඉවත් කිරීමේ වෛද්‍ය විද්‍යාත්මක පදනමක් දකින්න නොලැබුනත් සාමාජීය පීඩනය සහ පෙළඹවීම, ලස්සන, පිරිසිදු බව වගේම ලිංගික ආකර්ෂණය හිමිකර ගැනීමේ අරමුණු උදෙසා ලිංගාශ්‍රිත ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම අද වෙද්දී දකින්න ලැබෙනව. 

ලිංගික ප්‍රදේශ බොහෝ විට ස්වයං පිරිසිදු කිරීමේ උපක්‍රම සහිතව නිර්මාණය වෙලා තියෙනවා. 

ඔබේ රහස් ප්‍රදේශවල රෝම වලින් සියුම් ගන්ධයකට සමාන සුවඳක් නිකුත් වෙනව නම් ඔබේ රෝම නිසිපරිදි එයට ලැබී ඇති කාර්‍යය ඉටු කරන බව ඔබට දැනගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නෙ රහස් ප්‍රදේශවල රෝම හොඳින් පිරිසිදු කර සිනිදු රෙදි කැබැල්ලකින් හොඳින් තෙත මාත්තු කර වතුර ගතිය ඉවත්කර ගැනීම පමණයි. 

නමුත් රෝම ඉවත්කර ගැනීමේ අවශ්‍යතාව ඔබට තදින්ම දැනෙනවා නම් වඩා හොඳ ක්‍රමය ලෙස පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ කතුරක් භාවිතයෙන් රෝම වල දිග අඩුකර කොටට කපා ගැනීමේ ක්‍රමයයි. 

Shave කිරීම මඟින් සිනිඳු සමට හානිවී තුවාල සහ ආසාදන ඇතිවීමේ ඉඩකඩක් තියෙන නිසා හැකි තරම් ප්‍රවේශමෙන් පිරිසිදු උපකරණ භාවිත කර shave කිරීම ඉතාම වැදගත්. 

Wax කිරීමේදී රෝම කූප මුලින්ම ගැලවී සම ඇඳීමකට ලක්වී ඒ වේදනාවන් සතියක් හෝ දෙකක කාලයක් පවතින්න පුළුවන් වගේම සමට හානිවීම් සිදුවෙන්නත් පුළුවන්. 

Laser hair removal ක්‍රමය අවම වේදනාකාරී සහ ප්‍රතිඵලදායක ක්‍රමයක් වුනත් ඉතා හොඳ පළපුරුද්දක් සහ වගකීමක් සහිත තැනකින් මේ ප්‍රතිකාර කර ගැනීම ඉතාම වැදගත්. 

මීට අමතරව ආලේපන මඟින් රෝම ඉවත් කරන්න පුළුවන් වුනත් විවිධ රසායන ද්‍රව්‍ය රහස් ප්‍රදේශ ආශ්‍රිත සංවේදී සමේ ආලේප කිරීමේ අවදානම් සහගත තත්වයක් පවතින බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

එහෙනම් දැන් අපි බලමු පිරිමි රහස් ප්‍රදේශ නිවැරදිව පිරිසිදු කරගන්නෙ කොහොමද කියල. 

පිරිමි රහස් ප්‍රදේශ පිරිසිදු කරගන්නෙ කොහොමද? 

පළමු පියවර

ඔබ කැමති නම්, පිරිසිදු උපකරණ භාවිත කරල නෑමට කලින් රහස් ප්‍රදේශවල රෝම ඉවත් කරගන්න පුළුවන්. 

දෙවෙනි පියවර 

ඔබ චර්මජේදනය කර ඇත්නම්, ඔබේ ලිංගික ප්‍රදේශ පිරිසිදු කිරීම ඉතාම පහසුයි. සාමාන්‍ය පරිදි හොඳින් සබන් යොදාගෙන සබන් ඉවත්වන තුරු හොඳින් සෝදාහරින්න. 

ඔබ චර්මජේදනය කර නැත්නම්, පෙර සමට යටින් පිරිසිදු කර ගැනීම ඉතාම වැදගත්. මේ පියවර නොසලකා හැරීමෙන් smegma නැමැති සුදු පැහැති ද්‍රව්‍යයක් වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බවත් පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. එය හානිකර නොමැති නමුත්, ඔබ රඳවාගෙන සිටිය යුතු ද්‍රව්‍යයක්ද නොවන නිසා ඒවා වර්ධනය වීමට ඉඩ දිය යුතු නැහැ. 

ඔබේ ලිංගික ප්‍රදේශයේ ඉහළ සිට පහළ දක්වා සම්පූර්ණයෙන් සෙමෙන් අතුල්ලමින් හොඳින් සබන් යෝදා සෝදාගත යුතුයි. 

තුන්වන පියවර

සබන් සුවඳ නොසිටින සේ හොඳින් සෝදා ගැනීමත් හොඳින් තෙත මාත්තු කර වතුර ඉවත්කර ගැනීමත් ඉතාම වැදගත්. 

හතරවන පියවර

හොඳින් සෝදා වේලාගත් පිරිසිදු යට ඇඳුම් භාවිතය ඉතාම වැදගත්. 

අනවශ්‍ය ලෙස තද හෝ ලිහිල් යට ඇඳුම් භාවිතයෙන් ඉවත් කර ඔබට කපු හෝ ඔබට සුවපහසු වෙනත් අමුද්‍රව්‍යයකින් මැසූ යට ඇඳුම් භාවිතා කිරීමටත් ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

දැන් අපි බලමු කාන්තා රහස් ප්‍රදේශ නිවැරදිව පිරිසිදු කරගන්නෙ කොහොමද කියල?

කාන්තා රහස් ප්‍රදේශ පිරිසිදු කරගන්න කොහොමද?

පළමු පියවර 

ඔබ කැමති නම් නෑමට පෙර පිරිසිදු උපකරණ භාවිතයෙන් ප්‍රවේශමෙන් රහස් ප්‍රදේශ ආශ්‍රිත රෝම ඉවත්කරගන්න පුළුවන්. 

දෙවෙනි පියවර

යෝනි විවරයට පිටින් යෝනි තොල් සහ අනෙකුත් ප්‍රදේශ සුවඳ සහ සැර අඩු සබන් වර්ගයකින් ප්‍රවේශමෙන් සහ සෙමින් පිරිමදිමින් අතුල්ලා ගැනීම වැදගත්. 

තෙවෙන පියවර

හොඳින් සබන් ඉවත්වෙන තෙක් වතුරින් සෝදා සිනිඳු රෙදි කැබැල්ලක් භාවිතයෙන් ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වතුර ඉවත්කර හොඳින් තෙත මාත්තු කර වියළා ගැනීම කළ යුතුයි. 

සුවඳ ගැන්වීමට විවිධ ආලේපන හෝ පවුඩර් ලිංගාශ්‍රිත ප්‍රදේශවල ආලේප කිරීමට යාමෙන් ආසත්මිකතා, ආසාදන වගේම පසුකාලීනව විවිධ රෝගාබාධ ඇතිවීමේ අවධානමකුත් පවතින නිසා ඒ පිළිබඳ ඔබ සැළකිලිමත් වීම අනිවාර්‍යයි. 

හතරවන පියවර

හොඳින් පිරිසිදු කරගෙන තෙත ගතිය ඉවත්ව යන තුරු වේලාගත් පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් ඉතාම වැදගත්. 

තද සහ ලිහිල් යට ඇඳුම් භාවිතයෙන් ඉවත්කර ඔබේ ප්‍රමාණයට හොඳින් ගැළපෙන කපු යට ඇඳුම් භාවිතයට ගැනීමට ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

සනීපාරක්ෂක තුවා පැළඳීමේදී ඔබ පිරිසිදුව සිටිය යුතු ආකාරය පිළිබඳ smart lady අපේ https://smartlady.lk/article/33408/how-to-properly-use-pad-on-menstrual-dates/ ලිපිය කියවීමෙන් අවබෝධයක් ලබාගන්න ඔබට පුළුවන්. 

ඉතිං, අද අපේ ලිපිය ඔබේ සනීපාරක්ෂාවට වැදගත් වූවා යැයි අපි විශ්වාස කරනවා. 

මෙවැනිම තවත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles