වෙනසකටත් එක්ක රසවත් Dumplings ගෙදරදීම හදමුද?

ඩම්ප්ලින්ග්ස් (dumplings) කියන්නෙ ලෝකයේ විවිධ රටවල් වලට ආවේණික විදිහට පිළියෙල වන ටිකක් වෙනස් ආහාරයක් කියල ඔබ දන්නව ඇති. 

ඒ ඒ රටවල් වලට ආවේණික රසයට පිළියෙල වුණ මස්, මාළු, එළවළු, ටෝෆු සහ චීස් මැදිකරපු පාන් පිටි,සහල් පිටි වගේම අල අන්තර්ගත කරල පිළියෙළ කරන ආවරණයකින් වටකරල හදන ඩම්ප්ලින්ග්ස්, ප්‍රධාන වශයෙන් වතුරේ තැම්බීම, වාෂ්පයෙන් තැම්බීම වගේම බැඳීම සහ පිළිස්සීම වගේ ආකාර වලට පිසගැනීමත් දකින්න ලැබෙනවා. 

අද අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ චීන ක්‍රමයට වඩා සමීප ඉක්මණින් වගේම පහසුවෙන් ඩම්ප්ලින්ග්ස් පිළියෙළ කරගන්න ක්‍රමයක් ගැනයි. 

චීන ජාතිකයන් පිරවුම සඳහා ප්‍රධාන වශයෙන් ඌරු මස් පාවිච්චි කරත් කුකුල් මස්, මාළු, බිම්මල් වගේම එළවළු වලින් වුනත් මේ සඳහා අවශ්‍ය පිරවුම සකසා ගන්න ඔබට පුළුවන්. 

ඩම්ප්ලින්ග්ස් හදන විදිහ එක්කම, ඒ සඳහා ලේසියෙන්ම හදාගන්න පුළුවන් පිරවුමකුත්, සෝස් වර්ගෙකුත් හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්න අපි අද සූදානම්. 

එහෙනම්, මුලින්ම බලමු අපිට අවශ්‍ය දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

(ඩම්ප්ලින්ග්ස් 24 ක් සඳහා)

ඩම්ප්ලින්ග්ස් සඳහා

පාන් පිටි 500 g ක් 

ලුණු කුඩු තේ හැඳි 02 ක් 

උණුසුම් ජලය 300 ml

පිරවුම සඳහා 

කුඩාවට කපාගත් දම්පාට ගෝවා 200 g ක් 

කුඩාවට කපාගත් ලූණු කොල 300 g ක්  

කුඩාවට කපාගත් සුදුළූණු බික් 06 ක් 

තලාගත් ඉඟුරු මේස හැඳි 04 ක් 

සෝයා සෝස් මේස හැඳි 02 ක් 

තල තෙල් මේස හැඳි 02 ක් 

සිහින්ව කුඩාවට කපාගත් හෝ අඹරාගත් කුකුල් මස්/ ඉස්සන්/  ඌරු මස් 225 g ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

සෝස් සඳහා 

සෝයා සෝස් 60 ml ක් 

Rice vinegar 60 ml ක් 

තල තෙල් තේ හැඳි 01 ක් 

කෑලි මිරිස් තේ හැඳි 01 ක් 

හොඳයි දැන් අපි බලමු කොහොමද ඩම්ප්ලින්ග්ස් හදාගන්නෙ කියල

සාදාගන්නා ආකාරය 

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, ලුණු තේ හැඳි 01 ක් සහ උණු වතුර දමා හොඳින් කලවම් කරගන්න. 

අත් ගසමින් පිටි මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන අතේ සහ භාජනයේ නොඇලෙන මිශ්‍රණයක් සාදාගන්න. 

දැන් එය පිටි ඉසගත් පැතලි මතුපිටක් මත තබා සමාන කොටස් 04 කට වෙන්කරගන්න. 

එක් එක් පිටි ගුලිය කොටයක හැඩයට දිගට සකසා ගෙන එය සමාන ප්‍රමාණයේ කැබලි 06 කට හෝ 08 කට කපාගන්න. 

එක් එක් පිටි කොටස රෝලින් පින් එකක් හෝ වීදුරු බෝතලයක් ආධාරයෙන් 10 cm ක පමණ විශ්කම්භයක් සිටින සේ රවුම් හැඩයට සකසා ගන්න.  

මේ ආකාරයට ඩම්ප්ලින්ග්ස් සඳහා පිටත ආවරණය පිළියෙල කරගන්න ඔබට පුළුවන්. 

(මේ පිටි රවුම් එක මත එක තබා අසුරා ගැනීමේදි පිටි රවුම් දෙකක් අතර කුඩා තෙල් කඩදාසි කැබලි තැබීමෙන් එකමත එක පිටි රවුම් නොඇලෙන ලෙස සකසා ගන්න ඔබට පුළුවන්)

ඊළඟට අපි ඩම්ප්ලින්ග්ස් සඳහා අවශ්‍ය පිරවුම සූදානම් කරගනිමු.

තරමක් විශාල භාජනයක් ගෙන එයට දම් පාට ගෝවා, ලූණු කොළ, ඉඟුරු, සුදුලූණු, සෝයා සෝස් සහ තල තෙල් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

එයටම අඹරාගත් මස්, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු තේ හැඳි 01 ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් පිරවුම සාදාගෙන අවසන්. 

කලින් සාදාගත් පිටි රවුම පැතලි මතුපිටක් මත හෝ ඔබේ අත්ලේ ඇඟිලි මත තබාගෙන මැදට පිරවුමෙන් මේස හැන්ඳක් පමණ එකතු කරගන්න. 

දැන්, පිටි රවුමේ ඇතුළු දාරය දිගේ වතුර ස්වල්පයක් ආලේප කරගන්න. 

පිටි රවුමෙන් එක් භාගයක් අනෙක් භාගයේ උඩට සිටින සේ (පැටිස් හැඩයට) සකසා ගෙන උඩට සිටින පැත්ත රැළි ආකාරයට සකසමින් යට රවුම මත තබා අලවා ගන්න.

මේ විදිහට ඩම්ප්ලින්ග්ස් සියල්ලම සකසා ගන්න ඔබට පුළුවන්. 

දැන් තරමක් විශාල පැතලි භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කරගන්න. 

තෙල් රත්වන විට සාදාගත් ඩම්ප්ලින්ග්ස් වලින් කොටසක් එම භාජනය මත අතුරා ඩම්ප්ලින්ග්ස් වල තෙල් ගෑවෙන පැත්ත යන්තම් දුඹුරු පැහැ වීගෙන එන විට භාජනයේ අඩියට වතුර මේස හැඳි 02 ක් 03 ක් දමා භාජනය පියනකින් වසා ගන්න. 

විනාඩි 05 කට පමණ පසු ඩම්ප්ලින්ග්ස් භාජනයෙන් ඉවත් කරගෙන ඉතිරි ඩම්ප්ලින්ග්ස් ටිකක් මේ ආකාරයටම පිසගන්න ඔබට පුළුවන්. 

මේ අතරම සෝස් මිශ්‍රණය සකසා උණුසුම්වම ඩම්ප්ලින්ග්ස් රස බලන්න ඔබට පුළුවන් නිසා සෝස් මිශ්‍රණය හදාගන්නෙ කොහොමද කියල අපි ඊළඟට බලමු. 

කුඩා භාජනයකට සෝයා සෝස්, rice vinegar, තල තෙල්, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් එකතු කර හොඳින් කලවම් කරගෙන ලේසියෙන්ම හදාගත්ත සෝස් මිශ්‍රණයේ ගිල්වල උණුසුම්වම රසවත් ඩම්ප්ලින්ග්ස් පිළියෙළ කරගන්න දැන් ඔබට පුළුවන්. 

මේ වගේම රසවත් තවත් කෑමක් හදන විදිහත් එක්ක නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles