ටී ටයිම් එකට කන්න අල බොන්ඩා හදමු..

රසවත්, පෝෂ්‍යදායී ආහාර නිවසේදීම පිරිසිදුව පිළියෙල කරගන්න smart lady අපි ඔබව නිතරම දිරිමත් කරන බව ඔබ දන්නවනේ. 

ඒ ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ශාරීරික වගේම මානසික සෞඛ්‍ය යහපත්ව පැවතීම ඉතාම වැදගත් නිසාමයි. 

අන්න ඒ විදිහට ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න, පවුලේ අයත් එක්ක එකතු වෙලා තේ වේලට වගේම ඉඳිආප්ප, තෝසේ, පරාටා වගේ කෑමත් එක්ක කන්නත් පිළියෙල කරගන්න පුළුවන් හරිම රසවත් කෑමක් පිළියෙල කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ. 

එහෙනම් අපි අද බලමු අල බොන්ඩා හදන්නෙ කොහොමද කියල. 

මුලින්ම අපි මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බා පොතු ඉවත් කරගෙන පොඩි කරගත් අල 400 g ක් 

තෙල් මේස හැඳි 01 ක් 

අබ තේ හැඳි ½ ක් 

සූදුරු තේ හැඳි ½ ක් 

කුඩාවට කපාගත් ඉඟුරු  මේස හැඳි 01 ½ ක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරලක් දෙකක්

සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ 

සිහින්ව ලියාගත් කජු මේස හැඳි 02 ක් 

කහ කුඩු තේ හැඳි ½ ක් 

දෙහි යුෂ මේස හැඳි 01 ක් 

රස අනුව ලුණු කුඩු 

සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 02 ක් (අත්‍යාවශ්‍ය නැත)

කඩල පිටි කෝප්ප 01 ක් 

දැවටුම සඳහා 

සහල් පිටි කෝප්ප ¼ ක් 

කහ කුඩු තේ හැඳි ¼ ක් 

මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

බේකින් සෝඩා ස්වල්පයක් 

වතුර කෝප්ප ½ ක් (හෝ ඊට වැඩියෙන්)

ගැඹුරු තෙලේ බැඳීමට ප්‍රමාණවත් තරම් තෙල්

සාදාගන්නා ආකාරය 

මුලින්ම, තරමක් විශාල භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කරගන්න. 

තෙල් රත්වූ පසු එයට අබ සහ සූදුරු එකතු කර අබ පුපුරන තුරු තබාගන්න. 

ඊළඟට, එයට ඉඟුරු, අමු මිරිස්, කරපිංචා, කජු, අමු මිරිස් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ඉන්පසු, එයට කහ කුඩුත් රස අනුව ලුණු කුඩුත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

එයට පොඩි කරගත් අල සහ කොත්තමල්ලි කොළ එකතු කර හොඳින් කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. 

මේ අල මිශ්‍රණය සාමාන්‍ය ප්‍රමාණයට නිමුණු පසු එක සමාන ප්‍රමාණයේ බෝල වලට ගුලි කරගන්න. 

දැන්, තරමක් ගැඹුරු භාජනයක් ගෙන එයට කඩල පිටි, සහල් පිටි, කහ කුඩු, මිරිස් කුඩු, බේකින් සෝඩා සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට වතුර එකතු කර කැට නොසිටින තරමක උකු මිශ්‍රණයක් සාදාගන්න. 

ඊළගට, භාජනයක් ලිපතබා ගැඹුරු තෙලේ බැඳීමට ප්‍රමාණවත් තරම් තෙල් එකතු කර තෙල් රත්වීමට තබන්න. 

තෙල් රත්වූ පසු අල බෝල සාදාගත් කඩල පිටි තැවරුමේ ගිල්වා එම අල බෝල කෙලින්ම තෙලට දමාගන්න. 

රන්වන් පැහැවන තුරු බැඳගෙන ලිපෙන් ඉවත් කරගන්න. 

ඔන්න අල බොන්ඩා සූදානම්. 

ලේසියෙන් පහසුවෙන් සපයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය එකතු කරල මේ විදිහට අල බොන්ඩා හදල බලන්ඩ අමතක කරන්න එපා. 

මේ වගේම රසවත් කෑමක් පිළියෙල කරන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන තවත් ලිපියකින් නැවත ඔබ හමුවෙන්නම්.

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles