ඒකපාර්ශ්වික 05

ධනුකගෙන් එක දිගට මගහැරුනු ඇමතුම් කිහිපයක් තිබෙනු නිම්නාද දුටුවේ රාත්‍රී නමයට පමණය. එකත් එකටම මේ මේඝාගේ උවමනාව මත ධනුක ලබාගත් දුරකථන ඇමතුම් යැයි නිම්නාද නිගමනය කලේය. වර්ෂා සමග ගෙවෙන සුන්දර හෝරාවන් ඒ එකදු ඇමතුමකින් හෝ විනාශ කර ගැනීමට නිම්නාදට උවමනා වූයේ නැත. මේ ගෙවී යන්නේ තමා කාලයක සිට නොඉවසිල්ලෙන් බලා සිටි හෝරාවන් නිසාත් එයින් විනාඩියක් වත් අපතේ යවා ගැනීමට නොහැකි නිසාත් නිම්නාද දුරකථනය ක්‍රියා විරහිත කර දැම්මේය.

” අරූගේ ෆෝන් එක ඕෆ් නිකී ” 

ධනුක කීවේ මේඝාගේ නිවසේ සිට ආපහු යන අතරතුරදීය.

” ඔයා නිම්නාදට කෝල් කලාද ? ” 

නිකිනි ධනුක දෙස බැලුවේ පුදුමයෙනි. රථය පදවමින් හුන් ධනුක උන්නේ ඉදිරිය බලාගෙනය. 

” හවස ඉඳන් මම කීප සැරයක්ම ට්‍රයි කරා. ඌ ආන්සර් කරේ නැහැ. දැන් ෆෝන් එක ඕෆ්. මට හිතෙන්නෙම මූ මොකක් හරි ලොකු නාඩගමක් නටනවා කියලා. ” 

” නිම්නාද බිසී වෙන්න බැරිද ? මේඝා කිව්වනේ අද ශූට් එකක් තිබ්බා කියලත් ? ” 

” මොන මගුල තිබ්බත් ඌ වෙනදට ආන්සර් නොකර ඉන්නෙ නෑනේ ? අපේ එකිත් නැටුවා වැඩියි. ඌව ගේ අස්සෙත් දාගත්තනේ. ” 

ධනුක රථයේ වේගය වැඩි කලේ නිම්නාද කෙරෙහි උපන් කෝපයෙනි. 

” මේඝා ඉන්නේ කවුරු ආදරෙන් කතා කලත් රැවටෙන තත්ත්වෙක. මටත් වෙලාවකට හිතෙනවා නිම්නාද ඒකෙන් ප්‍රයෝජන ගත්තද කියලත් ” 

” හිතන්න දෙයක් නැහැ ඒක තමයි උනේ ” 

එතනින් එහා නිකිනිත් ධනුකත් කතා කලේ නැත. කල්පනා කලා පමණි. මෙය විසඳා ගත යුතුය. මේඝාව මේ මොහොතේ තනි කලහොත් ඇය කොතනින් නතර වේදැයි කිව නොහැක. කුඩා කළ පන්ති ඇරෙන්නට ප්‍රමාද වූවත් ගේට්ටුවෙන් එළියට එන විටම අම්මාගෙන් බැනුම් අසන මේඝාගේ කුඩා බියකරු දෑස් , පාර දිගේ හඬමින් අම්මාගේ පසුපස දිව යන අසරණ මේඝාව ධනුකට සිහි වේ. ඇය උසස් පෙළ අවසන් කරන තුරුත් කුලෑටි කෙල්ලක වූයේ අම්මාගේ ඒ හැසිරීමත් , කුඩා දෙයකටත් කඩා පනින නිසා බවත් ධනුක පසුකාලීනව දැන ගත්තේ මේඝා ගෙන්මය. නිකිනි යනු මේඝාට සාමාන්‍ය පෙළ කරද්දි මුණගැහුනු මිතුරියය. ධනුක සහ නිකිනි හඳුනා ගත්තේද ඒ අයුරිනි. එතැන් පටන් මේඝාගේ පසුපස ඕනෑම දෙයකට සිට ගත්තේ තමාත් නිකිනිත් ය. දැන් සිටින මේඝා තනිව ජීවත් වීමට තරම් ශක්තිමත් වූවත් සමහර දේවල් තවමත් ඇයට බර වැඩිය. ඒත් කෙදිනක හෝ ඇයට සැනසීම ලැබෙන බව ධනුක විශ්වාස කරන්නේය. 

මේඝා නිම්නාද ඇමතුවේ ඔහුගෙන් ඇමතුමක් නැති තැන බලා හිඳින්නට නොහැකි තැනමය. එහෙත් දුරකථනය ක්‍රියා විරහිත කර ඇත. පෙර දින අවසන් වරට ඔහුව දුටුව මොහොතේ සිට මේ වනතුරුත් ඔහු කොහේ සිටිනවා දැයි අදහසක් මේඝට නැත. ඔහුව හමුවූ දිනයේ සිට  ඔහු මෙලෙස කතා නොකර සිට නැති නිසා මේඝා යලි යලිත් ඔහු ඇමතුවාය. ඔහුගේ නවාතැන ඇති තැන මේඝා දන්නා නමුත් එහි ගොස් නැත. කළ යුත්තේ කුමක්දැයි මේඝාට වැටහෙන්නෙ  නැත. 

” ඇයි නිම්නාද ඔයත් මට මෙහෙම කරන්නේ ? ” 

මේඝා තමාගෙන්ම යළි යළිත් ඇසූ පැනය එයම පමණක් විය.

නිම්නාද නවාතැනට පැමිණියේ ඉරිදා හවස් යාමයේය. වර්ෂා සමග ගත කළ ගෙවුණු සුන්දර රාත්‍රියට කිසිවෙකුගෙන්වත් බාධාවක් නොතිබුණත් දුරකථනය ක්‍රියාත්මක කළ විට පැමිණ තිබූ මගහැරුණු ඇමතුම් පණිවිඩ නිම්නාදගේ හිතට එකතු කළේ විශාල බරකි. මොකක්දෝ නොතේරෙන හිස් හැඟීමක් හදවත තුළ සක්මන් කරද්දී නිම්නාද තමා නවාතැනට පැමිණි බව සඳහන් කරමින් වර්ෂාට වට්සැප් පණිවිඩයක් යැව්වේය.වර්ෂා එම පණිවිඩය කියවූ බවට සලකුණු තිබුණත් ඇගෙන් පිළිතුරක් නැත. නිම්නාද දුරකථනය පසෙකින් තැබුවේ සුසුමක් හෙළමිනි. එම සුසුම තමා වෙනුවෙන්ද නැත්නම් වර්ෂා වෙනුවෙන්ද කියා නිම්නාදට ඒ මොහොතේදීවත් වැටහුනේ නැත.

සඳුදා උදෑසන වෙනදාටත් කලින් සූදානම් වූ මේඝා කාර්යාලය වෙත පැමිණියේ නිම්නාද මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. අටහමාර පසුවන තුරුත් නිම්නාදගේ නොපැමිණීම මේඝාගේ සිත වියවුල් කළේය. මනස එක් තැන් කරගෙන කළ යුතු වැඩ නිමකිරීමට පවා නොහැකි කමකින් මේඝා පෙලෙද්දි උදෑසන දහයට ආසන්න වී නිම්නාද කාර්යාල දොරෙන් ඇතුල් වනු මේඝාට පෙනුනි.නිම්නාද මේඝා දෙස එකදු බැල්මකින් වත් නොබලා තම කුටියට රිංගා ගනිද්දි මේඝා වහාම නැගිට ඒ වෙත ගියේ නිම්නාදට සිතන්නටවත් ඉඩක් නොතබමිනි.

” ඔයා කොහේ ඉඳලද මේ එන්නේ නිම්නාද ?” 

” ඇයි ? මං කොහේ ඉඳලද එන්න ඕනේ ? ඒක තීරණය කරන්නත් ඕනේ ඔයාද ? ” 

නිම්නාද අනෙක් අතට ඇසුවේ සැරෙනි, නමුත් සෙමිනි

” මං ඔයාව හෙව්වා. ඔයාගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. ඔයා කවදාවත් එහෙම ඉඳලා නැති නිසා මං බය වුණා නිම්නාද ” 

මේඝාට හැඬෙන්නට ආසන්නය.නමුත් ඇය ආයාසයෙන් දරා සිටියාය. නිම්නාද ගේ මුහුණේ කිසිදු තෙතමනයක් නැති බව මේඝා දුටුවාය. 

” ඔයා ඉතින් කොයිවෙලෙත් හැම එකටම බය වෙනවනේ. ඕක අමුතු දෙයක් යෑ ” 

නිම්නාද වචන වලින් මූණට දමා ගසන්නේ කිසිදු ගාණක් නැතිවය. මේඝා තමා ඉදිරිපිට යම් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නා බව දැන දැනම ඒ ගැන වගක් නැතිව මෙන් නිම්නාද ලැප්ටොප් එක දිග ඇර ගත්තේය. මේඝා ඉදිරියට විත් එය වසා දැම්මේ මේ ප්‍රතික්ෂේප කිරීම දරා ඉන්නට බැරිම තැනය. 

” මේඝා මෙතන යකා නටන්න ලෑස්ති වෙන්න එපා . මේක ඔෆිස් එකක් ” 

” යකා නටන්නේ ඔයාද මමද නිම්නාද ? ඔයාට ඇයි කිසිම ගානක් නැත්තේ ? ” 

” දැන් මොකක් ගැනද මට ගානක් තියෙන්න ඕනේ ?” 

නිම්නාද ඇසූ පැනයට දෙන්නට පිළිතුරක් මේඝාට තිබුණේ නැත. තමා ඔහුට කිව යුත්තේ තමා ගැන සොයා බලන්නට කියාද ? නැත්නම් තමාට වෙනස්කම් කරන්නට එපා කියාද ? එසේත් නැත්නම් ගෙවන සෑම මොහොතක්ම තමා සමඟ රැඳෙන්නට කියාද ? 

” නිම්නාද මං කියන්නේ.. …. ” 

මේඝා නැවතින.

” මේඝා මේක හොඳට අහගන්න. ඔයාගේයි මගෙයි අතර කිට්ටු බැඳීමක් තිබුණ බව ඇත්ත. හැබැයි මම කරන කියන හැමදේම යන එන හැම තැනම ඔයාට රිපෝට් කරන්න ඕන කියලා නීතියක් ඒක ඇතුලෙ තිබුණෙ නැහැ. මම ගෙවන නිදහස් ජීවිතය ඇතුලෙ මම මට ඕන දේ කරනවා. ඒකට කාගෙවත් කැමැත්ත අකමැත්ත මට වැඩක් නැහැ ” 

මේ සිටින්නේ නිම්නාදමද ? ජීවිතයේ බොහෝ තැන් තමා සිතූ ආකාරයටම සිතූ නිම්නාදමද ? ජීවිතයේ පෙර නොවිඳි රස තැන් තමා සමග විඳි ඔහුද ? තමාට හඬන්නට අවැසි වූ විට උරහිස දුන් ඔහු දැන් මේ කියන්නේ කුමක්ද ? මෙවැනි දේවල් ලෝකයේ ඇත්තටම සිදු වෙනවාද ? මේඝා උන්නේ අතරමං වීය. ඇය නිම්නාදගේ කුටියෙන් එළියට පැමිණියේ නිසොල්මනේය. ඇය තම අසුනට බර වී මේසය මත හිස තියා ගත්තාය.

” මේඝා.. Are you ok ? ” 

අපූර්වා ආවාය. මේඝා සිටින්නේ හොඳින් නොවන බව ඇය උදෑසන සිටම බලා සිටියාය. නිම්නාද ප්‍රමාද වී පැමිණීමත් , ඔහු ආ සැණින්ම මේඝා ඔහුව සොයා යෑමත් සහ ඇය නැවත පැමිණි ආකාරයත් පසුපස කුමක් හෝ කතාවක් ඇති බව අපූර්වා සිතුවාය. මේඝා හිස ඔසවන්නේ නැත.

” මේඝා ?” 

මේඝා හිස එසෙව්වාය. අනතුරුව අසුනෙන් නැගිට්ටාය.

” මට ලීව් එකක් ඕන අපූ. මං මිස්ටර් සුරවීරව මීට් වෙලා එන්නම් ” 

සුරවීර මහතා මුණගැසුනු මේඝා කාර්යාලයේ කිසිවෙකුත් දෙස නොබලා තම මේසය මත තිබූ අත් බෑගය අතට ගත්තාය. නිම්නාද තම කුටියෙන් පිටතට විත් බලා සිටිද්දීම මේඝා පිටවුනාය. මොහොතක් බලා සිටි නිම්නාද මේඝාට ඇමතුමක් ගත්තාය. දුරකථනය ක්‍රියා විරහිත කර ඇත. නිම්නාදගේ හිතට මේඝා ගැන බියක් දැනුනේ ප්‍රථම වතාවටය.

දැන් කළ යුත්තේ කුමක්ද ? 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles