මේඝා උන්නේ සීතලේ ගැහෙමිනි. බම්බලපිටිය දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩි වී හුන් ඇය නිකිනි ඇමතුවේ ඔවුන් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට සිතමින් හුන් වෙලාවේය .
” නිකී ”
දුරකථනය ඔස්සේ ගලා එන මේඝාගේ හඬ වෙව්ලන්නේය.
” කොහෙද දෙයියනේ ඉන්නෙ ? ”
නිකිනි ඇමතුම ක්‍රියාත්මක කලේ ධනුකටත් ඇසෙන්නටය.
” මේඝා උඹ කොහෙද ඉන්නේ ? ”
ධනුක නොඉවසිල්ලෙනි.මේඝා ජීවතුන් අතර සිටීමම මොන තරම් දෙයක්ද ? දෙදෙනාටම සිතුනේ එපමණකි.
” මං… මං ස්ටේශන් එකේ ”
” මොන ? ”
” බම්බලපිටියේ ”
මේඝා එසේ කියද්දීම ධනුක වාහනය පණ ගැන්වීය. මේඝා මේ තරම් වෙලා සිට ඇත්තේ පෙනෙන මානයේය. ධනුක හැකි තරම් වේගයෙන් වාහනය පදවාගෙන විනාඩි කිහිපයක් ඇතුළත බම්බලපිටිය දුම්රිය ස්ථානය අසලට විත් නැවැත්වීය. ධනුක වාහනයෙන් බැස දුම්රිය වේදිකාව වෙත දිව යද්දී නිකිනිත් ඔහු පසුපසින් දිව්වාය. බංකුවක් මත අත් බෑගය තුරුලු කරගෙන ගුලි වී උන් මේඝාව ධනුකත් නිකිනිත් වැළඳගත්තෙ එකවරමය. ඇය උන්නේ තෙතබරිත වීය. නිකිනි වහාම ධනුකගේ උදව්වෙන් මේඝාව වාහනය කරා රැගෙන ආවේ කඳුලු පිසිමිනි. පැය ගණනාවක් මුලුල්ලේ කිසිඳු ආරංචියක් නොලබා සිට මේඝාව නිරුපද්‍රිතව මෙසේ දැක ගන්නට ලැබීමම සැනසීමට කරුණක් නොවේද ?
නිම්නාද උන්නේ මේඝා ගැන අසන්නට ධනුකට හෝ ඇමතුමක් ගන්නට බියෙනි. මේඝාට යැවූ වට්සැප් පණිවිඩය පැයකට පමණ පෙර ඇය වෙත ලැබුනු බව දුටුවද ඇය එය තවම කියවා නැත. කෙසේ හෝ ඇය අත දුරකථනය තිබෙන බව පමණක් නිම්නාද එයින් වටහා ගත්තේය. ඉතින් සිදුවෙන යමක් සිදු වෙන්නට හැර ඔහු බලා සිටින්නට තීරණය කළත් මේඝාට යමක් සිදුවුවහොත් එහි වගකීම තමා පිට පැටවෙන නිසා ධනුකට ඇමතුමක් ගන්නට නිම්නාදට ක්ෂණික සිතිවිල්ලක් ඇති විය.
” අරූ කෝල් කරනවා ”
ධනුක නිකිනිට පමණක් ඇසෙන්නට කියා නිවසින් පිටතට පැමිණියේ මේඝා නාගෙන විත් නිකිනි සාදා දුන් කෝපි කෝප්පය පානය කරන අතරතුරය. නමුත් මේ වෙන තුරු ඇය වචනයක් හෝ කතා කළේ වත් , ධනුක සහ නිකිනි කිසිවක් ඇසුවේ වත් නැත.
” කියපන් නිම්නාද ”
ධනුක කෝපය සඟවා ගත්තේය..මේඝාට කිසිවක් දැනෙන්නට සහ ඇසෙන්නට දිය යුතු නැති බව පමණක් ඔහු සිතුවේය.
” ධනුක … මේඝා ”
” හොඳින් ඉන්නවා ”
ධනුක ස්ථීර හඬින් කියා දැම්මේය.
” එයා කොහෙද හිටියේ ? ”
නිම්නාද එවර ඇසුවේය. සියල්ල හොඳින් නම් තමා නිදහස් ය.එහෙත් සිදුවූ දේ දැන ගත යුතුය.
” කොහෙද හිටියේ ? උඹ මොකටද ඒක අහන්නේ ? උඹට ගානක් වත් තිබ්බද ? දැන් මොකක්ද එකපාරටම හැදුන කැක්කුම ? “
” මේකයි මචං.. මටත් කියලා ප්‍රශ්න නැතුව නෙමෙයි. මං ඒකයි… ”
” ඕයි මේ ? තමුසෙට ඔෆිස් එකේ ඔලුව උස ගන්න බැරි තරමටම වැඩ තිබ්බමයි කියමුකෝ.හැබයි තමුසෙට ඇත්තටම අර කෙල්ල ගැන පොඩි හරි හැඟීමක් තිබ්බා නම් අඩුම ගානේ ඔෆිස් ඇරිලා හරි ඇවිල්ලා ඒකිව හොයන්න තිබ්බා. උඹ දැනුත් මේ කෝල් කරේ උඹව මේකට ගෑවෙන බයට මිසක් මේඝාට තියෙන ආදරේකට නෙමෙයි කියලා මම දන්නවා. උඹලා වගේ එවුන්ට කියන්නේ අවස්ථාවාදියෝ කියලා ”
ධනුක කියාගෙන ගිය දේවල් වලට දෙන්නට පිළිතුරක් නිම්නාද සතු වූයේ නැත. ඇත්තටම සිදුවූයේ එය බව හෘද සාක්ෂිය කෑගසා කියන විට නිහඬ වනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නොවීය. තවත් යමක් කියවෙන්නට පෙර ධනුක ඇමතුම විසන්ධි කලේ හැකි ඉක්මනින් මේඝාව නිම්නාදගෙන් ගලවා ගත යුතු බව සිතමිනි.
” උඹ තාමත් හිතාගෙන ඉන්නේ නිම්නාද උඹට ආදරෙයි කියලද මේඝා ? ”
ධනුක ඇසුවේ සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරයකිනි. මෙවැනි පැනයක් මින් පෙර කිසිම දිනක ධනුක විසින් මේඝාගෙන් අසා තිබුණේ නැත.
” මට කවුරුත් නැතිකොට එයා මගේ පස්සෙන් හිටියා. මාව අහගෙන හිටියා. මාව බලා ගත්තා. හැමදේම බෙදා ගත්තා..හැමදේම… ”
මේඝා නතර විය. ” හැමදේම ” යනුවෙන් අදහස් කලේ තමා මුලු ජීවිතයම නිම්නාදට දුන් බව නොකියා කියන්නට නොවේද ? ඇත්තෙන්ම සිදු වූයේ එයම නොවේද ?
” ඔය කියන ටිකම අපිත් උඹ වෙනුවෙන් කලේ නැද්ද මේඝා ? ”
නිකිනි එසේ ඇසුවත් මේඝා පැවසූ වචන කිහිපයෙන් ධනුක මුල සිට අගට සියල්ල තේරුම් ගනිමින් උන්නේය. කාර්යාලගේ හිත ගිය තරුණයා සමග ඇතැයි කියූ බැඳීමට මේඝාට බැඳෙන්නට හැර බලා හුන් වැරැද්දේ බරපතළකම ධනුකට වැටහෙන්නේ දැන්ය.එහෙත් ප්‍රමාද වැඩිය. අස්සයා පැන ගිය පසු ඉස්තාලයේ දොර වසා පලක් නැත.
” දැන් උඹ මං කියන දේ හොඳට අහගන්න ඕනේ ”
ධනුක මේඝා අසලින් වාඩි විය.
” උඹ අද දවසේම කොහෙද හිටියේ මොනවද කලේ , එහෙම වෙන්න හේතුව මම උඹෙන් අහන්න යන්නේ නැහැ. හැබැයි ඒ සිද්ධ වෙච්ච දේ කොහේ හරි කොනක නිම්නාද ඉන්න බව මම සීයට දාහක් දන්නවා. නිම්නාද උඹට මොකා වෙලා හිටියත් කමක් නැහැ. හැබැයි ඌට උඹ ගැන වගේ වගක් නෑ කියලා උඹ දැන් තේරුම් ගන්න ඕන ”
මේඝා උන්නේ නිසොල්මනේය. ධනුක මේ කියන්නේ ඇත්ත බව නිතරඟයෙන්ම පිළිගත යුතුය.
” නිකීයි මමයි කෑමක් බීමක් නැතුව මුළු කොළඹම උඹව හොයද්දී office එකේ වැඩ තියනවා කියලා පැනල ගියපු එකෙක් තමයි නිම්නාද කියන්නේ. එහෙම එකෙක් ගැන උඹ තවදුරටත් හිතනවනම් උඹ තරම් මෝඩ ගෑනියෙක් මේ මුළු ලෝකෙම නෑ ”
ධනුක කියන්නේ ඉතාම සන්සුන්වය. නමුත් ඔහු ඇතුලාන්තයෙන් ඉතාම නොසන්සුන්වී සිටින බව මේඝා මෙන්ම නිකිනිත් අත්දැකීමෙන්ම දනී. මේඝාට උවමනා වූයේ හඬන්නටය. එහෙත් හැඬුමක් පවා පිට නොවෙන තරමට හදවත හිරිවැටී ගොස් ඇති බව දැනේ. මීළඟට කළ යුත්තේ කුමක්දැයි කියා වත් සිතන්නට නොහැකි තරමේ වෙහෙසකින් මේඝා පෙලෙන්නට විය.
” නිකියි මමයි මේ හැමදේම වෙන්න ඇරලා බලාගෙන හිටියේ උඹටත් ආදරේ කරන්න කවුරුහරි ඉන්න ඕන නිසා, එහෙම ආදරයක් උඹත් විඳින්න ඕන නිසා . අපි ඕකට අත නොදැම්මේ උඹ සතුටින් හිටපු නිසා, එහෙම නැත්තම් එහෙම ඉන්නවා වගේ උඹ පෙන්නපු නිසා. හැබැයි, දැන් උඹ ඇත්ත තේරුම් ගන්න ඕන. ඇස් දෙක ඇරලා උඹට පේන්න තියෙන ඇත්ත දිහා බලන්න ඕන ”
ධනුක කියා අවසන් කලේත් ,මේඝා මහ හඬින් හඬාගෙන නිකිනිව වැළඳගත්තේ එකවරමය. කටුක වුවත් සත්‍ය පිළිගත යුතු නොවේද? දුකක් කියා දැන දැනම බැඳීමකට වුවත් බැඳෙන්නට නොහැකි බව මේඝා දැන උන්නත් එය ඉක්මවා දැනුනේ නිම්නාද කෙරෙහි ඇති ආදරයම නොවේද ?
” මට නිම්නාදව ඕන නිකී ”
මේඝා හැඬුවාය. දැන් දැන් හදවත නැවතී යතැයි සිතෙන තරමට ඇය හැඬුවාය. නැත.මේ දුක අවසන් නොවේ. නිම්නාද එනතුරු මෙය අවසන් නොවේ.
මේඝාගේ හැඬුම නවතන්නට නිකිනිවත් ධනුකවත් උත්සහ කලේ නැත. ඔවුන් දෙදෙනාද උන්නේ කිසිවක් කල හැකි තත්වයක නොවේ. පසෙක තිබූ මේඝාගේ දුරකථනය නාද විය. ධනුක එකවරම පැන දුරකථනය අතට ගත්තේය.