කෝසලගේ මියයාම ගැන දැනගෙන උන් නිසාම සිසිමාධවීට එය ගාණක් නැතැයි සිතූ අයද බොහෝ විය.
“ඔයා අඬන්නෙවත් නැතුව ඉන්නෙ මල්ලි මැරෙනව කියල දැනං උන්නු හන්දා වෙන්නැති නේද?” කියා හිත් පිත් නැත්තෙකු සේ උත්පලා අසද්දී වුවද සිසිමාධවී එය භාරගත්තේ සිනාවකිනි. කෝසල වෙනුවෙන් හිතේ ඇවිලෙමින් තිබූ ගින්න ඔහුගේ නික්ම යාම සමග නිවුන බව ඇත්තකි. තමා කෝසලට ආදරය කලා නම් මේ මොහොතේ කල යුත්තේ ඔහු දුකකින් මිදීම ගැන සතුටු වීම සැනසීම යයි සිතන්නට, ඒ සිතුවිලි ඔස්සේ හිත හදාගන්නට සිසිමාධවී පසුගිය දින කිහිපයේම කටයුතු කලාය.
ආදරය කල අයෙකු මියගිය මොහොතේ හැඬීමට වඩා වේදනාකාරී වන්නේ නොහඬා දරාගෙන ඉඳීම බව සිසිමාධවී පවා තේරුම් ගත්තේ කෝසලගේ නික්ම යාමත් සමගිනි. තමා හැඬීම තමා මෙන්මා දරුවන්වද මානසිකව අඩපණ කරන්නට හේතුවක් විය හැකි බව සිතා සිසිමාධවී නිසසලව, මහමෙර සේ දරාගෙන උන්නාය.
එනිසාම උත්පලා කියු දෙයට සිසිමාධවී බිඳක්වත් කෝපගත්තේවත් සැලුනේවත් නැත. එහෙත් පුශ්පලතා එයට පිළිතුරු දුන්නේ ආවේගයෙනි. සිසිමාධවී පසුගිය කාලයක් පුරාවට කල කැපකිරීම් දුටු ගැහණියක ලෙස තමන්ගේම දූ වුවද සිසිමාධවීට මෙසේ කීම පුශ්පලතා නොරිස්සුවාය.
“මිනිහ මලා කියල හැම ගෑණිම අඬන්නෙ නෑ උත්පලා. සිසිමාධවී අපිට පේන්න ඇඬුවෙ නැතිඋනාට පහුගිය කාලෙක කොච්චර නම් දුකක්ද වින්දෙ කෝසලගෙ අසනීපෙ එක්ක. අඬ අඬ හිටියොත් ඉතින් මෙතන වැඩ පල ටික කෙරිල තියෙයි”
“ආ අම්මට ඩෝං යන්න දෙයක් කිව්වය මං” කියා උත්පලා ගස්සාගෙන ඉවත යද්දී පුශ්පලතා සිසිමාධවීගේ උරහිසට අත තබා”ඔව්ව ගණන් ගන්න එපා” කියා කිව්වේ දෙනෙතිනි.
හත් දවසේ දානයට කළින්ම සිසිමාධවි අයිරාංගනීගේ නිවසේ වැඩට ගියාය. සතියක් නිවාඩු ගැනීම රැකියාව අහිමිවන්නට හේතුවක් වනු ඇතිය යන බිය හිතේ තිබුනද, නිවාඩු ගන්න පුලුවන් බව සුමධුර තිලකරත්න කිව්වද ගෙදර ඉඳන් කරන්නට දෙයක් ඇත්තටම සිසිමාධවීට තිබුනේ නැත. එහෙමකට කියා ලොකු ගෙදරක් නොවූ නිසාවෙන් අස්පස් කරන්න දෙයක් තිබුනේද නැත. පිළිසකර කරගන්නට තිබුනේ හිතය.
“අනේ මන්ද මනුස්සය මැරිල හත් දවසෙ දානෙ දෙන්න කලින් ගෑණියෙක් ඔහොම ආපස්සට රස්සාවට යනවද?” කියා සම්ප්‍රදායික ගැහණියක වෙමින් උත්පලා දෙඩුවද “ඒ ළමය වැඩ නොගිහින් ඉද්දි දරුවන්ට කන්න දෙන්නෙ උඹ ද?” කියා අහන්නට තරම් පුශ්පලතා වෙනස් වෙමින් උන්නාය.
සිසිමාධවී අයිරාංගනීගේ ගෙදර යද්දීත් සුමධුර උන්නෙ ගෙදරය. සුමධුර ඇත්තටම සිසිමාධවී කියු පරිද්දෙන් ඇය ඒවියයි බලාපොරොත්තු උනේ නැත. ගෙවල් දොරවල්වල එහෙමකට කියා වැඩපල නොතිබුනද මේ මොහොතේ ඇය කල යුත්තේ හිත හදාගන්නට, හිත හයිය කරගන්න උත්සහ කිරීම බව හිතා උන්න සුමධුර බෝගන්විලා ගොන්න යට, උඳුපියලිය පාවඩය උඩින් ඇවිද එන සිසිමාධවී දැක පුදුම වුණේ ඒ හන්දාය.
“මම හිතුවෙ නෑ මාධවී අද ඒවි කියල” සුමධුර තිලකරත්න කිව්වේ ඒ විස්මය සමගිනි.
“නෑවිත් බෑනෙ මහත්තය. කොච්චර උදව් කරාද මරණෙ වෙලේ. අනික එහෙම උදව් කරල මං නැති ටිකේ නෝනව බලාගන්න තව කාවහරි ගෙවල තියාගන්න එකත් පාඩුනෙ. ඒකයි මං ආවෙ”
“ඒ උනාට වැඩ කරන්න හිත නිස්කලංකයක් තියෙනවද? දරුවො දෙන්නව කොහෙද තියල ආවෙ?”
“කෝසලගෙ අම්මල ඉන්නෙ අල්ලපු වැටේනෙ. අම්ම දරුවො දෙන්නව බලාගන්නව දවාලෙ මං නැති ටිකට. හිත එකලස් කරගන්න බෑ මහත්තය ගෙදර ඉඳල. යන එන මිනිස්සුන්ට එකම දේ කියල ඇත්තටම මට දැන් හරි මහන්සියි. නිදහසෙ හුස්මක් ගන්න ඉඩක් තිබ්බෙ නැති හන්දමයි මං අද ආවෙ. අඩුගානෙ ලොකු නෝන එක්කල කතාකරද්දි හිතවත් හැදේවිනෙ කියල”
“අම්මා උඩ ඉන්න මාධවී යන්න, හවසට ගොඩක් පරක්කු වෙනකම් ඉන්න ඕන නෑ. ඉක්මනට යන්න. මමත් කලින් එන්නම්”
“ඕන නෑ මහත්තය වෙනද වගේම මට ඉඳල උයල කරල යන්න පුලුවන්”
“ඔයා මෙහෙ උයන දෙයක් රෑට දරුවන්ටත් එක්ක අරං යන්න. ආයෙ ගිහින් කන්න උයන එක අමාරුනෙ” කියා කියද්දී සිසිමාධවී කලේ සිනාසී ගෙතුලට ගිය එකය.
සිසිමාධවී එන එකක් නැතැයි කියා හිතා සුමධුර තමා දවල් වී එන බව කාර්‍යාලට දන්වා තිබුණි. ඒ නිසාම සුමධුරට යන්නට හදිසියක් තිබුණේ නැත. කාර්‍යාල කාමරයට වී දොර බාගෙට වසාගත් සුමධුරටද තේ කෝප්පයක් ගෙනවිත් දුන් සිසිමාධවී අයිරාංගනී හමුවන්නට උඩු මහලට ඇවිද ගියාය.
සුමධුර තරම්ම අයිරාංගනීද තමන්ගේ පැමිණීම ගැන පුදුම වනු ඇතැයි සිතුවද අයිරාංගනී සිසිමාධවීව පිළිගත්තේ කොහොමත් ඇයව දකින හැම මොහොතකම මුව ඇඳගන්නා සිනහව සමගිනි.
“හිත් කරදර තියෙද්දි ගෙදර ඉන්න එක, දන්න අඳුරන මිනිස්සු එක්ක උනත් කතා කරන එක හරි අමාරුයි නේද?” ඒ වනාහී නිකන්ම නිකන් වදන් පෙළක් නොව ජීවිත කාලයක් පුරාවට අයිරාංගනී ජීවත්වීමෙන් ලද පරිචයත්, දායාදයත් බව සිසිමාධවී තේරුම් ගත්තාය.
“මං තරම්ම හොඳට ඒ ගැන දන්නෙ ලොකු නෝන බව මම දන්නවනෙ. මට ඇත්තටම ඉන්න බැරි හන්ද නෝන මං ආවෙ. ගෙදර බලන බලන හැම පැත්තෙම මට කෝසලගෙ මූණ මැවිල පේනව. මොන දේ උනත් ලෙඩෙක් වෙලා හරි මීට දවස් ගානකට කලින් මාත් එක්ක කතා බස් කල මනුස්සයනෙ. මේ ගෙදර හුස්ම ගත්ත මනුස්සයනෙ දැන් නැත්තෙ කියල හිතෙද්දි පපුව හෝස්ගාල යන හන්දමයි නෝන මං අද ආවෙ. එකම මිනිස්සු එකම දේ අහද්දි, හැමදේම නැති උනා වගෙ මං දිහයි දරුවො දිහයි බලද්දි මට ඇත්තටම හරි අමාරුයි ඉවසන් ඉන්න”
“මටත් එදා ලලිත් නැතිවෙච්ච වෙලේ ඔහොමමයි හිතුවෙ. මං ඒත් මේ වෙනකම් කල්පනා කරා ලලිත් නැතිවෙච්ච වෙලේ අඬන්නෙ නැතුව හිටපු එකට මිනිස්සු එක එක දේවල් කියද්දි, ගෙදරින් එලියට ගිහින් කොහෙ හරි හැංගෙන්න පුලුවන් නම් හොඳයි කියල හිතෙද්දි මං ඒත් කල්පනා කරා මට එහෙම හිතෙන්නෙ මම හිතපු තරම් මම ලලිත්ට ආදරේ නොකල හන්දද කියල.
මං ඒ ගැන දුක්වෙච්ච, පසුතැවිච්ච වාර අනන්තයි. ඒත් දැන් සිසිමාධවී ඔහොම කියද්දි තමයි මට තේරෙන්නෙ මං වගේම තව ගෑණු ඉන්න බව. එක එක ගෑණු ඉවසන්නෙ, දරාගන්නෙ එක එක විදියට බව. හැමදේටම අඬන කරන ගෑණු අස්සෙ අඬන්නෙ නැතුව ඔක්කොම දේවල් හිත අස්සෙම හිරකරන් ජීවිත කාලෙම ඒ ගැන හිත හිත දුක් වෙන ගෑණු ඉන්නව කියල
මට මතකයි අපේ ලලිත්ගෙ කසින්ස්ල එහෙම කියල තිබුනා මම කිසි ගානක් නැතුව ඉන්නෙ ලලිත් මැරුණත් ඉතින් මේ දේපලද සල්ලිද ඔක්කොම හම්බෙන නිසා කියල. ඒ දවස්වල මම ඕවට රණ්ඩු උනා, කෑගහ ගත්ත. දැන් මතක් වෙද්දි හිනත් යනව මෝඩකම කියල. මිනිස්සු මොනව කිව්වත් ලලිත්ට මං ආදරේ කල විදියෙ දන්නෙ ලලිතුයි මමයි විතරනෙ ළමයො.
ඔයාට උනත් එච්චරයි. මිනිස්සු දැන් මුකුත් නොකිව්වට ඉස්සරට ඉතින් ඔයා හොඳට හිනාවෙල කරල ඉද්දි දේවල් කියාවි. ඒව ගැන පොඩ්ඩක්වත් හිතන්නවත් මිනිස්සුන්ට බයේ හැමදාම සුදු ඇඳගෙන, අඬාගෙන ඉන්න උවමනාවක් නෑ. කෝසල එක්ක ගෙවපු ජීවිතේ ඉවර උනාට ඔයාට තව ඉස්සරහට ජීවිතයක් තියෙනවනෙ. දරුවො දෙන්න උස් මහත් කරගෙන සන්තෝසෙන් ඔයා ඒ ඉස්සරහ කාලෙ ජීවත් වෙන්න මිනිස්සු කියන ඒව නෑහුන වගේ ඉන්න ඕන බව අමතක කරන්න එපා”
අයිරාංගනී මේ කියන්නෙ තමා ජීවිතයෙන් ලබාගත් ආදර්ශයන් බව දන්නා හින්දාම සිසිමාධවී අසා උන්නේ නැවතිල්ලේය. සැමියෙකු නැති වීමේ වේදනාවත්, ඉන් අනතුරුව වැන්දඹුවකට හැප්පෙන්නට වන ජීවිත බාධක ගැනත් දන්නේ ඒ වේදනාවෙම වරෙක ගිලුණු ගැහැණියක්මය. එකම රටේ දෙතැනක, කාලයන් දෙකක ඉපදුනද අයිරාංගනී තිලකරත්නත්, සිසිමාධවී රත්නායකත් අත මිට මොලවාගෙන විත් තිබුණේ එකමාකාරයේ දෛවයකි.
“ජීවත්වෙලා ඉන්න කම් මිනිස්සු කරන්න ඕන සන්තෝසෙන් ඉන්න එක දූ. මොන සැප සම්පත් තිබ්බත්, හිරවෙලා, එකම තැන ගෙවෙන ජීවිතේක කිසි සතුටක් නෑ, ඒ නිසා සතුටක් ලැබෙන්නෙ මොන වෙලාවෙද ඒක මග ඇරගන්න එපා. අපිට අන්තිමේ ඉතුරු වෙන්නෙ එච්චරයි” අයිරාංගනී එසේ කියා තමන්ගේ නිදන කාමරයෙන් පෙනෙන, හැමදාමත් බලා සුපුරුදු වූ අහසේ වලාකුලු මවන රටා වෙත නෙත් යොමු කරාය.
තමා විසින් කරන්නට පමා වූ දෙයක් තිබෙන බව සිසිමාධවිට මතක් වුණේ එවෙලේය. ඒ වනාහී සුමධුරගෙන් අහන්නට ඕන දෙයකි. සිසිමාධවී හිමින් සීරුවෙ පහලට බැස්සේ ඒ සිතුවිල්ලේය.