පෙඟුණු මල්පෙති 16

“ලකී සෙවන්”
හත කියන්නේ වාසනාවන්ත අංකයක් බව කවුරු කොහොම කිව්වත් හත
කියන්නෙ ඉතාම අවාසනාවන්ත අංකයක් බව ජීවිතේ පළමුවතාවට චරිත්‍රාට
අද දිනයේ සිතුණි.
ඒ හේතු කීපයක් නිසා වෙනි.
ලේක් ග්‍රෑන්ඩ් හිදී මුණ ගැසෙමු යැයි ප්‍රභාත් පැවසුවේ හතට නිසාවෙනි.
අද රෑ හතට කෝල් කරමු යැයි මිහික එවූ වට්සැප් පණිවිඩයයි.
අනෙක් අතට හතට රාත්‍රී ආහාරය සඳහා පිටතට යමුදැයි අසා ළහිරු එවා
තිබූ කෙටි පණිවිඩයයි.
මිහික ඇසූ පැනයට දෙන්නට තිබූ පහසුම පිළිතුර වන “අද ටිකක් මහන්සි.
හෙට ගමුද?” යන්න ටයිප් කර වට්සැප් පණිවිඩයක් ලෙස යවා දැන් ගත වුණු
කාලය විනාඩියකටත් වඩා අඩුය.
ළහිරුගේ පණිවිඩය මග හැරිය නොහැක්කකි.
මග හැරිය යුතුම හමුව ඇත්තේ ප්‍රභාත් සමග නොවේද? එහෙත් එයම මග
හරින්නට අපහසුම පණිවිඩය නොවන්නේද?

තමන් තිර ආදර සබඳතාවයකට කැප වී හිඳින බව පවසා යවන ලද කෙටි
පණිවිඩයට කිසිදු පිළිතුරක් එවා නොතිබූ ප්‍රභාත් අද ඔහු විසින් පෙර එවා
තිබූ මැසේජයම අදත් එවා තිබුනේ රාත්‍රී හතට ලේක් ග්‍රෑන්ඩ් හිදි හමුවන්නට
ඇරයුම් කරමිනි.
ප්‍රභාත් වෙනස් වී නොමැත.
තමන් කෙතරම් වෙන් වුවද ප්‍රභාත් වෙනස් නොවන පිරිමියෙකු බව චරිත්‍රා
නොදන්නවා නොවේ.
එදවස පවා තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක්, භාණ්ඩයක් වේවා මනුශ්‍යයෙක්
වේවා තමන්ට අවැසි මොහොතක කෙසේ හෝ ලබාගන්න ප්‍රභාත් වසරක් එක
හමාරක් තමා අමතක කොට කාලය ගෙවූ පරිද්දෙන් නොසිටියේ ඇයිද යන්න
චරිත්‍රා ඇසුවේ දෙවියන්ගෙනි.
තමා අනෙක් අයව මගහරින්නට කටයුතු කල මොහොතක කොතැනකදී හෝ
තමන්ට තමන්ව සහ තමන්ගේ මිනිසුන්ව මග හැරී ගොස් ඇති බව චරිත්‍රාට
සිතුනේ අහම්බයෙනි.
මිහිකට රහසින් ගෙන ගිය සබඳතා රැසක් තිබුන බව සැබෑවකි.
ඒ කිසිදු සබඳතාවයකදී හිත රිදුණේ නැත. මිහිකව රවටන බවක්ද චරිත්‍රාට
සිතුණේ නැත.
එහෙත් ළහිරුව සිහිනයකින්වත් රවටන්නට අවැසි චරිත්‍රාට නම් නොවේ.
“මේ අවසාන වතාව යැයි සිතා” ප්‍රභාත් හමුවන්න යාම මෙන්ම ඔහුව මග
හැරීමද ප්‍රශ්න රැසකට මග පාදන්නකි.
ප්‍රභාත් යනු අමනාප කරගත යුතු අන්දමේ මිනිසෙකු නොවේ.
ඕනෑම මොහොතක, ඕනෑම ගැටලුවකට “කන්ටැක්ට් එකක් තියෙනව මම
කෝල් එකක් දෙන්නම්” කියන ප්‍රභාත් වැනි මිනිසුන් අමනාප කර ගැනීම
අපරාදයකි.
ප්‍රභාත් යනු ධනවත් මිනිසෙකි.
එයටත් වඩා ඕනෑම තැනකට ගොස පහසුවෙන් වැඩක් කර ගත හැකි
අන්දමේ බලයක් ඇති මිනිසෙකි.
එහෙත් ළහිරුට හොරෙන් ප්‍රභාත් හා හෝටලයකට යෑම චරිත්‍රාට අපුලය.
සිත මෙන්ම සිරුරද ඉල්ලන්නේ ළහිරුගේ උණුහුම පමණකි.
ඒ සිතුවිලි අතරේ දුරකතනය මහ හඬින් නද දේ.
“හෙලෝ”

“හෙලෝ චරිත්‍රා, ප්‍රභාත් හියර්”
“හායි ප්‍රභාත්”
“ඔයා එන්නෙ කොහොමද කියල බලන්න කෝල් කරේ. මම ඇවිත් පික්
කරන්නද?”
ඉන් පසු ඇරඹුනේ තප්පර කිහිපයක නිහැඬියාවකි. එහෙත් එවන් ප්‍රශ්නයකට
දිය යුතු සැබෑ පිළිතුර තනාගන්න ඒ තප්පර කිහිපය ඉතින් කෙසේවත්
ප්‍රමාණවත් නැත.
“හෙලෝ චරිත්‍රා”
“හෙල්ලෝ….”
“මොකද සද්දයක් නැත්තෙ? ම්ම්ම්”
ඒ නිහඬව පැය ගාණක් සිතා පිළිතුරු දිය යුතු පැනයකි. මෙතුවක් කාලයකට
බොහොම සිතා බලා, මිහිකටවත් වෙන කිසිම අයෙකුට නොදැනෙන
නොහැඟෙන ලෙස සබඳතා රැසක් පවත්වාගෙන, රාජකාරි ජීවිතයද,
පෞද්ගලික ජීවිතයද ඉතාම බැලන්ස් කරගෙන ගිය චරිත්‍රා සැම මොහොතකම
තීන්දු තීරණ අරගත්තේ මොලයට මුල් තැන දීමෙනි. නොඑසේනම් මෙය
කලහොත් තමන්ට වාසියක් මිස පාඩුවක් අත්විය හැකිදැයි යන්න පිළිබඳව
බොහෝ දුර සිතා බලාය.
එහෙත් මේ මොලයෙන් පමණක් තීරණ ගත යුතු මොහොතක් නොවේ.
තමන් ළහිරුට සැබෑවටම ආදරය බව චරිත්‍රාට විශ්වාසය.
ඉතින් එය තවත් සඟවා හිඳීම ඒ සුන්දර ආදරණීය පුද්ගලයාට කරන අවැඩකි
නොවේද?
“ප්‍රභාත් මට එන්න වෙන්නේ නෑ”
“ඇයි ඒ?”
ආයෙමත් නිහැඬියාවයි.
“ආ.. චරිත්‍රා ඇයි ඒ? වෙනදට ඔයා මං මැසේජ් එකක් දැම්මම එනවනෙ”
“ඉස්සර එහෙම කරාට මට දැන් එහෙම කරන්න බෑ”
“ඇයි?”
“මම ඒකට හේතුව ඔයාට මැසේජ් එකකින් දැම්මා”
“අයියෝ මේ වෙන අෆෙයාර් එකක් තියෙනව කිව්ව එකද? ඕව ගැන කවුද
කෙයාර් කරන්නෙ. පිස්සු නටන්නෙ නැතුව එන්න ළමයො”
“බැහැ ප්‍රභාත් අයෑම් සොරි. මට එන්න විදියක් නැහැ”

“ඔය අෆෙයාර් කොච්චර කල් තියේවිද කියල කවුද දන්නේ? පිස්සු නැතුව
එන්න. මම බලන් ඉන්නවා”
“ඒක අෆෙයාර් එකක් නෙවෙයි. මම දැන් මැරීඩ්”
ප්‍රේම සබඳතාවයකට වඩා විවාහයක පවතින බරසාර ගතිය වැඩිය.
ඉතින් ළහිරු හා බැඳුණු සබඳතාවයට හානියක් නොවනු පිණිස මිහික හා
බැඳුණු සබඳතාවය ගැන හෙළිකිරීම වරදක් නොවේ.
“මැරීඩ්? ඔයා?”
කුතුහලයෙන් වුවත් ඇසූ ප්‍රභාත්ගේ හඬෙහි තිබුනේ සමච්චල් සහගත් බවකි.
ඒ මේ වගේ ගෑණුන්වත් කසාද බඳින පිරිමි ඉන්නවද යන්න ගැන නොකියා
කීමකි.
“ඔව් ලාස්ට් ඉයර් මම මැරි කරේ”
“මට බොරු කරන්න හදන්න එපා චරිත්‍රා. ඔයා මැරීඩ් නම් මම ඒ ගැන
නොදැන ඉන්නවද? මොකද මාව හම්බෙන්න එන්නෙ නැතුව මගාරින්න
හදන්නද බොරු කියන්නේ? මොකද බර අත්තක්වත් සෙට් වුනාද?”
ජාගර අදහස් වලට එක්කසු වූ ප්‍රභාත්ගේ සමච්චල් සහගත් සිනහව ලේ
කුපිත කරවයි.
එහෙත් වෛරයෙන් වෛරය නොසංසිදේ.
ඉතින් වචන භාවිතා කල යුත්තේ පරිස්සමිනි.
“ප්‍රභාත් දන්නවනෙ මම ඉස්සර ඔයා මොන වෙලාවෙ එන්න කිව්වත් ආව. ඒත්
ඒක මට දැන් කරන්න විදියක් නෑ. මම කැමති නෑ හස්බන්ඩ්ට රවට්ටන්න.
අනික එයා අබ්‍රෝඩ් ඉන්නේ. මමත් තව මාසෙකින් යන්න ඉන්නෙ”
තමන් විසින්ම අතීතයේදී ගොඩනගාගත් මේ ජාගර සබඳතා ගැන පිළිකුලක්
චරිත්‍රාගේ සිතට නොදැනුනේයැයි කීවොති බොරුවකි.
අතීතයේදී ප්‍රභාත් නිසා බොහෝ වාසි අත් වූ බවද, මුදල් හදල් මෙන්ම වටිනා
දුරකතන, ලැප්ටොප් ආදියද ලැබුණු බව සැබෑවකි.
ඒ සියල්ලම ලබාගන්න බලාපොරොත්තුවෙන් තමන් ඔහු හා සිරුරෙන් බැඳුණු
බවද සැබෑවකි.
එහෙත් ඒ ළහිරු හමුවන්නට පෙර ය.
සමහරවිට අද ළහිරු වෙනුවට මිහික සිටියේනම් මේ හමුව වීමට තිබුනා යැයි
චරිත්‍රා නොදන්නවා නොවේ.
එහෙත් මිහික යනු ළහිරු නොවේ.

මිහික යනු නිත්‍යානුකූලව තමන්ගේ භාරකරු පමණකි.
ළහිරු යනු සිත මෙන්ම ගතද උරුම කරගත් ආදරණීය චරිතයයි.
ඔහුව රවටන්නට තමාට කිසිම උවමනාවක් නොමැත.
“ඌ දැනගනී කියලනම් බය ඔයා දන්නවනෙ මම මේ වගේ දේවල් අහුවෙන්න
කරන්නෙ නැති බව? මම ඔයාට දෙන්න අලුත්ම ඇපල් ෆෝන් එකකුත් ප්‍රී ඕඩර්
කරන්නම් ඕනනම්. අද එන්න. මම ඔෆිස් එක ළඟටම වාහනේ එවන්නම්
චරිත්‍රා. කාටවත් පේන්නෙ නැතුව එන්න පුලුවන්. පිස්සු නැතුව එන්න”
තමන් මොන තරම් දේ කීවද ප්‍රභාත් මේ වෑයම අතාරින්නේ නැති හැඩය.
“ඇපල් ෆෝන් එකක් ප්‍රී ඕඩර් කරන්නම්” යැයි කීමම කෙතරම් සිතට
කෝපයක් ගෙන දුන්නද එකී කෝපය වචනවලට හරවනවාට වඩා මේ
ඇමතුම විසන්ධි කර දැමීම වඩා උචිත බව චරිත්‍රා තේරුම් ගත්තාය.
තමා කෙතරම් නම් ජරාජීර්ණ ජීවිතයක් ගත කර තිබෙන්නේද යන්න චරිත්‍රා
පුදුමයෙන් මෙන්ම සංවේගයෙන් සිතුවාය.
අතීතයේ හැරදමා ආ, යලි කෙදිනක හෝ හමුවේ යැයි නොසිතූ බැඳීම්
කොතෙක් නම් තව තිබේද?
ප්‍රභාත් මෙන්ම එම සබඳතාද ඉදිරියේදී යළි හමුවන්නට ඇති ඉඩකඩ විශාලය.
එහෙත් ප්‍රභාත් මෙන් ඒ අනෙකුත් සබඳතා සුවිසල් නොවීම් එක්තරා අතකින්
හිතට සැනසුමකි. ඒ සැනසුම තරම්ම, නොඑසේනම් එයටත් එහා අනාගතය
ගැන බයක් සැකක් හිතට එකතුකරන්නට අතීතයේ සිට ආ ප්‍රභාත් නම්
දැවැන්ත සෙවණැල්ලට හැකියාවක් ලැබී තිබේ.
කල්පනා ලෝකයේ ගැලී සිටියේ කාර්‍යාලයේ ය.
සියලු දෙනාම වැඩ අවසන්ව ගොසිනි.
අද මෙතරම්ම පමා වන තුරු රැඳී සිටියේ රෑ හතට රාත්‍රී ආහාරය සඳහා
පිටතට යනු පිණිස ඇයව රැගෙන යාමට කාර්‍යාලය අසලට එන බවට ළහිරු
පවසා තිබීම නිසාවෙනි.
ඔහු එනතුරු කාර්‍යාලයේ විවේකාගාරයට ගොසි වත්සුණු තවරා ගන්නටත්,
ඇහි බැම සකසා ගන්නටත්, වියැකුණු තොල් ආලේපන නැවත ආලේප
කරගන්නත් වෙලාව උවමනාවටත් වඩා තිබේ.
විටෙන් විට දුරකතනය වෙතට ඇහැ යන්නේ ඇමතුම මග නතර වූ කෝපය
නිසා ප්‍රභාත් යළි ඇමතුමක් ගනු ඇතැයි හෝ නොඑසේනම් කෙටි පණිවිඩයක්
හෝ තබනු ඇතැයි යන සිතුවිල්ල සිත නොඉවසිලිමත් කරන නිසාවෙනි.
එහෙත් කිසිදු හැලහොල්මනක් නැත.

තමා ඇඩ්මින් වරියක ලෙස සිටින ෆේස්බුක් පිටු වලින් එන නොටිෆිකේශන්
හැරුණ කොට වෙන කිසිවක් දුරකතන මුහුනත මත රැඳී නැත.
නිහඬ බව සිතට සැනසුමක් බව බොහෝ අය කීවද ප්‍රභාත්ගේ මේ අසීමිත
නිහඬ බව ගුප්තය. බයංකාරය.
තමා දන්නා ප්‍රභාත් මෙවැනි නිහඬ අයෙකු නොවේ.
එක්කෝ හමුනොවුන පසුගිය කාල වකවානුව තුල ඔහු වෙනස් වී විය යුතුය.
නොඑසේනම් ප්‍රභාත් ගැන තමා සිතා හුන් දේවල් වැරදි විය යුතුය.
මේ දෙකින් කුමන එක සත්‍යයක්ද යන්න චරිත්‍රාට තවමත් අපැහැදිළිය.
නිහඬතාවය බිඳමින් දුරකතනය මතට වට්සැප් පණිවිඩයක් පැමිණේ.
ළහිරු ගෙනි.
“අයෑම් හියර්”
විවේකාගාරයෙන් පිටතට පියඹා ගියේ කිරිල්ලියක බඳු සන්තෝසයකින් හද
පුරවා ගත් චරිත්‍රා ය.
තමා විවාහක බව අමතකව, මේ පැටලී හිඳින්නෙ අනියම් පෙමක බව
අමතකව සතුටු වන චරිත්‍රාය.
කාර්‍යාලයේ විසල් ගේට්ටුව ළඟ ඔහුගේ නවීන රිය නවතා තිබේ.
සැඳෑවේ හතට කිට්ටු වීද කාර්‍යාල ගේට්ටුව අසල හිරු පායා ඇත.
ඉතින් මේ සූරියකාන්ත කෙල්ල පිබිදෙන්නට බලා හිඳි මොහොතයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles