මා හද මට නැති විට – 05

 තේජ කාර්යාලයේ ගෙවා දැමුවේ නොසන්සුන් හෝරා කිහිපයකි. රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පවත්වාගෙන යන ආයතනයේ ඔහු වගකිය යුතු නිලයක් හෙබවී ය. ඔහුට තිබූ රාජකාරි හන්දාම මේ දවස් බාගයක නිවාඩුව පවා සැබෑ පාඩුවකි. නමුත් ඔහුට වැඩ කරන්නට ද සිතක් නැත.

“මිනිස්සුන්ට කෙලින් කතා කරන්න ඕන කියන උඹද මේ වටින් ගොඩින් ඒ කෙල්ලගෙ විස්තර හොයන්න හදන්නේ?”

පසන් මෙතැන හිටියානම් එහෙම කියමින් හිනැහෙන්නට ද ඉඩ තිබේ. නමුත් තේජ ලැජ්ජාව පසෙක තබා ඔහුට ඇමතුමක් ගත්තේ ය. මුළු කතාවම අසා සිටි පසන් උස් හඬින් හිනැහෙන්නට විය.

“මිනිස්සු අතේ දුරින් බැරිනම් වියතක දුරකින් හරි ඉන්ඩෝන කියලා මගේ කැම්පස් එකේ යාලුවෙක් කියනවා මට මතකයි. ඒක කියපු යාලුවටත් ඒ කියපු කතාව මතක නම් අනිවාර්යයෙන් ඔය ගෑනු ළමයා අතක දුරකින් තියයි”

පසන් කියන්නේ පණ්ඩිතකමකිනි. නමුත් විස්තර හොයන්නට සිතුණේ මනමාලකමකටම නොවේ. ඇය මහා රහස් ගුහාවක් ලෙස ඔහුට දැනෙයි. ඕපාදූප සෙවීම පිරිමින්ගේ පුරුද්දක් නොවුණ ද මනුෂ්‍යයන්ගේ සිරිතක් බව තේජ සිතී ය. ඒ හන්දා ඇය ගැන විස්තර සෙවිය යුතුම බව තේජ තීරණය කළේ ය.

අනුත්තරා ගිණුම් වාර්තා තොගයක් ද ලැප්ටොප් පරිගණකය ද රැගෙන තේජගේ කාර්යාල කාමරයට එබුණේ ඒ මොහොතේ ය.

“ෂහ් ලස්සන ටී ෂර්ට් එකක්.”

නිර්ලෝභීව කෙනෙක් අගය කරන මිතුරියට තේජ මන්දහාසයක් ලබා දුන්නේ ය.

“ලියෝන් අසනීපෙන්ද තේජ? නෑනෙ?”

අනුත්තරා එහෙම ය. ඇය අනුන්ගේ හැම දුකකම දුක්ගන්නාරාළ වන්නියකි. නමුත් ඇය ඇසුරු කරන්නට ඉතා පහසු තරුණියක බව තේජ දැන සිටියේ ය. සිනාවක් තිළිණ කළ පසු ප්‍රේමය ගැන සිහින දකින කෙල්ලන් අතරේ ඇය වෙනස් ය. ප්‍රේමාරධානාවක් කරන කොල්ලන්ගෙන් පවා “හවසට බොමුදැයි” අසන අමුතු පන්නයේ තරුණියකි. තේජ පසන් සමඟ ඇමතුම නිමා කර අනුත්තරාට අවධානය දුන්නේ ය. අනතුරුව ලියෝන් හොඳ සනීපයෙන් බවත් වෙන පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් උදෑසන කාලය වෙන් වූ බවත් පැවසී ය.

“හත විතර වෙනකොට මේ වැඩේ ඉවර කරගන්න පුලුවන් අපිට.”

අනුත්තරා එහෙම කියන්නේ ඕපාදූප නවතා පරිගණකයට ඇස ඔබා ගන්නා අතර ය. නමුත් ඇයට එහෙම නිස්කාංසුවේ වැඩ කරන්නට ද අසීරු ය.

“මට අද ලිෆ්ට් එකක් ඕනෑ හොඳේ”

අනුත්තරා වැඩ අතරම කියද්දී තේජ හිස වැනී ය. පසන්ගෙන් වට්ස් ඇප් පණිවිඩයක් ආවේ ඒ මොහොතේ ය.

“පණ්ඩිතයන්ට උපදෙස් දෙන්න අමාරු බව මම දන්නවා. ඒ උනාට මේක නං නොකියා බෑ මචං. උඹේ තියෙන ප්‍රශ්න විසඳ ගන්නේ නැතුව තවත් ප්‍රශ්න තියෙන තැන්වල ඔලුව ඔබාගන්න යන්න එපා. ඊට පස්සේ වෙන්නේ රට පැටලෙන එක විතරයි”

තේජ එයට පිළිතුරක් නොයවාම අනුත්තරා දෙස බැලුවෙ ඇය තවත් කුමක්දෝ කියන්නට කට හදමින් සිටි හන්දා ය.

“මාව බෝඩිමට නෙමෙයි දාන්න ඕනේ හොඳේ.”

සාමාන්‍යයෙන් කාර්යාලයේ ගැහැනු ළමයින්ට රාත්‍රී කාලයේ ප්‍රවේසම් සහගතව ගමනේ යෙදෙන්නේ මතක් කරන්නට තේජ අමතක නොකරයි. මේ කුඩා කාර්ය මණ්ඩලයක් සිටින කාර්යාලයකි. එවිට නිරායාසයෙන්ම එකිනෙකා එක පවුලක් බවට පත් වේ. නමුත් අනුත්තරාට එවැනි දේ පවසා පලක් නොවේ. ඇය කොල්ලෙක් වන්නට ගොස් කෙල්ලක වූ එකියක් බව තේජට සිතේ. ප්‍රේම සම්බන්ධයකින් පැරදී හොටු කඳුළු පෙරමින් හඬන අනුත්තරා ඉඳහිට මතු නොවන්නේ නම් ඇය සැබෑවටම “සෙට් වෙන්නට හොඳ සහයෙකු” මිස අන් කිසිවෙක් නොවේ.

“අද පාටියක් ඇති උඹට කොහේ හරි”

තේජ කියන්නේ නොසැලකිලිමත්ව ය. අනුත්තරා උස් හඬින් හිනැහුණා ය.

“නෑ අනේ. කරදරේකින් ඉන්න යාළුවෙක් බලන්න යනවා.”

අනුත්තරා සතුව එවැනි යහපත් ගති ලක්ෂණ පවතින බව තේජ දනියි. ඇය දුක අසනවා පමණක් නොව ක්ෂණික විසඳුම් දෙන්නට ද දෙන්නටද හපනියකි. 

“ගිහිං මලුයි කොළයි ගලුයි ඔක්කොම දුන්නම යාළුවගෙ ලෙඩ ටිකත් සනීප වෙන් නැතෑ.”

බලන්නට යන මිතුරිය අතිශය යහපත් සිරිමත් බබෙකු බව අනුත්තරා පැවසුවේ හිනැහෙන අතරේ ය. ඒ හන්දාම ඇයට දුක්වේදනා වලින් අඩුපාඩුවක් නොවේ. ජීවිතය ඇතැම්විට එවැනි කුණාටු ඇති කරන්නේ යහපත් අයට බව පැවසූ අනුත්තරා තවත් කාරණාවක් පැවසුවේ ඉන් අනතුරුව ය.

“මාව ඔයාට අදාළ තැනින්ම හලාගෙන යන්න පුළුවන් මං හිතන්නේ. එයාත් ඔයාලගේ පැත්තෙම ළමයෙක්. මං කියන්නම්කො මාව හලන්න ලේසි තැනක්.”

කතාව එතැනින් නැවතිණ. රාත්‍රි හතහමාරට පමණ වැඩ කටයුතු අවසන් වන තුරුම ලාවණ්‍යා ගැන අනුත්තරා සමඟ කියනවාද නැද්දැයි තේජ කල්පනා කළේ ය. අවුරුදු දහ අටක කොල්ලෙකුට මෙන් දොඩවන්නට කාරණා නොවේ. තමන් මැදි වියට ළං වෙමින් සිටින මිනිසෙකි. ඒ ගැන සිහි කළ ඔහු කතාව දිගට ලියැවුණොත් පමණක් අනුත්තරාගෙන් මේ සම්බන්ධයෙන් උදව් ඉල්ලන්නට සිතා ගත්තේ ය.

“මොනවද අනේ මේ මෙලෝ රහක් නැති සින්දු. ඉන්ග්ලිෂ් එකක් වුණත් කමක් නෑ ලස්සන එකක් අහනවනම්.”

මෝටර් රථයට ගොඩ වී මඳ දුරක් යද්දී අනුත්තරා කියන්නේ අකමැත්තෙන් ය. 

“එහෙමයි කියල උඹේ බොහිමියන් සින්දුයි රෙගෙයි අනම්මනන් නම් දාන්න පටන් ගන්න එපා.”

තේජ තර්ජනයක් කළේ ය. අනුත්තරා ගීත වාදනය නවතා දමා රේඩියෝව ක්‍රියාත්මක කළා ය.

“මේ වෙලාවට ෂෝක් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. පටන් ගන්නෙනම් හතට. දැන් ටික වෙලාවක් ගිහින්. කමක් නෑ අහමුකො.”

අනුත්තරා නාලිකාව ක්‍රියාත්මක කරද්දී ද ගීයක් වාදනය වෙමින් තිබිණ. නම් නොදන්නා මොණර පිහාටු කොණ්ඩා විලාසිතා ඇති තරුණ ගායකයන්ගේ ගී වාදනය වන පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක බොහෝ නිස්කලංක ගීයක් වාදනය වෙමින් තිබිණ. එය නැවත ඇසීමේ ආශාවක් තේජට ඇති විණ.

නෙලා ගැනුමට නොහැකිවූවද

අත්හැරීමත් නොවේ ප්‍රේමය..

බලා දුර හිඳ කතා නොකරම

සුසුම් පපුවක හිරකිරීමය..

ඇස්පනාපිට බිඳුනු හීනෙක

ලොවට රහසින් සැරිසැරීමය

හිත්පුරා හිඳිනට වරම් නැති

සොඳුරු සයනෙක නිදිවැරීමය..

ඒ ගීය ගයන්නේ කවුදැයි අසන්නට තේජට ඕනෑ විය. එහෙත් ඊට පෙර නිවේදිකාවගේ ගැඹුරු ප්‍රේමණීය හඬ නැඟී ආවේ ය. එය අහන්නට ආසා හිතෙන කටහඬකි.

ආදරේ නිසාවත් කසාදයක් නිසාවත් කෙනෙක්ට තමන් අහිමි වෙන්න බෑ. ඒ තමන්ව හරි ආදරෙන් දරා ගන්න කෙනෙක් ඉන්නකොටයි අර මං කිව්ව පපුවෙ මල් පිපෙන සනීපෙ දැනෙන්නෙ. මං දන්නෑ මට එහෙම කෙනෙක් හම්බෙයිද කියල…අනික මං හිතන්නෑ ලංකාවෙ ඒ වගේ හිතන මාර නිදහස් හැඟීමක් ගෑනියෙක්ට දෙන්න පුළුවන් පිරිමි ඇති කියල.

එසේ පැවසූ නිවේදිකාව ගැඹුරු හුස්මක් පිට කළා ය. සාමාන්‍යයෙන් එෆ් එම් නිවේදිකාවන් දන්නේ සුනාමියක් එන බව පවා දැනුම් දී උස් හඬින් හිනැහෙන්නට ය. නමුත් මේ නිවේදිකාව කියන්නේ ගැඹුරු කතාවකි.

“එහෙම කියන්නේ මම නෙවෙයි. ප්‍රේමය සම්බන්ධයෙන් ඉසියුම්ව ලියන්න ලංකාවේ ඉන්න දක්ෂම ලේඛිකාව. ගංගා ෂයිනි ගමගේ. ගංගා අක්කා එයාගේ අලුත්ම නවකතාව මල්වර මල් සර නව කතාවේ එහෙම ලියනවා. ඇත්තටම ඒක එහෙම නෙවෙයිද?”

එය එහෙමදැයි සිතන්නට තේජට ඕනෑ විය. සමගම මේ හඬ ගැන දැනෙන හුරුව ගැන සිතන්නට ද ඔහුට ඕනෑ විය. අනුත්තරා කතා කළේ ඒ මොහොතේ ය.

“මං ඔය කතා කරන ගර්ල්ගෙ ගෙදර තමයි යන්නේ. අපි ඉස්කෝලේ හයේ පන්තියේ ඉඳලා යාළුවෝ. මං ඒ ලෙවල් වලට කොමස් කරාට, වෙන වෙන කැම්පස්වලට ගියාට යාලුකං නැවතුන් නෑ.”

(ඔබේ අදහස් තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles